iMage by: srilankabudhisttours

අනිත් ආගම්වලට ගරු කිරීම

‘‘ගෘහපතිය, ඔබගේ ගෙය නිගණ්ඨයන්ට බොහෝ කලක් පැන් පොකුණක් මෙන් විය. එම නිසා, ඉදිරියටත් ඔවුන්ට ඒ අන්දමින්ම සංග‍්‍රහ කළ යුතුය.’’- උපාලි ගෘහපුත‍්‍රයා අමතා කළ බුදුන් වහන්සේගේ දේශනාව (උපාලි සූත‍්‍රය)

ශ‍්‍රී ලංකාව, විවිධ ආගම් අදහන මිනිසුන්ගෙන් සමන්විත සකලවාසී දේශයක් විය. සියවස් ගණනාවක් තිස්සේ, බහුතර බෞද්ධයෝ, මෙරටේ සිටින හින්දු, මුස්ලිම් සහ කිතුණුවන් සමග සාමයෙන් විසූහ. එය, බුදුන්ගේ කාලයේ ඉන්දියාවට සමාන තත්වයක් විය. ඒ කාලයේ තවත් ප‍්‍රධාන පෙළේ ආගමික ශාස්තෘවරු හය දෙනෙක් ඉන්දියාවේ විසූහ. මේ නිසා, බෞද්ධ අනන්‍යතාවකට අයත් වීම, වෙනත් ආගම් නොඉවසීමට සහ ඒවාට නිගරු කිරීමට හේතුවක් වශයෙන් ගත යුතු නැත.

ශ‍්‍රී පාද ස්ථානයට යන පාර දක්වන නාම පුවරුවක දෙමළ සහ ඉංග‍්‍රීසි වචන යමෙකු විසින් මකා දමා තිබුණු බවක් මෑතකදී වාර්තා විය. ‘ආදම්ගේ ශිඛරය’ නමින්ද හැඳින්වෙන ශ‍්‍රී පාද ස්ථානය බෞද්ධයන්ට පමණක් නොව, හින්දු, මුස්ලිම් සහ කිතුණු බැතිමතුන්ටත් පූජණීය ස්ථානයකි. මේ වසරේ ‘ගොබ් ඉරිදා’ මෙතෝදිස්ත පූජකවරයෙකු සහ ඔහුගේ බැතිමතුන් අනුරාධපුරේ යාච්ඤා දේවස්ථානයකදී යම් පිරිසක් විසින් ප‍්‍රාණඇපකරුවන් වශයෙන් තබාගෙන තිබුණි. උපාලි ගෘහපුත‍්‍රයාට බුදුන් වහන්සේ දේශනා කළ ඉහත සඳහන් ධර්මයට මෙය ඉඳුරා පටහැනි ය.

උපාලි යනු, නාලන්දාවේ සිටි ධනවතෙකි. ජෛන ආගමේ නිර්මාතෘ නිගණ්ඨනාථ පුත්තගේ අනුගාමිකයෙකි. වරක් බුදුන් වහන්සේ වෙත පැමිණි ඔහු තමන් සත්‍යය මත පදනම්ව සංවාදයකට සූදානම් බව පැවසීය. එහිදී, ධර්මය යනු කුමක්දැයි බුදුන් වදාළ දේශනාවට සවන්දීමෙන් පසු ඉතසිතින් පැහැදුණු උපාලි, බුදුන්වහන්සේගේ ශ‍්‍රාවකයෙකු වීමට කැමැත්ත පළකෙළේය. එහෙත් බුදුන් වහන්සේ ඔහුට මෙසේ අවවාද කළෝය: ‘‘උපාලි ගෘහපුත‍්‍රය, ඊට කලින් හොඳින් සොයා බලන්න.’’

පසුව උපාලි බුදුන්ගේ ධර්මය වැළඳගත් පසුවත්, ඔහුගේ පරණ ශාස්තෘවරයාට සහ ඔහු බැතිමත් පිරිසට දිගටම දානමාන ආදියෙන් සංග‍්‍රහ කරන ලෙස බුදුන් වහන්සේ උපාලිගෙන් ඉල්ලා සිටියෝය. මෙය, උන්වහන්සේගේ අසීමිත කරුණාව සහ ඉවසීම මනාව පෙන්වන කැඩපතකි.

පානදුරාවාදයෙන් උගත යුතු පාඩම්

සිංහල බෞද්ධ දෙමාපියන් වැඩියෙන් ළමයින් වැදීමෙන් හෝ ප‍්‍රසිද්ධ මාර්ග නාම පුවරු මකා දැමීමෙන් හෝ ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමෙන් හෝ බෞද්ධ අනන්‍යතාව ආරක්ෂා කරගත නොහේ. බුදුන් වහන්සේගේ ධර්මය ප‍්‍රවර්ධනය කිරීමේ සහ අනුගමනය කිරීමේ සාධනීය ආකල්පයක් ගොඩනගා ගැනීම කෙරෙහි අප තත්පර විය යුතුව තිබේ. ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් වශයෙන් ලෝකයා විසින් සලකනු ලැබීමට නම්, එය අප ආදර්ශයෙන් ලෝකයාට පෙන්විය යුතුව තිබේ.

මේ සම්බන්ධයෙන් බොහෝ දේවල් අපට උගත හැකි එක් මූලාශ‍්‍රයක් තිබේ. එනම්, 1863-1873 අතර කාලයේ බෞද්ධ භික්ෂූන් සහ ක‍්‍රිස්තියානි පූජකවරුන් අතර කෙරුණු ප‍්‍රසිද්ධ වාද විවාදයන් ය. බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදය යටතේ බුද්ධාගම වඳ වීගෙන යාමට ආසන්න තත්වයක් උද්ගතව තිබුණි. තමන්ගේ ආගම ප‍්‍රචාරය කිරීමේ නිරත කිතුණු පූජකවරු බුද්ධාගම අවමානයට පත්කරන ලිපිලේඛන සිංහල භාෂාවෙන් සම්පාදනය කොට ජනතාව අතර බෙදා හරිමින් සිටියහ.

එසේ කෙළේ, පාසල් පද්ධතිය හරහා බෞද්ධ දරුවන්ව ක‍්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ ක‍්‍රියාදාමයට අමතරව ය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කිතුණු පූජකයන්ට ආගම ධර්මය පිළිබඳ ප‍්‍රසිද්ධ විවාදයකට අභියෝග කෙළේ ඒ තත්වය යටතේ ය. මේ අභියෝගය කිතුණු පූජකවරු භාරගත්හ. මෙකී වාද, බද්දේගම, උදන්විට, වරාගොඩ, ලියනගේමුල්ල, ගම්පොල ආදී ස්ථානවල පැවැත්වුණු අතර වඩාත් ප‍්‍රසිද්ධියට පත් වාදය ඇති වුණේ 1873 දී පානදුරේ ය.

1973 අගෝස්තු 24-26 අතර කාලයේ එය පැවැත්වුණි. බෞද්ධයන්ගේ පැත්තෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ද, කිතුණුවන්ගේ පැත්තෙන් ඬේවිඞ් ද සිල්වා සහ එස්. එෆ්. සිරිමාන්නද වාදයට සහභාගී වූහ. වාදයේ තේමාවන් වුණේ, කිතුණු ආගමේ සඳහන් දෙවියන්, ආත්මය සහ මළවුන්ගෙන් නැගිටීමත්, බුද්ධාගමේ සඳහන් කර්මය, පුනර්භවය, නිර්වාණය සහ පරායත්ත සම්භවය පිළිබඳ සංකල්පත් ය.

හය දහසක් සහ අට දහසක් අතර ජනතාවක් මේ වාදය නැරඹීමට පැමිණි බව වාර්තාවල සඳහන් වෙයි. වාදයේ දෙවැනි දවසේ වාදය අවසානයේදී, ජයග‍්‍රාහී ජනතාව සාධුකාර දුන් බව කියැවෙයි. බෞද්ධ නරඹන්නන්ගේ මේ ඝෝෂාව ගැන එහි සිටි කිතුණුවෝ නොසතුටට පත්වූහ. තත්වයේ නොමනා බව වටහාගත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ නිශ්ශබ්ද වන ලෙස මිනිසුන්ගෙන් ඉල්ලා සිටියහ. ඉන් පසු ඔවුහූ නිශ්ශබ්දව විසිර ගියහ. මෙය, 2014 ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ කතාවෙන් පසු තත්වය සමග සසඳා බලන්න.

පානදුරාවාදය පැවැත්වීම සඳහා දෙපාර්ශ්වයේම සාධාරණත්වය සඳහා නීතිරීති සහ එකඟතා ඇති කරගෙන තිබුණි. ඒ ගැන මාධ්‍ය මගින් විශාල ප‍්‍රචාරයක් දී තිබුණි. එහිදී සත්‍යය පිළිබඳ සංවාදයකදී සංයමය පවත්වා ගැනීම ගැන බෞද්ධ සහ කිතුණු යන දෙපාර්ශ්වයටම ප‍්‍රශංසාව හිමි වෙයි. මේ වාදය පිළිබඳවත්, බෞද්ධයන්ගේ අයිතිවාසිකම් අරභයා ගෙන ගිය අරගලය පිළිබඳවත් වාර්තා ඇමරිකාවට ලඟා වීමත් සමගම, තරුණ ඇමරිකානු නීතිඥයෙකු වූ හෙන්රි ස්ටීල් ඕල්කට්, බෞද්ධයන් වෙනුවෙන් සටන් කිරීම සඳහා 1880 මැයි මාසයේදී ලංකාවට ආවේය.

මේ වාදයේදී කිතුණුවන් ලද පරාජය, වෙන කිසිවකටත් වඩා ක‍්‍රිස්තියානි පල්ලියේ පරිපූර්ණත්වය පිළිබඳ එතෙක් පැවති මිථ්‍යාව සුනුවිසුණු කෙළේය. අනතුරුව රටේ බෞද්ධ පුනර්ජීවනයටත් එයින් මගපෑදුණි. එහිදී, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ඉතා දක්ෂ කථිකයෙකු, වාදකරුවෙකු සහ බුද්ධිමත් වියතෙකු බව ඔප්පු කෙරුණි.

වාදය විසින්, දේශීයව මෙන්ම විදේශීයවත් ඇති කළ බලපෑම අති මහත් ය. දේශීය වශයෙන් ගත් විට, බෞද්ධ පුනර්ජීවනයට එය තුඩුදුනි. ජාත්‍යන්තරව ගත් විට, බුද්ධාගම පිළිබඳ මනා අවබෝධයක් ලෝකය පුරා ඇති කිරීමට එය පිටිවහල් විය.

සංඝ සාසනය තුළ කුලයෙන් කොන් කිරීම


‘‘මිනිසෙකු උපතින් බ‍්‍රාහ්මණයෙකු වන්නේවත්, වසලයෙකු වන්නේවත් නැත. ක‍්‍රියාවෙන්ම මිනිසෙක් බ‍්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේය.’’ – වසල සූත‍්‍රය

කුලය හෝ ජාතිය මත මිනිසුන් වර්ග කිරීමට බුදුන් වහන්සේ ඉඳුරා විරුද්ධව වූහ. එය, ත‍්‍රිපිටකයේ බොහෝ තැන්වල අවධාරණය කෙරේ. එසේ වෙතත්, සියම් නිකායේ සංඝ සාසනය තුළ කුලය මත මිනිසුන් කොන් කිරීම පැහැදිලිවම ක‍්‍රියාත්මක වෙයි. මේ නින්දනීය පුරුද්ද සංඝ සාසනයට රිංගා ගත්තේ කෙසේද යන්න සොයා බැලීම වැදගත් ය.

සියම් නිකාය ශ‍්‍රී ලංකාවේ සංඝ ශාසනයේ එක් පාර්ශ්වයකි. එය පිහිටැවූයේ 1753 දී ය. වැලිවිට ශ‍්‍රී සරණංකර හිමියන්ගේ ආරාධනය පිට උපාලි නමැති තායිලන්ත ජාතික භික්ෂුවක්, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ දවස ලංකාවට වැඩම කොට, ඒ වන විට අභාවයට යමින් තිබුණු ලංකාවේ සංඝ සාසනය 1753 දී නැවත වරක් ප‍්‍රතිෂ්ඨාපනය කෙළේය. එය සියමය (තායිලන්තය) යන අරුතින් සියම් නිකාය වශයෙන් නම් කෙරුණි. මේ නිකායට අයත් පාර්ශ්ව දෙකක් තිබේ. ඒ, මල්වත්ත සහ අස්ගිරියයි.

උපාලි ථෙරුන් විසින් යළි ස්ථාපිත කරන ලද සංඝ සාසනය තුළ එයින් වසර දහයක් ගිය තැන, එනම් 1764 දී, එක් සංඝ කල්ලියක කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් වශයෙන්, ගොවිගම පුද්ගලයන්ට පමණක් උපසම්පදාව දෙන ක‍්‍රමයක් ඇති කරගැනුණි. ඒ අනුව, එම නිකාය තුළ උපසම්පදාව ලැබූ ගොවිගම නොවන අවසානයා වුණේ සිටිනාමළුවේ ධම්මජෝති (දුරාව) හිමියන් ය.

මෙසේ 1764 දී ගොවිගම් කුලයට පමණක් සීමාවන සංඝ ඝණයක් බවට සියම් නිකාය පත්වන විට එම පුරුද්ද වෙනත් කුලවල අයගේ අභියෝගයට ලක්විය. ඔවුන්ට රජුගේ අනුග‍්‍රහයක්වත්, බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ අනුග‍්‍රහයක්වත් තිබුණේ නැත. ඒ නිසා ඔවුහූ තමන්ගේම වන උපසම්පදා උත්සවයක් ප‍්‍රථම වරට 1772 දී තොටගමුවේ විහාරයේ පැවැත්වූහ. ඊළඟට, තවත් උපසම්පදා උත්සවයක් 1798 දී තංගල්ලේදී පැවැත්වුණි. ඒ උපසම්පදා උත්සව දෙකෙන් එකක්වත් සියම් නිකාය මගින් පිළිගනු ලැබුවේ නැත. ඔවුන් කියා සිටියේ, ඒවා විනය රීතිවලට පටහැනි බව ය.

1782-1789 අතර කාලයේ රජ කළ රාජාධි රාජසිංහ සියම් නිකායේ එකී ස්ථාවරය අනුමත කොට, ගොවිගම කුලයට පමණක් උපසම්පදාව ලබාගත හැකිය යන රීතිය ආඥාවක් වශයෙන් පැනවූවේය. සියම් නිකායේ මේ ‘ගොවිගම පමණයි’ ප‍්‍රතිපත්තිය නිසා රටේ මුහුදුබඩ පළාත්වල බෞද්ධයන්ට සංඝ සාසනයට ඇතුළුවීමේ වලංගු අයිතිය අහිමි විය. ගොවිගමයන් විසින් ‘පහත්’ යැයි සලකන ලද කරාව, සලාගම, දුරාව, බත්ගම, දේව සහ වෙනත් කුලවල මිනිසුන් බොහොමයක් අනතුරුව කතෝලික සහ එංගලන්ත සභාවේ ආගම් වැළඳගත් බව පර්යේෂණ අධ්‍යයනයන් මගින් තහවුරු කොට තිබේ. මේ අනතුරුදායක තත්වයට පිළියමක් සෙවූ මුහුදුබඩ ධනවත් පිරිස් එක්ව, තමන්ට ඇතුළත් විය හැකි සාසනයක් සොයා පිටරට සංචාරයකට මුල පිරූහ. අමරපුර නිකාය බිහිවුණේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

1880 දී අමරපුර නිකාය පිහිටුවීම වූ කලි, වැදගත් සන්ධිස්ථානයකි. මන්ද යත්, ඒ මගින් ශ‍්‍රී ලංකාවේ බුද්ධාගමේ සමාජ ගතිකත්වයන් බරපතල වෙනසකට ලක්කළ බැවිනි. පළමු වතාවට බෞද්ධ රජෙකුගේ රාජකීය අනුග‍්‍රහයකින් තොරව, ඒ වෙනුවට, ආගම වෙනුවෙන් කැපවුණු බෞද්ධ ගිහි පිරිසකගේ සාමූහික උත්සාහයක් මගින් සංඝ පරම්පරාවක් බිහි කෙරුණි. බෞද්ධ පුනර්ජීවනයේ පුරෝගාමියෙකු වන මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සලාගම කුලයේ කෙනෙකු වන අතර අමරපුර නිකායේ භික්ෂුවක් වූ බව සඳහන් කළ යුතුය. සියම් නිකායේ සිතැඟියාවන් අනුව ගියේ නම් බෞද්ධ පුනර්ජීවනයක් කිසි දවසක ඇති වනු ඇත්ද?

දන්ත ධාතුවේ භාරකාරත්වය හිමි කරගෙන සිටින සියම් නිකායේ මහනායක හිමිවරුන්ට, ගොවිගම කුලයේ අධිකාරීත්වය යටතේ පවතින ලංකා රාජ්‍යයෙන් කවදත් අනුග‍්‍රහ ලැබී ඇත. බුද්ධ ශාසන ඇමතිවරුන්ගේ සහ සංස්කෘතික කටයුතු සහ වෙනත් අමාත්‍යාංශ භාර ඇමතිවරුන්ගේත් නොමද අනුග‍්‍රහය ලැබී ඇත්තේ ඔවුන්ට ය.

බුද්ධ ධර්මයේ භාරකරුවන් යැයි සාඩම්බරව කියාගන්නා සියම් නිකායේ මහනායක හිමිවරුම, ‘සම්ප‍්‍රදාය’ නැමැති කඩතුරාවට මුවහ වී, පැරණි රජවරුන් නිකුත් කළ ආඥා යැයි කියාගෙන, බුදුන්ගේ දේශනා අමුඅමුවේ උල්ලංඝණය කරති. රජ කෙනෙකුගේ එවැනි ආඥා තිබුණත් ඒවායින් බුදුන්ගේ ධර්මය අතික‍්‍රමණය කළ යුතුද?

යළි සිතා බැලීමට කාලයයි

‘බුදුන්ගේ දේශනාව විශ්වීය යි. එය සියලු සත්වයන් සඳහා වෙයි. උන්වහන්සේ කිසි විශේෂිත මිනිස් කොට්ඨාශයකට ආමන්ත‍්‍රණය කෙළේ නැත. එබැවින් ඕනෑම කෙනෙකුගේ අයහපත් ක‍්‍රියාවක් උන්වහන්සේගේ උරුමයට කැළලක් වන්නේය’- පූජ්‍ය වල්පොල රාහුල

මෑතක සිට තමන්ගේ බෞද්ධ අනන්‍යතාව වටහා ගැනීමට සහ ලෝකයාට ප‍්‍රක්ෂේපණය කිරීමට ශ‍්‍රී ලංකාව අසමත් වෙමින් සිටින බවක් පෙනේ. සමාජයක් වශයෙන් ගත්තත්, පුද්ගලයන් වශයෙන් ගත්තත්, ඒ ගැන නැවත සලකා බැලීමට කාලයයි මේ. එය ඇරැඹීමට හොඳම තැන වන්නේ, ධර්මයේ මූලික දේශනාවන් වෙත ආපසු ගොස් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කර ගැනීමට බැලීමයි.

සැබෑ බෞද්ධ අනන්‍යතාවක් කෙනෙකුට ලැබෙන්නේ හුදෙක් බෞද්ධ දෙමාපියන්ට දාව ඉපදීමෙන් ද? එසේ නැතහොත්, හුදෙක් වාචිකව තිසරණ සමාදම් වීමෙන් ද? කුරුසයක් කරේ දාගෙන ඉන්නා අය අතරේ සහ වෙනත් ආගමික මුද්‍රා යටතේ සිටින අය අතරේ සැබෑ බෞද්ධයන් සිටිය නොහැකිද? සිවුරක් හැඳ ගත් පමණින්, එකිනෙකා දරණ මතිමතාන්තර සහ ඔවුන්ගේ චර්යාවෙන් පරිබාහිරව, කෙනෙකුට බුද්ධ ධර්මයේ ආරක්ෂකයෙකු විය හැකිද?

මෙහි පළමු කොටස(1) සදහා පිවිසෙන්න

නිරන්ජන් සෙල්වදුරෙයි

*2019 ජුලි 03 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ Preserving the Buddhist Identity: Back to Basics (2) නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි