මෝටර් රථයක් පැදවීමට ඒ සඳහා පුහුණු විය යුතුයි.  එම නිපුණතාව පරීක්ෂා කර බැලීමෙන් පසු පමණක් ලබා ගත හැකි රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි.

එහෙත් ඉන්ටනෙට් ප්‍රවේශයට විධිමත් පුහුණුවක් හෝ අවසරයක් හෝ බලපත්‍රයක් ඕනෑ නැහැ. මූලික සාක්ෂරතාවය සහ ඉන්ටනෙට් සබඳතාවක් සහිත ඩිජිටල් මෙවලමක් තිබීම සෑහෙනවා.

මෙසේ ප්‍රවේශ වීමේ පහසුව නිසා ඉන්ටනෙට්, ස්මාට්ෆෝන් හා ඇප්ස්වලට ජනතාව ඇදී යන්නේ නිරායාසයෙන්. බහ තෝරන වියේ පොඩි දරුවන් පවා දැන් ස්මාට්ෆෝන් පරිහරණය කිරීමට දන්නවා.

බොහෝ අය ඉන්ටනෙට් මුලින්ම භාවිත කරන්නේ ස්මාට්ෆෝන් හරහායි. ඒ පිලිබඳ කිසිදු පුහුණුවක් ලබන්නේ නැහැ. ස්වයං අධ්‍යනයකින් හෝ තම යහළුවන්ගේ මාර්ගයෙන් ඉන්ටනෙට් යාම පුරුදු වනවා.

මීට වසර කිහිපයකට පෙර එක් අවාසනාවන්ත සිදුවීමකින් පසු රජයේ සියලු පාසල්වල සිසුන්ට පන්ති කාමරයට ජංගම දුරකථනයක් හෝ ස්මාට්ෆෝන් එකක් ගෙන ඒම තහනම් කරනු ලැබුවා. එම තහනම තවමත් (2019) පවතින නමුත්, පාසලෙන් පිටත සිසුන් ඕනෑ තරම් ස්මාට්ෆෝන් භාවිත කරනු දැකිය හැකියි.

සමහර නිවෙස්වල වැඩිහිටියන් ජංගම දුරකථන භාවිත කළත්, ඒවා ළමයින්ට අකැප යයි තහංචි පනවා තිබෙනවා. එබඳු තහංචි මැද වුවත් මිතුරන් නැතහොත් ඥාතීන් හරහා ස්මාට්ෆෝන් වෙත ළං වීමේ අවස්ථාව ළමුන්ට තිබෙනවා.

ඉන්ටනෙට් සම්බන්ධ වී සයිබර් අවකාශයේ සැරිසරණ විට හොඳ දෙයින් අයහපත් දේ වෙන් කර ගන්නා සැටිත්, සයිබර් ආරක්ෂාව තහවුරු කර ගන්නා අන්දමත් බොහෝ දරුවන් පමණක් නොව වැඩිහිටියන් පවා හරිහැටි දන්නේ නැහැ.  මේ නොදැනුවත්කම හෝ නොසැලකිල්ල නිසා මතු වන ගැටලු නිසා සමස්ත සයිබර් අවකාශයම මහා භයානක නැතහොත් අපරාධකාරී තැනක් ලෙස සමහරුන් වරදවා විග්‍රහ කරනවා.

ඉන්ටනෙට් තුල පරිස්සම් වෙන අයුරුත්, අනුන්ට කරදරකාරී ලෙස හැසිරීම නොමනා දෙයක් බව සාකච්ඡා කිරීමත්, තමන්ට සමාජ මාධ්‍ය තුල කරදරයක් සිදු වුවහොත් ගත හැකි පියවර පිලිබඳවත් සැමගේ දැනුවත් බව වැඩි කිරීමත් අවශ්‍යයි.

මෙම ආකල්ප සහ කුසලතා සමුදාය ප්‍රවර්ධනය කිරීම ඩිජිටල් සාක්ෂරතාවය (digital literacy) කියා කියනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඩිජිටල් සාක්ෂරතාවය අර්ථ දක්වන්නේ පරිගණක සාක්ෂරතාවයට වඩා පුළුල් අන්දමින්. අනුව ඩිජිටල් සාක්ෂරතාවය යනු වයස අවුරුදු 5 සිට 69 අතර පුද්ගලයකුට ගෘහස්ථ පරිගණකයක්, ජංගම (ලැප්ටොප්) පරිගණකයක්, ක්ෂුද්‍ර පරිගණකයක් (tablet) හෝ ස්මාට්ෆෝන් යන ඩිජිටල් තාක්ෂණ මෙවලම් අතරින් එකක් තනිවම භාවිතා කිරීමේ හැකියාවයි.

වඩාම මෑත සමීක්ෂණයකින් (2017දී) දෙපාර්තමේන්තුව ගණන් බැලූ පරිදි, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 40.1%ක් ඩිජිටල් සාක්ෂරතාවය ලබා ගෙන සිටිනවා. මෙය පරිගණක සාක්ෂරතාවයට වඩා ඉහළ අගයක් ගන්නවා (2017දී රටේ ජනගහනයෙන් 28.6% දෙනා පරිගණක සාක්ෂරතාව ලබා තිබුණා.)

මේ පරතරයට හේතුව මිලියන ගණනක් ස්මාට්ෆෝන් මේ වන විට රටේ භාවිත වීමයි. අද ඩිජිටල් මෙවලමක් වෙත යොමු වන ලාංකිකයන් අතරින් බහුතරයක් අතට මුලින්ම පත් වන්නේ ස්මාට්ෆෝන්.

නමුත් තමන් අතේ තියන ස්මාට්ෆෝන් එක තරමටවත් ස්මාට් නැති බොහෝ දෙනා අප අතර සිටිනවා. ඩිජිටල් සාක්ෂරතාවය සහ ඩිජිටල් ආචාරශීලීත්වය යන ගුණාංග දෙකම  අප සමාජයේ තව බොහෝ ප්‍රවර්ධනය කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ ඉන්ටනෙට් භාවිත කරන මිලියන් හතකට වැඩි දෙනා අතර බහුතරයක් ගෝලීය සමාජ මාධ්‍ය වේදිකාවලින් අඩු තරමින් එකක  හෝ සක්‍රියයි. වැඩිම ජනප්‍රිය ෆේස්බුක් වේදිකාවේ මිලියන 6ක් පමණ ලාංකිකයන් සැරිසරනවා.

ඊළඟට මෙරට වඩාත්ම ප්‍රචලිත සමාජ මාධ්‍ය වන්නේ ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ් හා ට්විටර්. (චැට් මෙවලම් වන වට්ස්ඇප් හා වයිබර් ආදිය සංවෘත සන්නිවේදන ජාලයන් නිසා ඒවායේ කවුරුන් කුමක් කියනවාදැයි එම සංවාදවලට සෘජුව සම්බන්ධ නැති අයට දැන ගත නොහැකියි.)

සමාජ මාධ්‍ය භාවිත කරන බහුතරයක් එය වගකීම් සහගතව සහ ආචාර ධර්මීයව කරන නමුත් සාපේක්ෂව සුළු පිරිසක් ඒවා අවභාවිත කිරීම නිසා සමාජ ප්‍රශ්න මතු වනවා. නොසැලකිල්ලෙන් මහාමාර්ග භාවිත කරන පදිකයන් සහ රියදුරන් නිසා සමස්ත මාර්ග පද්ධතියම අනතුරුදායක වන්නා සේ සමාජ මාධ්‍ය අවභාවිත කරන්නන් ඒ මුළු වේදිකාවටම ‘විස’ එකතු කරනවා.

මෙය ස්වයං නියාමනය කිරීමට සමාජ මාධ්‍ය වේදිකා උත්සාහ කරනවා. 2019 ජූලි 28දා ලිපියෙන් විස්තර කළ පරිදි ෆේස්බුක් වේදිකාවට පිවිසෙන, එය භාවිත කරන සැවොම පිළිපැදීමට එකඟ වන කොන්දේසි සමුදායක් තිබෙනවා. ඒවා හඳුන්වන්නේ ප්‍රජා ප්‍රමිතීන් (Community Standards) ලෙසයි.

එවැනි කොන්දේසි අනෙකුත් වෙබ් වේදිකාවල ද හඳුන්වා දී ඇතත්, ඒවා ගැන අපේ වෙබ් පරිශීලකයෝ එතරම් දැනුවත් නැහැ. දන්නා සමහර අයත් ඒවා ගැන නොතකා වගකීම් විරහිත භාවිතයක යෙදෙනවා.

මෙහි අහිතකර විපාකය වන්නේ සමාජ මාධ්‍යවල ප්‍රකාශන නිදහස සීමා කෙරෙන ආකාරයෙන් නීති හා නියාමන හඳුන්වා දෙන ලෙස සමාජයේ ඇතැම් ස්ථරයන්ගෙන් රජයට කැරෙන බලපෑම් එන්න එන්නම වැඩි වීමයි.

අධිපතිවාද නොතකන, ගරුසරු නැති අවකාශ වන සමාජ මාධ්‍ය හරහා නිර්දය ලෙස මහජන විවේචනයට ලක්වන දේශපාලකයන්, පූජකයන් සහ මිලිටරිය වැනි පාර්ශව සමාජ මාධ්‍ය නියාමනය මුවාවෙන් වාරණයට යොමු විය හැකියි.

මේ නිසා හැකි තාක් වගකීම් සහගතව සමාජ මාධ්‍ය භාවිතය සඳහා සැම දෙනා යොමු කිරීම හරහා නීතිමය වාරණ වළක්වා ගැනීම අවශ්‍යයි.

ඒ වෙනුවෙන් මෙරට සිවිල් සමාජ සංවිධාන 19ක් සාමූහිකව ගත් සාධනීය ප්‍රයත්නයක් “සමාජ මාධ්‍ය ප්‍රකාශනය” (Social Media Declaration) ලෙස මීට මාස කීපයකට පෙර එළිදක්වනු ලැබුවා.

එහි අරමුණ වන්නේ “වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතාවක් සඳහා සියලු දෙනාට ඩිජිටල් සාක්ෂරතාව ලබාදීමේ අරමුණින් සහ සමාජ මාධ්‍ය නිශේධනාත්මක ලෙස පරිශීලනය කිරීමේ ශක්‍යතා බැහැර කරමින් මානව හිමිකම් මත පදනම් වූ උසස් මානව ගතිකයන් ආරක්ෂා කරනු බස් සමාජ මාධ්‍ය ප්‍රජාව දිරිගැන්වීම” බව ඒ වෙනුවෙන් අලුතෙන් බිහි කළ වෙබ් අඩවිය කියනවා. www.socialmedialanka.org

මේ සඳහා මූලිකත්වය ගත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) යටතේ ව්‍යාපෘතියක් වන “විකල්ප” වෙබ් අඩවියයි. (Vikalpa.org). සර්වෝදය, ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා, හෑෂ්ටැග් පරපුර, යාපනය මාධ්‍ය සමාජය, වෘත්තිය මාධ්‍යවේදී සංගමය වැනි ස්වේච්ඡා ආයතන සහ සංවිධාන ගණනාවක් මෙහි හවුල්කරුවන්.

මෙම ප්‍රකාශයට අත්සන් තබන සියලු සංවිධාන පහත සඳහන් ආකාරවල අන්තර්ගතය සමාජ මාධ්‍ය වේදිකාවල සහ වෙනත් ඉන්ටනෙට් අවකාශයන්හි ජනනය කිරීමට සහ බෙදා ගැනීමට එරෙහිව ක්‍රියා කරන බවට ප්‍රතිඥා දෙනවා:

  • ජාතිය, ආගම, කුලය හෝ වෙනත් සාධක පදනම් කර ගෙන වෙනස් කොට සැලකීම

  • ස්ත‍්‍රී පුරුෂ සංක‍්‍රාන්ති සමාජ භාවය පදනම් කර ගත් ප‍්‍රචණ්ඩත්වය සහ (ස්ත‍්‍රියක හෝ සංක‍්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු වීම නිසා වෙනස්කම් කිරීම, ලිංගික හිංසනය, ස්ත‍්‍රීන්ට එරෙහිව ද්වේෂ සහගතව සහ පලිගැනීම සඳහා ඡායාරූප හා වීඩියෝ රූපාවලි යොදා ගැනීම ඇතුළු) කාන්තාවන්ට වෙනස් කොට සැලකීමේ වෙනත් ස්වරූප

  • ලිංගික අපයෝජනය

  • ලිංගික දිශානතිය හෝ ලිංගික අනන්‍යතාව පදනම් කර ගත් හිංසනය

  • ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන, ළමයින් සූරාකෑම සිදුකෙරෙන, ළමා අපයෝජනය හා නීති විරෝධී ළමා ජාවාරමට සම්බන්ධ සිදුවීම්

  • වෛරය හෝ ප‍්‍රචණ්ඩත්වය, තර්ජනය, බිය ගැන්වීම, සයිබර් හිංසනය සහ භයංකර කථනය උසි ගන්වන අන්තර්ගතයන්

  • සමාජයෙන් දැනටත් කොන්වී සිටින ප‍්‍රජාවන්ට අඩන්තේට්ටම් කිරීම

  • අනීතික ක‍්‍රියා

  • දත්ත සොරකම සහ (අවසරයකින් තොරව ඡායාරූප යොදා ගැනීම වැනි) තොරතුරු මූලාශ‍්‍ර හා මාධ්‍යය ආචාරධර්මීය නොවන ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගැනීම

  • ව්‍යාජ තොරතුරු, සාවද්‍ය තොරතුරු සහ නොමග යැවීම අරමුණු කර ගත් තොරතුරු

  • වගකීම් විරහිත ආකාරයට ලිංගික දර්ශන බෙදා ගැනීම

මෙම ලයිස්තුවේ තිබෙන ක්‍රියා කිසිවක් සයිබර් අවකාශයට සීමා වූ ඒවා නොවෙයි. මේ සියල්ල භෞතික ලෝකයේ කුරිරු යථාර්ථයන් සහ විෂමතාවල ප්‍රතිපලයි.

මා නිතර කියන පරිදි සමාජ මාධ්‍ය කරන්නේ ලක් සමාජය ඉදිරියට කැටපතක් රැගෙන විත් අපේම පිළිබිඹුවක් අපට පෙන්වීමයි!

සමාජ මාධ්‍යවල සියලු අන්තර්ගතය ජනනය කරන්නේ පරිශීලකයන් විසින්මයි (user-generated content). මේවායේ සංවිධානගත කර්තෘ මණ්ඩල ව්‍යුහයක් හෝ පිරිසක් නැහැ. අධිපතිවාදි දොරටුපාලයන්ගෙන් තොර වීම ප්‍රකාශන නිදහසට හිතකර වුණත්, සංයමයකින් තොරව වේදිකා භාවිත කරන යම් පිරිසකට ද ඒ හරහා ඉඩක් විවර වනවා.

සමාජ මාධ්‍ය ප්‍රකාශනය වැනි ප්‍රයත්නයන් මෑතකදී රටවල් ගණනාවක ප්‍රජා සංවිධාන තුළින් මතුව තිබෙනවා. ඒවායේ ඉලක්කය පරිශීලකයන් පුද්ගල මට්ටමින් වඩාත් වගකීම් සහිතව, සංවේදී ලෙසින් සහ ආචාරධර්මීයව හැසිරීමට ස්වෙච්ඡා මාර්ගෝපදේශනයක් ලබා දීමයි.

සමාජ මාධ්‍ය ප්‍රකාශනය බොහෝ කොටම පරිශීලකයන්ගේ වගකීම් ගැන අවධාරණය කරන අතරේ, ආණ්ඩුවලට සහ සමාජ මාධ්‍ය හිමිකාර සමාගම්වලට පැවරෙන වගකීම් ගැනත් කෙටියෙන් සාකච්ඡා කරනවා.

වේදිකා පරිපාලකයන්ට යොමුකර ඇති ඉල්ලීම් අතර මේවා ද තිබෙනවා: ශ‍්‍රී ලාංකික අන්තර්ගතය සම්බන්ධයෙන් වන පරිශීලක පැමිණිළි  පිළිබඳ කටයුතු  කිරීමට සමාගම්   පත්කරන සුපරීක්‍ෂකයන් (content reviewers) සංඛ්‍යාව, ඔවුන්ගේ ලිංගිකත්වය, භාෂා හැකියාව සහ ඔවුන් සිටින කාල කලාප සම්බන්ධයෙන් විනිවිද භාවය පවත්වා ගැනීම; සිංහල, දෙමළ භාෂාවලින් පළවන සමාජ මාධ්‍ය අන්තර්ගතයන් සුපරීක්‍ෂාවට ලක් කිරීම සඳහා භාෂා ධාරිතාව වැඩි කිරීම; වෛරය හා ප‍්‍රචණ්ඩත්වය උසි ගන්වන අන්තර්ගතය සහ සාවද්‍ය තොරතුරු ඉවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකාවන් විසින් යොදා ගැනෙන පරීක්ෂණ ප‍්‍රසිද්ධ කිරීම.

මේ ඉල්ලීම්වල පසුබිම නම් සමාජ මාධ්‍ය වේදිකා මීට වඩා විනිවිද ලෙසින් අන්තර්ගතය නියාමනය කළ යුතු බවයි.

ආණ්ඩුවට යොමු කෙරෙන වගකීම් සමුදායක් ද මේ ප්‍රකාශයේ ඇතුලත්.  ඒ අතර වඩාත් වැදගත් ලෙස මා දකින්නේ මේවායි:

අදහස් පළ කිරීමේ නිදහස ඇතුළුව මානව අයිතිවාසිකම් තහවුරු කරන හා ආරක්ෂා කරන වාතාවරණයක් නිර්මාණය කිරීම; සියලූ නීතිමය ප්‍රතිසංස්කරණ වලදී අදහස් පළ කිරීමේ නිදහස සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරන බව සහතික කිරීම; ඩිජිටල් සාක්ෂරතාව ජාතික අධ්‍යාපන විෂය නිර්දේශයට එක් කිරීම; පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය හා දත්ත ආරක්ෂා කිරීම සඳහා නීති මාලාවක් පැනවීම.

මෙම ප්‍රකාශනය එළිදැක්වීමට කොළඹ පැවති උත්සවයට සහභාගි වූ  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (CPA) විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මෙසේ පැවසුවා:

සමාජ මාධ්‍ය ලක් සමාජයට ඇති කරන බලපෑම ඉහළ යමින් තිබෙනවා. වෙනත් පරිනත සහ වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතයකට අප යොමු විය යුතුයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය එවැනි මාර්ගයකට ගන්නට සිවිල් සමාජයේ අප දිගු කලක් තිස්සේ කළ උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා. අපේ සමාජ මාධ්‍ය භාවිතයවත් අයාලේ යන්නට නොදී නිසි මගට යොමු කිරීමේ හදිසි අවශ්‍යතාවය අප හමුවේ තිබෙනවා.

මෙම ප්‍රකාශනය කෙටුම්පත් කිරීමේදී බුද්ධිමය නායකත්වය දුන් විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් කියන්නේ එය සමාජගත කිරීමට වැඩමුළු ගණනාවක්ඉදිරි සති කිහිපය මුළුල්ලේ රටපුරා පවත්වන්නට සැලසුම් කර ඇති බවයි.

එළඹෙන මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය හරහා ජන මනසට විවිධ බලපෑම් කරන්නට විවිධ උත්සාහයන් සිදු විය හැකි බැවින් ඩිජිටල් සාක්ෂරතාව දියුණු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට ද තීරණාත්මක බව ඔහුගේ අදහසයි.

නාලක ගුණවර්ධන | Nalaka Gunawardhana

 

 

 

සංස්කාරක සටහන : මෙම සටහන 2019. 08.11 වන ඉරිදා රාවය පුවත්පතේ නාලක ගුණවර්ධනගේ  “සිවුමංසල කොලු ගැටයා “ කොලමේ පළ කෙරේ.