iMage:ceylonwatchdog

අභිනව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ කිව් දේවල් ක්‍රියාත්මක කරමින් ඇත. ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ගෝඨාබය රාජපක්ෂ සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී(බලන්න වි.18.22-18.23) හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනියක් සහ මාධ්‍යවේදියෙක් විශේෂයෙන් උතුරු නැගෙණහිර මිනිසුන් අතුරුදහන් කිරීම්, යුද්ධය අවසාන කාලයේ හමුදාවට බාරවීම් ආදී ප්‍රශ්ණ කිහිපයක් ඇසුවේය. ඉන් එක් ප්‍රශ්ණයකට සිය ප්‍රතිචාරය ලබා දෙමින් ගෝඨාබය රාජපක්ෂ පවසා සිටියේ ‘ඇයි පසුගිය දේවල්ම අහන්නේ. අහන්නකෝ අනාගතය ගැන. මම අනාගත ලංකාවේ ජනාධිපති’ එයින් ඔහු අදහස් කලේ ඔහුගේ ව්‍යපෘතිය අනාගතය ගැන මිසක් අතීතය ගැන නොවන බවයි.

ඒ අනුව යමින් වසර 4කට ආසන්න කාලයක් ඉතාමත් සංවේදී සිදුවීම් පිළිබද පරික්ෂණයන් රාශියක් සිදු කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ට ස්ථාන මාරුවක් ලබා දි තිබේ. ඒ ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයා, මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් නොවේද? ශානි විමර්ශණය කරමින් සිටියේ පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් වන විමර්ශණයි. එනම් ඇවන්ඩ් ගාර්ඩ් නඩුව, මාධ්‍යවෙිදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම, තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්, රතු පස්වල වෙඩි තැබීම, නාවික හමුදා නිලධාරීන් විසින් තරුණයන් 11 දෙනෙක් අතුරුදහන් කරවීම, ආදී අපරාධ සම්බන්ධයෙන් විමර්ශණයන් භාරව සිටියේ ශානි අබේසේකරයි. අබේසේකර විමර්ශනය කරමින් සිටි බොහොමයක් අපරාධ 2015 ට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ අපරාධයන්ය. එම අපරාධ බොහොමයක් සිදු වන විට රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂ අමාත්‍යංශයේ ලේකම්ව සිටියේ වත්මන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතායි. එසේම, එම වකවානුවේ එම අපරාධ සිදුකල අපරාධකරුවන් සෙවීම සදහා රාජපක්ෂ ආණ්ඩුව කිසිදු පැහැදිලි උත්සහයක් නොගත් බව නොරහසකි. කෙසේ නමුත් ගෝඨාබය රාජපක්ෂට අනුව ශානි අබේසේකර විමර්ශණය කරමින් සිටියේ අතීතයේ සිදු දේවල් ගැන බැවින්, ගෝඨාබය රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ කියා සිටි ලෙස අතීතයේ ඒවා වැඩක් නැත. එම නිසා ශානි විසින් විමර්ශණය කරමින් ඇත්තේ අතීතයේ ඒවා බැවින් ඒවා අවශ්‍ය නැත. එනයින් අභිනව ජනාධිපතිතුමන් නිවැරදිය. කියු දේ කර පෙන්වා ඇත.

තත්ත්වය එසේ වුවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂ නිළධාරීන්ගෙල් ප්‍රධානතම අයෙක් වන්නේ ශානි අබේසේකරයි. ශානි අබේසේකර මෙසේ එම විමර්ශනයන් ගෙන් ඉවත් කර ස්ථාන මාරුවක් ලබා දීම පිටුපස එම අපරාධ සිදුකළ අපරාධ කරුවන්ගේ සෙවනැල්ල තිබෙනු ඇතැයි යම් කිසි අයෙක් විශ්වාස කළහොත් එය වැරදි නැත.

කෙසේ නමුත්, අභිනව ජනාධිපතිතුමන් කියූ දේ කර තිබේ. එබැවින් එතුමාට ඡන්දය දුන් ජනතාවට සතුටු විය හැකිය. නමුත්, ශානි අබේසේකර මාරු කර හැරියේ සිදුවූ අපරාධ පිළබදව වන විමර්ශණයන් නවතා දැමීමේ අරමුණින් නම් අභිනව ජනාධිපති තුමා, අපරාධකරුවන් ආරක්ෂා කරන රාජ්‍ය නායකයන් ගෙන් තවත් එක් අයෙක් ලෙස ලෝකයා ඉදිරියේ සටහන් වනු ඇත. එසේම දණ්ඩමුක්තිය පවත්වාගෙන යන ඕනැම රාජ්‍ය නායකයෙක්, රාජ්‍යක් කිසි දිනක දියුණු, ශිෂ්ට රාජ්‍යක් වන්නේ නැති බවත් අප මතක තබා ගත යුතුය. කොතරම් උස ගොඩනැගිලි තනා, මංමාවත් වල රත්තරන් අතුරා ජනතාවට නොමිලේ සියල්ල දුන්නත්, ඒ අතරින් වේදනාවට පත් මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ අදෝනාව ඇසෙනු ඇති. මරා දැමූවන්ගේ වේදනාව ඇසෙනු ඇති. අතුරුදහන් කල වූවන්, වද බන්ධනයට ලක් වූවන් වේදනාවෙන් ඉකි ගසන හඩ ඇසෙනු ඇති. එවන් රාජ්‍යයක් දියුණු රාජ්‍යක් යැයි ශිෂ්ට සමාජය කිසිදා පිලි නොගන්නා බවද ලියා තැබිය යුතුය.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon