iMage: ©Lakruwan Wanniarachchi/AFP/Getty

තමන් දේශපාලන බලය ඉසිලූ අවධියේ එම දේශපාලන බලය අවභාවිතා කරමින් මිනිසුන් මරා දැමීම, රාජ්‍ය දේපළ පුද්ගලික උවමනාවන් සඳහා යොදා ගැනීම, තම දේශපාලනයට එරෙහිව මත ප්‍රකාශ කළ පුද්ගලයින් බලෙන් පැහැරගෙන ගොස් අතපය කඩා දැමීම, සහ අතුරුදහන් කිරීම වැනි බරපතළ චෝදනා රාශියකට වගඋත්තරකරු ලෙස රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනා ගණනාවක් පවතින ඒ වාගේම ඔහුගේ පුරවැසිභාවය පිළිබඳව පවා පැහැදිලි බවක් නොමැති චූදිතයකු රටේ ජනාධිපතිවරයා ලෙස සිංහල ජනයා විසින් පත් කරගෙන ඇත. මෙසේ අධිකරණ ක්‍රියාදාමයකට යටත්ව සිටින අයකු රටේ ජනාධිපතිවරයා ලෙසින් නොව මන්ත්‍රීවරයකු ලෙසින් හෝ පත්කරගැනීම නීතිමය වශයෙන් පමණක් නොව සදාචාරාත්මකව ම බැලුවා වුවත් ප්‍රශ්නයකි. නමුත් සිංහලයින්ගේ ආධිපත්‍යය සඳහා රටක් අවශ්‍ය බවට මොර දෙමින් පටු චේතනාවන් වල ගිලුණු බොරුව සහ වංචාව තම වාසිය සඳහා යොදාගන්න කණ්ඩායමකගේ මෙහෙයවීමෙන්, බිය සමාජ ගතකර රටෙහි සුළු ජන කොටස් දෙස ද්වේෂය වපුරමින් ගෙනගිය ප්‍රචාරණයන්හි ප්‍රතිඵලය ලෙස සිංහලයාගේ ආදිපත්‍ය සඳහා රටෙහි ජනාධිපතිවරයා පත් කර ගෙන ඇති බව පෙනේ. අද මෙම ජාතිවාදී උන්මාදයෙන් පෙළෙන කණ්ඩායම් සිංහලයාට පමණක් සිංහලයාගේ ම ඡන්දයෙන් ජයගෙන රට කරගෙන ගිය හැකි බව ගැන උදම් අනනු දැකිය හැක. නමුත් මෙම ද්‍රවීකරණය හෙට ලංකාව කඳුළු සයුරක ගිල්වීමට ඇති ඉඩකඩ බොහෝය.

අප අද ජීවත් වෙන්නේ 18 වන සියවසේ හෝ 19 වන සියවසේ නොවන අතර ලෝකය එක යායක් ලෙස බැඳුණු විසිඑක්වන සියවසේයි. ජනාධිපතිවරයා තම දිවුරුම්දීමේ දීම තමන්ට දෙමළ සහ මුස්ලිම් ඡන්ද නොලැබුණු බව පවසන්නේ එක්තරා තර්ජනයක ඉඟියක් ද ඒ තුළ ගැබ් කර ගනිමිනි. ජනාධිපතිවරයා ලෙස පත් වුණ වහාම ගෝඨාභය රාජපක්ෂ මීට ඉහත ජනාධිපතිවරුන් මෙන් නොව තමන්ගේ පොටෝ රාජ්‍ය ආයතනයන්හි නොඑල්ලන ලෙසට ද විධිවිධානයන් දීම වැනි සරුව පිත්තල සෝභන වැඩවලින් ආලේප තවරමින් ජන ඇස විරුද්ධවාදීන්ගේ පවා ගිනි කණ වට්ටවන ජනාධිපතිවරයා ලංකා අධිකරණය විසින් රටේ කිසිම ආයතනක තානාන්තර දැරීමට නුසුදුසු යයි තීන්දුවක් දී සිටී පී බී ජයසුන්දර මුදල් අමාත්‍යංශයේ ලේකම් කමට පත් කරයි. එසේ කරමින් ඔහු කරන්නේ අධිකරණයට ඉහළින් තමබලය පාවිච්චි කරමින් නීති විරෝධීව ක්‍රියාත්මක වීමයි. ඒ වගේම දහනව වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්(අලුත් ව්‍යවස්ථාවක් පිළිබද සාකච්චා කරන අය) අය ප්‍රසිද්ධියේ මරා දැමීමට සපථ කළ ෆැසිස්ට් මනසකට හිමිකම් කියන හමුදා නිලධාරියෙකු ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කරයි. මේවන තුරුත් කිසිවකු ප්‍රශ්න නොකෙරුවත් නීතියට පිටින් යමින් රාජ්‍ය සේවකයින්ට නිවාඩු ගැනීම අවලංගු කර ඇත. රටේ හදිසි නීතිය නැති අවස්ථාවක එවැනි තීරණයක් ගැනීම, එවැනි විධානයක් නිකුත් කිරීම නීතියට පිටින් කරන ක්‍රියාදාමයකි. දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයාට අමාත්‍යාංශයක් හිමි නොවිය යුතු වන අතර ආරක්ෂක අමාත්‍යංශය තමා අතට ගනිමින් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කර ඇත. මේ අනුව මෙතැනදී නම් ඔහුද මෙතෙක් සිටි සියලුම ජනාධිපතිවරුන් මෙන් ‍වයවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින් එය සාමාන්‍ය දෙයකි. ලාංකික ව්‍යවස්ථාව යනු රටවැසියාට මෙන්ම පාලකයාටද නිකම්ම නිකම් කොල කැබැල්ලක් මිස තම රටෙහි පවතින ඉහළම නීතිය යයි වැටහීමක් තිබෙනවා දැයි මට සැක හිතෙන්නේ ජනාධිපතිවරුන් එය උල්ලංඝනය කිරීමේදී රටෙහි ජනයාගෙන් ඊට එරෙහිව කිසිම හඬක් නො නැගෙන හෙයිනි.

නව ජනාධිපතිවරයා රජයේ ආයතන තුල තමාගේත් ඇමතිවරුන්ගේත් පොටෝ නොගැසිය යුතු යැයි පවසන විට පැසසුම් කරන මාධ්‍ය එයින් ඉතිරි වන මුදල් ප්‍රමාණය ගැන කියන නමුත් විශාල මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් කෝටි ගණන් මුදල් වියදම් කරමින් අනුරාධපුරයේ කරන දිවුරුම්දීමේ වියදම් සහ නාස්තිය ගැන අදහසක් ඉදිරිපත් නොකරයි. එක පැත්තකින් සරුව පිත්තල දිලිසීම් දෙන ආලේප තවරන අතර එයට පිටිපසින් ඇති සැබෑ ස්වරූපය මේ දිලිසීම තුළ ගිණිකන වැටී නොපෙනී යාමට සලස්වයි.

බලය ගත් විගසම පසුගිය වංචා සහ රාජ්‍ය දේපළ අවභාවිතා නඩු සුළඟේ ඉගිල ගිය අතර රජයේ මුදල්වලින් තම පියාගේ තම මවගේ සොහොන් කොත් කෞතුකාගාර හැදීමේ නඩුව ඉල්ලා අස් කර ගනු ලැබීය. නීතිය නැමෙන හැටි ලංකාවට ඉදිරි කාලය තුළ දැක ගැනීමට හැකි වනු ඇත. බලය ඇති අය බලය අනිසි ලෙස භාවිතා කරන ආකාරය මෙතැන් පටන් පසුගිය යහපාලන අලසයින්ට පෙන්වනු ඇත. යහපාලනය වෙනුවෙන් කාලයක් තිස්සේ විවිධ සිවිල් සංවිධාන ජන කණ්ඩායම්, පුද්ගලයින් කළ වැඩ වල ප්‍රතිඵල ලෙස, අවසාන මොහොතේ එයට දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය සහ අහම්බයකින් සිරිසේනත් එක්වෙමින් රාජපක්ෂ දුර්දාන්ත පාලනය පෙරලා දැමුවා මිස එය සිරිසේන ගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ වික්‍රමයක් නොවීය. නමුත් යහපාලනය හෝ ‍ප්‍රජාතන්ත්‍රවාදය යන්නහි වචනාර්ථය මිස එහි අඩංගුවෙන් වටහා නොගත් මොවුන් තමන් බලයට පත් කළ සිවිල් සංවිධාන සහ එම ජනයාට අපහාස කරමින් කළ මෙතෙක් ලංකාවේ පැවති අසාර්ථකම රාජ්‍ය කාලය ගත කිරීමේ අවසාන ප්‍රතිඵලය සිංහල බෞද්ධ ආධිපත්‍යය සඳහා ශක්තිමත් පාලකයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ආධිපත්‍යයවාදියා පත් කරගෙන තිබේ. පසුගිය සිරිසේන රනිල් අයාලේ ගිය පාලනය වෙනුවට ශක්තිමත් පාලනයක් ඉල්ලූ ජනයා යහපාලනය නොව ඒ වෙනුවට තද පාලනයක් සඳහා සිංහල ඡන්ද භාවිතා කර ඇත.

සිංහලයා තුළ රටේ ආධිපත්‍ය පැවතිය යුතු බව ඔවුන් නොසඟවා පවසති. අනෙකුත් සුළු ජන කණ්ඩායම්, ඔවුන් කියන ආකාරයට ඔවුන්ගේ වුවමනාවන් අනුව වැඩ කළ යුතු බව නොසඟවා පවසති. බලය තමාට පැවතීම ඔවුන්ගේ පැතුමයි. ඒ පැතුම් තුළ සැඟවී ඇති අදහස වන්නේ ආධිපත්‍ය තමා සතු විය යුතු බවයි. මෙය සෑම සිංහල මනසක් තුලම ඇති පැතුමයි. ආරක්ෂාව මුල් කර ගත යුතු යැයි සිතන සහ කතා කරන නමුත් එයට එපිටින් සිංහලයාගේ ආධිපත්‍ය පැවතිය යුතුය යන සිතුවිල්ල රජ කරයි. නමුත් යම්කිසි රටක ජන කණ්ඩායම් යටපත් කළොත් එතැන ආරක්ෂාව හෝ සාමයක් පැවතිය නොහැක. යටපත් කිරීම තුළ කිසිදිනක සාමයක් උදා නොවනු ඇත. යටපත් කිරීම තුළ අනිවාර්යෙන්ම ඇති වන්නේ ඊට එරෙහිව මතු වන නැගිටීම සහ ගැටීමයි. ඒ තුළ ගොඩනැගෙන්නේ අනාරක්ෂිත බව පමණි.

දැන් සිංහලයා තමන්ගේ සිහින පැතුම ජයගෙන ඇත. ඔහු බලයට විත් වැඩ පටන් ගෙන හමාරය. ඔහුට එරෙහිව ඇති නඩු වලින් එකක් දැනටමත් විසි කර හමාරය. ආරක්ෂක ලේකම් අවධියේ රට තුළ සිදුවූයේ මිනිස් ඝාතන, පැහැරගෙන යාම හ මූල්‍ය වංචාවක් පිළිබඳ පරීක්ෂන කළ රහස් පොලිස් අධිකාරි ශානි අබේසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි පහළට ඇද දමා ඇත. ලසන්ත ඝාතනය, ප්‍රගීත් අතුරුදහන් කිරීම, දෙමළ සිසුන් පැහැරගෙන ගොස් කප්පම් ගෙන මරා දැමීම, ඇවන්ගාඩ් පරීක්ෂණ ආදී දේවල් වලට දෙවියන්ගේ පිහිටවත් නොලැබෙනු ඇත. පාර්ලිමේන්තු පුටුහරඹ කරුවන්, මිරිස්කුඩ්ඩන් ඇමතිකම් ලබති. මිනීමැරුම් නඩු ස්ත්‍රීදූෂන නඩු අහෝසිවී යනු ඇත.

ආරම්භයේම සිදුකරන බොහෝමයක් ඔහු අමෙරිකාවෙන් කොපිකරගත් සරුව පිත්තල වැඩ සමගම ඊට යටින් මතුවන සැබෑ ක්‍රියාදාමය ඔහු පත් කරන නිලධාරීන් සහ මැති ඇමතිවරුන්ගෙන් දැකිය හැක. සරුව පිත්තල වල දිස්නය මැකී යන විට ලේ කඳුළු වල තෙතමනය රටට දැනෙනු ඇත. අද ජනාධිපති එදා බලහත්කාරය තම අවිය කරගනු ලැබීය. මිනිසුන් අතුරුදන් කළහ. රටෙහි ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බව පැවසීය. ඔවුන්ගේ පවුල් බලාධිකාරය මත රටේ මුදල් අවභාවිතා කර තම පවුල්වල සුඛ විහරණය සාදනු ලැබීය. එනිසාම ඔහුට සහ ඔහුගේ පවුලේ සමහරුනට මෙන්ම ඔහුගේ සහචරයින් වැඩි දෙනෙකුට එරෙහිව රටේ මහාධිකරන යන්හි චෝදනා ගොනු කරනු ලැබ තිබුණි. නමුත් ඒ සියලු නඩු දැන් බලය අයුතු ලෙස යොදාගනිමින් ඉවත ලනු ඇත. නමුත් බලය තුළින් යුක්තිය සදා යටපත් කළ නොහැකිය.

රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බව ඔවුන්ගේ මතය වුවත් මෙම ජනාධිපතිවරණය පැහැදිලි පණිවිඩයක් ලබාදී ඇත. ජනවාර්ගික ප්‍රශ්නයට අවම හෝ විසඳුමක් නැති අයකු වෙනුවෙන් ඔවුන් තම ඡන්දය නොදෙන බවයි. පණිවිඩය තේරුම් ගැනීමට නොහැකි වන තරමට ප්‍රශ්නය තව තවත් උග්‍ර වනු ලබයි. ඡන්දය තුළින් රට බෙදී ඇති බව පෙන්වා ඇති බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නොතිබුනොත් එය රට තුළ සදා කඳුළ රජ කරවනු ඇත.

යහපාලන ආණ්ඩුවේ නොහැකියාව වුවමනාව සහ බෙලහීන බව හමුවේ රාජපක්ෂ වර්ගවාදී ප්‍රචාරණ වැඩ පිලිවෙල ඉතා තියුණු ලෙස ක්‍රියාත්මක විය. වසර හතරම ඔවුන් තම බිහිසුණු වර්ගවාදී දේශපාලනය කුණාටුවක ආකාරයෙන් දියත් කෙරුණි. අවසානයේ පාස්කු බෝම්බ වල ජවය ද ඔවුන් ලබා ගනු ලැබීය. සමාජය තුළ බිය ජනිත කරවනු ලැබීය. සත්‍ය වෙනුවට දෙගිඩියාව සමාජය තුළ රජ කරවනු ලැබීය. දෙගිඩියාවෙන් පෙලෙන ජනයා තුල බිය ජනිත කරවීම පහසු ය. අවසානයේ තමන්ගේ ආරක්ෂාව යන පාඨය තුළ සමාජයේ වැඩි දෙනෙකු ගිල්වනු ලැබීය. ශක්තිමත් පාලකයකු, ඒකාධිපතියකු ඔවුන්ගේ පැතුම විය. දැන් ඔවුනට එය ලැබී තිබේ. එය හෙට දින දිරවා ගත යුතුව ඇත්තේ ද ඔවුන්මය. අවසාන වශයෙන් මට කීමට ඇත්තේ එදා 1933 හිට්ලර් බලයට ගෙන ඒමේදී පවත්වනලද පන්දම් පාලි සංදර්ශන දෙස බලා සිටීම තුලින් තමන් තුළ ඇති වූ අප්‍රසන්න හැඟීම ජර්මන් චිත්‍රශිල්පී මහාචාර්ය මක්ස් ලීබර්මාන් පිට කළ ආකාරයයි. “මේ සිදුවෙමින් පවතින දේ දකින විට මා තුළ ඇතිවන අප්පිරියාව පහ කර ගැනීමට මට වමනය කරන්න වුවමනා තරමට කෑම කා ගන්න බැරි එක තමයි මට ඇති කණගාටුව.”

රංජිත් හේනායකආරච්චි | Ranjith Henanayakaarachchi