සංස්කාරක සටහන:  ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය  විසින් 2019.05.14 වන  දින කොළඹ දී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය සම්පුර්ණයෙන් උපුටා දක්වමින් මෙසේ පහතින් පළ  කර සිටිමු.  සැලකිල්ලට ගත යුතු බරපතල කරුණු රැසක් මතු කරන මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මාධ්‍ය නිදහස අගයන හා යුක්තිය වෙනුවෙන් පෙනීසිටින අප තරයේ විරුද්ධ වන අතර බලධාරීන් වහා එම වරද නිවැරදි කිරීම සඳහා කටයතු නොකළ හොත් එය මෙරට මාධ්‍ය නිදහසට කරන තද බල හානියක් වන අතර අපරාධකරුවන් වෙනුවෙන් දණ්ඩ මුක්තිය නිමා නොකිරීමට රජය විසින්ම කරනු ලබන අනුබල දීමක් ද වනු ඇත.

මාධ්‍ය නිවේදනය 

පැහැර ගැනීම් හා මිනීමැරුම් චෝදනා ලත් හමුදා නිලධාරියා නැවතත් සක්‍රිය සේවයට

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක  මහතා පසුගිය සෙනසුරාදා පැවති  රූපවාහිනි සාකච්ජාවකට එක්වෙමින් පැවසු පරිදි 2008 වසරේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස චෝදනා ලබා සිටින සහ 2009 වසරේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු කළ නීති විරෝධී හමුදා කණ්ඩායමට නායකත්වය දුන් මේජර් ප්‍රහාත් බුලත්වත්ත නැවතත් සක්‍රිය සේවයේ පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් 2017 වසරේදී අත්අඩංගුවට පත්ව ඇප මත සිටින මේජර් බුලත්වත්ත නැවතත් හමුදා බුද්ධි අංශය තුළ  සක්‍රිය සේවයේ පිහිටුවීම තුළින් මේ  විටත් සිදු කෙරෙමින් පවතින මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉල්ලක කර සිදු කරන ලද අපරාධ පිලිබඳ විමර්ශනය කටයුතු සඳහා බලපෑම් සහ බාධා එල්ල විය හැකි බව අපගේ විශ්වාසයයි . එමෙන්ම මෙම විමර්ශන සඳහා සාක්ෂි දුන් හා  දැක්වූ නිලධාරින් හා පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිතාරක්ෂාව  පිළිබඳවද මෙවන් පත්කිරීම් හරහා සැක සංකා  මතුවේ.

එබැවින් මෙම වරද නිවැරදි කිරීමට ජනාධිපතිවරයා සහ රජය ක්‍රියාකරනු ඇතැයි අප සංගමය බලාපොරොත්තු වෙමු.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය