iMage: daillymirror

විනය ගරුක සමාජයක් ඇති කරන බව සිය මූලික පොරෙන්දුව කරගෙන ඇති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාව වර්ණවත් වන්නේ ඇදහිය නොහැකි තරමට අපූරු මිශ්‍රනයකිනි. එයම මෙරට දේශපාලනය නමින් කැරෙන වංචාවට අපූරු නිදසුනකි.

වෛද්‍ය සාෆි විරෝධී ව්‍යාජ ව්‍යාපාරය ආරම්භ කළ දිවයින පුවත්පත, මහාචාර්ය චන්න ජයසුමන සහ වෛද්‍ය සාෆි විරෝධී ව්‍යාපාරයේ මුලිකත්වය ගත් රතන හිමි යන සියලු දෙනාම ගෝඨාභය සමඟ ය. එමෙන්ම වෛද්‍ය සාෆි විරෝධී ව්‍යාපාරය ව්‍යාජයක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ජනාධිපති නීතිඥ අලි සබ්රි ගෝඨාභයගේ සමීපතම උද්ඝෝෂකයෙකි.

රතන හිමි දහස් ගණන් ජනයා කුපිත කරමින් අනවසරයෙන් දළදා මාලිගා භූමියෙහි උද්ඝෝෂනයක් කළේ නැගෙනහිර මහ ඇමැති වූ හිස්බුල්ලා ඉවත් කරන ලෙස ඉල්ලමිනි. දැන් රතන හිමීත් හිස්බුල්ලාත් එකම වේදිකාවෙහි ය.‍ තමන්ට දෙන ඡන්දයේ දෙවැනි මානාපය ගෝඨාභයට දෙන සේ හිස්බුල්ලා කියයි. රාජපක්ෂ කඳවුරේ ප්‍රධානියකු වන බන්ධුල ගුනවර්ධනට අනුව හිස්බුල්ලා යනු මුස්ලිම් ජනතාවට සේවය කරන යහපත් දේශපාලඥයෙකි. හිස්බුල්ලා විසින් සජිත් ප්‍රේමදාසට ලැබෙන්නට තිබූ ඡන්ද කඩ ගන්නා බවට ඔහු ප්‍රකාශ කරන්නේ උද්දාමයෙනි.

මඩකලපුවෙහි සවුදි ආරබි ආධාරයෙන් ආරාබි පන්නයේ විශ්ව විද්‍යාලයක් ගොඩනැගීම කරගෙන යන්නේ ද සවුදි අරාබි වහාබිවාදය ප්‍රචලිත කරන්නේ ද හිස්බුල්ලාගේ මූලිකත්වයෙනි. මේ වනාහි අප නොව රාජපක්ෂවරුන්ගේ සගයන් විසින්ම මෙරට මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල ජනයා ප්‍රකෝප කිරීම පිනිස පතුරුවන ලද ප්‍රචාරයන් ය. හිස්බුල්ලා පාර්ලිමේන්තු මංත්‍රීවරයකු ලෙස සිටිමින්ම නීති විරෝධි ලෙස එකී විශ්ව විද්‍යාලය පිහිටුවීමේ අරමුදල් ලබා ගත් බව පරීක්ෂන වලින් හෙළිදරවි විය. රතන හිමි හිස්බුල්ලාට එරෙහිව සිය සිවුර කඩා නොගත්තා පමණ ය. ගම්මන්පිල සහ වීරවංශ වෛද්‍ය සාෆි සහ හිස්බුල්ලාට එරෙහිව උගුර ලේ රහ වන තුරුම කෑ ගැහැව්වෝ ය. දැන් හැමෝම එක ම සාජ්ජයක ය.

ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරය සිංහල ජනයා අතර ගෙන යන්නේ දෙමළ සහ මුස්ලිම් විරෝධී භික්ෂූන් සහ දේශපාලනඥයින් ද පෙරමුණෙහි ඇතිව ය. මුස්ලිම් විරෝධී වෛර ප්‍රචාරකවකු වන මධුමාධව අරවින්ද පවා දැන් ගෝටාගේ වේදිකාවේ ය. මේ අතර නැගෙනහිර ගෝටාගේ ඩමි අපේක්ෂකයා වන හිිිිිිිිිිස්බුල්ලා කියන්නේ නැගෙනහිර ඉඩම් අයිතිය ජන අනුපාතය අනුව සිදුවිය යුතු බව ය‍.

දෙමළ සන්ධානය සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම රහසිගත ක්‍රමන්ත්‍රණයක් බව කියන රාජපක්ෂවරු උතුරෙහි දී ඩග්ලස් දේවානන්දා සහ වර්ධරාජා පෙරුමාල් සමඟද නැගෙනහිර දි කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් සමඟ එක්ව සිටිති.

සජිත් ප්‍රේමදාස මෙරට දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. ඇත්ත වශයෙන්ම නම් මානව සහ ප්‍රජාන්ත්‍රවාදී අයිතීන් ගැන හැගීමක් සජිත් ප්‍රේමදාසගේ ඇගේ නැත. ගෝඨාභය මෙන්ම සජිත් ද කල්පනා කරන්නේ ද ආර්ථික සංවර්ධනය මගින් මෙරට දෙමළ ජනයාගේ දේශපාලන අභිලාශයන් යටපත් කර දැමිය හැකි බවයි. ආර්ථික වශයෙන් දියුණු ස්පාඥයේ කැටලෝනියා ප්‍රාන්තයේ ජනයා සවයං පාලනයක් ඉල්ලා එක දිගට සටන් කරති. කැනඩාවේ ක්වබෙක් ප්‍රාන්තයේ ද එම හැගීම ඉහළය. ජාතික අභිලාශයන් ආර්ථික ප්‍රශ්ණයක් නොවේ. දේශපාලන ප්‍රශ්ණයකි. ඊට දිය යුත්තේ දේශපාලන විසදුමක් මිස පාරවල් හදාදීම නොවේ.

දෙමළ ජාතික සන්ධානය කියා ඇති පරිදි ම බහුතරයක් දෙමළ ජනයා සජිත් ප්‍රේමදාසට ඡන්දය දීමට තීරණය කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට අවශ්‍ය නිසා ය. සජිත් ප්‍රේමදාස කෙරෙහි ඇති විශ්වාසක් නිසා නොවේ. මෙරට සුලුතර ජන ප්‍රජාවන් ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි මාරාන්තික බියක් දක්වන බව රහසක් නොවේ.

දෙමළ ජාතික සන්ධානය, ප්ලොට් හා ටොලෝ යන පක්ෂ සජිත් ප්‍රේමදාසට ඡන්දය දීමට තීරණය කිරීම නිසා ඔහු ජාති ද්‍රොහියකු වි ඇතැයි කියන රාජපක්ෂවරුන් සන්ධාන ගත වී සිටින දෙමළ සහ මුස්ලිම් දේශපාලනඥයින්ගේ පැටිකිරිය කෙසේ දැ යි බලමු.

ඉන් එක් අයකු වන ඩග්ලස් දේවානන්දා සිය ප්‍රතිපත්ති මෙම දේශපාලන සන්ධානය නිසා වෙනස් කර නැත. ඔහුගේ පක්ෂය පෙනී සිටින්නේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන ලද ෆෙඩරල් ඒකකය දෙමළ ජනතාවට ලබා ගැනීමට ය. රාජපක්ෂ සමයෙහි දී දේවානන්දාට සිය ගණනනාවක අතුරු හමුදාවක් පවත්වා ගෙන යන්නට අවසරය ද මුල්‍ය ආධාර ද සැපයුණි. ඔහුට එල්ටීටීඊ මරණ තර්ජන තිබූ බව ද ඇත්ත ය. මේ කරුණු ඩග්ලස් දේවානන්දා නායකත්වය දරන ඊ.පී.ඩී.පී. පක්ෂයේ ව්‍යවස්ථාවෙහි ම සඳහන් කර තිබේ.

තවත් අයකු වන වර්ධරාජා පෙරුමාල් ඉන්දීය සාම සාධක හමුදාවේ අනුග්‍රහයෙන් ඒකාබද්ධ කරන ලද උතුරු නැගෙනහිර පලාත් සභාවේ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය නියෝජනය කරන මහ ඇමැතිවරයා බවට පත් විය. ඔහු එම පලාතෙහි පරිපාලන කටයුතු සඳහා දෙමළ ජාතික හමුදාව නමින් සන්නද්ධ බලකායක් ගොඩ නැගුවේ ය. එය පුහුණූ කරන ලද්දේ ඉන්දියානු හමුදාව විසිනි. ඇත්ත වශයෙන්ම නම් එය කටයුතු කලේ මැර හමුදාවක් විදියට ය. අනතුරුව උතුරු–නැගෙනහිර පලාත තම දෙමළ ජාතික හමුදාවට පාලනය කල හැකි බැවින් ආන්ඩුවේ හමුදාව අනවශ්‍ය යැයි ඔහු ප්‍රකාශ කළේ ය. ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ගිය 1990 මාර්තු 01 දින ඔහු සිය පලාත් සභාවෙහි යෝජනාවක් සම්මත කර ඊළාම් රාජ්‍ය පිහිට වූ බව ප්‍රකාශ කළේ ය. මහජන නියෝජන සභාවක් විසින් මෙරට ඊළාම් රාජ්‍යක් ප්‍රකාශයට පත් කරන ලද එකම අවස්ථාව එයයි. අනතුරුව ඉන්දියාවයෙහි දේශපාලන රැකවරණ ලබා දශක දෙකකට වැඩි කලක් එරට ජීවත් විය. ඒකාබද්ධ උතුරු නැගෙනහිර පලාතට ෆෙඩරල් පාලනයක් අවශ්‍ය බව අද පවා වර්ධරාජාගේ දේශපාලන දැක්මයි. ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නායක මණ්ඩලය සහමුලින්ම වාගේ එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කරන ලද අතර ජනාධිපති ප්‍රේමදාස මේ සඳහා එල්ටීටීඊ යට උදව් කළ බව ද අප අමතක නොකළ යුතු ය.

ජනාධිපති ප්‍රේමදාස සමඟ, ජීවිත හානි නොකරන බවට ඇති කරගත් එකඟතාවයක් උඩ නිරායුද කරන ලද මඩකලපු දිසාවෙහි සේවය කළ පොලිස් නිලධාරින් 400 දෙනෙකු එක තැන ඝාතනය කරන ලද්දේ තවත් ගෝඨාභය රාජපක්ෂ සහායකයකු වන විනායගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් විසිනි. නැගෙනහිර පලාතෙහි බලහත්කාරයෙන් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම කරන ලද්දේ ද මෙම කරුණා අම්මාන් ගේ නියෝග යටතේ ය.

සිංහල රාජ්‍ය නිලධාරියකුගේ නමින් ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් හැදුනුම්පතක් ලබා දී ඔහු බ්‍රිතාන්‍යට පිටත් කරන ලදදේ ද රාජපක්ෂ ආන්ඩුව යි. එහිදී ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයකින් බ්‍රිතාන්‍යට ඇතුල්වීමට වරදකරු වූ ඔහුට 2008 ජනවාරි 05 දින මාස නමයක සිර දඩුවමක් නියම විය. බ්‍රිතාන්‍ය අධිකරණය හමුවෙහි කරුණා අම්මාන් කියා සිටියේ තමාට ව්‍යාජ ගමන් බලපත්‍රය සකස්කර දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව යි. සිර දඩුවම අවසන් වී ලංකාවට පැමිණි කරුණා අම්මාන්ට ඇමැති ධුරයක් ලබා දුන් රාජපක්ෂ පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තනතුරකින් පුදන ලදදේ ය.

රාජපක්ෂවරුන්ගෙන් ලද සහයෝගයෙන් නැගෙනහිර පලාතෙහි මහ ඇමැතිවරයා බවට පත් වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් තවත් ගෝඨාභය සහායකයෙකි. දැනට වසර කිහිපයක් ම ඔහු සිටින්නේ රැදවුම් බාරයේ ය. ඔහුට විරුද්ධව ඇති චෝදනාව නම් මඩකළපුවෙහි දෙමළ ජාතික සන්ධානයේ ජේෂ්ඨතම මංත්‍රීවරයා වූ ජොෂප් පරරාජසිංහම් වෙඩි තබා ඝාතනය කිරීමයි. මෙම ඝාතනය සිදු කරන ලද්දේ පරරාජසිංහම් 2005 දෙසැම්බර් 25 වන දින එනම් නත්තල් දින දේව මෙහෙයට සහභාගිවෙමින් සිටිය දී ය. ඔහු හමුවීමට ඊයේ පෙරේදා මඩකළපු හිර ගෙදරට ගිය රාජපක්ෂ කියා සිටියේ තමා අගමැති වූ විගස, පිල්ලේයාන් නිදහස කරන බවයි.

දෙමළ හෝ මුස්ලිම් දේශපාලනඥයින් සමඟ රාජපක්ෂවරු සන්ධාන ගත වීමේ වරදක් නැත. එමෙන්ම එකී දෙමළ හෝ මුස්ලිම් දේශපාලනඥයින් වඩා යහපත් දේශපාලනයක් කරා මාරු වී තිබෙනවා වෙන්ටත් පුලුවන. අඩුම වශයෙන් ඔවුහු ප්‍රචන්ඩ දේශපාලනයෙන් ඉවත් ව සිටිති. එසේ නමුත් තමන් හාද වී සිටින්නේ කා සමඟ දැයි අමතක කරමින් අනුනට බැණ වැදීම යහපත් දේශපාලනයක් නොවේ. තව ද සිංහල ජනතාව අතර ජාතිවාදය පතුරුවමින් ෆෙඩරල් පාලනයක් අරමුණු කරගත් දෙමළ දේශපාලන පක්ෂ සමඟ හාද වීම දෙපිට කාට්ටුකමකි.

ගෝඨාභය රාජපක්ෂ යුද්ධය අතරමැද දී යුද හමුදාවෙන් ඉවත්ව ඇමෙරිකාව බලා ගියේ ඇයි ද යන හරි උත්තරයක් නැති ප්‍රශ්ණයට පසුගිය දා ගෝඨාභයට පක්ෂපාතී ජේෂ්ඨ ජනමාධ්‍යවේදියකු පිළිතුරක් සපයා තිබුණි. ඒ දි අයිලන්ඩ් පුවත්පතෙහි ශමින්ද්‍ර ප්‍රනාන්දු විසිනි. ඔහුට අනුව ගෝඨාභය යුද බිම අතහැර ඇමෙරිකාවෙහි පදංචියට ගියේ ඔහුගේ බිරිඳ වන අනෝමාගේ පෙරැත්ත කිරීම නිසා ය. ඇයට ඇයගේ මා–පියන් ජිවත් වූ දේශයට යාමට අවශ්‍ය විය. ඇය සිය සැමියා යුද බිමෙන් ඉවත්කර කොලඹට අනුයුක්ත කර ගැනීමට සමත් වූ අතර පසුව රට හැර යාමට පොළඹවා ගත්තා ය.

ඔහු මෙසේ ද කියයි. එවකට ආරක්ෂක ඇමැති වූ රංජන් විජේරත්න ඝාතනය කළ බොම්බ පිපිරුම අවස්ථාවෙහි ගෝඨාභය රාජපක්ෂ සිටියේ සිය නිවහන වූ සමිට් ප්ලැට්ස් හි ය. ඔහුට ද එය ඇසුණි. ‘ඒ 1991 මාර්තු 2 දා ය. අමාත්‍ය රංජන් විජේරත්න ඝාතනය වූ වහාම වාගේ ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය යැවුවේ ය.’

වෙන්ඩ ජනාධිපතිවරයාත් වෙන්ඩ ජනපති ආර්යාවත් ගැන එසේ කියන්නේ අප නොවේ.

‘හොදට තිබුණු රටක්. රටකට ගිය කලක්!’


සුනන්ද දේශප්‍රිය
| Sunanda Deshapriya