iMage: independent.co.uk

වන්දනීය අගරදගුරු ජස්ටින් වෙල්බි දේවගැතිතුමනි,

ප්‍රථමයෙන්ම කිව යුත්තේ මෙම විවෘත ලිපිය ලියන මම කිතුනුවකු නොවන බවයි. එමෙන්ම මෙහිලා මා සඳහන් කරන්නේ මා මෙන්ම වැඩිමහල් ජීවිතය පුරාම මහජන සුභසෙත පෙරදැරිව කටයුතු කර ඇති තවත් බොහෝ දෙනෙකුගේ අදහස් බවයි.

කරුණාකර මෙම ආයාචනය සැලකිල්ලෙන් කියවන්න.

අගෝස්තු මස අවසාන දිනයන්හි දී ඔබ මෙරටට සැපත් වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් විපතට පත් ජනයා වෙනුවෙන් සෙත් පතනු පිනිස යැයි අපි සිතමු. විපතට පත් සියලු දෙනා වෙත කිසිදු ජනවාර්ගික හෝ ආගමික වෙනසකින් තොරව ඔබගේ ආශිර්වාද ලැබෙනු ඇති බව අපට නිසැකය.

පාස්කු ඉරුදින ප්‍රහාර විසින් ද ඉන් පසු පළිගැනීම පිනිස මෙරට අහිංසක මුස්ලිම් ජනතාව වෙත මුදා හරින ලද විසකුරු ප්‍රහාරයන් විසින් ද මෙරට ජනවාර්ගික සබඳතා දරුණූ ධ්‍රැවීකරණයකට ලක් වූ බව ඔබ දන්නවා ඇත. රටක් සහ ජනතාවක් වශයෙන් අද අප මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ජාතීන් සහ ආගම් අතර අන්‍යොන්‍ය විශ්වාසය සහ සහජීවනය ගොඩනැගීම ය.

ඔබ, ඇන්ග්ලිකානු කිතුනු සභාවෙහි ලෝක නායකයා ය. ඔබගේ පැමිණීමෙහි සංකේතාත්මක වටිනාකම එය යි. ඔබේ සංචාරය අතරතුර ඔබ කුරුණෑගල දියෝකීසය වෙත ද වඩිනු ඇතැයි වාර්තා වී තිබේ. මෙම කුරුණෑගල ගමන ඔබේ මෙරට සංචාරයේ කලු ලපයක් වනු ඇතැයි අපි බිය වෙමු. මන්ද යත් කුරුණෑගල දියෝකීසියේ රදගුරුවරයා දේව භාෂිතය වෙනුවට සාතන්ගේ භාවිතය අනුගමනය කරමින් සිටින නිසා ය. මෙම රදගුරුවරයා සහ ඔහුගේ අනුගාමිකයෝ ඇන්ග්ලිකානු සභාව අපකීර්තියට පත් කරනු ඇති විසකුරු ක්‍රියා දාමයකට අවතීර්ණ වී තිබේ.

කෙටියෙන් කතාව මෙසේ ය.

මෙයට වසර පනස් නමයකට පෙර එංගලන්තයේ අධ්‍යාපනය හදාරා ආපසු පැමිණි ජෝන් කුරේ නම් සිංහල තරුණයකු ඔබ සභාවෙහි දේවගැතිවරයකු බවට පත්විය. ඔහු අයත් වූයේ බ්‍රිතාන්‍ය යුගයෙහි මෙරට ජනයාගේ අයිතීන් උදෙසා මහත් සේවාවක් කළ ශ්‍රීමත් ජේම්ස් පීරිස් පවුලට ය. ජෝන් කුරේ, ජේම්ස් පීරිස්ගේ වැඩිමහල් දියණියගේ පුතකු විය. ඔවුන් අයත් වූයේ එකල මෙරට සිටි ධනවත් ම පවුලකට ය.

යොහාන් දේවාන්නද
පූජ්‍යත්වය ලද ජෝන් කුරේ, යොහාන් දේවානන්ද නමින් සිය නම වෙනස් කර ගත්තේ ය. කලිසම සහ කමිසය වෙනුවට සිංහල සහ දෙමළ ඌරුවට ගැලපෙන සේ සුදු සරම ඇතිව කෙටි ජාතික ඇදුමකට මාරු විය. ඔහු සේවක යොහාන් දේවානන්ද ලෙස තමා හදුන්වා ගත්තේ ය. ඔහු උරුමයෙන් ලද සියලු යස ඉසුරු ද, ඉඩකඩම් ද ධනය ද අත හැරියේ ය. ඔහුගේ දැක්ම වූයේ මෙරට ගැමි සමාජයට ගැලපෙන ජීවිතයක් ගත කරමින් දේව ධර්මය පිළිපදින අතරවාරයේම ආගමික, දේශපාලන සහ සංස්කෘතික සහජීවනයක් ගොඩ නැගීම යි. සේවක යොහාන් ප්‍රථමයෙන් පත්වීම ලද්දේ සමස්තයක් වශයෙන් කිතුනු ජනයාම ජීවත්වන මහනුවර හේවාදිවෙල නම් ප්‍රදේශයටයි. එසේ නමුත් තමාගේ කැමැත්ත වූ බහු ආගමික විශේෂයෙන්ම බෞද්ධ ගැමි පරිසරයක සිය ආගමික සමාජීය මෙහෙය ඉටු කිරීමට ඔහුට අවශ්‍ය විය.

මේ අවස්ථාවෙහි ඔහුට පිහිට වූයේ මෙරට පහළ වූ කීර්තිමත් රදගුරුවරයකු වූ එකල කුරුණෑගල දියෝකීසිය බාරව සිටි ලක්දාස් ද මැල්ය පියතුමා ය. ඔහු තමා සතු කුරුණෑගල, ඉබ්බාගමුව, යකල්ලෙහි වූ අක්කර 14ක් පමණ වූ පොල් ඉඩම පාවිච්චියට ගන්නා ලෙස යොහාන් දේවානන්දට කියා සිටියේ ය. එමෙන්ම එම ඉඩම යොහාන් නමට ලියා ගන්නා ලෙස ද කියා සිටියේ ය. එසේ නමුත් තමා තපස් දිවියට ඇතුල් වූයේ සියලූ ධනය අතහැර බැවින් එම ඉඩම කුරුණෑගල දියෝකීසියට බාර දෙන ලෙස සේවක යොහාන් කියා සිටියේ ය. ඉඩම දියෝකීසියේ ප්‍රධානීන්ගේ භාරයකට බාර දෙන ලද්දේ ඒ මහත්මා ඒකඟතාවය අනුව ය.

රටෙහි ධනවත්ම පවුලකින් පැමිණ අල්පේච්ච ජීවිතයක් ගෙවමින් සමාජ සේවයට කැප වූ ඒ කිතුනුවා දැන් ඔබේ කුරුණෑගල දියෝකීසිය විසින් ඝාතනය කරමින් තිබේ.

ලක්දාස් ද මැල් රදගුරුතුමාගෙන් පසු කුරුණෑගල දියෝකීසිය බාර ගත් රදගුරු ලක්ෂ්මන් වික්‍රමසිංහ මිනිසත්කමෙහි ද දයාවෙහි ද ප්‍රතිමූර්තියක් විය. ඔහු හුදෙක් පුජකවරයකු නොව සමාජ සාධාරණ සටන්කාමියකු ද විය. ඔහු ද ඉන් පසුව පැමිණි රදගුරුවරුන් ද දේවසරණ සංවර්ධන කේන්ද්‍රය කෙරෙහි ගරුකටයුතු ලෙස සැලකූහ.
එනයින් සේවක යොහාන් දේවානන්ද 2016 වසරෙහි දී සිය දෑස් සදහටම පියා ගන්නා තුරු මෙම ඉඩම ද ඒ හා බැදුණූ ගොඩනැගිලි සමූහය ද සහමුලින්ම පාලනය වූයේ ජනතා ව්‍යාපාරයක් බවට පත් දේවසරණ සංවර්ධන කේන්ද්‍රය යටතේ ය. අහෝ ඔහු මිය ගොස් ගත වූයේ දෙමසකි. කුරුණෑගල දියෝකීසියේ ඔබේ පූජකවරු එහි පැමිණ ඉඩමේ අයිතිය ඉල්ලා සිටියහ. නීති විරෝධී ලෙස ඉඩමෙහි පොල් කඩාගෙන විකුණාගෙන කන්නට පටන් ගත්හ. අනීතික ලෙසම තමන්ගේ ම මුරකරුවකු දමා එහි ගේට්ටුවට ද ඉබි යතුරු දමා ගත්හ. පොල් කැඩීමට පොල් හොරකු පත් කළහ. සෑම සිදුවීමකදීම ඔවුන් කළේ දේවසරණ ක්‍රියාධරයින් පොලීසියට කැඳවීමයි. මේ වනාහී දශක පහක් පුරා සිදු නොවූ දෙයකි.

වැදගත් වන්නේ ආගමික සහජීවනය සහ ජනතාව බලසතු කැරෙන ආයතනයක පැවැත්ම ද එම ආයතනයේ ආදායමක් වූ පොල් කඩාගෙන විකුණාගෙන කෑම දැයි කරුණාකර, කුරුණෑගල ඔබේ පූජකයිනට කියා දෙන්න.

මේ සියලු අවැඩ සිදු කරන ලද්දේ දේවසරණ සංවර්ධන කේන්ද්‍රය, කිතුනු සභාව කෙරෙහි දක්වන ලද හොඳ හිත දඬමීමා කරගෙන ය. ඔවුන්ගේ කපටිකමට සීමාවක් තිබුණේ නැත. ගැටුමකට යාමට අප කිසිවකුට උවමනාවක් තිබුණේ නැත. තවමත් නැත.

සේවක යොහාන් මුල් කාලයෙහි ම කිතුනු දහම ද බුදු දහම ද හින්දු සහ ඉස්ලාම් දහම ද අතර සහජීවනයේ දැක්මක් ලෙස නව ලෝ වන්දනාව නම් පිළිවෙතක් ගොඩ නැගුවේ ය. ඊට මාක්ස්වාදයේ මානව ගුණ ධර්ම ද ඇතුළත් කර තිබුණි. මෙම නව ලොව වන්දනාව කරගෙන ගිය ශාලාව අද ඔබ යටතේ සිටින පූජකයින් විසින් ඉබි යතුරු දමා වසා අල්ලා ගෙන තිබේ. ඒ ද අනීතිකව ය. ඊට යාබදව තිබූ මහජන පුස්තකාලය ද දියෝකීසියේ ප්‍රධානීන් විසින් ඉබි යතුරු දමා ගෙන තිබේ. ආගමික සංස්කෘතික කටයුතු සිදු කරන ශාලාවක් කම්බි දැල් ගසා ඉබි යතුරු දමා වසා ගැනීම ඔබේ ඇන්ග්ලිකානු දේවධර්මය දැයි කරුණාකර අපට කියන්න.

ප්‍රථමයෙන් දේවසරණාරාමය ලෙස ද අනතුරුව දේවසරණ සංවර්ධන කේන්ද්‍රය ලෙස ද සේවක යොහාන් දේවානන්දගේ සහ බෞද්ධ භික්ෂුන්ගේ සම දායකත්වයෙන් විවිධ ජනතා ව්‍යාපාර සමඟ කරන ලද අති විශාල ජනතා සේවය ඉතිහාස ගත වී තිබේ. ඒ ඉතිහාසය කිසිවකුට කණපිට පෙරළිය නොහැක.

1971 වසරෙහි මෙරට තරුණ කැරැල්ලක් ඇති විය. සේවක යොහාන් සහ දේවසරණය කැරැල්ල සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවේ සිටි තරුණ තරුණියන්ගේ අයිතීන් රැකදීමටත් නිදහස්ව පැමිණි පිරිස්වලට ජීවනෝපායන් සකස් කර ගැනීමටත් උදව් විය.

පසුකාලීනව මෙරට ජනයා විසින් දියත් කරන ලද ජලබදු විරෝධී අරගලයන්ට, ජනයාගේ ඉඩම් රැක ගැනීමේ අරගලයන්ට, ගොවි සහ කාන්තා ව්‍යාපාරයන්ට දේවසරණය විසින් ලබා දෙන ලද දායකත්වය අමිල ය. තව ද ශ්‍රී ලංකාවෙහි ඇවිල ගිය ජනවාර්ගික යුද්ධය හමුවෙහි දේවසරණය සහ දේවසරණ සංවර්ධන කේන්ද්‍රය විසින් සාමය සහ සහජීවනය උදෙසා දියත් කරන ලද ක්‍රියාකාරිත්වයන් ද බොහෝ විය. මෙරට විමුක්ති දේවධර්මය පිළිබඳ සාකච්ජාව ගැඹුරු කිරීමටත් එය දායක විය.

විවිධ තත්වයන් යටතෙහි දේවසරණ සංවර්ධන කේන්ද්‍රයෙහි සෙවන ලැබූ අය අතර සිය ගණන් සිවිල් සමාජ ක්‍රියාධරයෝ මෙන්ම ඉහළ පෙළේ දේශපාලන නායක නායිකාවෝ ද වෙති.

පසුගිය මැයි මාසයෙහි පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට පළිගැනීම් වශයෙන් මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරයද්දී දේවසරණ සංවර්ධන කේන්ද්‍රය මූලිකත්වය ගෙන අසල්වැසි මුස්ලිම් ප්‍රජාව සමඟ එක්ව සාම කමිටු පිහිටවූයේ ය. මන්නාරමෙහි දුගී මුස්ලිම් දෙමළ ප්‍රජාවන් බලගැන්වීමේ යෙදී සිටියේ ය. ඒ මහත් අභියෝගයන්ට මුහුණ දෙමිනි.

අගරදගුරුතුමනි, මේ අතරවාරයේ කුරුණෑගල ඔබේ පූජකයින් කළේ කුමක්දැයි දන්නේ නම් ඔබ නිසැකවම ලැජ්ජා වනු ඇත. ඔව්හු පසුගිය පනස් වසරක තරම් කාලයක් නොකළ දෙයක් දේවසරණ සංවර්ධන කේන්ද්‍ර භූමියෙහි කළහ. එනම් කිතුනුවන්ට පමණක් ඇරුණු ආගමික උත්සවයක් තොරන් බැඳ එහි පැවැත්වීමයි. ඒ සඳහා බැහැර ගම්වලින් කිතුනුවන් ගෙන ආහ. මේසා කාලයක් මෙහි එවැනි තනි ආගමික ක්‍රියා සිදුව නොතිබුණි. මේ වනාහී රටෙහි ආගමික ආතතීන් ඉහළ ගොස් තිබූ අවස්ථාවක ආගමික ගැටුමකට අත වැනීමක් හා සමාන විය. දැන් ප්‍රදේශයෙහි බෞද්ධාගමික නායකත්වය ඔබේ පූජකයින්ගේ මෙම අගතිගාමිත්වය හෙළා දැකීමට ඉදිරියට පැමිණෙමින් සිටිති. මෙම බෙදීම සිදු නොවිය යුතුව තිබූ දෙයකි.

එපමණක් ද නොවේ. ඔබේ කුරුණෑගල පූජක පිරිස් රුපියල් ලක්ෂ 200ක පමණ ආධාරයකින් මෙහි පවත්වාගෙන යෑමට නියමිත වූ ‘වසවිස නැති කෘෂිකර්මය සදහා වූ ගොවි සරසවිය’ට තහංචි දැමූහ. තන්හාව වෙනුවෙන් ගොවි ජනයාට ලැබීමට නියමිත අධ්‍යාපනය සිරගත කළහ. වසවිස නැති කෘෂිකර්මය සඳහා පොහොර ලෙස භාවිත කිරීමට වගා කර තිබූ ගිනිසීරියා ගස් මුලින්ම කපා දැමූහ.

මේ සැහැසිකම් කැරෙන්නේ දූගියන්ගේ විමුක්තිදායකු වූ ජේසු තුමන්ගේ නාමයෙන් වීම ඉතිහාසය නැවත පුනරුච්චාරණය වීමක්ද කියා විමසා බලන්න. මෙරට ගැමි ජනයාගේ ඉඩම් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් අල්ලා ගන්නා ලද්දේ බලයෙන් සහ කෛරාටික කමින් බව ඔබ දන්නවා ඇතැයි සිතමු.

ඔබේ පූජකයින් මේ අවැඩ සිදු කරමින් සිටින්නේ ලෝගුවේ සහ මුදලේ බලයෙනි. අපට ලෝගු ද මුදල් බලය ද නැත. නමුත් ඉතිහාසය සහ සත්‍යය අපේ පැත්තේ ය. ජනබලය ද අප සතු ය.

කරුණාකර මේ දුෂ්ඨ ක්‍රියා නවත්වන්නැයි කුරුණෑගල ඔබේ පූජකයිනට කියන්න. ඔවුන්ගේ පාපයට ඔබ දායක නොවනු ඇතැයි අපේ පැතුමයි.

වන්දනීය අගරදගුරුතුමනි, ඔබේ ශ්‍රී ලංකා සංචාරය සකලාකාරයෙන්ම සාර්ථක වේවා යැයි පතමු. ඔබේ ආශීර්වාදය විපතට පත් සැමට ලැබේවා යැයි ද පතමු.

(ඉංග්‍රිසි සහ දෙමළ පිටපත් ඔබේ සංචාරයට පෙර ප්‍රසිද්ධ කරනු ඇති බව සලකන්න.)

මෙයට

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya