මේ ලෝකය පුරා ජනප්‍රියවාදය මතු වී ඇති අවධියකි. බොහෝ විට පාර්ලිමේන්තු තුළත් ‌දේශපාලන සාකච්ඡා වලදීත් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙස ජනප්‍රියවාදය මතුවී ඇති ආකාරය සාකච්ඡා වෙති. එහෙත් ඇත්තවශයෙන්ම මේ වන විට ලෝකය පුරා මතුවී ඇති මෙම ජනප්‍රියවාදී රැල්ල මා දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට මතුව ඇති ආශිර්වාදයක් ලෙසයි. ජනප්‍රියවාදීන් යනු ඇත්තවශයෙන්ම අද ලෝකය පුරා මතුවී ඇති සමාජ සහ දේශපාලන ප්‍රශ්නයන්හි ව්‍යාකූල බව ඉදිරියේ, මේ අලූතින් මතුව ඇති ප්‍රශ්න යන්හි ව‍යාකූල බව නිසාම, ඒවාට විසඳුම් සෙවීමට මහන්සි ගන්නවා වෙනුවට කලකට ඉහත පැවතුණා යැයි පැවසෙන දිදුලන සමාජ තත්වයක් ලබා ගත හැකි යැයි සිහින මවන පසුගාමී මිනිසුන් කොටසකි. ඇත්ත වශයෙන්ම ඔවුන් උත්සාහ කරන්නේ ඉතිහාස රෝදය ආපසු කරකවා ගැනීමටයි. සමාජ සංවර්ධනයේ විවිධ අවධීන්වලදී අලුතින් මතු වී එන තත්ත්වයන් එතෙක් පැවතුණු සමාජයේ පසුගාමී කොටස් වලට සෑම විටම පෙනුනේ අභියෝගයක් ලෙස එනම් තමන්ගේ ජීවිතවලට තමන්ගේ පැවති පසුගාමී සංස්කෘතියට තර්ජනයක් ලෙස ය. එනිසාම ඔවුන් සෑම අවස්ථාවකම අලුතින් මතුවෙන විවෘත සංස්කෘතීන්වලට එරෙහි වීම සිදුවිය.

මෙම ජනප්‍රියවාදී රැල්ල පිළිබඳව ලියන දේශපාලන විද්‍යාඥයකු වන මහාචාර්ය Mark Lilla ඔහුගේ “දිදුලන අතීතය” නැමැති පොතේ මේ පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් කරයි. ඔහුට අනුව මෙම ජනප්‍රියවාදීන් සෑම විටම සමාජ පෙරටුගාමී බවට එරෙහි වන අතර පසුගාමී බාවය කරපින්නා ගෙන අතීතයේ ශ්‍රී විභූතියක් ගැන නන්දොඩවයි. ඒ වගේම ඔවුන් බොහෝවිට ඉදිරිගාමී බවට, අලුත් සොයාගැනීම් වලට එරෙහි වෙයි. උදාහරණයකට බොහෝ ජනප්‍රියවාදීන් පරිසර දූෂනය හා විනාශවීම පිළිබඳ විද්‍යාඥ මතය පිළි නොගනී. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙයට හොඳම උදාහරණයකි. එමෙන්ම මේ ඊයේ පෙරේදා බ්‍රසීල ජනාධිපති බවට පත්වූ Jair Bolsonaro වැනි පුද්ගලයින් තවත් උදාහරණයන්ය. නමුත් මේ අලුතින් මතුව ඇති ජනප්‍රියවාදී රැල්ල පොදුවේ සමාජයේ ඉදිරි ගමනට ආකාරයන් ගණනාවකින් උදව් කරන බව මගේ වැටහීමයි.

සමාජ ප්‍රශ්න ගැන ඔවුන් නගන හඬ ප්‍රශ්න විසඳීම ඉක්මන් කිරීමට බලපෑමක් වේ. උදාහරණයක් ලෙස ජර්මනියේ “සාදරයෙන් පිළිගැනීමේ සංස්කෘතිය”ලෙස හැඳින්වුණ සරණාගතයන්ට රටෙහි දොර විවර කිරීමේ සංස්කෘතිය 2015දී ඇතිවී ඉන් අනතුරුව සරණාගතයින් මිලියනයකට වැඩි ප්‍රමාණයක් රටට ඇතුළුවීම සමග එයට එරෙහිව හඬ නගන ජනප්‍රියවාදී ප්‍රතිගාමී බලවේගයන් විසින් නැගූ හඬ වූයේ මෙම වෙනස් සංස්කෘතියකින් එන මිනිසුන් අපේ රටේ සංස්කෘතියට අනුගත කර ගන්නේ කෙසේද, ඔවුන් අපේ සංස්කෲතිය විනාශ කරනු ඇත යන්නයි. ජනප්‍රියවාදීන් සම්පූර්ණයෙන්ම මෙම සරණාගතයන් ඇතුළු වීම ප්‍රතික්ෂේප කරන අතර ඔවුනට එරෙහිව අරඹන උද්ඝෝෂණයන් සහ විරෝධයපෑම් වල ප්‍රතිඵලය වන්නේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් ඒකට ඒක්ව මෙම ජනප්‍රිය වාදීන්ගේ හඬට එරෙහිව රටට ඇතුළු වන සරණාගතයින්ගේ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් සෙවීමයි. එනම් හැකි ඉක්මනින් මෙවැනි විශාල සරණාගතයින් ප්‍රමාණයක් ජර්මන් සමාජයට අනුගත කර ගැනීමට, බද්ධ කරගැනීමට වැඩපිළිවෙලවල් සෙවීමටයි. ඉතිහාසයේ මින් ඉහත ජර්මනියේ කිසි දිනක සිදු නොවූ ආකාරයකට මේ නිසා ම මෙම සරණාගතයන් ඉතා ඉක්මනින් ජර්මන් සමාජය අනුගත කර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරනු ලැබුණි. මේ වන විටත් මෙම ප්‍රශ්නයට අඩු වැඩි වශයෙන් විසඳුම් සොයා අවසානය. ඇත්තෙන්ම එදා එය එසේ සිදුවන්නේ මෙම ජනප්‍රිය වාදීන්ගේ විරෝධතා හඬනැගීම් නිසාවෙන්මය. එසේ නැත්නම් එතෙක් ජර්මනියේ පැවතුනේ මෙසේ පිටින් පැමිණෙන සරණාගත කණ්ඩායම් සමාජගත කර ගැනීම ආයතනමය ක්‍රියාදාමයක් ලෙසයි. නමුත් මේ තත්වය තුළ දේශපාලන ක්‍රියාදාමයක් ලෙස ඉතා ඉක්මන් විසඳුම් සොයන තත්ත්වයකට පත් විය. මෙසේ පැමිණි අයගෙන් සෑම තුන් දෙනෙකුටම එක් අයෙක් මේ වන විට රටෙහි බදුගෙවන රැකියාවක් කරන පුද්ගලයෙක් බවට පත්වී හමාරය.

අප ලංකාව දෙසට හැරී මෙම ප්‍රශ්නය දෙස බලන්නේ නම් ඒදා යුද්ධයේදී යුද්ධයේ කොටස්කරුවන් වූ අයට පවා ඉන්පසුව, ජාතිවාදීන් සහ ජනප්‍රියවාදීන් විසින් වපුරා හරින්ට පටන් ගත් මත වූ “දෙමළ ජනයාට ඇති ප්‍රශ්නය මොකක්ද? ඔවුන්ට ඇත්තේ සිංහලයාට ඇති ප්‍රශ්නය පමණයි” ආදී ඔවුන්ගේ ජනප්‍රියවාදී මත වපුරද්දී, ඊට එරෙහිව දෙමළ ජනතාවගේ සහ රටේ සුළු ජනවර්ග වල ප්‍රශ්ණ වලට දේශපාලන විසඳුම් දිය යුතුය කීමට සිදු විය. එදා යුද්ධයේදී ඒ සමග සිටි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු එවැනි පක්ෂවලට පවා පසුව දෙමළ ජනයාගේ ප්‍රශ්න වලට විසඳුම් සෙවිය යුතුය යන්න අනෙකුත් කොටස් සමග අත්වැල් බැඳගනිමින් කියා පෑමට සිදුව තිබේ.

අනෙක් කාරණය වන්නේ ජනප්‍රියවාදීන් විසින් එක්සත් යුරෝපයට එරෙහිව ජාතිකවාදය වපුරමින් ගෙනයන ජනප්‍රියවාදී මතයයි. අතීතයේ ජාතික රාජ්‍යය තුළ තිබූ ශ්‍රී විභූතියක් ගැන කතා කරමින් ඔවුන් ජාතික රාජ්‍ය දේශ සීමා තුළ සියලු ප්‍රශ්න විසඳෙනවා යන මතය ගෙනහැර පාති. ලෝකය එකිනෙකාට ලං වීම, ලෝකයෙහි විවිධ ප්‍රශ්න වලට සාමූහික විසඳුම් සෙවීම, උදාහරණයකට පරිසරය, දරිද්‍රතාවය ආදී ප්‍රශ්නවලට සාමූහික විසඳුම් සෙවීම අපගේ කාර්යයක් නොවේ යයි ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ ශ්‍රී විභූතිය ඇතිවීමට මූලික හේතුවී ඇත්තේ ලෝකය ඒකිනෙකාට ලංවීම බව පිළි නොගනිති. යුරෝපය යනු සමාජ දේශපාලන වැඩපිළිවෙළකි. යුරෝපය පුරාම මතුව ආ ජනප්‍රියවාදී රැල්ල නිසාවෙන් යුරෝපයේ ප්‍රගතිශීලී බලවේගයන්, ‍ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් තමන් ඉදිරියේ මතුව ඇති අවදානම කෙරෙහි තම අවධානය යොමු කරනු ලැබීය. ඇමරිකාවේ ට්‍රම්ප් මෙයට, ඒ වගේම ප්‍රරංශයේ දක්ෂිණාංශික ජනප්‍රියවාදී marine le pen, හංගේරියාවේ වික්ටර් ඕබාන්, ජර්මනියේ alexander Gauland ආදීන්ගේ ප්‍රියවාදී ප්‍රචාරයන් විශාල හඬක් මතු කෙරුවාවුවත් එම හඬට එපිටින් එනිසාම මතුවූ ප්‍රගතිශීලී බලවේගයන්හි අත්වැල් බැඳ ගැනීමක් සිදුව තිබේ. එහිදී මෙම ප්‍රතිගාමී බලවේග වල ඉස්මතු වීම නිසාම එතෙක් විසිරී සිටි සියලු ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතිශීලී බලවේග එකට එක්ව කටයුතු කිරීමට යොමුව තිබේ.

එමෙන්ම brexit නිසා ඉන්පසුව ඇතිවී ඇති තත්වය දැන් එංගලන්තය දෙස බැලීමේදී හොඳින්ම පැහැදිලි වේ. ඉදිරි යුරෝපා මැතිවරණයකදී මගේ වැටහීම වන්නේ යුරෝපා හිතවාදී පක්ෂවලට වැඩි ඡන්ද ප්‍රමාණයක් එංගලන්තයේද හිමි වන බවයි. එය එසේ සිදු වෙන්නේ මේ ජනප්‍රියවාදී ප්‍රචාරයන් නිසාම එතෙක් ඒ ගැන කල්පනා නොකල ප්‍රජාතන්ත්‍රවාදී බලවේග දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන තත්ත්වයකට පත්ව තිබීමයි. අද ලෝකයේ ඇති ප්‍රශ්න, උදාහරණයකට පරිසර දූෂණය, සංක්‍රමණිකයින්ගේ ප්‍රශ්නය, භාණ්ඩ සංසරණය, ඩිජිටල්කරණය පිළිබඳ ඇති තත්ත්වය ආදී දේ පිළිබඳව තනි රටකට විසඳුම් සෙවිය නොහැකි බව පැහැදිලි ය. මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීම අද වන විට කළ යුතුව ඇත්තේ ගෝලීය වශයෙනි. ඒනිසා ජනප්‍රියවාදීන්ගේ ආපසු ගමන් කිරීමමේ විසඳුම අළුතෙන් මතුව ඇති ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට මාර්ගය නොවන බව පැහැදිලිය.

Donald trump කොතෙක් දුරට බලයේ සිටි ද ඒ තාක් දුරට ලෝකයේ වෙනත් රටවල් තම ප්‍රශ්න විසඳාගැනීමට එක යායකට එක්වීම සිදු වනු ඇත. මේ වන විට යුරෝපයේ නායකයින් විශේෂෙන්ම emmanuel macron, ජර්මනියේ ඇන්ජෙලා මර්කල්, ආදීන් යුරෝපීය ස්වෛරිභාවය ගැන කතා කරමින් පවතී. මේ හොඳ සංවර්ධනයක් බව මගේ වැටහීමයි. ඒවාගේම යුරෝපය තුල ජනප්‍රියවාදීන්ගේ හඬනැගීම් නිසාම යුරෝපය තුළ ඇති දුගී බව නැති කිරීම පිළිබඳ වැඩසටහන් සෙවීමට යුරෝපා සංගමය සහ යුරෝපීය දේශපාලකයන්ට තම අවධානය යෙදීමට සිදුව තිබේ. බොහෝ කලක සිටම ග්‍රීන් පක්ෂය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ යුරෝපය පුරා රැකියා විරහිතයන්ට රක්ෂණ ක්‍රමයක් යෝජනා කරන අතර ගෝලීය ප්‍රාග්ධනයට බදු අය කළ යුතු බව යෝජනා කරයි. මේ වන විට කොන්සර්වටිව් පක්ෂ මෙන්ම කතෝලික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ආදිය ද මෙම මතයට අනුගත වෙමින් පවතී.

අනෙක් අතට මෙම ජනප්‍රිය වාදීන්ගේ කෑකොස්සන් ගැසීම් තුලින් ඔවුන් ප්‍රශ්න පෙන්නා එයින් තමන්ට වාසි ගැනීමට උත්සාහ කරන බව ක්‍රම ක්‍රමයෙන් මිනිසුන් අවබෝධ කරගනිමින් පවතී. ඔවුන් කරන්නේ සැබෑවටම ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න මතු කර ඒතුලින් තමන් බලයට ඒමට මාර්ගයක් වශයෙන් බව බොහෝ දෙනෙක් ක්‍රම ක්‍රමයෙන් වටහා ගනිමින් පවතී. මෙය ජර්මනිය වැනි රටවල මෙන්ම ලංකාව වැනි රටවලට ද පොදු ය. ලංකාවේ ජනප්‍රියවාදී පාඨයන් ඉදිරිපත් කරමින් හඬ නගන රාජපක්ෂ කල්ලිය වීරවංශලා වැනි අය ‍ප්‍රශ්නවලට විසඳුම් දෙනවා වෙනුවට උත්සාහ කරන්නේ ප්‍රශ්නය තමන්ගේ බලයට ඒමේ වාහනය ලෙස පාවිච්චි කිරීම බව රටේ භාගයකට වැඩිය අවබෝධ කරගෙන ඇත. නමුත් ලංකාවේදී මෙම ප්‍රශ්නය විසඳීම සඳහා මතු වන නව රැඩිකල් ‍රජාතන්ත්‍රවාදී බලවේගයක් පැහැදිලිව පෙනෙන්නට නොමැති වීම අපට ඇති අඩුවකි. ජනතා විමුක්ති පෙරමුණ වැනි කණ්ඩායම් වලින් මතුව ආ, ඒවාගේම සිවිල් සමාජ බලවේග තුලින් මතු ව ආ, රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් තවමත් රට තුළ එකට එක් වී නොමැති වීම අපට ඇති විශාලම අර්බුදයකි. මේ කාරණයේදී ජනතා විමුක්ති පෙරමුණ වැනි කණ්ඩායම් වලට තාමත් මෙම බලවේගවල පෙරමුණේ ගමන් කිරීමට නොහැකිව ඇත්තේ ඉතිහාසයේ තිබූ වැරදි පිළිබඳව තාමත් අවංක විවේචනයක් ඉදිරිපත් කර ගැනීමට නොහැකි වීමයි. ඒසේ වීමට නම් නව රැඩිකල් ප්‍රජාතන්ත්‍ර බලවේගයක් දෙසට නැම්ම ගැනීමට ඔවුන් ඒඩිතර විය යුතුය. මේ පිළිබඳව අප වෙනම කතා කල යුතුය.

නව රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ක්‍රිරියාදාමය විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී විවෘතභාවයත්, රැඩිකල් බව මෙන්ම පවතින තත්ත්වයට අනුගතව වැඩ කිරීමත් එකට එක්කර ගැනීමයි. විශ්වාසවන්තබව, බලාපොරොත්තුව සහ බැඳී වැඩ කිරීමේ මාධ්‍ය මොවුන්ගේ ක්‍රමවේදය විය යුතුය. ඔවුන්ගේ ඉලක්කය පැහැදිලිවම හොඳ අනාගතයක් ඇතිකිරීම වන අතර එක්තරා දර්ශනයකට බැඳී හිර නොවී සිටීමට වග බලා ගත යුතුඅතර එසේ බැඳෙනවා වෙනුවට නිරන්තරයෙන් අත්හදා බැලීමටත්, විවිධ අලුත් දේවල් එකතු කිරීමටත්, ඒ වගේම වැරැද්දෙන් ඉගෙන ගැනීමටත් ඒ තුළින් නැවත වෙනස් වැඩ පිළිවෙලකට අනුව වැඩ කිරීමට පුරුදු වීමටත් සූදානම් විය යුතුයි.

සදා නිම කළ දර්ශනයක ගැලී සිටිමෙන් මෙම නිදහස් භාවය රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදීන්ට අහිමි වන නිසාවෙන් ඔවුන්ගේ ඉදිරි ගමනට එය බාධාවක් වනු ඇත. විවිධත්වය සමග අත්වැල් බැඳ ගැනීමට බිය නොවිය යුතු අතර ලෝකය තුළ විවෘත බලවේග ලෙස ලෝකයා සමඟ අත්වැල් බැඳ ගැනීමට බිය නොවිය යුතු බලවේගයක් බවට පත් විය යුතුය. මේ වන තුරු ‍ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ රටවල් අතරින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් මෙම සියලු ගුණාංගයන් උකහා ගත් නමුත් විශාල ප්‍රමාණයක් තාමත් පවතින්නේ දැනට වසර සියයකට පෙර ගමන්ගත් මාර්ගවල බැවින් ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුද මතුවී ඇත්තේ මෙතැනයි.

ලෝකය පුරා අද පවතින ප්‍රශ්නවල සංකීර්ණ බව ජය ගැනීමට නම් මෙම අලුත් තත්ත්වයන් වලට හුරු නව රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව ඇත. එසේ නොකර ජනප්‍රියවාදීන්ගේ මතම කොපි කරමින් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයනුත් ඒ පසුපසම දුවන්නේ නම් ඇත්තෙන්ම එහිදී සිදුවන්නේ එක තැන පල් වීමක් හෝ මොහොතකට හෝ ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට ගණන් ගමන් කිරීමකි. ඒනිසා මෙම නව ජනප්‍රියවාදයට පිළිතුර මෙම නව රැඩිකල් ‍රජාතන්ත්‍රවාදී බලවේගයන් ශක්තිමත් කිරීම බව මගේ විශ්වාසයයි.

රංජිත් හේනායකආරච්චි | Ranjith Henayaka Arachchi