iMage:uq.edu.au

“මැතිවරණය යනු නරුම බවේ දේශපාලනයද නැතිනම් බලාපොරොත්තුවේ දේශපාලනයද යන්න තෝරාගැනීමට ඔබට ලැබෙන වරයකි”

බැරක් ඔබාමා විසින් කරන ලද ඉහත ප්‍රකාශයට අදාළ තෝරාගැනීමේ අභියසටම පිවිස ඇති අවස්ථාවක, ඉතිහාසයේ දීර්ඝතම ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවක් හමුවේ පුරවැසියන් ලෙස අප වික්ෂිප්තව ඇතැයි මට සිතේ.

අති විශාල අභ්‍යන්තර අරගල මෙහෙයවා ජයග්‍රහණයකර, විශාල ජනරැලි ඔස්සේ අභිෂේකකොට, මාධ්‍ය මගින් පුම්බා සැරසූ ජනාධිපති අපේක්ෂකයන් විසින් මෙම සංක්‍රාන්ති අවධියේදී අපට නරුම බවේ දේශපාලනය යනු කුමක්දැයි නැවත නැවතත් කියාදෙමින් සිටී.

සියලු දේශපාලන චරිත පොහොට්ටුව තුල දියකරවා හරිමින් රාජපක්ෂ ලකුණ හරහා සිදු වූ ගෝඨාගමනය තුල ඇත්තේ ‘තර්කයට‘ වඩා ‘භක්තියට‘ මුල් තැන දෙන වන්දනීය ස්වභාවයකි. ජාතිමාකත්වය, ආගම් ලෝලය, රණවිරු ආලය වැනි දේ එහි සංකේතීය වටිනාකම්‍ ය. සජිතාගමනය හෙවත් මෝඩ පුත්‍ර ආගමනය ද මීට වෙනස් නැත. සැබැවින්ම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලෙස සලකන ඔවුන් අතර සමානකම් මිස වෙනස්කම් ඇත්තේම නැත. හිටපු ආරක්ෂක ලේකම්ද? ෆීල්ඩ් මාෂල්ද? වැනි තැනකට ජාතික ආරක්ෂාව ලඝු කරන අතර සාමය කැමති සිවිල් ජනතාවගේ බිය, ත්‍රාසය, වේදනාව ඔවුන්ගේ බල ව්‍යාපෘතිය කොටගෙන අපට ජාතික ආරක්ෂාවේ සවි ශක්තිය මනින්නට කියයි. ගැලරියේ ඔල්වරසන් වෙනුවෙන් එකිනෙකා පරයන පරිදි සහනාධාර පොරොන්දු දෙති. ඉන් නොනැවතී ජනතාවගේ සතුට උදෙසා දිවා රෑ නොබලා ගෙන්ගෙට යන බවට සපථ කරති.

කම්කරු රැකියාවක්, ටකරන් තහඩු දහයක්, බත් පැකට් එකක්, අරක්කු කාලක්, සිමෙන්ති මිටි කිහිපයක් වැනි අල්ලසකට යටත්කොට දුප්පතුන් පිට්ටනිවලට ගාල් කරනවා මදිවාට තව ගුටි අනිති. මනුෂ්‍යත්වයට පවා නිගාදෙන ලෙස හැසිරෙති. ස්වයං විනය ගැන අංශු මාත්‍රයක තැකීමක් නොකොට ආඥාදායකත්වයෙන් රටේම විනය හැදීමට පොරොන්දු දෙන ඔහුම මුළු රටම දන්නා අධිකරණ පමණක් නොදන්නා හේතු මවමින් අධිකරණ මඟහරිමින් සිටී. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුබිමේ තබාගෙන මත්ද්‍රව්‍ය මඬින්නට පොරොන්දු දෙති. රස්තියාදුකාර මැරයන් පිරිවරාගෙන වියත් මඟට බසී. මෝඩයන් ජනාධිපති කරවීමේ භයානකකම උගත් පාඩම් ඇසුරෙන් අත්දැක ඇති අපට මෝඩ ජවනිකා රඟපානා තක්කඩියෙක් ආමන්ත්‍රණය කරයි.

මෙයාකාර පසුබිමක වර්තමානය ගතකරන අප වසර හතරක් පුරා බොහෝ දේ කතා කරනා අතර පස්වන වසර අවසානයේ සුපුරුදු අමන දේශපාලන වහලුන් බවට පත් වන්නෙමු. ඔවුන් රජකරවා ලේ කදුළු හලන්නෙමු. ජීවිත වලින් වන්දි ගෙවන්නෙමු. සමීපතමයන් බිළි දෙන්නෙමු.

මෙතෙක් අනුගමනය කල අඩු නපුර තේරීමේ න්‍යාය බිඳ හෙලමින් මේ උදාවී ඇත්තේ නපුර පළවා හැරිය යුතු අවස්ථාවයි. මන්ද යත් මෙහි අඩු වැඩියක් ඇත්තේම නැත.

මෙවරත් රාජපක්ෂ නාමය තුල අයියාට මුවාවී එන මල්ලී හරහා සරණක් පතනවාද? පියාගේ අභාවය වූ දිනයේ සිට කාලයන්ත්‍රය නැවතී තිබෙන පුත්‍රයාගේ යුගයට ගමන් කරනවාද? එසේත් නැතිනම් ඔබ අතැති දීර්ඝ අපේක්ෂක ලැයිස්තුව තුලින් නරුමත්වය වෙනුවට බලාපොරොත්තුවේ දේශපාලන සංස්කෘතියක් බලගන්වනවාද? යන්න සර්වජන ඡන්ද බලයේ දිගු උරුමයක් ඇති රටක් අභිමුඛව ඇති තීරණයයි.

ශානි නිලුක්ෂි | Shani Nilukshi