iMage:VIKALPA

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා’ යන බුදුන් වහන්ගේ ධර්මය උදේ හවස අස්ගිරි විහාරයේ සෑම දිනකම අසන්නට සැලැස්වීම සිරිතකි. ඇසුවත්, නැතත් එසේ සිදුකිරීම තවත් සිරිතකි. තේරුනත් නැතත් සෑම විටම එය ඇසීම හෝ කියැවීම, මිනිසුන් හිටියත් නැතත් එය සිදුකිරීම අනෙක් සිරිතයි.

එවන් ‘සිරිතක්’ සිදුකරන අසිගිරි පාර්ශවයේ මහානායක හිමිපානන් වන අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් පසුගිය 16වන දින අපුරු ‘ධර්ම’ දේශනාවක් අසන්නට ලැබිණි. එය ‘ධර්ම’ දේශණාවකට වඩා ‘ප්‍රකාශයකි’(මක්නිසාද යත් එවැනි ධර්මයක් ගෞතම බුදුන්ගේ ඉගැන්වීම් තුළ කොතනක හෝ සදහන් කර නැති නිසාය)

එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශණයක් ඉල්ලා, වැඩබලන පොලිස්පතිවරයා වෙත විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ, විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් පසුගිය 21වනදා ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම පැමිණිල්ලෙන් ආචාර්ය සරවනමුත්තු මහතා ඉල්ලා සිටින බව පැමිණිල්ලේ සදහන් වන්නේ,

‘………මහ නාහිමියන් තම කථාවේදී මෙසේ දක්වයි,

1) වස විෂ අන්තර්ගත බැවින් ජනතාව මුස්ලිම් කඩවල් වලට යාම හෝ ඔවුන් විකුණන ආහාර නොගත යුතුය.
2) මුස්ලිම් කඩවල් ශ‍්‍රී ලංකා බෞද්ධ ජනතාව විනාශ කිරීමට උත්සාහ දරයි.
3) කිහිප දෙනෙකු පවසන ලද්දේ දහස් ගණනක් වූ “අපේ දරුවන්” විනාශ කළ වෛද්‍යවරයා ගල් ගසා මරා දැමිය යුතු බවයි. නාහිමියන් පවසන්නේ “නමුත් මම එසේ කරන්නැයි කියන්නේ නැහැ. ඒත් කළ යුත්තේ එයයි” කියායි.
4) නීතිය ක‍්‍රියාත්මක නොවේ නම්, සිංහල බෞද්ධයන් එකමුතු විය යුතුයි.
‘අතිපූජ්‍ය නාහිමියන්’ විසින් දේශනාකොට වදාළ ඒ ප්‍රකාශය බලන්න

මහ නාහිමියන්ගේ කථාව ඍජුවම මුස්ලිම් ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් පුරවැසියන්ට එරෙහිව දැනටමත් දැල්වී ඇති භීතියේ හා වෛරයේ ගිනිදැල් පෝෂණය කරයි. මෙම කථාව තුළ දැනට විමර්ශනය කරමින් සිටින මුස්ලිම් වෛද්‍ය වෘත්තිකයෙකු ඉලක්ක කර ඇති අතර මරණය තෙක් ගල් ගැසීම සම්බන්ධයෙන් වෙනත් අය කරන ප‍්‍රකාශයන් ගැන ද සඳහන් කරයි. මෙය ඕනෑම අවස්ථාවක අතිශය භයානක ප‍්‍රකාශයක් වන අතර, වර්තමානයේ රට තුළ උත්සන්න වී ඇති තත්ත්‍වය සැලකිල්ලට ගත් විට උසිගැන්වීමක් සේ සැලකිය හැකි වේ.

යනුවෙන් එම පැමිණිල්ලේ තවදුරටත් සදහන් වන අතර, එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටින ලද්දේ,

‘…….විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මගින් අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඔබ ඉදිරියේ තබමින් ”ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ එවැනි පදනමක්” නොසලකා සියලු පුද්ගලයින්ට එක හා සමානව සැලකීම ඔබේ යුතුකම බව සිහිපත් කරයි.

පවත්නා සාක්ෂි අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්ෂණික පරීක්ෂණයක් ආරම්භ කිරීමට සහ පුද්ගලයන්ට වගවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නීතියෙන් ඔබේ කාර්යාලයට ප‍්‍රමාණවත් බලතල ලබා දී ඇති බව පෙනේ.

ඔබේ නීතිමය බැඳීම් ඉටු කරන ලෙසත්, නීතියෙන් දක්වා ඇති පරිදි මෑත කාලීන ප‍්‍රචණ්ඩත්වයට සම්බන්ධ සියලු දෙනා වගකිව යුතු නිසා දැනට පවත්නා නීති රාමුව ඊට භාවිතා කරන ලෙසත් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ඔබෙන් ඉල්ලා සිටී.’ (ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් පොලිසිය වෙත ඉදිරිපත්කර ඇති සම්පූර්ණ පැමිණිල්ල කියවන්න/ මෙය පරිවර්තනයක් බවත්, මූලිකවම පැමිණිල්ල යොමු කරන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙන් බැවින්, යම් පැහැදිලි කිරීමක් වෙතොත් ඉංග්‍රීසි පිටපත බලන්න – සංස්කාරක)

මේ භික්ෂූන්, බෞද්ධ ද? මේ ගිහියන් බෞද්ධ ද?

මේ පැමිණිල්ල පිළිබද පොහොට්ටු දේශපාලනයට හා ඇතැම්විට සෘජු ලෙස ජාතිවාදී ප්‍රකාශ සිදුකිරීමට කිසිදු බියක් හෝ ලැජ්ජාවක් නොදක්වන භික්ෂූන්(?) පිරිසක් සහ පාර්ලිමේන්තු මංත්‍රීවරුන් පිරිසක්, ආචාර්ය සරවනමුත්තු මහතා වෙත වෛරී සහගත ලෙස වාග් ප්‍රහාරයන් සිදුකිරීම අරඹා ඇත. ඒ සදහා සාදර මාධ්‍ය අනුග්‍රහය ‘හිරු ටීවී’ වෙතින් ලබා දී ඇත්තේ 2019 ජූනි 16 වනදා සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක් තුළ දීය. එම භික්ෂූන් අතර, පූජ්‍ය මාදුරුඔය ධම්මිස්සර( ජේෂ්ඨ කථිකාචාර්ය, කැලණිය විශ්ව විද්‍යාලය), මහාචාර්ය පූජ්‍ය ඉදුරාගොඩ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ඇතුලු ජාතික විද්වත් භික්ෂු සංසදය මෙහි මූලිකතවය ගෙන තිබේ. පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි(කැදවුම්කරු, රාවණාබලය)ත් සිය ගෝෂාව පටන් ගෙන ගත්තේ සුපුරුදු විලාසයෙනි.

ඒ අතර පොහොට්ටු සාමාජිකයන් වන දිනේෂ් ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම මංත්‍රී වරයා ද වෙයි. එස්. එම් චන්ද්‍රසේන(එජනි සංධානය), රෝහිත අබේගුණවර්ධන (එජනි සංධානය), සී.බී රත්නායක යන පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ද සිය (අ)බෞද්ධකම නිරාවරණය කරමින් තිබේ. (කෙසේ නමුත් ආචාර්ය සරවනමුත්තු මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පිළිබද ඉතාමත් වෛරී අන්දමින් භික්ෂූන්(?) සහ ගිහියන්(පා.ම) 10දෙනෙක් විනාඩි ගණනාවක් හිරු ටීවී තුළින් ඉතාමත් මුග්ධ ලෙස අදහස් දක්වන අතර, පැමිණිල්ල ඉදිරිපත්කල ආචාර්ය සරවනමුත්තු මහතාගේ අදහස කිසිවිටක විමසීමට ‘හිරු’ නාලිකාව කිසිදු උත්සහයක් නොගෙන ඇත්තේ සිය සුපුරුදු ආචාරධාර්මික නොවන මාධ්‍ය භාවිතාව යළි යලිත් තහවරු කරමිනි.)

කෙසේ නමුත් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හැරුණු කොට සියලු දෙනා ‘අසිගිරි හිමියන් එහෙම පවසා නැති’ බවත්, එය ‘පාක්‍යසෝතිගේ ප්‍රකාශයක්’ බවත් වැනි අමු බේගල් සහ වෛරී ප්‍රකාශයන්ගේ සිට පාක්‍යසෝති අත්අඩංගුවට ගත යුතු බව දක්වාත් එම ප්‍රකාශයන් සිදු කරන්නේ චීවරය ද ඇගලාගෙන වීම විශේෂත්වයකි .

රාවණා බලයේ, කැදවුම්කරු යැයි කියන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස පමණක් ඉතා නිවැරදි අදහසක් කියයි. එනම්, ‘අස්ගිරි මහනායක හාමුදුරුවෝ ප්‍රකාශයක් කළා. උන්වහන්සේගේ වගකීම. ඓතිහාසික වගකීම. උන්වහනසේ සර්ව ආගමිකයෙක් නෙවෙයි.’ අස්ගිරි මානාහිමි උපුටා දක්වමින් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස පවසන්නේ වැරදීමකින් හෝ හිතාමතා නොවෙයි. සද්ධාතිස්ස වැන්නන් නියෝජනය කරන්නේ, අස්ගිරි හිමි ගේ ප්‍රකාශය ම වන බැවිනි. එබැවින් අස්ගිරි හිමි ප්‍රකාශය සද්ධාතිස්ස වැනි ජාතිවාදී චීවරධාරීන්ට සරු පසකි. ඒ සද්ධාතිස්ස වැන්නන් පෙනී සිටියේම සිංහල බෞද්ධ අන්තවාදයේ ප්‍රකාශයකයින් ලෙස වීම නිසාය.

පැමිණිල්ල සහ සරවනමුත්තු

ආචාර්ය සරවනමුත්තු මහතා පොලිස්පතිවරයා වෙත කර ඇති පැමිණිල්ල සරවනමුත්තුගේ හිතලුවක් නොවේ. එය ඇස් පෙනෙන, කන් ඇසෙන ඕනෑම බබෙක්ට තේරේන සිංහලෙන්, අස්ගිරි මහානාහිමි විසින් කර ඇති ප්‍රකාශයක් හා පදනම් වන්නකි.

එම පැමිණිල්ලට පදනම් වී ඇත්තේ අස්ගිරි මහානාහිමි සිදුකර ඇති ප්‍රකාශයයි. එම ප්‍රකාශයේ වීඩියෝව ඕනෑම අයෙක්ට නැවත නැවතත් බැලිය හැකිය. එය හුදෙක් හිතලුවක් නොවන්නේ ඒ නිසාය. නමුත් ඉහත සදහන් කළ බොහෝ භික්ෂූන්ට අනුව අස්ගිරි මහානාහිමි එවැන්නක් සිදු කර නොමැත. නමුත් එම භික්ෂුන්ගේ ම එක් භික්ෂුවක් පවසන දෙයින් ඉහත කී අනෙක් භික්ෂූන්ගේ මතය බිදී යන බව අමුතුවෙන් ලියන්නට අවශ්‍ය වන්නේ නැත. ඒ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස විසින් කියනු ලබන ප්‍රකාශයයි. එය නැවත සටහන් කරන්නේ නම්, ‘‘අස්ගිරි මහනායක හාමුදුරුවෝ ප්‍රකාශයක් කළා. උන්වහන්සේගේ වගකීම. ඓතිහාසික වගකීම. උන්වහන්සේ සර්ව ආගමිකයෙක් නෙවෙයි.’ අස්ගිරි හිමියන් විසින් සිදුකල ප්‍රකාශයේ වීඩියෝව නිවැරදිව කියවා ඇත්තේ මේ භික්ෂුව(?)යි. අනෙක් සියලු දෙනා, කියවා ඇත්තේ අස්ගිරි හිමිගේ ප්‍රකාශය නොව එම ප්‍රකාශය පදනම් කරගෙන පැමිණිල් ඉදිරිපත් කළ ආචාර්ය සරවනමුත්තු මහතා ය. එබැවින්, මේ සටහනේ අස්ගිරි නායකහිමියන් එවන්නක් සිදුකලා යැයි තර්ක කිරීම අවශ්‍ය වන්නේ නැත. එය එසේ වන්නේ එහි වීඩියෝවක් ඕනෑම අයෙක්ට නැරඹිය හැකි නිසාත්, ඉහත භික්ෂූ කුලකයේ එක් භික්ෂුවක් වන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස විසින් අස්ගිරි හිමියන් එවන්නක් සිදුකර ඇති බවත්, එය අස්ගිරි හිමිගේ වගකීමක් බවත් ‘හිරු’ නාලිකාවෙන්ම ප්‍රකාශකර ඇති නිසාය.

නීතියට බය වී සිදුකරන වෛරී ඝෝෂාව

අස්ගිරි නායකහිමියන් විසින් සිදුකර ඇති ප්‍රකාශය සහ ඉල්ලා ඇති විමර්ශනය දැන් ඇත්තේ නීතිමය ලෙස විසදා ගැනීමේ ක්‍රියාවලියේය. එයට අවශ්‍ය සියලු දත්ත සහ තොරතුරු අචාර්ය සරවනමුත්තු මහතා විසින් ඉදිරිපත් කර තිබේ. තත්ත්වය එසේ තිබියදී ඉහත කී කථිකාර්ය භික්ෂූන්, මහාචාර්ය භික්ෂූන් සිදු කල යුත්තේ තමන්ගේ අදෝනාව නීතිය ඉදිරියට ගොස් කීමය. එසේ නොමැතිව කැමරා ඉදිරියේ බුදුන්ගේ ඉගැන්වීම්වලට විරුද්ධව වෛරී ඝෝෂා කිරිමෙන් සිදුවන්නේ කහසිවුරට තවදුරටත් නිගා දීමකි. කහසිවුර තුළ වන ඔවුන්ගේ (අ)බෞද්ධ ශරිරය ලෝකයා ඉදිරියේ තව තවත් නිරාවරණය වීමය.

එම නිසා, බුදුන්ගේ ඉගැන්වීම් මහ දවල් කොල්ලකන මේ භික්ෂූන් මෙන්ම දේශපාලකයන් පිළිබද බෞද්ධ ජනයා බුදුන්ගේ ඉගැන්වීම් අනුව ‘සිහියෙන්’ කල්පනා කළ යුතුය.

ලංකාවේ නායක භික්ෂුවකගේ ප්‍රකාශයක් පළමුවරට හෙළා දකින බෞද්ධ අධ්‍යාත්මික නායක දලයි ලාමා

අපි වෙනස් සම්ප්‍රදායන්ට ගෞරව කළ යුතුයි. ආගමික විශ්වාසය සහ ගෞරවය අතර වෙනස වටහාගත යුතුයි.”
“මම බෞද්ධයෙක්. මගේ විශ්වාසය තිබෙන්නේ බුද්ධාගම කෙරෙහි. නමුත් මම අන් සියලු සම්ප්‍රදායන්ට එක සමානව ගරු කරනවා,” (මුස්ලිම්වරුන්ට අයත් වෙළෙඳසල් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිමින් සහ ගල් ගසා මරා දැමීම අනුමත කරමින් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි කළ ප්‍රකාශය කොන්දේසි විරහිතව හෙළා දකින බව බෞද්ධ අධ්‍යාත්මික නායක දලයි ලාමා පවසති.
උපුටා ගැනීම-BBCSinhala

සරවනමුත්තු සහ බෞද්ධයා

Dr. Paikiasothy Saravanamuttu
කෙසේ නමුත් අස්ගිරි නායකහිමිගේ එම ප්‍රකාශයට සෘජුව විරුද්ධව ක්‍රියාකළ යුත්තේ බෞද්ධයන්ය. බුද්ධ වචනය හා ක්‍රියාත්මක වන භික්ෂූන් සිටී නම් අස්ගිරි ප්‍රකාශයට එරෙහිව ක්‍රියාත්මක විය යුත්තේ එම භික්ෂූන්ය. බෞද්ධාගම ආරක්ෂා කරනවා යැයි පොළවේ පස් කා කෑ ගසන මිනිසුන්ය. සංවිධානයන් ය.

නමුත් ඒ කිසිවෙක් අස්ගිරි ප්‍රකාශය විවේචනය කලේ නැත. එයට විරුද්ධව කතා කලේ නැත.

නමුත්, ඒ ප්‍රකාශය පිළිබද විමර්ශනයක් ඉල්ලා නීතිය හමුවට ගොස් ඇත්තේ ආචාර්ය පාක්‍යාසෝති සරවනමුත්තුය. එබැවින් දැන් සරවනමුත්තුට තඩි බෑමෙන් පලක් වන්නේ නැත. සරවනමුත්තු බෞද්ධයාගේ මෙන්ම අනෙකුත් ආගමිකයන්ගේ අයිතිවාසිකම්වල ආරක්ෂාව වෙනුවෙන් නීතියේ පිහිට පතා ඇත. බුදුන්ගේ ධර්මය අනුව කියන්නේ නම්, බුදුන්ගේ ධර්මය විකෘති කල නායක භික්ෂූවකගේ ප්‍රකාශයකට විරුද්ධව විමර්ශනයක් ඉල්ලා නීතිය හමුවට ගොස් ඇත. ඒ තවත් අර්ථයකින් බුදුන්ගේ ඉගැන්වීම් විකෘති කිරීමට එරෙහිව විමර්ශනයක් ඉල්ලා ඇත. අස්ගිරි ප්‍රකාශයේ ඇති වෛරී මෙන්ම අනෙක් ජාතීන් පීඩාවට පත්කරනු ලබන අන්තර්ගතය පිළිබද විමර්ශනයක් ඉල්ලා ඇත. එබැවින් ‘සැබෑ බෞද්ධයා’ වෙනුවෙන් පෙනී සිටිමින් ඇත්තේ ආචාර්ය පාක්‍යාසෝති සරවනමුත්තු යැයි කවුරුන් හෝ කියන්නේ නම්, එය සත්‍යක් නොවන්නේද?

එබැවින් දැන් ඔබ, සැබෑ බෞද්ධයෙක් නම් අස්ගිරි ප්‍රකාශය විවේචනය කරන හෝ එයට විරුද්ධව විමර්ශනයන් ඉල්ලා සිටින කිසිවෙක්ට තඩි බෑම වෙනුවට, අස්ගිරි පංසල ඉදිරිපිටට ගොස් බුදුන්ව උපුටා දක්වන්න.

එය, කළ යුතු බොහෝ දෙයින් තවත් එක් දෙයකි.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon