ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ ඉතා වැදගත් කරුණු

ශ්‍රේෂ්ඨාධිකරණය සිය විනිශ්චයට පැමිණියේ ඒ පසුබිම යටතේ ය. එම විනිශ්චයේ අන්තර්ගත කරුණු අතර පහත සඳහන් කරුණු වැදගත් ය:

ෆෙඩරල්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම සහ බෙදුම්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම යනු එකක් නොවේ.

ස්වයං-නිර්ණ අයිතිය ඉල්ලා සිටීම වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීමක් නොවේ.

රාජ්‍යයන් ඒකීය සහ ෆෙඩරල් වශයෙන් ලේබල් කිරීම විටෙක නොමග යවන සුළු ය. මන්ද යත්, ෆෙඩරල් ලක්ෂණ සහිත ඒකීය රාජ්‍යයන් තිබිය හැකි නිසාත්, ඒකීය ලක්ෂණ සහිත ෆෙඩරල් රාජ්‍යයන් තිබිය හැකි නිසාත් ය.

ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය තමන්ගේ අරමුණක් හෝ පරමාර්ථයක් වශයෙන් වෙනම රාජ්‍යයක් සඳහා වන ඉල්ලීම ඉදිරිපත් කොට නැති බව පැහැදිලි ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ඓතිහාසික නඩු තීන්දුව තුළ අඩංගු වැදගත් කොටස් කිහිපයක් පහත උද්ධෘත කොට දැක්වේ:

‘‘ෆෙඩරේෂන් (සන්ධීය) සහ කොන්ෆෙඩරේෂන් (සහසන්ධීය) යන වචන අතර පැහැදිලි වෙනසක් ඇති බව ස්ථාපිත කාරණයකි. මේ නඩුවට අදාළ ප‍්‍රධාන කාරණය වන්නේ, ෆෙඩරල් (සන්ධීය) රාජ්‍ය ක‍්‍රමයක් පිහිටුවීම අනුදැකීම, වෙනම රාජ්‍යයක් පිහිටුවීම අනුදැකීමක් වන්නේද යන්නයි. ලෝකයේ විවිධ තැන්වල ෆෙඩරල් රාජ්‍යයන් පිහිටුවා ඇති ආකාරය සැලකිල්ලට ගැනීම මෙහිදී වැදගත් ය. ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ටේ‍්‍රලියාව සහ ස්විට්සර්ලන්තය ෆෙඩරල් රාජ්‍යයන් ය. ඇමරිකා එක්සත් ජනපදය යනු, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය යටතේ පැවති යටත්විජිත රාජ්‍යයන් දහතුනක් එක්සත්ව පිහිටුවා ගත් රාජ්‍යයකි.’’

‘‘එක රාජ්‍යයක් යටතේ එසේ එක්සත් වීමට බලපාන හේතු වන්නේ, වෙළඳාම ප‍්‍රවර්ධනය කිරීමත්, රාජ්‍යයේ ආරක්ෂාව සහතික කරලීමත් ය. ශාන්තිකර බලවතුන් පිළිබඳ බියෙන් පසු වූ ඕස්ටේ‍්‍රලියාවේ රාජ්‍යයන් හයක් එක්සත්ව ෆෙඩරල් රාජ්‍යයක් පිහිටුවා ගත්තේය. භාෂාමය සහ ප‍්‍රාදේශීය වෙනස්කම් දුරලීම සඳහා ස්විට්සර්ලන්ත ෆෙඩරල් රාජ්‍යය පිහිටුවා ගත්තේය. මහා බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය සහ ඉතාලිය ඒකීය රාජ්‍යයන්ට උදාහරණ ය.’’

ඒකීය සහ ෆෙඩරල් වශයෙන් ලේබල් කිරීම

‘‘රාජ්‍යයන් ඒකීය සහ ෆෙඩරල් වශයෙන් ලේබල් කිරීම ඇතැම් විට නොමග යවන සුළු ය. ෆෙඩරල් ලක්ෂණ ඇති ඒකීය රාජ්‍යයන් තිබිය හැකි අතර, ඒකීය ලක්ෂණ ඇති ෆෙඩරල් රාජ්‍යයන් ද තිබිය හැකිය. ඒකීය රාජ්‍යයක් තුළ වැඩි බලතල ප‍්‍රාදේශීය ඒකකවලට දී ඇත්නම් එය ෆෙඩරල් රාජ්‍යයක් වශයෙන් සැලකිය හැකිය. ඒ ආකාරයටම ෆෙඩරල් රාජ්‍යයක කේන්ද්‍රය බලවත් නම් සහ බලය ඒ කේන්ද්‍රය තුළ මධ්‍යගතව ඇත්නම් එය ඒකීය රාජ්‍යයක් සේ සැලකිය හැකිය. එබැවින්, ස්වෛරීත්වය බෙදාහදා ගැනෙන, බලය බෙදාහැරෙන, විමධ්‍යගත තත්වයක්, ඒකීය රාජ්‍යයක් තුළ ෆෙඩරල් ආණ්ඩු ක‍්‍රමයකට තුඩුදිය හැකිය.’’

‘‘13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත්වලට බලය බෙදා හැරුණි. ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඉල්ලා සිටින්නේ, ඒකීය රාජ්‍ය රාමුවක් තුළ තව තවත් බලය පළාත්වලට බෙදාහැරීමෙන් ඇති කෙරෙන ෆෙඩරල් මාදිලියකි. පවතින රාජ්‍ය ක‍්‍රමය තුළ ෆෙඩරල් ආණ්ඩු මාදිලියක් ඉල්ලා සිටීම බෙදුම්වාදය ඉල්ලා සිටීමක් වශයෙන් සැලකිය නොහැක.’’

‘‘ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය එක්සත් ශ‍්‍රී ලංකාවක් තුළ ෆෙඩරල් රාජ්‍යයක් පිහිටුවන ලෙස ඉල්ලා සිටින බව සහ එවැන්නක් සඳහා සහාය දක්වන බව තහවුරු වී ඇති කාරණයකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) වගන්තියේ සඳහන් ආකාරයෙන්, ශ‍්‍රී ලංකාව තුළ වෙනම රජයක් පිහිටුවීමට ආධාර කිරීම, අනුබල දීම, අනුග‍්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය කරන්නේ නැත. එබැවින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) (4) යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට අයිතියක් නැත. පෙත්සම නිෂ්ප‍්‍රභා කෙරේ. ගාස්තු නැත.’’

ඉංගී‍්‍රසියෙන් ෆෙඩරල් පක්ෂය වශයෙන් හැඳින්වෙන ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය 1949 දෙසැම්බර් මාසයේ ආරම්භ කළ දා සිටම, ෆෙඩරල්වාදය ප‍්‍රචාරය කිරීමෙන් රට බෙදීමට තැත් කරන පක්ෂයක් වශයෙන් දේශපාලනික විරුද්ධවාදීන්ගේ නිරතුරු චෝදනාවට ලක්ව තිබේ. ඒ නිසා, ෆෙඩරල්වාදය යනු බෙදුම්වාදය බවට වැරදි මතයක් බොහෝ ශ‍්‍රී ලාංකිකයන් තුළ ඇතිව තිබේ. ඉලන්කෙයි තමිල් අරසු කච්චි/ෆෙඩරල් පක්ෂය ස්වකීය දීර්ඝ දේශපාලන ගමන් මග ඔස්සේ උත්සාහ කළ, සාකච්ඡුා මාර්ගයෙන් බලය බෙදාහදා ගැනීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට, මේ වැරදි අවබෝධය මත පදනම් වූ අභූත චෝදනාව බාධකයක්ව තිබී ඇති බව පෙනේ.

‘ෆෙඩරල්වාදය යනු බෙදුම්වාදයයි’ යන මිථ්‍යාව

සාරය වශයෙන් ගත් විට, ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මගින්, ෆෙඩරල්වාදය පිළිබඳ පැවති ව්‍යාජ තර්ක සහ මිථ්‍යාවන් හෙළිදරව් කොට, නිල ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාවලියක් ඔස්සේ ෆෙඩරල් ක‍්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතිය දිරිමත් කරන ලදි. යාන්තමට හෝ සාමාන්‍ය බුද්ධියක් ඇති, ෆෙඩරල්වාදය පිළිබඳ යම් අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට, ෆෙඩරල්වාදය යනු බෙදුම්වාදයක් නොවන බව ඇත්තෙන්ම පැහැදිලි වනු ඇත.

අවාසනාවකට, ලංකාවේ බහුතරවාදී දේශපාලන ගමන් මග තුළ බොහෝ මිනිසුන් තුළ පැලපදියම් කොට ඇත්තේ ඊට වෙනස් අදහසකි. ෆෙඩරල් ක‍්‍රමයක් ඉල්ලා සිටින්නේ දෙමළ පක්ෂයක් විසින් වීම, ඒ සාවද්‍ය මතය තවත් ශක්තිමත් වීමට තුඩු දී තිබේ.

ඉලන්කෙයි තමිල් අරසු කච්චි/ෆෙඩරල් පක්ෂය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන පාර්ශ්වකාර පක්ෂය බවට 1976 දී පත්ව, බෙදුම්වාදී වේදිකාවක සිට 1977 මහ මැතිවරණයට ඉදිරිපත් වීම මේ තත්වය තවත් අවුල් කෙළේය. ඒ අනුව, ෆෙඩරල්වාදය සහ බෙදුම්වාදය අතර පැවති බෙදුම් රේඛාව තවත් බොඳ වී ගියේය.

කෙසේ වෙතත්, 2017 අගෝස්තු 4 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයෙන් මේ බොරුව නෛතික අර්ථයකින් හෙලිදරව් කෙරුණි. එහෙත් වඩාත් පුළුල් දේශපාලනික ප‍්‍රශ්නය ඉතිරිව තිබේ. එබැවින් ෆෙඩරල්වාදය වෙනුවෙන් පෙනී සිටින්නන් ඉදිරියේ අද ඇති අභියෝගය වන්නේ, ෆෙඩරල්වාදය පොදුවේ ශ‍්‍රී ලංකාවේ ජනතාවටවත්, වැඩියත්ම සිංහල ජනතාවටවත් අනතුරක් ගෙන දෙන බෙදුම්වාදයක් නොවන බව සංයුක්ත ආකාරයෙන් ඒත්තු ගැන්වීමයි. විශේෂයෙන් දැන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයක් ද ඇති තත්වයක් තුළ, බෙදුම්වාදී ලේබලය පිළිබඳ බියකින් තොරව ෆෙඩරල්වාදය පිළිබඳ කරුණු කියාපෑමේ හැකියාව ඔවුන්ට ලැබී තිබේ.

‘‘රට බෙදන්න බැහැ. හැබැයි පෙඩරල් දෙන්න’’

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය එසේ තිබියදීත්, ‘‘ඒකීය රාජ්‍යය/ඔරුමිත්ත නාඩු’’ නැමැති යෙදුම යටතේ ව්‍යවස්ථා සැකිල්ලක් පිළිබඳ කෙටුම්පතක් සකස් කළ පුද්ගලයන් සහ එකී ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ව්‍යායාමය මෙවරත් විකෘති කිරීමට ඇතැම් බලවේග පෙරමුණ ගෙන සිටී. ‘ඒකීය හොඳයි, ෆෙඩරල් නරකයි’ නැමැති කෙකරගෑම නැවතත් ඇසෙන්ට පටන්ගෙන තිබේ. ඒ වාතාවරණය තුළ ඒකීය රාජ්‍යයක් යටතේ පවා ෆෙඩරල් ලක්ෂණ ඇතුළත් කර ගැනීමට නොහැකි තත්වයක් අද උද්ගතව ඇත. මෙහිදී, එක්තරා අතීතකාමයකින් යුතුව මගේ මතකයට එන්නේ, ‘‘රට බෙදන්න බැහැ. හැබැයි පෙඩරල් දෙන්න’’ යැයි එදා කියූ ඒ පත්තර වෙළෙන්දාගේ කියමනයි.

ඞී. බී. එස්. ජෙයරාජ්

සබැදි සටහන්

ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (1)

‘හැබෑටම, ඛේදනීය-විගඩම් දර්ශනයක්’ | ෆෙඩරල්වාදය යක්ෂයෙකු සහ බෙදුම්වාදයක් සේ වෙස්ගැන්වීමේ දේශපාලනය (2)

*2019 පෙබරවාරි 23 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ The Politics of Demonizing Federalism & Depicting it as Separatism (3) නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි