සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights

මානව හිමිකම් දිනයට පසු වදනක් :

‛‛නිරුවත්’’ ත්‍රස්තවාදය

මෙහි
උරුම වූ අහසක් නොමැත
උරා බොන සුළග වුව
අනුන්ගේ වස්තුවක් මෙන් දැනෙයි

කොහොම මා ලියන්නද ගීතයක්
තරු අනූදාහකුත්
නුඹත් අහසත්
අහිමි වූ විටෙක මට………….?

(සෝලෙයික්කිලි/කාහම් කලෙයිත්ත කනවු)

කොළඹ අහස රත් පැහැ ගැන්වී තිබිණි. ලිප්ටන් වට රවුමට ඇතුලු විය හැකි සියලු මාර්ග පොළිස් මාර්ග බාධක යොදා අවහිර කොට ඇත. යුද්ධය පවතින උතුරු නැගෙණහිර හමුදා කදවුරු අසල තිබෙන මුරකපොලු වල දර්ශනය මට සිහියට නැගුනි.

ඔහොමද යකෝ කැරුල්ලකට එන්නේ…
එකවරම සහකාර පොළිස් අධිකාරිවරයාගේ හඬ ගිගුම් දුන්නා. මේ ලෝක මානව හිමිකම් දිනය යෙදුන දෙසැම්බර් 10 වෙනිද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පැවැත්වූ පාගමන අවස්ථාවේ ලිප්ටන් වටරවුමේ සිදුවීම් පෙළයි.

ශිෂ්‍ය උද්ඝෝෂනයට ආසන්නම හේතු වූයේ සබරගමු විශ්ව විද්‍යාල සිසුන් විසින් සිදු කල විරෝධතාවයකදී සිසුන් කිහිප දෙනකු පොළිසිය විසින් අත්අඩංගුවට ගැනීමකි. එම සිසුන් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ අධිකරණ නියෝගයක් අනුවය. එයට විරෝධය පාමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි. මෙම උද්ඝොෂණය පැවැත්වුවහොත් එය මැඩලීමට පොලීසිය විසින් අධිකරණයෙන් අවසර ගෙන තිබිණි.

එක් වරම 120 බස් මාර්ගය දෙසින් සිසුන් 400කට අධික ප්‍රමාණයක් ඉදිරියට එමින් තිබිණි. ඉදිරියට එන සිසුන්ට නවතින ලෙස පොළිසිය සංඥා කළද ඔවුන් නතර වූයේ නැත. නිමේශයකින් යොදා තිබූ මාර්ග බාධක සියල්ල සිසුන් විසින් පෙරළා දැමීය. ක්ෂණිකව ක්‍රියාත්මත වූ පොළිසිය ජල විදිනය, කදුලු ගෑස් හා රබර් උණ්ඩ ද යොදා ගනිමින් සිය රාජකාරිය අකුරටම ඉෂ්ට කරන්නට පටන් ගත්හ. මුළු ප්‍රදේශයම යුධ පිටියක ස්වරූපයට පත්වුණි. ආපසු හැරී දුවන සිසුන්ගෙන් කිහිප දෙනෙකු පොලිසිය විසින් ගැසූ කදුලු ගෑස් උණ්ඩ ක්ෂණිකව අහුලා ගෙන නැවත පොලිසිය දෙසට විසීකළ නිසා පොලිස් නිළධාරීන්ට ද කඳුළු ගෑස් කන්නට සිදුවිය.

ඒ වන විට සාමයට සහ ජීවිතයට ඇති අයිතිය තේමා කර ගනිමින් ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහනක්ද ලිප්ටන් වටරවුමට යාබදව විහාර මහා දේවී උද්‍යාණය අසල පවත්වමින් තිබිණි.

ලවුඩ්ස්පීකරයක් මගින් යුද්ධය නවත්වන ලෙසත් දේශපාලන විසදුමක් අවශ්‍ය ලෙසත් ඉල්ලා සිටිමින් වාහනයක් පෙළපාලියේ ඉදිරියට ඇදෙයි. පසු පසින් ගමන් ගන්නා බොහෝ දෙනා වොලන්ටියර් ලෙස මුද්‍රණය කෙරුණු බැජයක් පැළදගෙන සිටිනු දක්නට ඇත. පෙළපාලිය ඡායාරූප ගත කරන අයගෙන් බේරීම සදහා අව්වට ඉහලාගෙන සිටි තම කුඩයෙන් මුහුණ වසා ගත් කිහිප දෙනකුම දක්නට ලැබුණි.

රබර් උණ්ඩයටත්, තුවක්කු බටයටත් බිය නොවී තම අයිතින් ඉල්ලා සිසුන් එක් පසක සිටියදී මෙම පෙළපාලියට සහභාගී වූ ඇතැමෙකු කැමරා කාචයකට බිය වීම, දකණේ සාමය සදහා වන කැපවීම මනාවට පිළිබිඹු කරන්නේ නොවේද…?

නමුත් මේ පෙළපාලියේ ඇතැම් ක්‍රියාවන්ගෙන් දිස් වුයේ් දකුණේද උතුරේද මරා දෑමීම් සහ පැහැර ගැනීම් වලට තමන්ගේ විරෝධය ඓන්ද්‍රිය ලෙස ඉදිරිපත් කිරිමට දකුණේ සමාජයට ඇති නොහැකියාවද..? නොඑසේනම් සාම්ප්‍රදායික රාජ්‍ය නොවන සංවිධානවල, නිර්මාණශීලීත්වයක් නැති වැඩසටහන්වල සොබාවයද..? ඒසේත් නැතිනම් ව්‍යාපෘතියේ සදහන් පරිදි මානව හිමිකම් දිනයේදී කිරීමට ඇති ක්‍රියාකාරකමක් පමණක් නිසාදා…? යන්න අපැහැදිළිය.

එය කෙසේ වෙතත් විශ්ව විද්‍යාල සිසුන් තම අයිතින් ඉල්ලා කදුලු ගැස්වල රස බලන විට, අත්අඩංගුවට ගැනීම්, පහරදීම්, යුද්ධය ආදී ව්‍යසන වලට විරුද්ධව තම විරෝධය දැක්වීම මෙහි අරමුණය.

නමුත් සෑම දිනකම දමිළ සහ පිඩිත සිංහලයන් වෙනුවෙන් පෙනි සිටින සියලු මිනිසුන්ට එරෙහිව අවි ඔසවන ආණුඩුවේ මෙම පොලිස් සේනාව, සිසුන්ට පහර දුන්නද මෙම වැඩසටහනට අබමල් රේණුවකින්වත් බාධා කලේ නැත.

එය එසේ වූයේ ඇයි..?

සිසුන්ගේ උද්ඝෝෂණය වාරණයට ලක් කරමින් අධිකරණය පැවසු පරිදි මාර්ග අවහිර වීම සිදු නොවන නිසාද.. එසේත් නැතිනම් මෙම වැඩසටහන්වල න්‍යාය පත්‍රය, පැමිණෙන අයගේ ස්වාභාවය සහ ඇත්ත පොළිසිය දන්නා නිසාද…?

ඒක හරියට අපේ රටේ ගායක ගායිකාවන් සාමයේදී සාම ගී ගයා සාමය හරියන්නේ නෑ යුද්ධෙන්ම තමයි මෙය විසදන්න ඕන කියනකොට අණ ගී ගායනාකරනව වගේ වැඩක්. නමුත් තම ජීවිතය නොතකා සාමය වෙනුවෙන් ඓන්ද්‍රීයව පෙනී සිටින කලාකරුවනුත් ස්වල්ප දෙනෙක් හෝ සිටීම උතුරේත් දකුණේත් පුරවැසි සමාජයට මහත් වාසනාවක් බව කිව යුතුය. ඒ අතර සාම ව්‍යාපාරිකයන් සහ මුදලාලිලාත් සිටීම වැරැද්දක් නොවෙයි. මක් නිසාද සාම බිස්නස් එක යුධ බිස්නස් එකට වඩා සිය දහස් වරක් වටින්න පුලුවන් නිසාය. එසේ වුවත් සාමය සහ ජීවිතය දිනාගන්න දකුණේ බොහෝ පිරිස් විශාල වැඩ කොටසක් කරමින් සිටිනවා. ඇතැම් විට මෙම වැඩසටහන්වලට යුදවාදීන්ගේ විවේචනය නම්… ඕවා කරපල්ලා වව්නියාවෙන් එහාට ගිහිල්ලා…ඔවුන්ගේ ඒ අර්ථය නම් සාමය පටන් ගත යුත්තේ දමිළ සමාජයෙන් බවයි.
දකුණේ සමාජය සාමය ගැන ක්‍රියාකාරීවන විට ඇතැම් උතුරේ පුරවැසි කණ්ඩායම් හැකි පමණින් රහසිගතව හෝ සාමය ගැන ක්‍රියාකරමින් ඉන්නා බව සිංහල දෑස්වලට පේනෙන්නේ නැත. ඒ තරමටම ඇතැම් සිංහල දෑස් ජාතිවාදී, යුධවාදී සහ රාජපක්ෂවාදී තිරයෙන් වසා දමා ඇත. සාම ක්‍රියාවලියක්, සාධාරණ දේශපාලන විසදුමක් වෙනුවෙන් පෙනී සිටි රාජිණි තිරාණගමට සිය ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවූ අතර උතුරේ සමාජය තුළ මෙයට කැපවු මාධ්‍යවේදීන්, ශිෂ්‍යන් කලා කරුවන් කි දෙනෙකුට කුමක් වී දැයි අද ද දන්නා කෙනෙක් නැත. නීලන් තිරුචෙල්වම් ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් කී දෙනෙක් දකුණේදී මරා දැමුවේද…සිවරාම් වැනි මාධ්‍යවේදීන් මරා දැමුණේ ද දකුණේදී බව සිංහල බොහෝ දෙනාට අමතකව ගොස්ය.
මෙළෙස සාධාරණ විසදුමක් වෙනුවෙන්, සාමය වෙනුවෙන්, ජීවිතය වෙනුවෙන් මරා දැමුණු අතුරුදහන් කෙරුනු දමිළයන්, උතුරේත් දකණේත් සිටි දැයි දන්නේ කී දෙනාද..?

නමුත් සාමය සදහා හෝ වාර්ගික ගැටලුවට සාධාරණ දේශපාලන විසදුමක් සදහා හෝ මිය ගිය දකුණේ කවුරුන් හෝ සිටිනවාද…?

එබැවින් මෙම ගැටලුවට සීසන් එකට වැඩ කරලා පිළිතුරු සෙවීම කළ නොහැකියි. සාම දිනයට, මානව හිමිකම් දිනයට පමණක් මෙය සිදු කිරීමෙන් යහපත් ප්‍රතිපල අත්කර ගන්නට නොහැකියි.

එබැවින් මෙවන් දිනයක එකම ස්ථානයක සිදු වන මෙවන් වෙනස් ක්‍රියාකාරීකත්වයන් දෙකකින් මෙය අවබෝධ කර ගැනීම ඉතාමත් පහසු වෙයි, හිරවී ඇති රාමුවෙන් එළියට පිවිසීමට සහ වඩා වැඩි බලපෑම් සහගත ක්‍රියාකාරීත්වයක් සදහා යොමුවීමට මෙය අවස්ථාවක් කර ගැනීම දමිළයන්ට සේම සිංහලුන්ටද අලාභයක් නොවන්නේය.

විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂනයට වඩා මෙම උද්ඝෝෂණය වඩා සංවිධානශීළි, නිර්මාණශීලි සහ දැනෙන සුලු කර ගන්නට තිබිණි. සිසුන් පෙනී සිටියේ තම එක් කුලකයක එනම් ශිෂ්‍ය අයිතීන් දිනා ගැනීමටය. සිසුන් අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිවය.
නමුත් මෙම සාමය සහ ජීවිතය සදහා වැඩසටහන පෙනි සිටියේ එයට වඩා පුලුල් ජාතික ගැටලුවක් උදෙසාය. අහිංසක දමිළ වැසියන් අත් අඩංගුවට ගැනීම්වලට එරෙහිවය. සාපලත් යුද්ධයට එරෙහිවය. ජාතික ගැටලුවට දේශපානය විසදුමක් සදහා ය.

තවද මෙම වැඩසටහන සාපේක්ෂව ඉතාමත් බරපතල ලෙස කල යුතුව තිබුනේ යැයි සලකන්නේ ඒ වන විටද දකුණේ වෙසෙන දමිළ තරුණ තරුණයින් අත්අඩංගුවට පත්වෙමින් තිබු නිසාය. දමිළ ජනයා දකුණින් පිටමං කිරීම ආණ්ඩුවේ නි්‍යාය පත්‍රය වී ඇති බැවිනි.
පසුගිය ජූනි 07 වනදා කොළඹ ලැගුම්හල් වල නැවතී සිටි දමිළ ජනයා බස්වල පටවා ගත් පොළිසිය ඔවුන් වවුනියාව සහ මඩකලපුවට ගෙන ගොස් දැමීය.
රටකින් තවත් රටකට පිටුවහල් කරන්නා ආකාරයට මෙම ජනයා ගෙන ගොස් දැමූවේ… උඹලට මෙහේ අයිති නෑ. පලයල්ලා.. උඹලගේ රටටම.. කියන්නා සේය.

ඉන්පසු නුගේගොඩ බොම්බ පිපිරීමෙන් පසු යළිත් දමිළ තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන බූස්ස කදවුරට ගාල් කරන ලදි. රටේ ආරක්ෂාව සදහා යයි කියමින් අත්අඩංගුවට ගෙන බුස්ස කදවුරට යවන හේතුව මෙම ආණ්ඩුව පැහැදිලිව ඉදිරිපත් කරන්නේ නැත. නමුත් 88, 89 වකවානුවේ බුස්සට යැවුන සිංහල තරුණ තරුණියන්ට අයත් වූ ඉරණම දමිළ තරුණ තරුණියන්ගේ දෙමාපියන් දන්නා බව ආණ්ඩුව නොදන්නේද…
මේ සියලු කරුණු වලින් සනාත වන්නේ ආණුඩුවේ ප්‍රධාන උපක්‍රමය ජාතික ආරක්ෂාව(මෙය ප්‍රභූ ආරක්ෂාව විය යුතුය) යැයි කියමින් දමිළ ජනයා දකුණින් පිටමන් කිරීමය.
අනෙක නම් දකුණ මර්ධනය කිරීමේ රාජපක්ෂ ආණුඩුවේ අලුත්ම විධික්‍රමය නම්, අධිකරණය පාවිච්චි කරමින් වෘත්තිය සමිති මර්ධනය කිරීමය. පසුගියදා සෞඛ්‍ය වෘත්තිය සමිති මර්ධනය කිරීමට ගත් උත්සහය හොදම උදාහරණයයි. අධිකරණ නියෝග මත සිසුන් අත්අඩංගුවට ගැනීමත් ඔවුන්ගේ ශිෂ්‍ය අරගල අධිකරණය භාවිතා කරමින් මැඩලීමත්, තමන්ට එරෙහි පුවත් පළකරන්නන් ද්‍රොහීන් ලෙස නම් කරමින් මුද්‍රණාල ගිණි තැබීමත්, මාධ්‍ය ආයතන වසා තැබීමත්, මාධ්‍යවේදීන් අත්ඩංගුවට ගැනීමත් මෙම ආණ්ඩුවේ අලුත්ම ප්‍රචණ්ඩ විලාසිතාවයි. මෙ අනෙකක් නොවේ රාජපක්ෂ ආණ්ඩුවේ නිරුවත් ත්‍රස්තවාදයයි.

මෙම නිරුවත් ත්‍රස්තවාදයට මුහුණ දීමට ශිෂ්‍ය ව්‍යාපාරවලටත්, ඇතැම් වෘත්තීය සමිතිවලටත් යම් පමණකට හැකි වුවත් අද දවසේ දකුණේ බොහෝ රාජ්‍ය නොවන සංවිධානවලට හැකියාව ඇතිද..?

දකුණු අප්‍රිකානු කළු ජාතික ශිෂ්‍ය නායකයෙකු වූ ස්ටීව් බිකෝ විසින් තමන්ට එරෙහි නඩු විභාගයේදී කළ ප්‍රකාශයකින් මෙම ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමි.

‛‛මම කථා කරන්නේ වචන ගැන නොවෙයි. මම කතා කරන්නේ පොළිසිය විසින් අසරණ මිනිසුන්ට පහර දෙමින් කරන හිංසාව ගැන….මම කතා කරන්නේ ආයුධ නැති කලු මිනිසුන්ට පොළිසිය වෙඩි තැබීම ගැන….මම කතා කරන්නේ පැල්පත් නගරවල මිනිසුන්ව බඩගින්නේ තබා කෙළින්ම නොව වෙනත් ආකාරයකින් කරන හිංසාව ගැන….කදවුරුවල සිටින ජනතාවගේ බලාපොරොත්තු රහිතකම ගැන….ඔවුන්ගේ අසරණකම ගැන….මම හිතන හැටියට මේ සියල්ල එකතුකළ විට අර මිනිසුන් කතා කළ වචනවලට වඩා ලොකු ත්‍රස්තවාදයක් එතැන තියනවා.’’

සමරේ