සිංහල, Life quips

ලැජ්ජයි………

මට ටොයිලට් යන්න ඕන කොහේ හරි නතර කරමු ද…? කොළඹ ගොස් ආපසු මාතලේ එන ගමනේදී මගේ මිතුරෙක් වන චානක කීවේ ඉතාමත් අපහසුවෙන් බව මට තේරුම් ගියේය.
මරු පොට් එකක් තියනවා. එතන නතර කරමු. රිය පදවමින් සිටි සනී කීවේ ලංකාවේ ප්‍රසිද්ධ වැසිකිලි වල තත්වය දන්නා බැවින් යැයි මට සිතුනි.

කොහේද මම විමසුවෙමි.

ඇයි බන් සෙලින්කෝ එකේ ගිමන් නිවන තැන. මරුවට හදලා තියනවා.

දංඕවිට පසුවෙද්දිම දැන්නම් මට අමාරුයි කොහේ හරි ඉක්මනට නතර කරන්න. මගේ මිතුරා කීවේ දැඩි අපහසුවකිනි. ගිමන් නිවාගන්න මීටර් 100ක් ඉදිරියෙන්….කහපාට සෙලින්කෝ පුවරුවක් දිස් උනි. මටත් හිතට සහනයක් දැනුනේ ඒ වන විට මටත් මූත්‍රා බර තිබූ බැවිනි.

ඉතාමත් අලංකාරව තනා ඇති සෙලින්කෝ ගිමන් හල ලග වාහනය නතර කළ සැනින් මමත් මගේ මිතුරාත් දිව ගොස් සෙලින්කෝ ගිමන් හලට ඇතුලු විය.

මහත්තයා ඉන්ෂුවරන්ස් එක දෙන්න. එහි පාලකවරයෙක් යැයි සිතිය හැකි තරුණයෙක් විමසීය. මම පුදුම වි ඔහු දෙස බැලීය.

මොන ඉන්ෂුවරන්ස් ද…? මම විමතියෙන් විමසුවෙමි.

වාහනයේ ඉන්ෂුවරන්ස් එක සෙලින්කෝ වී අයි පී ද…? නැවතත් එම තරුණයා මගෙන් විමසීය

.

නෑ.. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්. වාහනය පැදවූ මිතුරා අප ලගට එමින් පැවසීය.

මේක පාවිච්චි කරන්න පුලුවන් සෙලින්කෝ වී. අයි. පී. කට්ටියට පමණයි.

දෙලොව රත් වූ අපට කර කියා ගන්න දෙයක් නොතිබුනි.

අපට මේකට යන්නම බැරිද..? අපේ අමාරුව ඉවසාගත නොහැකිව මම නැවත වරක් විමසීය.

බෑ මහත්තයා අර බෝඩ් එකකුත් ගහලා තියනවා. ඇත්ත අඩියක ප්‍රමාණයේ දැන්වීමක් එයට ඇතුළු වන දොර ලඟ දක්නට තිබිණි. එම පුවරුවේ තිබුනේ මෙය භාවිතා කළ හැක්කේ සෙලින්කෝ වී.අයි.පී පහසුකම ඇති ගනුදෙනු කරුවන්ට පමණි යන තේරුමක් ඇති වදන් කිහිපයකි.
එම ගිමන්හලේ පාලකයා සමග තවත් සංවාද කිරීමට ගොස් අලුත් කලිසමකුත් ලබා ගැනීමට සිදුවන හෙයින්, ස්තූතියි මල්ලී යනුවෙන් ඔහුට සංග්‍රහ කොට ඉක්මනට වාහනයට ගොඩ වූ අප වරකාපොල නගරයට ආසන්නව පාර අසල වූ නිවසකට කතා කොට අපගේ අපහසුව සන්සිදුවා ගතිමු.

සෙලින්කෝ යනු ලංකාවේ විශාල වෙළඳ ව්‍යාපාර සමූහයක්. එසේම දැන්වීම් වලට අනුව මිනිසුන්ගේ ජීවිත ගැන වඩා උනන්දුවෙන් කතා කරන රක්ෂණ සංස්ථාවක් හිමි ව්‍යාපාරයක්. ඔන් ද ස්පොට් යනුවෙන් වාහන රක්ෂණ ක්‍රමයක් ලෝකෙටම පළමුවෙන්ම හඳුන්වා දෙනු ලැබූ වායි පවසන වාහන රක්ෂණ ක්‍රමයක් ඇති ව්‍යාපාරයක්. එසේම ග්‍රාමීන් නමින් දුප්පත් මිනිසුන්ට සහණ පොලී ක්‍රමයට ණය සපයා දෙනු ලබන ස්වයං රැකියා සදහා සදහම් සිතින් උදව් කරන ආයතනයක්. දුප්පත් මිනිසුන් වෙනුවෙන් නිවාස ශිෂ්‍යත්ව වැනි ආධාරයන් සිදු කරන ව්‍යාපාරයක්. මේ සියලු දේ ඔවුන් සිදුකරන්නේ ලාභය මත පදනම්ව පමණක්ම නොවන බව එම ආයතනයේ වෙළද දැන්වීම් බලන ඔනෑම කෙනෙකුට නොතේරේන්නේ ද නැත.

නමුත් සරදමක මහත. එම ව්‍යාපරය විසින් තනා ඇති වැසිකිලියකට යාම සදහා කොතෙකුත් අපහසුවක් තිබුන ද සෙලින්කෝ ඔන්ද ස්පොට් ඕනෑ වේ.

මෙයද ලෝකෙටම එකක් බව ඔවුන් දන්නේ නැති ද..?

එපමණක් ද නොව මූත්‍රාබර සහ කක්කාබර හැදෙන ඕනෑම කෙනෙකු මෙම ප්‍රතිපත්තිය (චූ ද කක්කාබර ද..එය සංසිදුවා ගන්න. සෙලින්කෝ වීඅයිපී ඕන.) ලෝකෙටම එකක් නොව විශ්වයටම එකක් වුවත් පිලිකුලෙන් යුතුව හෙලා දකිනවා ඇත.

පසු සටහන

නූතන ලෝකයේ මූත්‍රා කිරීමට හෝ එවැනි අපහසුවක් සංසිදුවා ගැනීමට වැසිකිලියකට හෝ එවැනි දෙයක් කර ගත හැකි ඕනෑම ස්ථානයකට යාම සදහා මුදල් ගැනීම එතරම් අරුමයක් නොවේ. නමුත් එවන් ක්‍රියාවක් සිදු කිරිම සදහා රක්ෂණ සහතිකයක් ඉල්ලා සිටීම කිසිදු ශිෂ්ඨ සමාජයක නොමැති බවනම් විශ්වාසය ය. මෙය සත්‍ය වශයෙන්ම ලෝකෙට නොව විශ්වයටම එකකි. (මෙම ලිපියේ කක්කා බර යැයි සදහන් කිරීමෙන් කියවන ඔබට යම් අපහසුවක් වෙතොත් සමාවන්න. මෙම අපහසුව ගැන සඳහන් කිරීමට මෙයට වඩා මිනිස් ජීවිතයට සමීප වචනයක් නැතැයි මම විශ්වාස කරමි.)

සම්පත් සමරකෝන්