iMage: onlanka

අහම්බයකින් ජනාධිපතිවරයා බවට පත්වීමට අවස්ථාව ලද සිරිසේන තමන්ට බලය ලබාගැනීම සමග ඔහුගේ හිස බලය නිසා තෝන්තු කරගත් බව දිනෙන් දින පෙන්නුම් කරමින් පවතී. ඔහු මුලින්ම තමනට බලය ලබා දීමට මුල් වූ මිනිසුන්ට එරෙහිව, ඔහු එදා ඔහුගේ විරුද්ධකරුවන් යැයි හෝ ඔහුව මරාදැමීමට බලා සිටින පුද්ගලයින් යැයි හැඳින්වූ අය සමඟ අත්වැල් බැඳ ගනී.

ඒ තමනට තවදුරටත් බලයෙහි දිගින් දිගට රැඳී සිටීමට ඇති කෑදරකම නිසාවෙනි. ඔහු තම බලය අනිසි ලෙස පාවිච්චි කරමින්, ඇත්තෙන්ම නීතිවිරෝධීව තම බලය පාවිච්චි කරමින්, හැසුරුණු ආකාරය රටේ පුරවැසියන්ගේ පිළිකුලට මෙන්ම ලෝකයේ අපවාදයට ද ලක්වූ අතර ලංකාවේ නීතිය සහ අධිකරනය විසින් ඔහුව එක්තරා දුරකට හීලෑ කරනු ලැබුවා වුවත්, ඔහු ඒවායෙන් ඉගෙන ගත් බවක් නම් පෙන්නුම් නොකරයි. යම්කිසි හෝ බුද්ධියක් ඇති මිනිසකු නම්, හැදියාවක් ඇති මිනිසකු නම්, තමන්ට වැරදීම් සිදු වූ විට ඒවා නිවැරැදි කර ගැනීමට ඉන්පසුවවත් වගබලා ගනී. අඩුමතරමින් උත්සාහ ගනු ලබති. නමුත් සිරිසේන තමන් කළ වැරදි නිසා රටක්ම අවුලක ගිලෙනු දැක්කා වුවත්, නීතිය ඉදිරියේ තමා කල දේ වැරදි බව ඔප්පු වූවා වුවත්, තමාගේ වැරදි තමා තේරුම් ගත් බවක් දිගින් දිගටම පෙන්නුම් නො කරමින් සිටී. නූතන ලොව ජනාධිපති වරයෙක් ලෙස නොව මධ්‍යතන යුගයේ රජකුගේ එසේ නැත්නම් මධ්‍යතන යුගයේ ප්‍රාදේශීය පාලකයෙකුගේ හැසිරීමක් ඔහු දිගින් දිගටම පෙන්නුම් කරමින් සිටී.

දැන් ඔහුගේ අලුත්ම නාඩගම වී ඇත්තේ ලෝකයේ අපහාසයට ලක් වී තිබෙන ජනාධිපති වරයෙක් වන පිලිපීන ජනාධිපතිවරයා මුණ ගැසී ඔහුගෙන් ඉගෙන ගැනීමට සූදානම් වීමයි. මෙම පිලිපීන ජනාදිපතිගේ නිල සහ නිල නොවන මිනීමරු කල්ලි අසරණ මිනිසුන් දස දහස් ගණනක් බල්ලන් බළලුන් මෙන් පාරවල්වල මරාදැමනු ලබයි. සමහර තැනක ඔහුගේ මිනීමරුවන් පවුල්පිටින් ඝාතනය කරන්නේ ගැබිනියන්ද සමගිනි. මෙම ජනාධිපති ඩුටර්ටේ හැසිරෙන්නේ පිස්සු බල්ලෙක් ලෙසිනි. ඔහු රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකර ක්‍රියා කරති. ඔහු ලෝකයේම අපහාසයට පත් අයෙකි. නමුත් සිරිසේනට ගුරුවරයෙක් වී සිටින්නේ ඔහුය. ඇත්තෙන්ම මෙය අප රටටම ජනාධිපති සිරිසේන කරන අපහාසයකි. මිනිසුන් දස දහස් ගණනින් මරා දැමුවා වුවත් පිලිපීනය මත්ද්‍රව්‍ය වලින් නිදහස් වූ රටක් නොවේ. ඒදා මෙන්ම අදත් මත් ද්‍රව්‍ය වලින් පිරි ඉතිරි ඇති රටකි. මත්ද්‍රව්‍ය උවදුර ඇතිවීමට හේතු ගණනාවක් ඇත. ඒවාට විසඳුම් සොයනවා වෙනුවට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිසුන් මරා දැමීම යනු කුසගින්නට විසඳුම ලෙස කුසගින්න ඇති උන් මරා දැමීම වැනි කාලකන්නි වැඩක් බව මෙම සිරිසේනට නොවැටහීම ඇත්තෙන්ම කණගාටුවකි.

සිරිසේන නොදන්නා කාරණය නම් පිලිපීනය කිසිම දිනක මහා පරිමාණ මත්ද්‍රව්‍ය වෙළඳුන් එකෙකුටවත් දඬුවම් කර නොමැති බවයි. රටේ රාජ්‍ය දුර්වලකම් නිසා අන්ත දුගී බවට පත්වී සිටින අසරණ මිනිසුන් පිරී සිටින රටක, කෝටි ගනන් රාජ්‍ය දේපල දේසපාලන හිතවතුන් ගසා කන රටක, මත් ද්‍රව්‍යය පැනයට විසඳුම් සොයන ක්‍රමවේදයන් සොයනවා වෙනුවට ලැබුන දේශපාලන බලය අනිසි ලෙස යොදාගෙන මිනීමරන මිනීමරුවකු අනුගමනය කරනවා ය කියා සිරිසේන පවසන්නේ ඔහු අදහන ආගම වන අවිහිංසාවාදය මුල්කොටගත් බෞද්ධ ආගමේ සංඝයා වහන්සේලාද ඔහු ඉදිරියේ තබාගෙනය.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින මිනිසුන් ජනාධිපති ඩුටර්ටේ ගේ ගොදුරු බවට පත් වී සිටී. සිරිසේන නොඇසූ ප්‍රශ්නය නම් දැන් පිලිපීන ජනාධිපතිවරයා මෙතෙක් මිනිසුන් දස දහස් ගණනක් මරා දමා ඔහුගේ මත්ද්‍රව්‍ය යුද්ධය ජයගෙන ඇත් ද යන්නයි. පිලිපීනය මත්ද්‍රව්‍ය පාවිච්චිය, වෙළඳාම අඩු වී ඇත් ද යන්නයි. මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොපමණකට මරන ඳඬුවම් දී තිබේ ද යන්නයි. සිරිසේන ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ දැනුවත් වැඩිහිටියකු ලෙස නොව බහ නොතේරෙන නොදරුවකු ලෙසිනි. නමුත් බහ නොතේරෙන නොදරුවකු රටේ විධායක ජනාධිපතිවරයා වූවිට තත්ත්වය බැරෑරුම්ය. දැන් දැන් පෙනෙන විදියට ඉක්මනින් මොහු හීලෑ කල යුතුය. නැතිනම් ඔහු තම බලය අනිසි ලෙස පාවිච්චි කරමින් රටට ජනතාවට මහත් විපතක් ළඟා කරන බව පැහැදිලිය.

පසුගිය දිනක සිරිසේන ජනාධිපති මත්ද්‍රව්‍ය වෙළඳුන් මරා දමන බවත් ඒ වගේම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ද මරා දැමීමට තීරණය කළ බවත් දැනටමත් රජයේ හමුදාවන් වලට එය බාර දී ඇති බවත් ප්‍රසිද්ධියේ පවසයි. රටක ව්‍යවස්ථාවක් හෝ නීති පද්ධතියක් පවතින්නේ කුමක් සඳහා ද? යන්න මෙම ජනාධිපති සිරිසේන නොදන්නා බව පෙනේ. ජනාධිපතිවරයකුට තමා කැමැති ආකාරයෙන් රටේ මොනයම්ම හෝ වරදක් කළ අයෙකු මරා දැමීමට අණ දීමට අයිතියක් තිබේ ද? එසේ හැකි නම් රටකට නීති පද්ධතියක් පවතින්නේ කුමටද? අධිකරනය පවතින්නේ කුමන කාරනයකටද? ඔහු මේ කරන්නේ රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකිරීම නොවන්නේද? ඒවාගේම පුවත්පතේ පලවී ඇති රූපවලින් පෙනෙන්නෙ එම රැස්වීමේදී සියලු දෙනා ඒක්තරා ප්‍රමාණයකට අත් ඉස්සරහට ඔසවා අල්ලාගෙන ආචාර කිරීමකි. මෙම රූපය අපට සිහිගන්වන්නේ නාසි ජර්මනියේ “හයිල් හිට්ලර්” කියමින් ෆැසිස්ට්වාදීන් නට්සිවාදීන් ආචාර කළ ආකාරයයි. ඇත්තෙන්ම නීතියක් නොමැතිව මිනිසුන් මරා දැමීමට අනදීම යනු ෆැසිස්ට්වාදී ක්‍රමයයි. සිරිසේන දවසින් දවස ලංවෙමින් තිබෙන්නේ පැසිස්ට්වාදය දෙසට බව නම් පැහැදිලි ය.

රංජිත් හේනායකආරච්චි | Ranjith Hennayaka Arachchi