iMage: reuters

ඉතිහාසය පුනරුච්චාරණය වන්නේ ප්‍රථමයෙන් ඛේදාන්තයක් ලෙසත් දෙවනුව ප්‍රහසනයක් ලෙසත් යැයි කාල් මාක්ස් කීවේ මෙයට සිය වසකටත් පෙර ය. එනමුත් දැන් අප ඉදිරියේ දිග හැරෙමින් ඇති ඉතිහාසීය පුනරුච්චාරණයන් ප්‍රහසනයන් නොවනු ඇත. ප්‍රථම අවස්ථාවෙහිදී ඒ්වා සිදු වූයේ ඛේදවාචක ලෙස යි. දැන් සිදුවන්නට යන්නේ ප්‍රහසන ලෙස නොව භයංකාරත්වයන් ලෙස ය.

දෙසතියකට පෙර අගමැති රාජපක්ෂ විශේෂ ජනාධිපති පරීක්ෂන කොමිසමක් පත් කිරීමට ඇමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ය. මෙම විශේෂ ජනාධිපති පරීක්ෂන කොමිෂන් සභා නීතිය 1978 වසරෙහි දී දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම පිනිස ජේ.ආර්. ජයවර්ධන විසින් පිහිටුවන ලද්දකි. රාපක්ෂවරුන් විසින් මෙම නීතිය යටතෙහි නව කොමිෂමක් පිහිටුවීමේ අරමුණ නම් පසුගිය ආණ්ඩුව සමයෙහි රජයේ නිලධාරීන්ට විරුද්ධව පළි ගැනීම පිනිස පරීක්ෂන පැවැත් වූ පරීක්ෂන (එනම් පොලිස්) නිලධාරීන්ට සහ එම පරීක්ෂනයන් පෙළඹ වූ ‘තෙවැනි පාර්ශවයන්’ පිළිබඳව පරීක්ෂන පැවැත්වීමට ය. මේ වනාහී අතිශය දරුණු ප්‍රතිවිපාක ඇතිකළ හැකි පියවරකි.

1978 වසරෙහි දී ව්‍යවස්ථානුකූල ඒකාධිපතියකු වීමට සිහින මැවූ එජාප නායක ජේ.ආර්. ජයවර්ධන විසින් මෙම නීතිය සම්මත කරන ලද්දේ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ඇතුළු තවත් පළිගැනීම් සදහා ය. අගමැතිනිය වූ ඇයගේ ද අධිකරණ ඇමැති වූ පීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ ද අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වූ නිහාල් ජයවික්‍රමගේ ද ප්‍රජා අයිතිය අහෝසි කළ අන්දම සාධාරණ හෝ යුක්ති ගරුක හෝ නොවී ය. එකී කොමිෂන් සභාවට අතීත කාලයට බලපාන බලතල පැවරිය නොහැකි යැයි අභියාචනා අධිකරණය දුන් තීන්දුව එජාපය සතුව තිබූ හයෙන් පහේ පාර්ලිමේන්තු බලයෙන් බුල්ඩොසර් කරන ලදී.

එකළ මෙම නීතිය දේශපාලන පළිගැනීමේ නීතියක් ලෙස මහත් විවේචනයකට ලක් විය. මෙම බොහෝ කළක් තිබුණේ හමස් පෙට්ටිෙයේ ය.

රාජපක්ෂවරුන් විසින් පිහිටුවනු ඇති මෙම කොමිෂම කොතැනින් කෙළෙවර වනු ඇත්දැයි කිව නොහැකි තරම් බිය ජනක විය හැකි ය. ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම නිදසුනකට ගමු. ඔහු අතුරුදහන්වී නැති බවත් විදේශයක ජීවත්වන බවත් වියත් මඟ ප්‍රධානියකු ඇතුළු රාජපක්ෂවාදී දේශපාලනඥයින් විසින් කියා තිබේ. එම අතුරුදහන්වීම සම්බන්ධයෙන් පරීක්ෂන මෙහෙය වූ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා දැන් රාජපක්ෂවරුන් විසින් හදුන්වනු ලබන්නේ ‘අපට විරුද්ධව බොරු පරීක්ෂන කල’ නිලධාරියකු ලෙස ය. ඔහු සිය ජීවිතය බේරා ගැනීම පිනිස පලාගොස් ඇති බැවින් ප්‍රගීත් පැහැර ගැනීම පිළිබඳ නඩුව දැන් ඇත්තේ අඩමානයට ය. මෙම යෝජිත කොමිෂම ඔහුට විරුද්ධව පාවිච්චි වනු ඇති බව නිසැක ය. එවිට ‘ප්‍රගීත් අතුරුදහන්වීම’ හිතළුවක් ලෙස තීන්දුවන්ට ද ඉඩ තිබේ. එවැනි හිතළුවකට විරුද්ධව පොලිස් නිලධාරීන් පෙළඹවීමේ තෙවන පාර්ශවය ලෙස මුලින්ම හසුවන්නේ සන්ධ්‍යා එක්නැළිගොඩ ය. අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායකට සළකන ලද බිහිසුණු අන්දම සිහිකර ගත් විට සිය සැමියා අතුරුදහන් කරවීම පිළිබඳව රාජපක්ෂවරුන්ට එක එල්ලේම චෝදනා කරන සන්ධ්‍යා වැනි ක්‍රියාකාරිනියකට දඩුවමක් නොපැමිනෙනු ඇතැයි සිතිය හැකිද?

තවත් නිදසුනක් නම් වැළිකඩ හිරගෙදර සමූළ ඝාතනය පරීක්ෂනය යි. එම පරීක්ෂණය ද නම් කැරෙනු ඇත්තේ රාජපක්ෂවරුන්ගෙන් පළි ගැනීම පිනිස අටවන ලද උගුලක් ලෙස ය. එවිට එකී පළි ගැනීමට අනුබල දුන් තෙවන පාර්ශවය බවට පත් වන්නේ කව්ද? එකී සමූල ඝාතනයට යුක්තිය ලබා ගනු වස් ක්‍රියාකාරී වූ සහ සාක්ෂි දුන් පිරිස් ය.

මෙකී යෝජිත කොමිෂන් සභා නීතිය පිළිබඳව පසුගිය සති අන්ත ඉංග්‍රිසි පුවත්පතකට ලියමින් මානව හිමිකම් ලේඛිකාවක වන කිශාලි පින්ටෝ ජයවර්ධන මෙසේ කියා තිබුණි. ‘සිය විරුද්ධවාදීන් තලා දැමීමේ දී වත්මන් දේශපාලන නායකත්වය නිරනුකම්පික වනු ඇති බව අපට නිසැකවම කිව හැක’. තවද ඇය කියා සිටින්නේ මෙම කොමිෂන් සභා නීතිය ‘ලෙහෙසියෙන්ම සාක්ෂි සහ සාධාරණ ක්‍රමවේදය කෙළෙසීමට ඉඩ සළසන’ බවයි.

මෙම කොමිෂන් සභා හමුවට රාජපක්ෂ සමයෙහි සිදු වූ බවට කියැවෙන මහා පරිමාණ වංචා සහ දූෂණ විමර්ශනය කළ පොලිස් නිලධාරින් කැදවනු ඇති බව දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ. වසීම් තජුඩීන් ඝාතන නඩුව ද ඒ අතර තිබෙන්නට හොදට ම ඉඩ තිබේ. එම නඩුවෙහි රජයේ සාක්ෂිකරුවකු බවට පත් හිටපු පොලිස් පරීක්ෂකවරයකු වන සුමිත් පෙරේරා ‍පසුගිය නොවැම්බර් 27 දින මාධ්‍ය සාකච්ජාවක් කැදවා කියා සිටියේ තාජුඩීන් මරණයට ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සම්බන්ධ බවට සාක්ෂි සපයන සේ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් තමාට බල කළ බවයි. ඉහත සඳහන් කළ කොමිෂමෙහි දී මෙවැනි සාක්ෂියක් මගින් ශානි අබේසේකර වරදකරුවකු කළ හැකි ය.

එසේ නමුත් මෙම සුමිත් පෙරේරා 2016 ජූනි 16දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවෙහි ස්වෙච්ජාවෙන් ප්‍රකාශයක් ලබා දුන්නේ ය. මෙම ප්‍රකාශය කළ යුතුමදැයි තීරණය කිරීමට ඔහුට දින තුනකදී තෙවරක්ම අවස්ථාව ලබා දී තිබුණි. අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 127වන වගන්තිය යටෙත් කරන ලද එම ප්‍රකාශය දැන් තජුඩීන් ඝාතන නඩු විභාගයේ සාක්ෂියකි. මෙම ප්‍රකාශය කරන අවස්ථාවෙහි විනිසුරුවරයා හැරුණ විට එම කාමරයේ සිටිය‌ේ සුමිත් පෙරේරා සහ යතුරු ලියන්නිය පමණි. මෙම ප්‍රකාශය ලබා දෙන්නේ කවරකුගේ හෝ බලපෑම නිසාදැයි මහේ්ස්ත්‍රාත්වරයා යළි යළි විමසා සිටියේ ය. ඒම ප්‍රකාශය ලබා දෙන්නේ තමා තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කළ විමර්ශනය දැනුම් දීමට මිස වෙන කිසිම බලපෑමක් නිසා නොව බව සුමිත් පෙරේරාගේ නිශ්චිත පිළිතුර විය. මෙම ප්‍රකාශය ඔහුට විරුද්ධව අධිකරණයකදී පාවිච්චි කළ හැකි බව මහේස්ත්‍රාත්වාරයා පෙන්වා දුන්විට ද ඔහු ස්ථාවරය වෙනස් කළේ නැත.

කිසිදු බලපෑමකින් තොරව කළ එම ප්‍රකාශයෙහි සුමිත් පෙරේරා කිසිදු තැනක පසුගිය නොවැම්බර් 27වන දින කියා සිටි තර්ජන කිසිවක් කීවේ නැත. තමාට කවරකුගේ හෝ බලකිරීමක් ඇත්දැයි යළි යළි මහේස්ත්‍රාත්වරයා විමසන ලදුව ඔහු නැතැයි නැතැයි කියා සිටියේ ය. නමුත් දැන් ඔහු කියන්නේ යෝජිත කොමිසමට පාව්ච්චියට ගත හැකි කතාවකි.

ඔහුගේ එම ප්‍රකාශයෙහි සුමිත් පෙරේරා එවකට නිය‌ෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තාජුඩීන් ඝාතනය වසන් කිරීමට උත්සාහ කල බව පෙනී යන කරුණූ ගණනාවක්ම සදහන් කරන අතර සේනානායකගේ කීමට පිටින් තමා පරීක්ෂනය කලේ නම් තමාට ද තාජුඩීන්ට සිදුවූ දේ ම සිදුවන්නට තිබූ බව ද කිය යි.

එසේ නමුත් දැන් තාජුඩීන් ඝාතනය ගසක හැපී සිදුවූ හදිසි අනතුරු මරණයක් බවට යළි කියැවෙන්නටත් අනුර සේනානායක දේශපාලන පළිගැනීමකට ලක් වූ නිර්දෝශී පුද්ගලයකු වන්නටත් ඉඩ තිබේ.

රාජපක්ෂ සමයේ දූෂන-භීෂන විමර්ශනය කළ නිලධාරින් යෝජිත විශේෂ ජනාධිපති කොමිසමෙහි දඩු අඩුවට යැවීමට සූදානම් කැරෙමින් තිබීම ද ජේ.ආර්. ජයවර්ධන අවතාරය යළි කැදවීමක් හා සමානය. යළි කැඳවෙන අවතාරය මාරාන්තික යැයි කියනු ලැබේ.

1977 දී ජේ.ආර්.ජයවර්ධන බලයට පත්වන විට අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවේ(CID) අධ්‍යක්ෂක වූයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී ටෙරල් ගුණතිලකය. 30 වසරක් සීඅයිඩීයේ සේවය කර තිබූ ඔහු ඒක රැයින් කොළඹ අපරාධ විමර්ශන අධ්‍යක්ෂක ලෙස මාරු කරන ලදී. ඔහුගේ දෙවැනියා වූ පොලිස් අධිකාරී ගාමිණී ගුනවර්ධන ගාල්ල පොලිස් අධිකාරී ලෙස මාරු කරන ලද අතර එම අංශයේ සේවය කළ තවත් උසස් නිලධාරීන් දෙදෙනෙකු අතිරේක තනතරු වලට මාරු කරන ලදී.

ටෙරල් ගුණතිලක සමඟ ජේ.ආර්. වෛර බැද තිබුණේ ඔහු විසින් විදේශ විනිමය චංචා පනත යටතේ ඉහළ පෙලේ ජාවාරම්කරුවන් රැසක් ම අත්අඩංඟුවට ගෙන දඩුවම් ලබා දී තිබූ නිසා ය. රහසේ ගෙන්වන ලද ඔරලෝසු තොගයක් සම්බන්ධයෙන් මීගමුව පොලීසියට විරුද්ධව කළ පරීක්ෂනයකින් පොලීසියේ ඉහළ නිලධාරීන් ද ඊට හවුල් වූ බව හෙළිදරව් කල නිසා පොලිස් සේවයේ ද ඔහුුට විරුද්ධවාදීහු සිටියහ. 1971 කැරුල්ල සම්බන්ධයෙන් කතරගම රූප සුන්දරිය වූ ප්‍රේමා මනම්පේරි දූෂණය කර ඝාතනය කිරීමේ නඩුව රහස් පොලීසිය විසින් කළ නිසා යුද හමුදා පිරිස් ද විරුද්ධව සිටියහ. ඇසිඩ් ගැසීමක් සම්බන්ධයෙන් ලලිත් ඇතුලත්මුදලිට එල්ල වූ චෝදනාවක් ද ඔවුන් විසින් විභාග කර තිබුණි.

අද පවතින පශ්චාත් යුද්ධමය තත්වය සහ 1977 තත්වය සහමුලින්ම වෙනස් නමුත් දරදඩු පාලකයින් විමර්ශණ නිලධාරීන්ට විරුද්ධව පියවර ගැනීමට හේතු වූ කාරනා එදා මෙන්ම අද ද සමාන ය. දූෂණ පරික්ෂන, ඝාතන පරීක්ෂන, සහ පොලිස් සේවයේ දූූෂණ පරීක්ෂන යනාදිය ටිකක් එහා මෙහා කළ විට අදට සමාන වෙයි. වෙනස අද රාජපක්ෂවරුන්ගේ පශ්චාත් යුද්ධ දේශපාලනයෙහි, යුද ජයග්‍රහණය සහ රණකාමී සිංහල බෞද්ධ ජාතික වාදයේ මිශ්‍රණයක් ලෙස අනෙකාට විරුද්ධ ප්‍රචන්ඩ ගතිකත්වයක් ඇතුළත් වී තිබීම ය.

අද ද දඩුඅඩුවට යැවීමට නියමිතව තිබෙන ශානි අබේසේකර විසින් කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කළ පරිදිම එදා ගාමිනී ගුණවර්ධන විසින් දෙවරක් ම ජේ.ආර්. ජයවර්ධන ප්‍රශ්ණ කොට තිබුණි. ඊට අමතරව සිරිල් මැතිව් ද ලලිත් ඇතුලත්මුදලි ද ඔහු විසින් ප්‍රශ්ණ කොට තිබුණි.

ජනාධිපති ජේ්.ආර්. ජයවර්ධන සහ යූඇන්පී ආණ්ඩුව පිහිට වූ විශේෂ ජනාධිපති කොමිසමට මෙම නිලධාරීන් ද කැදවන ලදී. එනමුත් ඔවුන්ට විරුද්ධ චෝදනා සනාථ කළ හැකි සාක්ෂි කිසිවක් යූඇන්පීය පත් කළ පොලිස් නිලධාරීන්ට සොයා ගැනීමට නොහැකි විය. ඇත්ත වශයෙන්ම නම් ජයවර්ධනට අවශ්‍ය වූයේ සිය දේශපාලන ප්‍රතිවාදීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ය. (ඒ සඳහා ජවිපෙ ද සාක්ෂි දුන්නේ ය.)

නමුත් අද තත්වය එදාට වඩා නපුරු ය. මෙවර පිහිටුවනු ඇති විශේෂ ජනාධිපති කොමිසම විමර්ශන නිලධාරීන් පමණක් නොව සිවිල් සමාජ ක්‍රියාධරයින් ද එය හමුවට කැදවීමට ඉඩ තිබේ. එය ආරම්භයක් පමණක් වනු ඇති අතර අවසානය කුමක්වනු ඇත්දැයි කීමට බැරි ය.

*(කිශාලි පින්ටෝ ජයවර්ධන සහ ගාමිණී ගුනවර්ධන ඉංග්‍රිසි බසින ලියන ලද ලිපි දෙකක සදහන් කරුණු ද පාදක කර ගන්නා ලදී)

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya