iMage: scmp

යුද්ධය ජයග‍්‍රහණය කිරීමේ ‘වීරයා’ වශයෙන් අභිෂේක ලැබුවේ ගෝඨාභය රාජපක්ෂයි. එදා මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ යුද්ධය අවසානයකට පත්කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ඔහුගේ කාර්යභාරය උත්කර්ෂයට නැංවීම එතරම් දුෂ්කර කාර්යයක් නොවුණි. යුද්ධයට සංග‍්‍රාමික සහ උපායමාර්ගික නායකත්වය දුන් සරත් ෆොන්සේකා යුද්ධය අවසන් වීමෙන් පසුව එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ අභියෝගයට ලක්කොට 2010 ජනාධිපතිවරණයේදී ලද පරාජය හේතුවෙන්, යුද ජයග‍්‍රහණයේ තනිකර භුක්තිය විඳීමේ අවසරය රාජපක්ෂ සහෝදරයන් දෙන්නාට පහසුවෙන්ම ලැබුණි. ඉන්පසුව, සරත් ෆොන්සේකා එක රැයකින් ද්‍රෝහියෙකු බවට පත්කෙරුණි. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අසහාය වීරයන් බවට පත්කෙරුණි. ‘‘ගෝඨාගේ යුද්ධය’’ නමින් ප‍්‍රශස්ති ගායනා කෘතිද එදා එළිදැක්වුණේ ඒ පසුබිම යටතේ ය.

එහෙත් මීට සති කිහිපයකට පෙර ඉන්දීය මාධ්‍යවේදිනියක් ගෝඨාභයගෙන් ප‍්‍රශ්නයක් ඇසුවාය. එනම්, සුදු කොඩි ඔසවාගෙන යටත් වීමට පැමිණි එල්.ටී.ටී.ඊ. කාඩර්වරුන් පිරිසකට අත් වූ මාරක ඉරණම ගැන ඔහු කියන්නේ කුමක්ද යන්නයි. ගෝඨාභයගේ පිළිතුර වුණේ, යුද්ධය කෙරුවේ හමුදාපති සරත් ෆොන්සේකා මිස තමන් හෝ තමන්ගේ වැඩිමහල් සොහොයුරු මහින්ද රාජපක්ෂ හෝ නොවන බවයි. යුද්ධයක ජයග‍්‍රහණය සහ කීර්තිය නායකයාගේ භුක්තියට සවිවීමත්, යුද්ධයක පරාජය සහ අවමානය ජාතියක හෝ රටක අවාසනාවක් බවට පත්වීමත් සාමාන්‍ය සිරිතයි.

ගෝඨාභයගේ දේශමාමකත්වයත් හැම විටකම මෙකී ‘වාසිය’ මත පමණක්ම තීන්දු වී ඇති දෙයක් මිස, රට කෙරෙහි හෝ ජාතිය කෙරෙහි හෝ ආගම නැත්නම් දේශීය සංස්කෘතියක් කෙරෙහි හෝ සම්බන්ධතාවක් දක්වන දෙයක් වී නැති බව ඔහුගේ ඉතිහාසය පිරික්සීමෙන් පෙනී යයි.

1990 දශකය ලංකාවේ යුද්ධයේ ඉතා බිහිසුණු අදියරක් පසු කරමින් සිටි අවධියකි. මේ කාලයේ ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රී ලංකා පාබල හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකි. ඔහුට මේ කියන කාලයේ යුද්ධයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය විය. හේතුව, ඔහුගේ බිරිඳ සහ දරුවා ඒ වන විට ඇමරිකාවේ නිත්‍ය පුරවැසිභාවය ලබා සිටි තත්වය තුළ ඔහුටත් සිය පවුල සමග විසීමට ඇමරිකාවට යාමට අවශ්‍ය වීමයි. දාරක පේ‍්‍රමය සහ අඹු-සැමි පේ‍්‍රමය වෙනුවෙන් දේශමාමකත්වය කැප කිරීම අපරාධයක් වශයෙන් මේ ලියුම්කරු නොසිතයි. එහෙත්, ජානගත දේශපේ‍්‍රමීන් වශයෙන් පෙනී සිටීමට දඟලන පුද්ගලයන් එසේ කරන්නේ නම් එය සාහසික අපරාධයකි. තුච්ඡ වංචාවකි.

මෙසේ ඇමරිකාවට යන ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ ඊළඟ පියවරත් ගත්තේය. එනම් ඇමරිකානු පුරවැසිභාවයත් ලබාගත්තේය. වෙනත් රටක පුරවැසිභාවය ලබාගන්නා අවස්ථාවේම කෙනෙකුගේ ලංකාවේ පුරවැසිභාවය නිතැතින් අහෝසි වන්නේය. ලංකාවේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් සටනේ නියුතුව සිටි මේ කියන ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය ලබාගැනීමේදී දිව්රුමක් දුන්නේය. ඒ මෙසේ ය:

‘‘මෙතෙක් කල් මා යටත්වැසියෙකු හෝ පුරවැසියෙකු වශයෙන් සිටි, මොනයම්ම හෝ විදේශ කුමාරයෙකුට හෝ රාජ්‍යයකට මා දැක්වූ පක්ෂපාතීත්වය, පරම වශයෙන්ද, මුළුමණින්ද, මෙතැන් පටන් මා අත්හරින බවට මෙයින් මම දිව්රා පොරොන්දු වෙමි.. නීතියෙන් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි.. මේ වගකීම මා භාරගන්නේ හිතේ කිසි කහටක් නැතිව ය. එසේ හෙයින්, දෙවි පියාණෙනි, මට උපකාර කළ මැනව.’’

ශ‍්‍රී ලාංකිකයෙකු ලංකාවේ පුරවැසිභාවය අතහැර වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම හෝ ඒ රට වෙනුවෙන් අවි දැරීමට දිව්රා පොරොන්දු වීම හෝ මේ ලියුම්කරු වරදක් වශයෙන් නොසලකයි. එහෙත් ජානගත දේශප්‍රේමීන් වශයෙන් පෙනී සිටීමට දඟලන පුද්ගලයන් එසේ කරන්නේ නම් එය සාහසික අපරාධයකි. තුච්ඡ වංචාවකි.

ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ පුරවැසිභාවය අතහැර ඇමරිකානුවෙකු බවට පත්වන්නේ 1993 දී ය. මෙසේ ඇමරිකානුවෙකු වීමෙන් පසුව, අවශ්‍ය විණි නම්, ඔහුට ලංකාවේ පුරවැසිභාවයත් නැවත ලබාගත හැකිව තිබුණි. එහෙත් ඒ ගැන ඔහුගේ ආශාවක් නොවුණි. එසේ තිබියදී, 2005 දී ඔහුගේ අයියා ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය. මල්ලීගේ දේශමාමකත්වය අවුරුදු 12 කට පසු කෙලින් වන්නේ ඒ අවස්ථාවේ ය. ඒ කෙතෙක්ද යත්, අයියා දිව්රුම් දුන් දවසේම ලංකාවේ ද්විත්ව පුරවැසිභාවයට ඉල්ලුම් කරන ඔහු, වැඩ කරන දින දෙකක් ඇතුළත, ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය අයියාගේ අත්සනින් යුතුව ලබාගනී. දැන් ඔහු, පළමුව ඇමරිකානුවෙකි. දෙවැනුව, ශ‍්‍රී ලාංකිකයෙකි.

ද්විත්ව පුරවැසියකු වීමත් වරදක් වශයෙන් මේ ලියුම්කරු නොසලකයි. එහෙත් ජානගත දේශපේ‍්‍රමීන් වශයෙන් පෙනී සිටීමට දඟලන පුද්ගලයන් එසේ කිරීම වංචනික ය. ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් එය තවත් බරපතලයි. ඒ ඇයි?

2005 දී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගන්නා ගෝඨාභය රාජපක්ෂට, අවශ්‍ය විණි නම්, ඇමරිකානු පුරවැසිභාවය දැන් අත්හල හැකිව තිබුණි. එක පැත්තකින් ඔහුගේ අයියා රටේ ජනාධිපතිවරයා ය. අනිත් පැත්තෙන් ඔහු රටේ බලධාරී ආරක්ෂක ලේකම්වරයා ය. එහෙත්, ස්වකීය ඇමරිකානු භාවය අතහැර මුළුමණින් ශ‍්‍රී ලාංකිකයෙකු වීමේ දේශමාමකත්වයක් මේ ගෝඨාභය රාජපක්ෂට නොවීය. ඔහුගේ ඒ දේශමාමක ආශාව කෙලින් වන්නේ, ඊට අවුරුදු 14 ක් ගිය පසුව, 2019 දී ය. ඒ ඇයි?

2019 එළැඹෙන ජනාධිපතිවරණයට අයියාට ඉදිරිපත් විය නොහැක. ඒ, දෙවරකට වඩා එක පුද්ගලයෙකුට ජනාධිපති ධුරය හෙබැවිය නොහැකි බවට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පනවා ඇති නිසා ය. අයියාගේ පුතාටත්, එනම් නාමල් රාජපක්ෂටත් ජනාධිපති ධුරයට තරග කළ නොහැක. ඒ, වයස අවුරුදු 35 සම්පූර්ණ කොට නැති නිසා ය. මේ ලිපියේ මුලින් කී යුද්ධයේ ‘වීරත්වය’ ප‍්‍රයෝජනයට ගනිමින් රාජපක්ෂ පවුලෙන් ඉදිරිපත් කළ හැකි එකම සාමාජිකයා ගෝඨාභයයි. එහෙත් ඔහු සම්බන්ධයෙන්ද පරහක් සිටියේය. එනම්, ද්විත්ව පුරවැසියෙකු වන කෙනෙකුටත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ, ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය නොහැකි වීමයි. දැන්, අවුරුදු 14 ක් තිස්සේ ඇමරිකානු පුරවැසිභාවයට එක හිතින් ආලය කළ හිටපු ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ, එතැන් පටන් ලංකාවට මුළුමණින් ආලය කිරීමට තීරණය කෙළේය. වෙන දෙයකට නොව, ලංකාවේ ජනාධිපති වීමට ය.

මේ සියල්ල සම්පිණ්ඩනය කොට පහත සඳහන් කරුණු වෙත පාඨක අවධානය යොමු කිරීම මැනවි.

1992 දී ගෝඨාභය රාජපක්ෂට යුද්ධය එපා විය. ලංකාවේ ඒකීයභාවය ආරක්ෂා කිරීම සහ භෞමික අඛණ්ඩත්වය ආරක්ෂා කරගැනීම එපා විය. ඒ අනුව ඔහු රට හැර ගියේය. දාරක පේ‍්‍රමය සහ අඹු-සැමි පේ‍්‍රමය, දේශමාමකත්වය අභිබවා නැගී සිටි බැවිනි.

1993 දී ගෝඨාභය රාජපක්ෂට ලංකාවේ පුරවැසිභාවයත් එපා විය. ඒ අනුව ඔහු ඇමරිකානුවෙකු බවට පත්විය. ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට පවා එහිදී ඔහු පොරොන්දු වුණේ, ඇමරිකාව සහ ලංකාව අතර යුද්ධයක් විණි නම්, ලංකාවට විරුද්ධව ඇමරිකාව වෙනුවෙන් යුද වැදීමටත් සූදානමිනි. ඒ වෙනුවෙන් ඔහු ‘දෙවි පියාණන්ගේ පිහිටත්’ ඉල්ලා සිටියේය.

තනිකර ඇමරිකානුවෙකු වශයෙන් අවුරුදු 12 ක් එසේ සිටීමෙන් පසුව, එනම් 2005 දී, දෙවැනි පුරවැසියෙකු වශයෙන් ඔහු ලංකාවේ ලියා(පදිංචි) විය. ඒ, සිය එක්කුසේ උපන් අයියා ලංකාවේ රජ වූ නිසා ය.

තවත් අවුරුදු 14 ක් ගතවිය. මේ කියන හිටපු ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ තමාගේ ඇමරිකානු පුරවැසි භාවය තාම අතහැරියේ නැත. එසේ තිබියදී 2019 ලංකාවේ ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත්විය. රාජපක්ෂ පවුලෙන් පිටස්තර කිසිවෙකුට කිරීටය භාර කිරීමට නොහැකි නිසා, ඇමරිකානු භාවය අතහැර ගෙඩිය පිටින් ශ‍්‍රී ලාංකික වීමට 2019 මැයි මාසයේදී ගෝඨාභය රාජපක්ෂ තීරණය කෙළේය.

කරුණාකර, දේශමාමකත්වය ඇත්තේ කොතනදැයි මට පෙන්වා දෙන්න. නැතහොත්, දේශමාමකත්වය යනු අවස්ථාවාදීත්වයට කියන තවත් වචනයක්දැයි කියාදෙන්න.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda