ලෝකයේ වෙනත් තැන්වල, මනාප ඡන්දය හෙවත් උපායශීලීව ඡන්දය පාවිච්චි කිරීම පක්ෂ විසින් ක‍්‍රමෝපායීව භාවිතයට ගන්නා ආකාරයත්, ඡන්දදායකයන් විසින් එම මනාපය මහත් උනන්දුවෙන් භාවිත කරන ආකාරයත් දැකගත හැකිය. ඒ වනාහී, ප්‍රශස්ත අවසාන ප‍්‍රතිඵලයක් ඇති කර ගැනීම සඳහා ඡන්දදායකයන් විසින් උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගන්නා, පැසුණු සහ බුද්ධිමත් මෙවලමකි. අනේ අපොයි, එහෙම තත්වයක් මේ සිරි ලංකාවේ දකිනට නැත.

මෙවැනි තත්වයක් ගැන හිතාගන්න: ‘සී’ නමැති පක්ෂයට සෑහෙන ඡන්ද ප‍්‍රමාණයක් ලබාගැනීමේ හැකියාව තිබේ. එහෙත් එම ඡන්ද ප‍්‍රමාණය එකී මැතිවරණය ජයගැනීමට තරම් ප්‍රමාණවත් නැත. ඒ සමගම එම පක්ෂය තවත් දෙයක්ද හොඳින් දනී. එනම්, මේ ඡන්දයට ඉදිරිපත් වන ‘ඒ’ නමැති අපේක්ෂකයා ඒකාධිපතියෙකු වීමට ඉඩ ඇති බවත්, ‘බී’ නමැති අපේක්ෂකයා තමන්ගේ පංති හතුරෙකු වුණත් ෆැසිස්ට්වාදියෙකු නොවන බවත්ය. එසේ තිබියදී, ‘සී’ නමැති පක්ෂය තමන්ගේ ප‍්‍රචාරක ව්‍යාපාරයේ කථිකයන්ටත්, ප‍්‍රචාරක කණ්ඩායම්වලටත් මෙසේ කියයි: ”අඩු අනතුරක් තියෙන ‘බී’ අපේක්ෂකයාට දෙවැනි මනාපයක් දීම ගැන කතා කරන්න එපා. මොකද, එහෙම කිව්වොත් මිනිස්සු හිතන්න පුළුවන්, අපිට මේ ඡන්දය දිනන්න බැහැ කියලා” උපක‍්‍රමික දෙවැනි මනාපයක් ගැන කතා කිරීමෙන් වැළැකීමෙන් තමන්ගේ ඡන්ද ගොඩ මිලියන ගාණකින් වැඩි කරගත හැකිය යන මායාවක කෙනෙකුට සිටිය හැකිද ? ප්‍රජාතන්ත‍්‍රවාදයට අනතුරක් වශයෙන් තමන්ම සලකන ‘ඒ’ පරාජය කර ගැනීමට වඩා එවැනි මායාවක කෙනෙකු කෙසේ නම් ගිලෙන්නද ? එය නම් අමු ගොබ්බකමකි.

මෙසේ උපක‍්‍රමික ඡන්දයක් භාවිත කිරීම නොමැති වීම සහ ජනතාව මුග්ධයන් සේ ගැනීමේ මානසිකත්වය මගේ සොයා ගැනීමක් නොවේ. මා මේ නිරීක්ෂණය සඳහන් කරන්නේ, මේ අවස්ථාවේ එළැඹීමට නියමිත ජනාධිපතිවරණයේ ස්වභාවය සැලකිල්ලට ගැනීමෙනි. අපේක්ෂකයෝ 35 දෙනෙක් සිටිති. එයින් 33 දෙනෙකු, ජනාධිපතිවරණය ජයගැනීම සඳහා මිලියන 6 ක් ඡන්ද තමන්ට ලබාගත හැකි යැයි නොසිතිය යුතුය. දෙවැනි මනාපයක් ගැන කතා නොකර සිටියොත්, තමන්ට මේ තරගයේදී පළමු හෝ දෙවැනි තැනට පැමිණිය හැකි යැයි ඔවුන්ට සිතිය හැකිද ? විකාර ! මේ මිනිසුන් තමන්ගේ මොළ ගාල් කොට ඇත්තේ කොහේද ?

ලෝකයේ වෙනත් තැන්වල මෙවැනි දේශපාලනික බොළඳකමක් මා දැක නැත. උපක‍්‍රමිකව ඡන්දය පාවිච්චි කරන ආකාරය විවෘතව ඒ තැන්වල සාකච්ඡා කරනු ලැබේ. විවිධ ප‍්‍රවේශයන් තුළ ඇති වැදගත් ප‍්‍රතිඵල සංසන්දනය කරනු ලැබේ. එහෙත් අපේ ‘ජනතා බලය’ සහෝදරවරුන්ගෙන් විටෙක ඇසෙන්ට ලැබෙන්නේ හිස් ප‍්‍රලාපය. ගෝඨාගේ හෝ සජිත්ගේ පිළේ නොසිටීමෙන් අපට ජයග‍්‍රහණය කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. එය කවුරුත් දනිති. අප කරන්නේ ජනාධිපතිවරණයෙන් එහා අනාගතයක් ගැන සැලසුම් කිරීමයි. එහෙත් එ් අනාගත ප‍්‍රගතිය සඳහා කිසිවක් කිරීමට, අප විසින් අපවම රවටා ගැනීමෙන් සහ අපේ කාඩර්වරුන් රැවටීමෙන් අපට හැකි වන්නේ නැත.

කිසි අපේක්ෂකයෙකු සියයට 50 ක් සහ තව එක ඡන්දයක් ලබා නොගත්තොත් සිදුවන්නේ කුමක්දැයි සමහරු මගෙන් අසති. සියයට 100 ක් යනු ඡන්දදායකයන් 100 ක් යැයි අපි සිතමු. ‘ඒ’ නමැති අපේක්ෂකයා ඡන්ද 46 ක්ද, ‘බී’ නමැති අපේක්ෂකයා ඡන්ද 44 ක්ද, ඉතිරි සියලු අපේක්ෂකයන් ඉතිරි ඡන්ද 10 ද ලබාගන්නේ යැයි සිතමු. මෙහිදී කිසිවෙකු සියයට 50 ට වැඩියෙන් ලබාගෙන නැති බව පෙනේ. එවිට කෙරෙන්නේ, ‘ඒ’ සහ ‘බී’ නමැති අපේක්ෂකයන් දෙදෙනා හැර ඉතිරි අපේක්ෂකයන් සඳහා පාවිච්චි කොට ඇති දෙවැනි මනාප ප‍්‍රමාණය ගණන් කිරීමයි.

මේ තත්වය තුළ මෙවැනි අන්ත දෙකක් ගැන සිතාගන්න:

(1) පළමු දෙදෙනා හැරුණු කොට ඉතිරි සියල්ලන් වෙනුවෙන් අවසාන ඡන්ද 10 පාවිච්චි කළ කිසිවෙකු දෙවැනි මනාපයක් පාවිච්චි කොට නැත. එවිට මුළු ඡන්ද ප‍්‍රමාණය වශයෙන් සැලකෙන්නේ, පළමු දෙදෙනා ලබාගෙන ඇති ඡන්ද 90 පමණි. එහිදී, එම ඡන්ද ප්‍රමාණයෙන් සියයට 50 ට වැඩි ඡන්ද ප‍්‍රමාණයක් (46) ලබාගෙන ඇති ‘එ්’ නමැති අපේක්ෂකයා ජයග‍්‍රාහකයා වන්නේය.

(2) ඉහත කී අවසාන ඡන්ද 10 පාවිච්චි කළ පිරිසෙන් 3 දෙනෙකු පමණක් දෙවැනි මනාපයක් පාවිච්චි කොට ඇති බවත්, ඒ මනාප තුනම පාවිච්චි කොට ඇත්තේ ‘බී’ නමැති අපේක්ෂකයාට බවත් හිතන්න. දැන් පළමු දෙදෙනාගේ මුළු ඡන්ද ප‍්‍රමාණය වශයෙන් සැලකෙන ප‍්‍රමාණය ඡන්ද 93 ක් වන්නේය. එයින් සියයට 50 ට වැඩි ප‍්‍රමාණයක් හෙවත් ඡන්ද 47 ක් ලබාගෙන ඇති ‘බී’ නමැති අපේක්ෂකයා ජයග‍්‍රාහකයා වන්නේය.

මතක තබාගත යුතු වැදගත් කරුණ වන්නේ, අවසානයේ ගණනය කරනු ලබන්නේ, පළමු දෙදෙනා වෙනුවෙන් සෙසු අයගේ ඡන්ද පත‍්‍රිකාවල පාවිච්චි වී ඇති මනාප ප්‍රමාණය පමණක් බවය. ඉහත කී ඉතිරි අපේක්ෂයන්ගේ ඡන්ද පත්‍රිකාවල වෙන කිසිවෙකු වෙනුවෙන් පාවිච්චි වී ඇති කිසි ඡන්දයක් ගණනය කරන්නේ නැත.

මේ ගැන මා මෙතරම් කරදර වන්නේ, ගෝඨා හෝ සජිත් යන දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ මුළු ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 50 වැඩි ප‍්‍රතිශතයක් ලැබීමට ඉඩක් නැති නිසා බව දැන් ඔබට වැටහෙනවා ඇත. ඉතිං, ඊළඟට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාව ඇති පුද්ගලයා අනුර කුමාර දිසානායකයි. එහි අදහස වන්නේ, අනුර කුමාර වෙනුවෙන් පාවිච්චි වන ඡන්දය සමග සටහන් කෙරෙන මනාපයක් වෙතොත් එය තීරණාත්මක වන බවය. එහෙත් ඔහුගේ අනුගාමිකයන් දෙවැනි මනාපයක් පාවිච්චි නොකිරීමට තරම් මුග්ධ කට්ටිවාදී වුණොත්, එය ගෝඨාට ජයග‍්‍රහණය කිරීමට ඉඩ හැරීමකි. මා සිතන පරිදි, ඔවුන්ට අවශ්‍ය නොකරන්නේම එයයි. අනුර කුමාරට ඡන්දය පාවිච්චි කරන ඡන්දදායකයා තමන්ගේ දෙවැනි මනාපය (නහය වහගෙන හෝ) සජිත්ට පාවිච්චි කිරීම, දුෂ්කර වුවත්, අත්‍යවශ්‍යය. ඉදිරියේදී ප්‍රශ්නය එසේ නිරාකරණය වෙතැයි සිතිය හැකිය.

අනුරට පළමු ඡන්දය දී දෙවැනි ඡන්දය සජිත්ට දෙන්නැයි ඉල්ලීමෙන් මා කරන්නේ වම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් අතර පවතින සහජීවනයට හානි කිරීමකැයි මට වඩා තරමක් වයසින් බාල සමසමාජකාරයෙක් කීවේය. එය අන්දකයිප්පු කතාවකි. අමුම විකාරය වන්නේ ඔහුගේම පක්ෂය විසිනුත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කොට තිබීමය. දැන් ඔහු ජනතාවට කියන්නේ කුමක්ද ? පළමු ඡන්දය සජිත්ට දී දෙවැනි මනාපය ඔහුගේ අපේක්ෂකයාට දිය යුතුයි කියාද ?

ගෝඨා හෝ සජිත් සියයට 50 ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ගත්තොත්, කතාව එතැනින්ම අහවරය. එසේ නොවන්නේ නම්, පළමු ඡන්දය තරමටම දෙවැනි ඡන්දයත් වැදගත් වන්නේය. ඒ දෙකටම ඇත්තේ එකම අගයකි. එසේ හෙයින්, ගෝඨා පරාජය කිරීම සඳහා කටයුතු කිරීමෙන් කිසිවෙකුට අවැඩක් වන්නේ නැත. ‘පළමු ඡන්දය අනුරට සහ දෙවැනි මනාපය සජිත්ට’ යැයි කීමෙන් සිදු විය හැක්කේ අනාගතය ගොඩනැගීම සඳහා සුගතියක්මය.

මහාචාර්ය කුමාර් ඩේවිඩ්

*2019 ඔක්තෝබර් 9 වැනිදා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ, මහාචාර්ය කුමාර් ඩේවිඩ් ලියූ, ‘Immature Opposition to Second Preference Voting’ නමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.