iMage: VIKALPA[2018 May 18 – Mullivaikkal]

වෙසක් උත්සවය සමරන මැයි 18 වන දා, බෞද්ධයන්ගේ අති පූජනීය දිනයයි. එනම්, බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කෙරෙන දිනයයි.

සති දෙකකට පෙර යෙදුණු මොහොමඩ් නබි තුමන්ට දේව වාක්‍යය දේශනා කළ දිනයෙන් (එනම් මැයි 5) ශුද්ධ වූ රාමසාන් මාසය ඇරඹුණා.

ඊට සති දෙකකට පෙර (අප්‍රේල් 21), ජේසුස් වහන්සේගේ උත්ථානය අනුස්මරණය කෙරෙන, ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ප්‍රධානතම ශුද්ධ වූ ආගමික උත්සවය යෙදී තිබුණා.

මේ ගෙවුණු මාසය තුළ තිබූ ආගමික විභවය අතිශයින් ප්‍රබලයි. සිතාගත නොහැකි තරමට ප්‍රබලයි.

අවුරුදු දහස් ගණනකට පෙර, තම තමන් පසක් කරගත් මාර්ගයට අවතීර්ණ වීමට ශත්කිය සහ ධෛර්යය තිබූ, තරුණයන් තිදෙනෙකු හැටියට අපි බුදුන්, මොහොමඩ් තුමන් සහ ජේසුස් වහන්සේ ගැන සිහිපත් කරමු. මේ මිනිසුන් තිදෙනාගේ තෝරාගැනීම්, ඔවුන්ගේ ඉගැන්වීම් මත පදනම්ව ජිවත්වීමට, ආදරය කිරීමට සහ සමාව දීමට තෝරාගත් බිලියන ගණනක් මනුෂ්‍යයන්ගේ ජීවිතත්, ඔවුන්ගේ නාමයෙන් ද්වේෂකිරීම, රිදවීම සහ විනාශ කිරීම තෝරාගත් තවත් දහස් ගණනකගේ ජීවිතත් තීරණය කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාව නැමැති කුඩා දිවයින, මේ වන විට මෙකී ආගම් ත්‍රිත්වයේ විභවය සිය දේශ සීමා තුළ රදවා ගැනීමේ අරගලයක නිරතව සිටියි. පසුගිය මාසයේදී පාස්කුවෙන් ඇරඹි, රාමසාන් පසුකරමින් වෙසක් සැමරුම වෙත පිය නැගූ රට, ක්‍රිස්තියානි, මුස්ලිම් සහ බෞද්ධ යන ප්‍රජාවන් එකිනෙකා අතර ප්‍රචණ්ඩත්වය, ක්‍රෝධය, සහ භීතිය රජයන සමාජයක් කරා පසුබැස ඇත.

මෙයින් ඇති කරන කම්පාව දරා ගත නොහැක්කකි.

කෙසේ වෙතත් අද දවසේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හද කම්පා කරවන කාරණය වන්නේ, ලෝකයේ ආගම් තුනක සැමරුම් යෙදී ඇති මාසයක් තුළ මේ ආගම් වලට අයත් ජනයා අවිශ්වාසයෙන් සහ භීතියෙන් එකිනෙකා වෙතින් ඈත්වීම පමණක් නොවේ. වඩා හද සසල කරවන දේ වන්නේ, ඛේදවාචකයේ එක් පදාසයක් මේ මොහොතේ අපට අමතක වී තිබීමයි. ශ්‍රි ලංකාව ලෝක ආගම් හතරක් නියෝජනය කරනවා සේම, ප්‍රධාන ජාතිකත්ව හතරකට අයත් ජනයා ජිවත්වන රටක් ද වෙයි. වෙසක් උත්සවය යෙදුණු මැයි 18 වනදා අප සියළු දෙනාම පෙළූ විනාශකාරි සිවිල් යුද්ධයේ අවසානය සටහන් කරන දිනය ද යෙදුණි. ඒ යුද්ධයේදී ඉසිලිය නොහෙන මහා පිරිපතක් අත්වින්දේ අපේ රටේ දෙමළ ප්‍රජාවයි.

හැමවිටම, ඛේදවාචකය වන්නේ මතු පිටින් පෙනෙන ප්‍රචණ්ඩත්වය හෝ අප සිහිපත් කරන ප්‍රචණ්ඩත්වය නොවේ. අප අමතක කරන්නට තෝරාගෙන සිටින ප්‍රචණ්ඩත්වය ද ඛේදවාචකයකි.

එබැවින් අද අපි නිමේෂයක් නැවතී අමතක නොකිරීමට මතක් කරගමු.

වෙසක් උත්සවය සිහි කරන විට, සිවිල් යුද්ධයේ නිමාව අමතක නොකරමු.

යුද්ධයේ නිමාව සිහි කරන විට, එය නිමා වූයේ කෙසේදැයි යන්න අමතක නොකරමු. අප තවමත් විසදුම් සොයන්නට නොපෙළඹුණු ප්‍රචණ්ඩත්වය සහ අයුක්තීන් අමතක නොකරමු.

මේ සියල්ල සිහිපත් කරන්නට සිහි කරන මොහොතේ තමන්ගේ නැති වූ ආදරණීයයන්ව ප්‍රසිද්ධියේ ස්මරණය කරන්නට අවසර නැති මිනිසුන් අපේ රටේ සිටින බව අමතක නොකරමු. මෙය කෙතරම්ම වේදනාබර දෙයක්දැයි යන්න අමතක නොකරමු.

යුද්ධයේ නිමාව සිහි කරන විට, එය කෙතරම් ඉක්මනින් ආපසු පැන නැගිය හැකිද යන්න අමතක නොකරමු.

සිවිල් යුද්ධය ආරම්භ වෙද්දී අත්දුටු කම්පනය හමුවේ, ළමා වියේදී අප අත්විදි බිය සහ ව්‍යාකූල බව සිහිපත් කරන විට, අපි අපේ දෙමව්පියන් දෙස බලා සිටි ආකාරයටම අපේ දරුවන්ද අද අප දෙස බලා සිටින බව අමතක නොකරමු. මේ මොහොතේ අප හැසිරෙන ආකාරය අපේ දරුවන්ට ඔවුන්ගේ ජිවිත කාලය පුරාම මතක සිටිනු ඇති බව අමතක නොකරමු.

අපි ලහි ලහියේ අපේ තාප්ප ඉහළට බැද, ආරක්ෂක කැමරා සවි කිරීමට සිතන විට, වෛරයෙන් ආරක්ෂා විය හැක්කේ මිනිසුන් අතර විශ්වාසය ගොඩ නැංවීම තුළින් පමණක් බව අමතක නොකරමු. අපේ ඉලක්කය විය යුත්තේ තාප්ප කඩා දමා ආරක්ෂක කැමරා ඉවත් කිරීම බව අමතක නොකරමු. මේ අරමුණ වෙනුවෙන් වෙහෙසෙන්නට අමතක නොකරමු.

ආවේක්ෂණ කැමරා සහ ආරක්ෂක සේවය යනු අප එකිනෙකාගෙන් වෙන්ව කොටු වීමට යොමු කරවන ලාභදායී ව්‍යාපාරයක් බව අමතක නොකරමු. වැදගත් දේ මතින් හදිසියෙන් කළ යුතු දේ තෝරා ගැනීමට අමතක නොකරමු.

එසේම ඇතැම් ව්‍යාපාර වර්ජනය කිරීමත් මිනිසුන්ගේ ජිවන මාර්ග විනාශ කිරීමත් පෞද්ගලික ලාභ ප්‍රයෝජන මගින් මෙහෙයවනු ලැබ සිදු වෙන බව සිහිපත් කරමු. මේවාට ජනතාව උසි ගන්වන පිරිස ලාභ උපයන්නේ කෙසේද යන්න අමතක නොකරමු.

අපේ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙන බොහෝ ප්‍රවෘත්ති, ප්‍රවෘත්ති නොව හුදු දේශපාලන ප්‍රචාරණය පමණක් බව අමතක නොකරමු. මේ මාධ්‍ය ආයතනවල දේශපාලන න්‍යාය පත්‍ර සහ ව්‍යාපාරික අභිලාශයන් මොනවාද යන්න නිරන්තරයෙන් සිහිපත් කරමු.

එසේම, අප වෙත සත්‍යය ගෙන එන්නට ගත් උත්සහය වෙනුවෙන් ඝාතනයට ලක් වූ ජනමාධ්‍යවේදින්ව අමතක නොකරමු.

අපේ දේශපාලඥයන් නිරන්තරයෙන්ම අපව පාවා දෙමින් අප අතර බෙදීම් ඇති කරන බව අපට හැමවිටම අමතක වෙන බව පෙනේ. ඔවුන් නැවත නැවතත් අපව පාවිච්චි කරමින් පාවා දෙන බව මතක තියා ගනිමු. මෙය හැමවිටම මතක කියා ගමු.

අවසාන වශයෙන්,

අප අන්‍ය ආගමිකයන් භක්තියෙන් සිහිපත් කරන විට ඔවුන්ද අප ගැන සිහිපත් කරනවා ඇතිය යන්න අමතක නොකරමු.

වෙනෙකෙකුගේ අරමුණක් වෙනුවෙන් විනාශ වී ගිය මිනිසුන්ව සිහිපත් කරන විට, අපේ නාමයෙන් ද ජීවිත විනාශ වීමට ඉඩ ඇති බව සිහිපත් කරමු. අපේ නම් වල පවිත්‍රතාව රැකගැනීමට අමතක නොකරමු. කිසිදු ඝාතනයකට, වෛරයකට, හිංසාවකට අපේ නම එක් නොකළ යුතු බව සිහිපත් කරමු.

අපි මෙහි ආවේ කෙසේද යන්න කිසි දවසක අමතක නොකරමු. අනෙකාත් අප සමග මේ ගමනෙහි නිමග්නව සිටින බව සිහිපත් කරන්නට අමතක නොකරමු. අප ඔවුන්ගේ ජිවිත අපේ දෑත් මත තබා ගෙන සිටින විට, ඔවුන්ද අපව ඔවුන්ගේ දෑත් මත තබා ගෙන සිටින බව කිසිදාක අමතක නොකරමු. යම් කිසි දවසක, අපව ඔවුන්ට මතක තිබීම අපට අවශ්‍ය විය හැකි බව අමතක නොකරමු.

රුවන්ති ද චිකේරා | Ruwanthie de Chickera

[සිංහල පරිවර්තනය- නදී කම්මැල්ලවීර]