iMAGE: via Colombo Telegraph

දැන් ජනාධිපතිවරණය ඇත්තේ කට උඩය. අද රාත්‍රී 12 න් පසු නිත්‍යානුකුලව මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් අපේක්ෂකයින්ට සහ අදාළ පක්ෂ වෙත ලබා දී ඇති කාලය නිල වශයෙන් අවසන් වේ. කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සටන දැන් ගිනියම් වී තිබේ. ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකු අතරින්, ප්‍රධාන බල කඳවුරු දෙක වන පොදු ජන පෙරමුණේ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනාට අමතරව ඊට තුන්වෙනි බලවේගයක් ලෙසින් මෙවර මතු වීමෙන් ඇති  ජාතික ජන බල වේගය ද  අපේක්ෂක පොර පිටියේ කැපී පෙනෙන ප්‍රචාරක මුහුණුවරකට අත ගසා තිබේ. මේ ප්‍රචාරණයේ සිමා මායිම් සම්බන්ධව මතුවෙන ගැටලු මෙතෙකැයි කිව නොහැකි තරම්ය.

පසුගිය සතියේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් එළි දක්වන ලද අන්තර්කාලින වාර්තාවක් තුළින් පේනවා දී තිබුණේ මැතිවරණය ආශ්‍රිතව අපේක්ෂකයින් විසින් සති දෙකක් ඇතුළත බිලියනයකට ආසන්න පිරිවැයක් දරා තිබෙන බවය. එහෙත් ගණනයෙන්  මඟ හැරී ගිය පිරිවැයක්  ද තවදුරටත් ඉතුරුව තිබෙන බව අමතක නොකළ යුතුය. කෙසේවෙතත් එහි  දිගුවක් ලෙසින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය අද දිනයේදී නාම යෝජනා භාර දුන් දින සිට අදින් අවසන් වීමට නියමිත ප්‍රචාරණ කාල සීමාවේ දින 21 ක දී කරන ලද පිරිවැය ගණනය මාධ්‍ය වෙත නිකුත් කරන ලදී. මෙහිදී  මැතිවරණ ප්‍රචාරක පිරිවැය නිරීක්ෂණය ක්‍රියාවලිය යටතේ කේෂ්ත්‍ර 4 ක් ආවරණය කරමින් එනම්  මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ  වෙනත් ලෙස  කළ ගණනය කිරීම සිදු කොට තිබේ. ඒ අනුව  සමස්ත වශයෙන් රුපියල් මිලියන 3108 ක මුදලක් , එනම් බිලියන 3.108 ක පිරිවැයක් මේ වන විට ජනාධිපති මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් අපේක්ෂකයන් විසින් දරා ඇතැයි ඇස්තමේන්තු ගත කොට තිබේ.

ඒ අතරින් පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ  රුපියල් මිලියන 1518 කුත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස රුපියල් මිලියන 1422 කුත්, ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා රුපියල් මිලියන 160 ක වාර්තා ගත පිරිවැයක් දරා තිබේ.

එහිදී මුද්‍රිත මාධ්‍ය හා  විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් ප්‍රචාරක පිරිවැය ගණනය වෙනුවෙන්  එක් එක් මාධ්‍ය ආයතන දැන්වීම් සඳහා අයකරන මිල ගණන් (Rating Cards) අනුව දිනක පැය 24 ක කාලය පුරා නිරීක්ෂණය කරමින් එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රචාරණ කාලය අනුව, දැන්වීම් සඳහා 15 % වට්ටමක් ද සහිතව පිරිවැය ගණනය කොට තිබේ.  සමාජ මාධ්‍ය දැන්වීම්  පිරිවැය සඳහා දැනට Facebook Ad Library හි ලබා ගත හැකි දත්ත මත පදනම් ව අපේක්ෂකයන්ගේ පිටු මඟින් හා ඒ හා සෘජුව සම්බන්ධව ඇති  නිරික්ෂණය කරන ලද සීමිත පිටු කීපයකින් පමණක්‌ මුදා හරින දැන්වීම් වල වටිනාකම ගණනය කර ඇත. ( එහි සීමාසහිත බව පිලිබඳ ලියුම්කරු මිට පෙර ලියා තිබේ) වෙනත් ලෙස  මහජන රැළි, රැස්වීම්, ප්‍රදර්ශනය කරනු ලබන බැනර්, පෝස්ටර්, සැරසිලි, වාහන, ගුවන් යානා භාවිතය යනාදිය පිරිවැය  ගණන් කිරීමේ ක්‍රමවේදයට යටතට ගැනේ.

ඉහත ගණනය කිරීම අනුව ඇස්තමේන්තු ගත සමස්ත වියදමෙන් ගෝඨාභය රාජපක්ෂ 49 % කුත්, සජිත් ප්‍රේමදාස 46 %  කුත්, අනුර කුමාර දිසානායක 5 % ක ලෙස වාර්තා ගත පිරිවැයක් වැය කොට ඇති බව අනාවරණය වේ.

මුලාශ්‍රය – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය

 

දැන් ගැටලුව කුමක්ද?

එසේ නම්  ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වෙත අදාළ පක්ෂ විසින් වාර්ෂිකව ලබා දෙනු ලබන වත්කම් බැරකම් ප්‍රකාශ වල ඇති සත්‍යතාව කුමක් ද යන්නය.රුපියල් මිලියන 10 ක වත් වත්කමක් පෙන්වා නැති මේ පක්ෂ විසින් බිලියන ගණන් වියදම් කරන මේ මුදල් එන්නේ කොහෙන්ද ?  ඒවායේ මුලාශ්‍රය කුමක්ද? අනෙක් අතට මේ ගණනය කිරීමේ ව්‍යායාමයට අසු නොවූ වත්කම් වල ප්‍රමාණය සම්බන්ධව අපට අවම තක්සේරුවක් වත් ගත හැකිද ?  යන ප්‍රශ්න මෙහිලා පැන නගී. කෙසේවෙතත්  කිසිදු පක්ෂයක් විසින්  මේ සම්බන්ධයෙන් ඉල්ලා සිටි තොරතුරු ලබා දීමට තවමත් ඉදිරිපත් වී නැත. එසේම මෙතෙක් නිකුත් කොට ඇති  පිරිවැය ලේඛන අභියෝගයට  ලක් කර ද  නැත.

එයින් කියවෙන සත්‍ය නම් සෘජුවම අදාළ පක්ෂ හෝ අපේක්ෂකයින් මේ ගැන ප්‍රකාශ නොනගන්නෙම පිරිවැය සම්බන්ධව විනිවිද භාවයක් පවත්වා ගැනීමට කිසිදු අපේක්ෂකයෙකු සමත් නැති නිසා යන්නය. මෙතරම් විශාල මුදලක් ජන්ද ව්‍යාපාර ප්‍රචාරණ සටනට පැමිණීම අතිශය ප්‍රශ්නකාරිය. මේ මුදල් වල අයිතිකාරිත්වය ඇත්තේ කාටද? ඒ සම්බන්ධ තොරතුරු  කිසිදිනෙක හෙළි වේද  ප්‍රශ්නයකි. ඒවා පිරිසිදු මුදල්ද ? මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ මුදල් විශුද්ධිකරණයට ඉඩ සැලසෙනවාද? අගතිගාමී මුලාශ්‍ර වලින් මේ අතිවිශාල ධනස්කන්දය මැතිවරණ අපෙක්ෂක පොර පිටිය වෙත යම් ආකාරයකින් පොම්ප කෙරේ නම් එහි අහිලාෂයන් මොනවාද? අදාළ අපේක්ෂකයන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මේ වියදම් කළ මුදල් නැවත පියවා ගැනීමට කටයුතු නොකරනු ඇද්ද ? එය එසේ නම් ඒ කෙලෙසද ? කාගේ මතින්ද? මේ මහජනතාව ලෙස අප නැඟිය යුතු ප්‍රශ්නය නොවේද?

අනෙක් ගැටලුව නම් මැතිවරණ ප්‍රචාරණ සමය තුළ අසීමිත මුදල් භාවිතය හරහා සමහර අපේක්ෂකයින්ට ස්වකීය මුදල් සහ බලය භාවිතාකර අනෙකුත් අපේක්ෂකයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ක‍්‍රියාවලියෙන් බැහැර කිරීමට ඇති හැකියාවයි. නියාමනය නොකළ, අසීමිත මුදල් භාවිතය හරහා මැතිවරණ ක‍්‍රියාවලිය තුළ අසමාන තරඟ බිමක් ඇති වීම වළකාලිය නොහැකි තත්වයක් බවට පත්ව තිබේ.

රුපියල්  97,500.00 ක මාසික වැටුපක් ලැබීමට නියමිත තනතුරක් වෙනුවෙන් මැතිවරණයේ දින 21 ක් ඇතුළත යම් අපේක්ෂකයෙක් මිලියන 1000 කට එනම් බිලියනකට අධික මුදලක් වියදම් කිරීම මහජනතාවගේ ඇග කිලි පොලා යන්නක් නොවේ නම් සත්‍ය වශයෙන්ම ගැටලුවක් පැන නගී. ඒ වැය කරන මුදල් වල බර අනාගතයේ කුමන හෝ අයුරකින් ඔබේ, මගේ පොකට්ටුවෙන් පියවා  නොගන්නවා ඇතැයි කාට නම් කිව හැකිද ? ඒවා පියවීම වෙනුවෙන්  දුෂණය හා වංචාව නොකරන බවට දැන් පොරොන්දු පිට පොරොන්දු දෙන මේ නායකයින් හොරකම් නොකරනවා යයි අපට සත දෙකක විශ්වාසයක් තබා ගත හැකිද?

මැතිවරණ මුල්‍ය නියාමනය ගැන වසර  ගණනාවක් පුරා කතා බහ කරමින් පැවතියත් තවමත් ඒ සම්බන්ධව කිසිදු වගකිව යුතු පාර්ශවයක් නිසි අයුරින් ක්‍රියා නොකිරීම කණගාටුවට කරුණකි. මෙවර මැතිවරණ සමයේ මතු වූ බොහෝ ගැටලුකාරී හා  මතබේදාත්මක කාරණා හමුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත මහජනතාව නැඟු ප්‍රශ්න වලට කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉතා පහසුවෙන්ම ලබා දුන් පිළිතුර නම්  “ ඒ සඳහා අපට බලයක් නැත, නීතිමය ප්‍රතිපාදන නැත, ක්‍රියා මාර්ග ගන්න නීතියක් නැත” යන පිළිතුරය .ඒ හමුවේ බොහෝ කාරණා යට යමින් පවතී.

අනෙක් අතට සත්‍ය වශයෙන්ම මහජනතාව වන අපිද මැතිවරණ කාල සීමා උණුසුමේ පමණක් මේ සංවාද විසංවාද නින්දෙන් ඇහැරියා මෙන් දනිපනි ගසා කිරීමේ දැන් කිසිදු පලක් නැත. ඒ නිසාම ඒ සඳහා දිගු කාලින බලපෑම් කරමින් අතවශ්‍ය නීති නිසි ලෙස  සම්පාදනය කිරීමට අවශ්‍ය අනවරත සිවිල් මැදිහත් වීම මේ වෙනුවෙන් පුරවැසියන් ලෙස අප ලබා දීම අනිවාර්ය කරුණක් බවට පත් වේ. ඒ නිසා මේ අතිවිශාල මැතිවරණ පිරිවැය ලෙසින් ගලා යන ධනස්කන්ධය සම්බන්ධයෙන් මහජනතාව ලෙස අප දක්වන සංවේදීතාව හුදු ෆෙස්බුක් කමේන්ටුවකින් එහාට ගෙන යාමේ ප්‍රායෝගික අවශ්‍යතාවයක් දැන් පැන නැගී තිබේ.

ඉෂාරා ධනසේකර | Ishara Danasekara

 

 

වැඩිදුර කියවීමට – සති දෙකකට ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රචාරණ වියදම රුපියල් බිලියනයක් !