iMAGE: Foreign Policy

සංස්කාරක සටහන : ලිපියේ කතුවර සංජන හත්තොටුව, Groundviews  වෙබ් අඩවියේ ආරම්භක සංස්කාරක වන අතර  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජේෂ්ඨ පර්යේෂකයෙකු ලෙස ද කටයුතු කරයි. නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය විද්වතෙකු හා විශ්ලේෂකයෙකු  වන හෙතෙම එම  දැනුම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමටත්, එය ප්‍රචලිත කිරීමටත් සුවිශේෂී දායකත්වයක් පසුගිය වසර ගණනාව තුළම ලබා දී තිබේ. මේ වන විට ඔහු ඔටාගෝ විශ්වවිද්‍යාලයේ සාමය හා ගැටුම් අධ්‍යයන පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ (NCPACS) තම ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතුවල නිරතව සිටින අතර 2015 අග භාගයේ සිට “සන්ඩේ අයිලන්ඩ්” ( ඉරිදා දිවයින) ඉංග්‍රීසි පුවත්පතේ කතුවරයාගේ ආරාධනය මත සෑම ඉරිදා දිනකම පුවත්පත වෙත තිරූ ලිපියක් ලියා තිබේ. ජනාධිපතිවරණයෙන් පසු එළඹුණු පළමු සති අන්තය වූ  නොවැම්බර් මස 24 වන ඉරු දින පුවත් පතේ පළකිරීමට යවන ලද ඔහුගේ තිරූ ලිපිය  “ඉහල සිට ආ අණක්” හේතුවෙන් පළ කිරීම කළ නොහැකි යයි එම පුවත්පතේ කතුවරයා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.  ඒ සම්බන්ධව ලිපියේ කතුවර සංජන හත්තොටුව තබන ලද මුලික පැහැදිලි කිරීමක් ද සමඟ එලෙස පළ කිරීම ප්‍රතික්ෂේප කරන ලද “දින 6 ක්” (6 Days) නමැති ලිපිය විකල්ප විසින් සිංහලට පරිවර්තනය කරනු ලදුව මෙසේ පළ වේ. විශේෂයන්ම “ප්‍රකාශනයේ නිදහස” ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුලික ආස්ථානයක් ලෙස පිළිගන්නා අපි මෙම සිදුවීම අනාගත භූ දේශපාලනය සම්බන්ධ යම් යම් ඉඟි මතු කෙරෙන මුලික අදියරේ සාක්ෂියක් ලෙස දකිමු. ආසාධාරණ ලෙස පුරවැසි හඬ යටපත් කිරිම කුමන පාලනයක් යටතේ වුව ඉවසිය යුතු කාරණයක් නොවන අතර, යටපත් කිරීම් හා නිහඬ කිරීම් වෙනුවෙන්  දිගින් දිගටම අපි නොබියව පෙනී සිටින බවද අවධාරණය කරමු.

#####

කර්තෘගේ සටහන : මා 2015 වසරේ අග භාගයේ සිට කර්තෘවරයාගේ ආරාධනයෙන් සෑම සතියකම සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට ලියා ඇත. එතැන් සිට මෙම ලිපිය හැර පුවත්පත වෙනුවෙන්  ලියන  ලද මාගේ අනෙකුත් කිසිදු ලිපියක් ප්‍රතික්ෂේප වුයේ හෝ සැලකිය යුතු ලෙස සංස්කරණයට ලක් වුයේ නැත. මාගේ ට්විටර් ගිණුමේ මා සදහන් කල පරිදි “ඉහල සිට ආ අණක්” හුවා දක්වමින් කර්තෘවරයා පැවසුවේ මාගේ තීරු ලිපිය පළ කිරීමට නොහැකි බවයි.

නමුත් මෙය ගෝඨාභය රාජපක්ෂ හා සම්බන්ධ අන්තර්ගතක් ඇති ලිපියක් පුවත්පත් හිමිකරුවන්ගේ උදහසට ලක්වූ පළමු වතාව නොවේ. එවකට එහි කර්තෘ මාලින්ද සෙනෙවිරත්න යටතේ වූ ‘ද නේෂන්’ පුවත්පතේ මා වසර ගණනාවක් තීරු ලිපි රචකයෙකු ලෙස කටයුතු කළේය. මාලින්ද හා මාගේ දේශපාලන මතය එකිනෙකට බෙහෙවින් වෙනස් වුවත්, ඔහු කර්තෘ ලෙස මා ලියු දෙය වචනයකුදු වෙනස් නොකල අතර ඔහු නිතරම මට පැවසුයේ කර්තෘ ලෙස ඔහුට අවශ්‍ය වුයේ ඔහු එකඟ නොවන නමුත් හොඳින් ඉදිරිපත් කර ඇති විවිධ මත පුවත්පත තුළින් ඉදිරිපත් කිරීම බවයි. නමුත් අවාසනාවකට හිමිකරුගෙන් එල්ල වෙන  පීඩනය ක්‍රමයෙන් වැඩි විය . පළමුව ඍජුව රාජපක්ෂවරුන් සඳහන් කිරීමෙන් වැළකිය යුතු බවත්, පසුව මහින්ද පිලිබඳව ලිපි තුළ අවධානය යොමු කරනු මිස ගෝඨාභය පිලිබඳ නොකළ යුතු බවත්, අවසන් ලෙස ගෝඨාභය පිලිබඳ කිසිදු සඳහන් කිරීමක් නොකළ යුතු බවත් දන්වන ලදී. මා විදේශ සංචාරයක් සදහා රටින් පිටව සිටි අවස්ථාවකදී තාවකාලික කර්තෘවරයෙකු යටතේ පුවත්පතේ එතෙක් පළ වූ මාගේ තීරුවට නැවතීමේ තිත තබන ලදී.

රාජපක්ෂවරුන්ට ඇති බිය හෝ කීකරු යටහත් බව සමාජයේ ගැඹුරට කිඳා බැස ඇති ප්‍රපංචයකි.  2015 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගෘහ නිර්මාණකරුවන්ගේ ආයතනය විසින් ‘ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය’ පිලිබඳ ඔවුන්ගේ ‘ද අර්කිටෙක්ට්’ සඟරාවට ලිපියක් ලිවීමට මට ආරාධනාවක් කරන ලදී. එය පළ කිරීමට සති කිහිපයක් තිබිය දී එහි රාජපක්ෂවරුන් සම්බන්ධව තිබු සඳහන කිරීම් ගැටලු සහගත බවත් ශ්‍රී ලංකා ගෘහ නිර්මාණකරුවන්ගේ ආයතනය එවකට ඉතා බලසම්පන්න වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වූ විශාල වශයෙන් ගැටලුකාරී වූ කොළඹ නගර අලංකරණ ව්‍යාපෘති වලට සම්පූර්ණයෙන් පක්ෂ බවත් එහි ප්‍රධාන කර්තෘ මට පැවසීය. අවසානයේ දී මම  එම ලිපිය ග්‍රවුන්ඩ්විව්ස් වෙබ් අඩවියේ පළ කළෙමි.

නව ජනාධිපතිට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතා සමීප ආචාර්ය චරිත හේරත් මාගේ ට්විටර්  පණිවිඩයට ප්‍රතිචාර දැක්වුයේ මෙසේය :

” අයිලන්ඩ් පුවත්පතේ සිද්ධිය පිළිබඳව මම වැඩි යමක් නොදනිමි. නමුත් මා ප්‍රසිද්ධව හා පැහැදිලිව කිව යුත්තේ අප (@GotabhayaR මැතිවරණ ව්‍යාපාරය) මේ පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා බවත් @sanjanah ගේ සතිපතා පළ වූ තීරුව නැවත්වීමට සම්බන්ධයක්  නැති බවත්ය. කරුණාකර කවුරුන් හෝ මෙය පැහැදිලි කරන්න” – චරිත හේරත්

මෙම ට්විටර් පණිවිඩයෙන් පෙන්වන්නේ ‍ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධුරය යටතේ ශ්‍රී ලංකාවේ විවේචනාත්මක විසම්මුතිය පාලනය කරන (හා උපායමාර්ගිකව එයට ඉඩ දෙන) ඔවුන්ගේ ක්‍රමවේදයයි. ඒ අනුව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ තුල සිටින මධ්‍යස්ථ මතධාරීන් අව්‍යාජ පෞද්ගලික විශ්වාසයෙන් හෝ ඊටත් වඩා බලහත්කාරී මගපෙන්වීම් තුළින් ජනාධිපති ධුරයට විරුද්ධ මත පළ කරන අතර එමඟින් විවෘත වාරණයට රජය සම්බන්ධ නොවන බව පෙන්වනු ලැබේ.මීට සමාන්තරව මාධ්‍ය හිමිකරුවන් බිය හෝ වරධාන බලාපොරොත්තුවෙන්; ඔවුන්ගේ ව්‍යාපාර දැන්වීම් හා දේශපාලන වහල්භාවය මත රඳා පවතින බව හොඳින් දැන, ඔවුහු  අපහසුතාවයට ලක් කරන හෝ රාජපක්ෂවරුන්ගේ උදහසට ලක් විය හැකි යැයි සිතන හඬවල් හා කතුවරුන් කල්තියා ඉවතලනු ඇත. මෙම ඉවතලෑම සිදුකරන්නේ ජනාධිපති ධුරයේ නියෝග මත නොවේ. ජනාධිපතිවරයාගේ කුප්‍රකට ප්‍රසිද්ධිය හා රාජපක්ෂවරුන්ගේ උරුමය මෙම බිය ඔවුන් තුළ ජනනනය කිරීමට ප්‍රමාණවත්ය. මේ සමඟ ජනාධිපති ධුරයට හෝ රජයට විරුද්ධ හෝ පක්ෂපාති අදහස් ලුහුබැඳීම, හැඩගැස්වීම හෝ බලහත්කාරයෙන් ඇති කිරීම, වැඩි වූ හා පුළුල් ආවේක්ෂණ (surveillance) භාවිතයෙන් සිදු වනු ඇත. විවේචනය කරන්නන් වැඩි වශයෙන් අධීක්ෂණය කරනු ඇති අතර අන් අයට අනුගත වීමට හෝ නිහඩ වීමට දෙන උදාහරණයක් ලෙස නිශ්ශබ්ද කෙරනු ඇත.

එපමණක් නොව විවේචනය කරන්නන් වඩාත් ප්‍රචණ්ඩකාරී ලෙස මර්ධනය කිරීමද සිදුවිය හැක. එහෙත් සමාජ මාධ්‍යවල හෝ සැබෑ ලෝකයේ විසම්මුතිය පැතිරීමට කිසිදු අර්ථවත් ඉඩක් නොලැබෙන සන්දර්භයක් තුළ එසේ සිදු කිරීමට අවශ්‍යතාවයක් ඇති වේ යැයි නොසිතමි. මෙසේ සිදුවෙමින් පවතින විට, වසර ගණනාවක් සිට මා දන්නා හඳුනන ආචාර්ය හේරත් වැනි මධ්‍යස්ත මතධාරීන්  විවේචනාත්මක හඬවල් වාරණය කිරීමට කිසිදු නියෝගයක් නොදුන් බව කියනු ඇති බව මම අවංකව විශ්වාස කරමි. ඔවුන් ඒ මඟින් ජනාධිපති ධුරය හා ආණ්ඩුව වෙනුවෙන් එළිපිට සැඟවී ඇති ඉතා දරුණු වාරණය විශ්වාසය දනවන සුළු ආකාරයෙන් ප්‍රතික්ෂේප කිරීම කරනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වී සතියකට වඩා අඩු කාලයක් තුල ඇති වී ඇති භය කොතරම්ද යත් වචන 1200 ක ලිපියක් පුවත්පතක පළ කිරීමට නොහැකි තරම් විවේචනයක් ලෙස සලකන්නේ නම් මාගේ වාරණයට ලක් වූ පහත ලිපියේ සදහන් කොට ඇති  පරිදි ශ්‍රී ලංකාවේ ලේඛකයින්, ක්‍රියාකාරීන්, ස්වාධීන හා ගවේෂණාත්මක මාධ්‍යවේදීන්, නාට්‍යකරුවන් , නළු නිලියන්, උගතුන් හා බලයේ සිටින්නවුන් වගවීම පිලිබඳ උනන්දුවක් දක්වන පුරවැසියන්ගේ අනාගතය බෙහෙවින් අඳුරු බව කිව යුතුය.

16 වන දින සිදුවූ තීරණාත්මක වෙනස තුලින් සනිටුහන් කෙරුණේ නව ජනාධිපතිගේ මැතිවරණ ජයග්‍රහණයකට වඩා වැඩි යමකි. එය අප දන්නා හඳුනන ශ්‍රී ලංකවේ අවසානයයි, එය එකම නමකින් පෙනී සිටියද බෙහෙවින් වෙනස් වූ රටක උපතයි.

###

දින 6 ක් !

ශ්‍රී ලංකාවේ සත් වන ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් දිනකට පසු ජාතිවාදයේ නව උපත ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල සමරනු ලැබීය. ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුමේ ප්‍රධාන කාර්යභාර්යයක් ඉටු කල සමාජ මාධ්‍ය පිටු තුළ වූ පණිවිඩය ඉතා සරල හා පැහැදිලි විය. රටක් වශයෙන් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ට පමණක් වූ අතර ඔහුගේ ජයග්‍රණය තුළින් මෙය තවදුරටත් තහවුරු විය. සියළුම ද්‍රවිඩයින් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසන ලදී. ජනාධිපතිවරයාගේ ප්‍රධාන ප්‍රතිපාක්ෂිකයාට ඡන්දය දුන් දිස්ත්‍රික්කවල මැතිවරණ සිතියම සමඟ ඊලාම් සිතියම සංසන්දනය කරනු දක්නට ලැබුණි. එසේ  කිරීම තුළින් ඔවුන් පැහැදිලිව සටහන් කෙරුවේ හෝ ව්‍යංගයෙන් අඟවනු ලැබුවේ ප්‍රතිපාක්ෂිකයාගේ උත්සාහය වුයේ ශ්‍රී ලංකාව බෙදීමට හා එල්ටීටීඊයට අවශ්‍ය දේ දෙමළ ජනතාවට ලබා දීමට බවයි. එපමණක්  නොව  ඔවුන් මෙසේ පෙන්වූ ගුණමකු කම හේතුවෙන් යෝජනාව වූයේ දෙමළ ජනයාගෙන් කිසිඳු යහපත් දෙයක් නොලැබෙන නිසා සිංහලයන් මෙම ප්‍රදේශවල ජනාවාස ආරම්භ කල යුතු බවයි. ශ්‍රී ලංකාවේ ධජය වෙනුවට බෞද්ධ ධජය අසළ ලෙල දුන්නේ සිංහ ධජයයි. ඇත්ත වශයෙන්ම සිංහයා මෙම පිටු වල පින්තූර අතර වැඩි වශයෙන් දක්නට ලැබුණි. තවත් සමහර පිටුවල සිංහයා මුළු ශ්‍රී ලංකා සිතියම වසා සිටින ලෙස පෙන්වන රූප දක්නට ලැබීය. ‘සිංහයන්ගේ ආගමනය’ ලෙස නව ජනාධිපතිවරයාට සහාය දෙන කුප්‍රකට පිටුවක් ප්‍රකාශයට පත් කලේ ඔහු සහ ඔහුගේ සහෝදරයාගේ රුව මැද සිංහයෙකු දිස්වන පින්තූරයක් සමඟිනි. දෙදෙනාගේ රුවෙහි පසුබිමේ දිස් වුයේ සිංහ සංකේතයෙන් ආවරණය වූ ශ්‍රී ලංකාවේ සිතියමයි. තවත් සවිස්තර සමාජ මාධ්‍ය සටහන් මගින් හකීම්, බදුර්දීන් හා සම්බන්දන් යන නායකයින්ට ‘එෆ්’ වචනයෙන් (ඉංග්‍රීසි අසභ්‍ය වචනයක්) ආමන්ත්‍රණය කළ අතර එයින් අඟවනු ලැබීමට උත්සාහ කෙරුවේ මැතිවරණ ප්‍රතිපලය තුළින්  සිංහල ජාතිය තවමත් මිය ගොස් නැති බව සංඥා කර ඇති බවයි. බොහෝ පිටු නව ජනාධිපතිවරයාට සුභ පතනු ලැබුවේ ඔහු බෞද්ධයන්ගේ නියෝජිතයා ලෙස හදුන්වමිනි. මහජන දෘෂ්ටිය පිලිබඳ අධි සවිඥානික නව ජනපති පසුව මෙලෙස ට්විටර් පණිවිඩයක් තැබීය. “මා ජනපති වන්නේ මා හට ඡන්දය දුන් අයට පමණක් නොව කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවත් මා හට ඡන්දය නොදුන් අයගේද ජනාධිපති මම වෙමි”.  එනමුත් තවමත් එම පිටු ජාතිවාදය  වපුරමින් සිටින අතර එම පණිවිඩ ඉතාමත් ජනප්‍රියව පවතී.

3 (ජනාධිපතිවරයා ලෙස පත් වී ) වන දිනයේදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නව ආරක්ෂක ලේකම් ලෙස පත් කරන ලදී. මම අවසන් වරට ගුණරත්න ගැන ලිව්වේ 2017 ඔක්තෝම්බර් මාසයේදී, ඔහු වියත්මග ප්‍රසිද්ධ රැස්වීමක දී අද ජනාධිපති වී සිටින තැනැත්තා ඉදිරිපිට සිදු කල කතාවකට පසුවයි. මෙම කතාවේ වීඩියෝව අද වුවත් යුටියුබ් හි තිබේ. ගුණරත්නගේ කතාව ඍජුවම එල්ල වුයේ මා වැනි නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කැපවී සිටින පුද්ගලයින්ටයි. මා එවකට තීරු ලිපියේද සඳහන් කළ  පරිදි  ඔහු එහිදී ඉදිරිපත් කල අදහස්  ඔහු දැන් දරන තනතුර හේතුකොට ගෙන යළිත් සිහිපත් කරන්නට කැමැත්තෙමි.

ගුණරත්න එහිදී පැවසුවේ නව ව්‍යවස්ථාවකට සහාය දෙන සියල්ලන්ම දේශද්‍රෝහීන් වන බැවින් ඔවුන් මරණයට පත් කළ යුතු බවයි. ඔහු එහිදී දේශද්‍රෝහීන්ට මරණය යන්න සාමාන්‍යකරණය කරනවා මෙන්ම වැළක්විය නොහැක්කක් ලෙස පෙන්වා දෙයි. ඔහුට අවශ්‍යව ඇත්තේ නව ව්‍යවස්ථාවකට සහය දෙන අය මැඩලීමට 80 දශකයේ අග භාගයේ ජේවීපී හි ප්‍රචණ්ඩත්වයේ උච්චතම අවස්ථාව ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ දේශද්‍රෝහීන්ට දඬුවම් පැමිණවීමේ ආශාව ඔවුන්ගේ මරණයට පසු දක්වාද දිව යයි. ඝාතනයෙන් පසු වුවද ජේවීපෙ තම දේශපාලන ප්‍රතිවාදීන්ට කල නින්දා අපහාස සේම ගුණරත්න පවසන්නේ නව ව්‍යවස්ථාවකට සහාය දෙන සියල්ලන්ටම නිසි භූමදනයක්ද නොදිය යුතු බවයි. භික්ෂුන් ඔවුන්ට අවසන් ආගමික චාරිත්‍ර නොකළ යුතු බවත් ඒ නිවාස වලට නොවැඩිය යුතු බවත් ඔහු පවසයි.

මෙය අසන වියත්මග රැස්වීමට සහභාගී වුවන් මහත් හඬින් හා උද්යෝගයෙන් අත්පොලසන් දෙයි. පාර්ලිමේන්තු  හැන්සාඩ් වාර්තා  හා  ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ගුණරත්නට බ්‍රසීලයේ ශ්‍රී  ලංකා තානාපති කාර්යාලයේ සේවකයෙකු ඝාතනය කර ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ. වෙනත් දේශීය ප්‍රවෘත්ති  වාර්තා ඔහු ශ්‍රී  ලංකාවේ පාසලක කටයුතු කල ආකාරයත් එහි දෙමාපියන් හා සිසුන්ව භීතියට පත් කල ආකාරයත් වාර්තා කර ඇත. බුද්ධි අංශ හා රාජපක්ෂවාදී අඳුරු පාලනයක සහාය ඇතිව ජාතික ආරක්ෂාවේ ප්‍රධාන නිර්මාණකරුවන් ලෙස ගුණරත්න දැන් එක් වී ඇත්තේ  මුලික වශයෙන් තමන්ට එරෙහි යුධ අපරාධ වල බර දරා  සිටීමට සරිලන සුවිසල් දේහයක් ඇති  යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සමගයි.

4 වන දිනයේදී (ජනාධිපතිවරයා ලෙස පත් වී ) ජනාධිපති ශ්‍රී දළදා මාලිගාවේ දී ගත් අපූරු ජයාරූප පෙළක් දක්නට ලැබුණි. බෞද්ධ භික්ෂුන් වහන්සේලා, නිලමේවරු පිරිවරා උඩරට ගර්වය  හා ශෝභාලංකාරය විදහා දක්වන මෙම අපූරු අවස්ථාව මධ්‍යයේ ඔහු ඉතා පහසුවෙන් රජෙකුගේ භූමිකාව රඟදැක්වීය. එදිනම එදා වන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කල ශානි අබේසේකරව පොලීසියේ පහලම නිලයක් වන සහකාර පොලිස්පතිවරයෙකුගේ පෞද්ගලික සහකරවරයා ලෙස තම නිලයෙන් පහත දමන ලදී. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තජුදීන් ඝාතනය හා එක්නැලිගොඩ අතුරුදන්වීම වැනි රාජපක්ෂවරුන් සම්බන්ධ නඩු වල පරීක්ෂණ භාරව සිටියේ ශානි අබේසේකරයි.

5 වන දිනයේදී (ජනාධිපතිවරයා ලෙස පත් වී ) නව ජනාධිපතිගේ සහෝදරයා අගමැති ලෙස දිවුරුම් දී දිනකට පසුව අගමැති නිල වෙබ් අඩවියේ තිබු සියලු දේ (දත්ත)  සම්පූර්ණයෙන් මකා දමා තිබුණි. හිටපු අගමැතිගේ හා ඔහු අගමැති සේවා කාලය තුළ කල කී දෑ වල වාර්තාවන් කිසිවක් ඉතිරිව නැත. හරියටම වසරකට පෙර, ව්‍යවස්ථා කුමන්ත්‍රණය අතරතුර, එවකට නීතිවිරෝධී අගමැතිවරයා කළේද ඒ දෙයයි. කුමන්ත්‍රණය අසාර්ථක වූ විට වෙබ් අඩවිය නැවතත් යථා තත්වයට පත්  කරන ලදී. ඔවුන්ගේ මෙම ඉතිහාසය මුළුමනින්ම මකා දැමීමට, පොදු වාර්තා මකා දැමීමට, රජයේ වෙබ් අඩවි වලින් තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් අතුගා දමන්නට ඇති උවමනාව නව ජනපතිගේ පාලනයේ ස්වභාවය මොනවට විදහා දක්වයි.

6 වන දිනයේදී (ජනාධිපතිවරයා ලෙස පත් වී ) මම අවදි වුනේ දැන් මුළුමනින්ම  නව ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ කණ්ඩායමේ අතේ ඇති  බුද්ධි නිරීක්ෂණ සදහා වූ චීනය, ඊස්රාලය සහ රුසියාව සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් හරහා රුපියල් බිලියන ගණනක ආයෝජන වලට කුමක් වේවිදැයි සිතිමිනි. මාගේ අදහස් වලට ප්‍රතිවිරුද්ධ වුවත් නව ජනාධිපතිගේ ධුර කාලය ශ්‍රී ලංකාව දැක ඇති වඩාත්ම සාමකාමී කාලයක් වීමේ  ඉඩ ප්‍රස්තාවක්ද  ඇත. නමුත් බෞද්ධ අන්තවාදී කණ්ඩායම් විසුරුවා හැරීම, ජනමාධ්‍ය ස්වයං වරණය, සුළු ජාතීන් තුළ ඇති බිය හා පළමු පවුල බලයේ සිටින වසර කීපය හෝ දශක ගණනාව පුරා අරගලයේ යෙදීමට නොහැකි ලෙස විඩාවට පත්ව ඇති සිවිල් සමාජය හේතුවෙන් රට තුල පමණක් හෝ ජනාධිපතිට එරෙහිව ඇති සියලු විරෝධයන් නිශ්ශබ්ද වෙනු ඇත. රටේ දුරකථන සේවා සපයන්නන්ගේ අනුග්‍රය ඇතුව මානව, සන්නිවේදන සහ ඩිජිටල් මාධ්‍ය නිරීක්ෂණය කරනු ඇත. එහි ප්‍රතිපලය වන්නේ ඔවුන් අපහසුවට පත් කරන සත්‍යයන් හා විසම්මුතිය  පාලනය, මැඩපවත් වීම හෝ වාරණයයි. ජනාධිපති ධුරයට එරෙහි ඕනෑම ප්‍රතිවිරුද්ධ මතයක් අතර  සම්බන්ධීකරණය හා සහයෝගීතාව ඔවුන් සොයා ගනු ඇත. නමුත් නව ජනාධිපතිගේ මහජන සම්බන්ධතා  අනෙකුත් සෑම දේකටම වඩා විශිෂ්ට වන බැවින් දේශීය ප්‍රචාරණය සදහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන අතරම ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට ලොව වටා අලෙවිකරණ ව්‍යාපාර දියත් කරනු ඇත.වෙළඳපල යළිත් වර්ධනය වීම, ආයෝජකයින්ගේ විශ්වාසය නැවත ඇතිවීම, සංචාරක ප්‍රවර්ධනය, සන්නාමගත අන්තර්ගතයන්, අනුග්‍රාහක දැන්වීම්, ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ චාරිකා සහ අභ්‍යන්තර ආරවුල් නොපෙනෙන රටක් සමඟින්, නව ජනාධිපති ධුරය මහජනතාවට අවශ්‍ය වූ පොදු සාධකය බව පෙන්නුම් කෙරෙනු ඇත .කසල ඉවත් කර නගරය පිරිසිඳුව තැබූ නායකයෙක්. එතැනදී ජනාධිපතිවරයා නියත වශයෙන් පොරොන්දු ඉටු කරනු ඇත. නමුත් මානව හිමිකම් හා වගවීම පිලිබඳ අවධානය ගිලිහෙනු නියතය. දැන් ම්ලේච්ඡයින් අරලියගහ මැදුර ඉදිරිපිට නොව ඇතුළත සිටින බැවින් මේ සාධක කෙරෙහි අවධානය නිහඬව ලිහා උනා දමනු ඇත. ඒ මහා රෑ ඔවුන්ගේ ගොදුරු ගිල දැමීමටත්, එම ගොදුරු වල උදැසන ඉතිරිව ඇති මළකඳන් විසින් බුද්ධිය, කුසලතා හා බුද්ධාගම පෙරදැරි කරගත් ඉදිරියට ඇදෙන රටක විසම්මුතිය යනු නොවැදගත් සාධකයක් බව මතක් කර දීමටත්ය.

මේ සැම නව පාලකයන්ගේ සාර්ථකත්වය නිසා සිදුවුවක් නොව වික්‍රමසිංහ හා සිරිසේනගේ අසාර්ථකත්වය නිසා සිදු වුවකි. ශවේන්ද්‍ර පත් කෙරුවේ නව ජනපති නොවේ. ශානි අබේසේකරගේ විමර්ශන සොයාගැනීම් හෙළි කිරීමට රජය සුබ වේලාවක් පැමිණෙන තෙක් සිටියා දැයි විටක මට සිතෙයි. පැවති රජයේ ප්‍රමුඛයින් විසින් රාජපක්ෂ තන්ත්‍රයේ දුෂණ පිලිබඳ ප්‍රසිද්ධියේ එල්ල කල චෝදනා වලට විමර්ශන සිදු කළේ වත් අධි චෝදනා ගොනු කරනු ලැබුවේ වත් නැත. පාර්ලිමේන්තු  තේරීම් කාරක සභා වාර්තාවෙන් හෙළි වූ හිටපු ජනපතිගේ අකාර්යක්ෂමභාවය  හා හිටපු අගමැතිගේ නායකත්වයක් නොමැතිකම ස්වභාවයෙන්ම නොසැලකිලිමත්  හා සාපරාධී වේ. ජනතාවට මෙය තිත්ත වී තිබුණි. එය සාධාරණය. නව ජනපතිවරයාට ජන්දය දුන් සෑම පුද්ගලයෙකු ජාතිවාදියෙකු නොවේ. නමුත් ඔහුව බලයට පත් කිරීමට දුන් ජන්දය නව ජාතිවාදී පාලනයක් බිහි කෙරෙනු ඇත. බොහෝ අය සිතන්නේ ශ්‍රී ලංකාව නැවතත් 2005 – 2015 යුගයට යනු ඇතැයි කියාය. එහෙත් මා මෙයට දායක නොවෙමි. සුදු වෑන් රථවලට නැවත පැමිණීමේ උවමනාවක් නොමැති වනු ඇති අතර මාධ්‍යවේදීන් ඝාතනය කිරීමටද අවශ්‍ය නොවනු ඇත. මෘගයාගේ ස්වභාවය හා ඔහුට ඇති සහයෝගය දැන කිසිවකු මෘගයා පිළිබඳ කිසිම දෙයක් කීමට හෝ කිරීමට එඩිතර නොවෙනු ඇත. මෙහි ප්‍රතිපලය වනුයේ  රාජපක්ෂවරුන් ආරක්ෂා වීමත් අපයෝජන, දූෂිත, ප්‍රචණ්ඩකාරී, ඒකාධිපති, පුරුෂවාදී, වාර්ගික හෝ බහුතරවාදී සියල්ල සාමාන්‍යකරණය වීමයි.

ස්ථාවර පාලනයක් සදහා ජනප්‍රිය කතිකාව සහ මහජන පරිකල්පනය විසින් ඒකාධිපතිවාදයේ මූලධර්ම වැළඳ ගැනීම අතවශ්‍ය බවත් එයින් වෙන් කළ නොහැකි  බවත් යන උරුමය අනාගත රජයන් විසින් වෙනස් කිරීමට නොහැකි වන අතර ඔවුන්ටද එසේ කිරීම අවශ්‍ය නොවනු ඇත. 16 වන දින සිදුවූ තීරණාත්මක වෙනස තුළින් සනිටුහන් කෙරුවේ නව ජනාධිපතිගේ මැතිවරණ ජයග්‍රහණයකට වඩා වැඩි යමකි. එය අප දන්නා හඳුනන ශ්‍රී ලංකවේ අවසානයයි. එය එකම නමකින් පෙනී සිටියද බෙහෙවින් වෙනස් වූ රටක උපතයි.

සංජන හත්තොටුව | sanjana Hattotuwa