iMAGE: GAGANA RADIO

කුසො යථා දුග්ගහිතො
හත්ථමෙවානු කන්තති
සාමඤ්ඤං දුප්පරාමට්ඨං
නිරයායුප කඞ්ඪති
ධම්මපදය – නිරය වග්ග

අලූත්ගම කෝලාහලයට පෙරාතුව ප‍්‍රකෝපකාරී ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව ‘අබ සරණයි’ යයි පටබැන්දේ ය. මෙම යෙදුම බුදුන්ගේ ඉගැන්වීම්වලට මුළුමනින් ම පටහැණි වෛරී යුද ඝෝෂාවකි.

දැන් අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහනාහිමියන් ද ‘අබ සරණයි’ න්‍යාය එහි තර්කානුකූල අන්තය කරා ගෙන ගොස් ඇත. මෑත දී පවත්වන ලද ධර්ම දේශනාවක දී ඔහු මුස්ලිම්වරුන් සතු ව්‍යාපාර වර්ජනය කිරීමට පක්ෂව කතා කරයි, මාතලේ වෛද්‍යවරයෙකු සිංහල බෞද්ධ බිලිඳුන් දසදහස් ගණනක් විනාශ කළේ ය යන ව්‍යාජ ප‍්‍රවෘත්තිය ප‍්‍රචලිත කරයි, නීතිය හා සාමය හෙළා දකියි, තමන් විසින් ද්‍රෝහීන් ලෙස සලකනු ලබන ලාංකික මුස්ලිම්වරුන්ට ගල් ගසා මරා දැමීම වක‍්‍රව අනුමත කරයි.

වෛරයෙන් පිරි එවැනි ප‍්‍රකාශයක් කර ශ‍්‍රී ලංකාවේ දී හැරුණු විට ආගමික නායකයෙකුට ගැලවී සිටිය හැක්කේ සෞදි අරාබියේ දී සහ ඉරානයේ දී පමණකි. ඕනෑ ම ශිෂ්ට සමාජයක දී මේ ආකාරයේ ප‍්‍රකාශයක් හෙළා දැකීම් මාලාවකට තුඩු දෙනු ඇත. එවැනි ප‍්‍රකාශයක් සිදු කළ තැනැත්තාට යටත් පිරිසෙයින් මහජන අපකීර්තියට ලක් වීමට වත් සිදු වනු ඇත. ශ‍්‍රී ලංකාවේ දී මංගල සමරවීර හැරුණු විට එක ද දේශපාලනඥයෙකු වත් ඊට විරුද්ධව වචනයක් හෝ කියා නැත. වචන දහස් ගණනකට වඩා ඒ නිහඬතාව සකලවිධ ප‍්‍රචණ්ඩ, නොඉවසිය හැකි අන්තවාදයන්ට දොර හරියි.

මාස කිහිපයකට පෙර එම සංඝ පාර්ශ්වයේ ම නියෝජ්‍ය ප‍්‍රධානියෙක් හිට්ලර් කෙනෙකු වී හෝ රට නැවත ගොඩ නගන ලෙස ගෝඨාභය රාජපක්ෂගෙන් විවෘතව ඉල්ලා සිටියේ ය.

මෙම ප‍්‍රකාශ එකට ගත් කල ඇඟවෙන්නේ ශ‍්‍රී ලංකාව තුළ බුදු දහම පීඩාවට පත් කරන බරපතළ ව්‍යාධියකි. ලාංකික ජීවිතය තුළ බෞද්ධ භික්ෂුව ප‍්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරන තත්ත්වය තුළ මෙම ව්‍යාධිය දේශපාලන දේහයට හා සමාජයට විනාශකාරී බලපෑමක් කරයි. නොඉවසීම හොඳ ම දෙය ලෙසත් ප‍්‍රචණ්ඩත්වය යුක්ති සහගත ක‍්‍රමවේදයක් ලෙසත් චිත‍්‍රණය කරන ගිහි සහ පැවිදි අන්තවාදීන් කණ්ඩායමක් විසින් බුදුන්ගේ ඉගැන්වීම් කොල්ල කනු ලැබ ද විකෘත කරනු ලැබ ද ඇත. ඔවුන්ට නිදහසේ කටයුතු කර ගෙන යාමට ඉඩ දුන හොත් කසා පැහැ සලාෆිවාදයක දැඩි ග‍්‍රහණයට හසුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාණ වායුව ඉක්මනින් ම නිරුද්ධ වනු ඇත. ඒ නිසා අප දැන් කතා කළ යුතු ය.

තිසරණි ගුණසේකර

සංස්කාරක සටහන :  The Malaise Affecting Buddhism නමින් 2019.06.21 වන දින Groundviews වෙබ් අඩවියේ පළකරන ලද ලිපිය විකල්ප විසින්  සිංහලට  පරිවතනය කරනු ලදුව මෙසේ පළ කෙරේ.