iMAGE: Vikalpa

“ඒ 1968 ගණන් හි මුල් වසරවල ය. මා ඒ වන විට බන්ධනාගාර සේවයේ යෙදී සිට තිබුණේ මාසයක් හෝ දෙකක් පමණි. පසුදා උදෑසන 8.00 ට සිරකරුවකු එල්ලා මරණ බැවින් එම ක්‍රියාවළිය දැක ගැනීම පිණිස උදෑසන 7.00 ට වැළිකඩ බන්ධනාගාරයට පැමිණෙන ලෙස මට පණිවිඩයක් ලැබුණි. මා උදෑසන ගොස්, ඒ් වන විටත් කාර්යාලයට පැමිණ සිටි, එවකට වැළිකඩ බන්ධනාගාරයේ අධිකාරී වූ ඥණසුන්දරම් මහතාට වාර්තා කළෙමි. එල්ලා මැරීමට නියමිත පුද්ගලයා සමඟ කතා කිරීමට කැමැති බව ඔහුට කීමි. නීතිය අකුරට පිළිපදින්නකු වූ ඔහු මඳක් පැකිළී මට අවසරය දුන්නේ ය. නියාමකවරයකු  ‘මරණයේ පේලිය’ යැයි හිරගෙදර ව්‍යවහාරයෙන් කියන  කියන සිරකුටි කරා මා කැඳවා ගියේ ය. මරණයට නියමිත පුද්ගලයා ඒ වන විටත් ඒල්ලුම් ගහට යාබද කුටිය වෙත මාරු කර තිබුණි. එය සාමාන්‍ය පිළිවෙත ය”.

“මැදි හතලිස් ගණන් වියේ වූ ඒ් මිනිසාට කදිම දේහ විලාසයක් ද සෞම්‍ය පෙනුමක් ද විය. මේ වනාහී මරණයට නියම වූ සිරකරුවකු මා දුටු පළමු වතාව ය. ඔහුගෙන් කුමක් අසන්න දැ යි මම නොදැන සිටියෙමි. සිරකරුවකු සමඟ කතාබහක් ඇරඹීම පිණිස පළමුවෙන් ම කළ යුත්තේ ඔහුගේ නඩුව ගැන විමසීම යැයි මම දැන සිටියෙමි. ඉදින් මම එසේ ඇසීමි. ඔහු සිය ජීවිතයේ අවසාන මොහොතෙහිදී හෝ සිය තකාව කවරකුට හෝ කීමට බලා සිටියාක් මෙන් සිය හදවත දොර ගලා යැවීමට පටන් ගත්තේ ය”.

අප දෙදෙනා අතර සැණින් හිතවත්කමක් ගොඩ නැගුණි.

ඔහු මෙසේ කීය: ‘සර්, මා මීට කලින් කවරදාකවක් අපරාධයක් කරල නැහැ. මං මගේ ම වඩු මඩුවක් තිබුණු මොරටුවේ වඩු කාර්මිකයෙක්. මට හොඳ ජීවිතයක් තිබුණ. හතර දෙනෙක් මං  ළඟ වැඩ කරා. එතකොට ඔන්න ඔය පුද්ගලයා අපේ පවුලට හිරිහැර කරන්න පටන් ගත්තා. ඔහු කප්පම් වලින් ජීවත් වුණ ගණන්කාරයෙක්. ඒ මිනිහා අපේ ගමටත් අල්ලපු ගමටත් මහ වදයක් වෙලා තිබුණේ. කප්පම් ගැන ආරවුලකට ගිහින් ඔහු දක්ෂ වඩුවෙක් වුණ මගේ සහෝදරයෙක් මැරුවා.  මාත් එක්කත් ඔහු කීප වතාවක් පැටලුනා. මේ කියන දවසේ මං වැඩට ගිහිං එන ගමන් බස් ඒකෙන් බැස්සා. ඒ මිනිහා මාත් එක්ක ආරවුල පැටලිලා මට ගහන්න ගත්තා.  මාත් පොර බැදුවා. ඒ අස්සේ මං ළඟ තිබුණු නියනකින් කිහිපවතාවක්ම ඔහුට ඇන්නා. මිනිහ එතැනම මැරුණා’.

“ දැන් ඔබ පසුතැවෙනවාද?” මම ඇසුවෙමි. “ මං බෞද්ධයෙක්. මිනිහෙක් මරපු ඒක ගැන මං කණගාටු වෙනවා. ඒත් මං දැන් හිත හදාගෙන ඉන්නේ. දැන් මගේ පවුලත් ගමේ මිනිස්සුත් සාමයෙන් ජීවත් වෙනවා.

අපේ ගමේ හැමෝමයි, හාමුදුරුවරුයි, ක්‍රිස්තියානි පූජකතුමන්ලයි අත්සන් කරලා  ආණ්ඩුකාරයට පෙත්සමක් යැවුව මගේ ජීවිතය බේරල දෙන්න කියල . ඒත් ඒකෙන් වැඩක් වුණේ නැහැ.අපි බලවත් හයිකාර මිනිස්සු නෙවෙයිනෙ. සාමන්‍ය ගමේ මිනිස්සු. සර්, මට තරුණ බිරිඳකුයි අවුරුදු අටේ පුතෙකුයි ඉන්නවා. ඒ් දෙන්න ඊයෙ මං බලන්න ආව. මං මගේ බිරිඳට කිව්ව ‘ඔයා තාම තරුණයි. මං මත්තේ ජීවිතේ නාස්ති කර ගන්න එපා. හොඳ මිනිහෙක් හමුවුණොත් කසාද බැදල අපේ දරුව බලා ගන්න කියල .’

‘මං යන්න හිත හදාගෙන ඉන්නේ. මට වෙන තෝරගන්න දෙයක් නැහැ. මං කැමැති නැහැ බියගුල්ලෙක් වගේ මැරෙන්න’ යැයි ඔහු කීවේ ය.

ඔහුටත් අපේ කතා බහටත් කාලය ඉක්මයමින් තිබුණි.

විනාඩි ගණනාවක දී බන්ධනාගාර අධිකාරී, නියෝජ්‍ය පිස්කල් නිලධාරියා, වෛද්‍ය නිලධාරියා, බෞද්ධ භික්ෂුවක්, බන්ධනාගාර නියාමකයින් සහ රැකවල්ලු පැමිණයෝ ය. බන්ධනාගාර නියාමකයකු මිනිසාගේ නම සහ අනෙක් විස්තර පිස්කල් නිලධාරියා හමුවෙහි විමසීය. මෙම නියාමකයා මෙම සිරකරු මුලින්ම බන්ධනාගාරයට ගෙන ආ දිනයේ බාරගත් අයතුරෙන් කෙනෙකු බවත් ඔහු විසින් කරන ලද්දේ එල්ලා මරනු ලබන්නේ හරියටම නියමිත පුද්ගලයා බව සහතික කිරීම බවත් මම පසුව දැන ගතිමි. අනතුරුව භික්ෂුව ආගමික වතාවත් ඉටු කළේ ය.

ඉන් පසු සිරකුටියේ දොර හැර රැකවලුන් ද අලුගෝසුවා ද එයට ඇතුළු වී සිරකරුට බර වැඩ කම්කරුවන් හදින ආකාරයේ ගොරෝසු සුදු රෙද්දකින් මසන ලද ‘ඔවර්රොල්’ ඇදුමක් ( දෙපා සහ දෑත් එකම ඇදුමක කොටස් වන ඇදුමකි) ඇන්දුවේ ය. ඔහුගේ දෑත් ද බැදී යන සේ පළල් බඳ පටියක් ඔහුගේ පපුව හරහා බදින ලදී. බෑගයක් වැනි, ඉහත කී ගොරෝසු රෙදදෙන්ම මැසූ හිස් ආවරණයක් ඔහුගේ හිසට දමන ලදී. අනතුරුව ඔහු පෝරකය වෙත ගෙන යන ලදී.

ඔහුගේ මුහුණෙහි තිබූ හැඟීම විස්තර කිරීමට මා සතුව චවන නැත. දුක්බර වුවත් නිර්භීත බව පෙන්වීමට දරන වීර ප්‍රයත්නයක් එහි විය. ඉන් පසු අලුගෝසුවා වළලුකර පටිය යැයි කියන උපකරණයකින් දෙපා වළලුකර හිර කරන ලදී. මිනිසා  මෙලොවෙහි සිය ජීවිතය අවසන් බව දැන ගත්තේ ය. අප දෙස බලා ‘ මං යන්නම් සර්’ යැයි කීවේ ය. එ වනාහී හද කකියවන දැක්මකි.

බෑගයක් වැනි හිස් ආවරණය මිනිසාගේ මුහුණ ද ගෙල ද වැසෙන සේ පහත් කෙරුණි. තොණ්ඩුව ගෙළ වටා දමන ලදී. මට අපේක්ෂා භංගත්වයක හැගීමක් ඇති විය. මගේ උදරයෙහි ගින්නක්  වැනි උද්වේගයක් ද හිසෙහි අළසකාරී හැගීමක් ද ඇති විය. මේ වනාහී මොහාතකට පෙර මා හා දෙඩමළු වූ මිනිසකු මා දෑස් අභිමුව දරණූ ලෙස මරා දැමීමකි. එහෙත් මට කළ හැකි කිසිවක් තිබුණේ නැත. මා රෝගාතුර හා භයානක හැගීමකින් වෙළුනි. මේ වනාහී යුක්ති ධර්මයේ නාමයෙන් කැරෙන මනුෂ්‍ය ඝාතනයකැ යි මට හැගුණි. මැරීම දුෂ්ඨ නම් ආණ්ඩුවක් විසින් මැරීම ද දුෂ්ඨ ය. ඒ වනාහී මගේ මනසෙහි විදිලි කෙටූ අදහස් ය.

නියෝජ්‍ය පිස්කල්වරයා හිස වැනුවේ ය. අලුගෝසුවා ලීවරය ඇද්දේ ය. සැණෙන් පෝරකය විවිර වී මිනිසා පහළට වැටුණේ ය. මම අසළට ගොස් එබී බැලීමි. සිරුර එල්ලෙමින් තිබුණේ තවමත් ගැහෙමිනි. කම්පනයට පත්ව ඇස් නිලංකාරව තිබුණ ද මම නිලධාරීන් අනුගමනය කළෙමි. ඔව්හු ‘මරණයේ පේළිය’ වටා ගොස් පෝරකයේ වළ වෙත පැමිණියෝ ය. වෛද්‍යවරයා සිය වෙද නළාව මිනිසාගේ පපුව මත තැබුවේ ඔහුගේ හදවත ක්‍රියා විරහිත බව සහතික කරනු පිනිස ය. ඔහු විනාඩි කිහිපයක් ගත කර යළි වෙද නළාව තබා බලා සිරුර බාන සේ නියෝග කළේ ය… අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ ඔහු ‘අධිකරණමය එල්ලා මැරීම මගින් සුෂුම්නාව බිදී යාමෙන් මරණය සිදුවී ඇත’ යැයි වාර්තා කළේ ය.

කෙටියෙන් කියන්නේ නම් ඒ වනාහී භයංකර අත්දැකීමකි. දින ගණනාවක් යන තුරු හරියට කෑම බීම ගැනීමට දුෂ්කර වූ මා භයංකර සිහින දුටුවෙමි. බණ්ධනාගාර සේවය තුළ දී මට යළි මෙම බිය ජනක දර්ශණය දක්නට නොලැබේවායැයි මම අපෙක්ෂා කළෙමි. යාඥා කළෙමි.”

ඉහත සඳහන් වන්නේ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකු වන එච්.ජී. ධර්මදාස මහතා විසින් සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියූ ලිපියකින් උපුටා ගත් කොටස්හි පරිවර්තනයකි. මෙකී වාර්තාව මරණීය දණ්ඩනයේ අමානුශිකත්වය අපූරුවට පෙන්වයි. අටුවා ටීකා ඊට අවශ්‍ය නැත.

එලෙස මරණීය දණ්ඩනයට බිලි වූ එම මිනිසා මෙන් අද ද මෙරට බන්ධනාගාරයන්හි මරණ දඩුවම නියම වී සිටින මිනිසුන්ගෙන් සියයට 90ක්ම පෙර වැරදි නොකරන ලද පුද්ගලයින් වන අතර ඒ් අතුරින් සියයට 70ක්ම ග්‍රාමීය පෙදෙස්වලින් පැමිණෙන බව දේදුනු සංවාද මුහුණු  පොත පෙන්වා දී තිබුණි. තව ද මෙරට සිරගතවන අයගෙන් සියයට 73ක් ම අටවන පංතිය දක්වා  හෝ ඊට අඩු අධ්‍යාපනයක් ලැබූ අය වෙති.

මැරීම කවරකු විසින් කල ද වරදකි. මැරීම වෙනුවට වෙනත් දීර්ඝ කාලීන දඩුවම් දීමේ විකල්පය ආණ්ඩු හමුවෙහි තිබේ. කිසිදු අධිකරණයක් සියට සියයක් නිවැරදි නැත. අහිංසකයින් දෝශ සහගත ලෙස වරදකරු කොට එල්ලා මරණ ලද අවස්ථා විරල නැත. මරණ දණ්ඩනය ආපසු හැරවිය නොහැකිය.  එයට බිලි වන්නේ සමාජයේ අවවරප්‍රසාදිත එබැවින්ම දක්ෂ පක්ෂ නීතිවේදීන්ට මුදල් ගෙවිය නොහැකි ජන කොටස් ය.

දැන් ජනාධිපති සිරිසේන එල්ලා මැරීම සමඟ දේශපාලන රමණයක යෙදෙමින් අවසාන සූරතාන්තය සඳහා හැල්මේ යන්නේ මේ කිසිවක් නොදන්නා අඥාන සහ අත්තනෝමතික දේශපාලනඥයකු ලෙස ය.

ඔහු ජනාධිපති බවට පත් කරන ලද සියලු දේශපාලන සහ සිවිල් සංවිධාන මෙම අඥාණ තීරණයට විරුද්ධ ය. විරුද්ධ පක්ෂය ද විරුද්ධය. ලෝක මානව හිමිකම් ප්‍රජාව ද එක හෙළා විරුද්ධය.

නමුත් මේ අඥාන, අත්තනෝමතික, මිනිසා එල්ලා මැරීමේ ලෙයින්  පිපාසිතය. පිශාචයකු වැන්න. බලයෙන් උද්ධච්චය. මුග්ධත්වයෙන් අන්ධය. මරණයේ රමණයෙන් අන්ධ ය.

අවසාන විග්‍රහයේදී මේ මිනිසා ඉතිහාසගත වන්නේ සියලුම ක්ෂෙත්‍රයන්හිදී කරන ලද දුෂ්ඨකම් සහ පාවාදීම් වෙනුවෙනි.

ජනාධිපති සිරිසේන,මේ වනාහී ඔබ විසින් කරන ලද අගණිත වූ අඥාන සහ අදූර දර්ශි දේශපාලන සැහැසිකම්හි අවසානය වේවා! 

වන්නාටය! කූඩැල්ලා නෙළුම් කොළේ නොහිදී. මඩටම යයි. යන්න. සිරිසේන මඩටම යන්න. බහින්න, සිරිසේන. ගිලා බහින්න.

අර එල්ලා මරණ ලද මිනිසාට මෙන් ඔබට ද වෙනත් තෝරා ගැනීමක් නැත. ඒ් මිනිසා ගරු කටයුතු ලෙස අවසානයට මුහුණ දුන්නේ ය. ඔබ දැනටමත් බෙරි වී ඇත. නිකමට හිතන්න. ඔබ නැති කළේත් නැති කර ගත්තේත් කොතරම් අපූරු ඉතිහාසීය අවස්ථාවක් ද කියා. නපුරු සිහින ඔබ හඹා එනු ඇත. මරණයේ රමණයෙන් හෝ අවසාන සූරතාන්තය විදින්න. යන්න, දේශපාලන අපායටම යන්න.

 

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya