ශ‍්‍රී ලංකා සමාජ සන්දර්භය තුළ ඉස්ලාම් ධර්මය පිළිබඳව ඉතා ගැඹුරින් නැවත සිතා බැලීම, නැවත අර්ථකථනය කිරීම, අවබෝධකර ගැනිම සහ මුස්ලිම් ප‍්‍රජාවගේ බැරෑරුම් ස්වයං ඇගයිමක් සිදුකළ යුතු බව අවධාරණය කෙරෙයි. ඒ තුළින් අවදානමට ලක්විය හැකි මුස්ලිම් තරුණ තරුණියන් ආරක්‍ෂාකර ගනිමින් නිවරැදි මාවතක ගමන් කළ යුතු බවත් ”සිදුවුණු වැරැද්ද” නැවත සිදුනොවීමට වගබලා ගැනීමේ විශාල වගකීමක් මුස්ලිම් ජනතාවගේ දෙවුර මත වැටී ඇති බවත් පැහැදිළි කෙරෙයි. අන්තවාදයට විසඳුම තවත් අන්තවාදයකින් උදාකර ගත නොහැකි අතර, විවේචනය ට, සැක කිරීම ට සහ පලිගැනීම ට වඩා අවබෝධකර ගැනීම, සහය දැක්වීම සහ සියලූම දෙනා එක් වී ඇතිවිය හැකි අන්තවාදි තර්ජන පරාජය කිරීමට කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවය බව කොළඹ, ඉස්ලාමිය දේවධර්ම ආචාර්යය, හෂිමි පදනමේ සභාපති සහ අන්තර් ආගමීක සාම පදනමේ භාණ්ඩාගාරික 58 හැවිරිදි මවුලවී ලෆීර් මදනි සමඟ සිදුකළ මෙම සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිළි කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ඛේදවාචකයෙන් දෙමසක් ගතවී තිබෙන මේ අවස්ථාවේදි ඒ පිළිබඳව ඔබේ හැගීම කෙබඳුද ?

කාලය දෙමසක් වුවත් නොසිතු ආකාරයෙන් එවැනි ඛේදවාචකයක් සිදුවීම ගැන අපි තවමත් විශාල කම්පනයකින් පසුවෙනවා. ඒ කම්පනය, කම්පාව දුරුවීමට තවත් බොහෝ කාලයක් ගතවෙයි. මේ ඛේදවාචකය හරහා, මම විශ්වාස කරනවා මුස්ලිිම්වරුන්ගේ දෙවුර මත විශාල වගකීමක් පැටවී තිබෙනවා කියා. මොකද, සිදුවී ඇති වැරදි තවත් සිදුනොවන ලෙසට නිවරැදිකර ගැනීම සඳහා බරපතල ලෙසට ආපසු හැරී බැලීමක් තුළින් කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අන්තවාදයට පිළිතුර විය යුත්තේ තවත් අන්තවාදයක් ක‍්‍රියාත්මක කිරීමත් නොවෙයි. මෙහිිදි මුළු ජාතිය ම වගකිව යුතුයි. බොහෝවිට කාදිනල්තුමා කියන්නා සේ මේ අන්තවාදයෙන් මිදෙන්නට අපි සියලූම දෙනා එකතුවී සටන් කළ යුතු වෙනවා.


කිතුණු ජනතාවට එල්ල කළ මේ පහරදීම ඔබේ ජනතාව දකින්නේ කෙසේද ?

ෂාධි කියා එක්තරා පර්සියානු කවියෙක් සිටිනවා, ඔහු කියා තිබෙනවා, මිනිසා එක් ශරීරයක් වගෙයි. එක් කොටසකට තුවාල වුවහොත්, අනෙක් කොටස් වලටද වේදනාව දැනෙනවා කියා. ඒ වගේ කිතුණුවකු මුණගැහුණුම අපට යම් ආකාරයක වේදනාකාරි හැගීමක් දැනෙනවා. මේ කම්පනය කවදා නිම වෙයිද කියන්න බැහැ. ඒ වගේම මේ පහරදීම් හා අපි සම්බන්ධ නැති බව දන්නවා, අපි බහුතර මුස්ලිම් ප‍්‍රජාව මේ බෝම්බකරුවන් හා සම්බන්ධ නැති බව දන්නවා. බෝම්බකරුවන් ව පොළඹවා ඇති බව නැවතත් අපි කියනවා. නමුත් ඔවුන් අපගේ ප‍්‍රජාවේ කොටසක්. එය ප‍්‍රතික්‍ෂ්ප කළ නොහැකියි. ඒ නිසා අප කෙරෙහි සමාජය දක්වන අගෞරවය, අවමානය, සැකය සාධාරණයි. ඒක කළේ ඔවුන්, ඔවුන් සමඟ අපේ සම්බන්ධයක් නැතැයි කියා මෙයින් අපට පැනයා නොහැකියි. අපි යථාර්තය පිළිගත යුතුයි. ඒ නිසා මේ ඛේදවාචකයේ බරපතලකම දෙගුණයක් අපිට දැනෙනවා.

නමුත් එක් කණ්ඩායමක් එසේ කළා යැයි කියා සමස්ත මුස්ලිම් ප‍්‍රජාව ම සැක කිරීම සහ දඩුවම් කිරීම අසාධාරණයි යන්නත් සඳහන් කරන්න වෙනවා.
කි‍්‍රස්තියානි භක්තිකයින් සමඟ මුස්ලිම්වරුන්ගේ් ඇති සම්බන්ධාතව කෙබඳු ද?

දේවධර්මවාදි දෘෂ්ටිකෝණයෙන් බලන විට අපි දෙගොල්ලන් ම එකම දෙවියන්ට වන්දනා කරනවා. අල් කුරානය එය ඉතාම පැහැදිළිව ප‍්‍රකාශ කරනවා. අල් කුරානය තුළ ආබ‍්‍රහම්, ජාකොබ්, ජෝශප්, මෝසස් සහ ජේසු ගැන කථාකරන ඡේද ඕනෑතරම් ගෙනහැර දක්වන්නට පුළුවන්. මුස්ලිම්වරුන් මේ කී සියලු අනාගතවක්තෘවරුන් අනුගමනය කළ යුතුයි. එසේ නොකරන මුස්ලිම්වරුන් පරිපූර්ණ මුස්ලිම්වරුන් නොවෙයි, මන්ද ඔවුන් ඉස්ලාමීය ඇදහිල්ලේ කොටසක්. ඒ වගේම ජේසුතුමාගේ මෑණියන්, මරිය තුමියට ද අපි ගෞරවය කරනවා. පුංචි පුංචි වෙනස්කම් තිබුණත් අප දෙපාර්ශවය ම අදහන්නේ දෙවියන් විසින් හඳුන්වා දුන් ආගමක්. අපිට කිසි කලෙක කිතුණුවන් සමඟ කිසිම ආකාරයක ආරෝවක් තිබුණේ නැහැ. අදටත් ඒ බහුතර මුස්ලිම්වරුන් සහ කිතුණුවන් අතර සුහද බැඳීමක් මිස අර්බුදයක් නැහැ. එය ඉදිරියටත් එසේමයි. තවදුරටත් පළඳු නොවී රැකගැනීමට අපි ක‍්‍රියාකළ යුතුයි.


මුස්ලිම්වරුන් ලෙසට, රැඩිකල්වාදයෙන් වැළකී සිටීමට උත්සාහා කරන්නේ කෙසේ ද ?

මීට අවංකව පිළිතුරු දිය යුතුයි. ඇතැම් විට මා මේ ප‍්‍රකාශකරන දේ ගැන මුස්ලිම්වරු මා සමඟ එකඟ නොවෙනු ඇති. නමුත් මා අවංක විය යුතුයි. මේ අර්බුදය බරැරුම් ලෙසට ආමන්ත‍්‍රණය කළ යුතුයි. මා පෙර කිවූ සේ අප අපම නැවත ඇගයීමකට ලක්කළ යුතුයි. වැරැද්ද කොතැනද යන්න අවබෝධකර ගත යුතුයි. එසේ නොමැතිව ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙලවල් අර්ථවත් වන්නේ නැහැ.

මම වසර 20ක් පුරාවට, යාපනය, මඩකළපුව, කොළඹ, හම්බන්තොට යන ප‍්‍රදේ්ශවල බෝම්බ පුපුරා යනවිටදී එක්තරා කණ්ඩායමක් සමඟ, සමගිය බිහිකිරිමෙහිලා කටයුතු කරමින් සිටියා. නමුත් මට හැෙඟන්නේ සම්පුර්ණ වශයෙන් ම අපි අවංක නැති බවයි. සංහිඳියාව සහ සාම ක‍්‍රියාවලිය සඳහා වැඩකරන සියල්ලන්ද අවංකව සිය කාර්යය නොකරන බවයි මගේ හැඟීම. අපි සැබවින් ම, අනෙකාගේ වැරදි සෙවීම පමණක් නෙවෙයි, එකිනෙකා තේරුම් ගැනිම පටන් ගතයුතුයි. අපගේ බොහෝ දෙනෙක් ”ඔබට වඩා මම හොඳයි”, ”ඔවුන්ට වඩා අපි තමයි උසස්” යන අධිමානසිකත්ව වලින් පෙළෙනවා. මේ ප‍්‍රවේශය ඉතා භයානකයි. ඉස්ලාම් ධර්මය තුළ කථාකරන මනුෂ්‍යත්වයේ හැඟීම, සාමයේ හැඟීම, සහෝදරත්වයේ හැඟීම යනාදිය නැවත හඳුන්වා දිය යුතුයි.

එවගේ ම අපගේ තරුණ තරුණියන් වෙත වැඩි අවධානයක් යොමුකළ යුතුවෙනවා, ඔවුන් ඉස්ලාමීය රාජ්‍යයේ හෝ වෙනත් කිසිඳු කණ්ඩායම්වල ගොඳුරු බවට පත්නොවෙන්නට, ඔවුන්ගේ ප‍්‍රචාරණ කටයුතුු වලට නොරැවටෙන ලෙසට, එහි ඇත්තේ පාරාදිස නොව නපුරු ක‍්‍රියාවන් පමණක් බව අප ඔවුන් ට ඉගැන්විය යුතුයි. මුස්ලිම් තරුණ තරුණියන් රැඩිකල්වාදි මුලිකාංගයන්ගෙන් සමන්විත දේශනවලින් වෙනතකට යොමුවීම වළක්වා ගැනීම අපගේ කාර්යයක් විය යුතුයි. අපට තවමත් අපගේ තරුණයින් හා ජීවිත බේරාගන්නට පිළිවන්, ප‍්‍රමාද වැඩි නැහැ. ඔවුන්ව පුනරුත්ථාපනය කර සමාජයට නැවත හඳුන්වාදිය හැකියි. ඔවුන් මුස්ලිම් නොවෙයි, ඒ නිසයි අප ඔවුන්ව අපගේ සුසාන භූමිවල භූමදානය නොකරන්නේ යැයි සරළව ප‍්‍රකාශ කරමින් එය නොසළකා හැරිය නොහැකියි. ඔවුන් ඇසුරුනොකළ සිටිය හැකියි. නමුත් අන්තවාදයක් පවතින බව ප‍්‍රතික්‍ෂේප කළ නොහැකියි.

සහජීවනය ඇතිකිරීම සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට මුස්ලිම්වරු සිතන්නේ කෙසේද?

මුස්ලිම් සමාජය තවමත් කම්පනයක් සහිතව සිටිනවා. වැරැද්ද කුමක්ද යන්න වටහාගෙන එයින් හඟවන සංඥාව කුමක් දැයි හඳුනා ගත යුතුයි. මරාගෙන මැරෙන බෝම්බකරුවකු නිර්මාණය කිරීම පහසු නැහැ. සටන් කිරීම ද පහසු නැහැ. ඒ සඳහා අති විශාල මුදලක් අවශ්‍ය වනවා. මුස්ලිම්වරුන්ට එක් රැයකින් අන්තවාදය තුරන් කළ හැකි යැයි කීම පහසු නැහැ. මන්ද, අන්තවාදයේ අමු ද්‍රව්‍ය තවමත් ඇතැම් මුස්ලිම්වරුන් අතර පවතින බව අප විසින් පිළිගත යුතුව තිබෙනවා. ඒ යථාර්ථය පිළිගෙන ඉදිරියට යා යුතුයි. මේ සඳහා භේදයකින් තොරව සැම දෙනාගේ සහය අවශ්‍යයි. මුස්ලිම් ප‍්‍රජාවට ගැඹුරු ස්වයං ඇගයීමක් කළයුතුව තිබෙනවා. මන්ද, සිදුවුණු වැරැද්ද යළි සිදුනොවන්නට තිබිය යුතු නිවරැදි පරිසරය, අවධානය, ක‍්‍රියාකාරිත්වය පරිස්සමින් දියත් කළයුතුයි. ආගමීක පිබිදීමක් හෝ ඒ හා සමාන ඕනෑම දෙයක් නිවරැදිව එහි පණිවුඩය විශේෂයෙන් ම අපගේ මුස්ලිම් තරුණයින් වෙත ළඟා කළ යුතුයි. සිදුකළ යුතුව ඇති ඉස්ලාම් ධර්මය නැවත අර්ථකථනය කිරීම, අවබෝධකර ගැනිම සහ මුස්ලිම් ප‍්‍රජාවගේ බැරෑරුම් ස්වයං ඇගයිම මේ වන විට යම් යම් කණ්ඩායම් අතර, පුද්ගලයින් අතර සාකච්ඡාවට ලක්වී තිබුණත් බහුතර ප‍්‍රජාව අතරට ළඟා වී නැහැ. ඒ නිසා මෙය නිසි ආකාරයෙන්, පුද්ගලයින් අතර සාකච්ඡාවට යොමු කළ යුතුයි. මුස්ලිම්වරුන් ප‍්‍රමුඛ රටේ සෑම නිවෙසකට ම මේ පණිවුඩය ළඟා කළ යුතුයි.
මේ වෙලාවෙදි මට මතක් වෙනවා හිටපු ඉන්දියානු දාර්ශනිකයෙක්, කවියෙක්, ප‍්‍රතිසංස්කරණවාදියෙක් වු අල් අමාන් ඉක්බාල් විසින් රචිත ඉතාම ලස්සණ පොතක් ගැන. ”ඉස්ලාමයේ ආගමීක චින්තනය ප‍්‍රතිසංස්කරණය කිරීම” කියලා තමයි ඒ පොතේ නම. පොත ලියා තිබෙන්නේ 30 හෝ 40 දශකයේදි. නමුත් මම විශ්වාසකරනවා එය ශ‍්‍රි ලංකා සමාජ සන්දර්භය සමඟ නැවත සිතීම හා නැවත අර්ථ නිරූපනය කිරීම හා අවබෝධ කරගැනීම සඳහා ඒ පොත එදාට වඩා අද මගේ මුස්ලිම් ප‍්‍රජාවට මහත් සේ අදාළයි කියා.

සංවාද සටහන සහ ඡායාරූප | මෙලනි මානෙල් පෙරේරා | Melani Manel Perera