ප‍්‍රජා පීඩනයේ හවුල්කාරයෝ

යේසුස් උපන්නේ ප‍්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප‍්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය තහවුරු කරන තාක් කල්, ජුදෙයා ප‍්‍රදේශය රෝම අධිරාජ්‍යයේ අවශ්‍යතාවන්ට පසමිතුරු නොවන තාක් කල් සහ රෝම භාණ්ඩාගාරය පුරවන්ට දායක වන තාක් කල්, මේ ඒජන්තයාට කිසි ප‍්‍රශ්නයක් ඇති වුණේ නැත.

අධිරාජයාගේ සහ ඔහුගේ දීන ඒජන්තයන්ගේ ඒකාබද්ධ පීඩනය තුළ ජනතාව මහත් දුෂ්කරතාවන්ට මුහුණදුනි. අපමණ හිරිහැරයට පත් ඔවුන්ගෙන්, පාලකයන්ගේ නාස්තිකාර ජීවන විලාසිතා නඩත්තු කිරීම සඳහා නිර්දය ලෙස බදු අය කෙරුණි. ඒ ගැන පිළිසරණක් පැතිය හැකි කෙනෙකු නොවුණි. ජනතාව සිටියේ එඬේරන් නැති බැටළුවන් මෙනි. රෝමය සැනසීම හෙරොඞ්ගේ පිස්සුව විය. තව තවත් බලය සහ ධනය, රෝමයේ පිස්සුව විය.

නැණවත් අමුත්තෝ

යේසුස්ගේ උපත, හෙරොඞ්ට ප‍්‍රශ්නයකි. එදිරිවාදියෙකු බිහි වීම ගැන බිය වන ඔහු, උපදේශකයන්ගේ අදහස් විමසයි. අළුත උපන් රජ කෙනෙකු ගැන ආරංචියක් විපරමින් එම පෙදෙසට එන පෙරදිග ප‍්‍රභූ පිරිසක් මුණගැසී ඒ ගැන දැන ගැනීමට ඔහු බලයි. එම පිරිසෙන් ඔහු කරන ගෞරවාන්විත ඉල්ලීම පසුපස සැඟව පැවතියේ, සාහසික චේතනාවකි: අළුත උපන් රජුට වන්දනාමාන කිරීමට තමා ද කැමති බව ඔහු කියා සිටී. ව්‍යාජ ශ‍්‍රද්ධාව සහ සැඟවුණු වංචාව: ඒවා වනාහී එකට යන දේවල් ය.
පෙරදිගින් ආ අමුත්තෝ නැණවත්තු ය. ඔවුහූ ජ්‍යොතිෂය බලති. යේසුස්ව මුණගැසීමෙන් පසු, හෙරොඞ්ව මගහැරිය යුතු බව ඔවුන්ට සිහිනයකින් පෙනේ. ඒ නිසා අවසානයේ ඔවුන් පිටත්ව යන්නේ හෙරොඞ්ව මුණනොගැසෙන වෙනත් මගකිනි. නැණවත් මිනිසුන්ට වංචාව සමග ඇයිහොඳයියක් නැත. ඥානය සහ අවංකත්වය: ඒවා වනාහී එකට යන දේවල් ය.

මේ අයුරින්, නිර්දය පාලකයෙකුගේ සටකපට අභිමතාර්ථය, ඒ නැණවත් ක‍්‍රියාවෙන් ව්‍යර්ථ විය. අසරණ දරුවාගේ ජීවිතය රැකුණි. සාමයේ කුමාරයා බවට ලොකු මහත් වන්නේ ඔහු ය.

අවස්ථාවෝචිතව නැණවත් වීම, දෙවියන්ගේ රාජ්‍ය සාධනය පහසු කරවයි. ඒවා එකට යන දේවල් ය.

දූරදර්ශී දෙමාපියෝ

ඉන් පසු කතාව දිග හැරෙන්නේ නරක අතටයි. සිදු වූ ඇබැද්දියෙන් හෙරොඞ් මහත් සේ කෝපයට පත්වෙයි. බෙත්ලෙහෙමේ සහ ඒ අවට වෙසෙන වයස අවුරුදු දෙකට අඩු සියළු පිරිමි දරුවන් අමානුෂිකව ඝාතනය කරන සේ හේ අණ කරයි. ‘‘එකෙක් ගන්න, තව රොත්තක් හරි මරලා අනිත් එවුන්ට පාඩමක් දීපං’’ යන්න, අනාරක්ෂිත ප‍්‍රජා පීඩකයාගේ ප‍්‍රතිපදාවයි. එය, ප‍්‍රජා පීඩක ක‍්‍රමයක් තුළ පවතින අපේක්ෂා භංගත්වයේ සළකුණකි. උන්මාද, ප‍්‍රචණ්ඩ පාලකයන් සහ විඳවන අසරණ ජනතාව: ඒවා වනාහී එකට යන දේවල් ය.

යේසුස්ගේ මාපියෝ සිහිනයකින් මෙහෙයවෙත්. සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන ඔවුහූ, ආරක්ෂාව පතා අසල්වැසි ඊජිප්තුවට පළා යති. සෙස්සන් ද එසේ කළා විය හැකිය. යේසුස් සරණාගතයෙකු වුණේ එලෙසිනි. ස්ථානෝචිත ප‍්‍රඥාව සහ ජීවිතාරක්ෂාව: ඒවා වනාහී එකට යන දේවල් ය.

මේවා නිසැකවම දිව්‍යමය පාලනයට හේතුභූත වෙයි. එසේ රැකගත් දරුවා, ප‍්‍රජා පීඩනයේ අභාවය තුළ සත්‍යයේ මාවත හරහා සියල්ලන් වෙත විපුල ජීවිතය දානය කරයි. එසේ රැකගත්තවුනට, විමුක්තියේ ශක්‍යතාව තිබේ. ඒවා වනාහී එකට යන දේවල් ය.

ප‍්‍රජා පීඩනයේ ස්වභාවය

ප‍්‍රජා පීඩනයේ ස්වභාවය කවදත් එක වගේ ය. එය ගොඩනැගෙන්නේ, තණ්හාව, රැවටිල්ල සහ හිංසනය යන ත‍්‍රිපාදය මත යි. ඒවා එකට ගමන් කරයි. පොදු යහපත නොතකා හැරීමට ප‍්‍රජා පීඩකයාව මත් කරවනු ලබන්නේ ඒවා මගිනි. එවැන්නෝ ජනහතුරන් වෙත්. පාලනය කිරීමට ඇති සදාචාරමය අයිතිය ඒ හේතුවෙන් ඔවුන්ට අහිමි කෙරෙන අතර, තමන්ගේ ඕනෑ එපාකම් ආරක්ෂා කර ගැනීමේ සදාචාරමය අයිතිය ජනතාවට පැවරේ. එක පැත්තකට සදාචාරය අහිමි වීම සහ තවත් පැත්තකට සදාචාරය හිමි වීම: ඒවා වනාහී එකට යන දේවල් ය.

ප‍්‍රජාපීඩනයේ සීමාවන්

කෙසේ වෙතත්, ප‍්‍රජා පීඩකයන් සර්ව බලධාරී වන්නේ නැත. ඥානයේ සහ සාමාන්‍ය බුද්ධියේ ආධ්‍යාත්මිකත්වය සමග සෙල්ලම් කිරීමට ඔවුන්ට නොහැක. ඒ සංයුක්ත මහානුභාවය, ලෙහෙසියෙන් මිළදී ගත හැකි හෝ බිය ගැන්විය හැකි හෝ නසාලිය හැකි හෝ දෙයක් නොවේ. එය ද, විශ්ව මානව හිමිකම් සේම, අද්විතීය යි. මිනිසා තුළින් පරිකම්පනය වන ඒ ආධ්‍යාත්මිකත්වය, මානව හිමිකම් හඩ ගා ඉල්ලා සිටී. මානව ආධ්‍යාත්මිකත්වය සහ මානව හිමිකම්: ඒවා වනාහී එකට යන දේවල් ය.

ප‍්‍රජා පීඩනය පෙරැලීම

ප‍්‍රජා පීඩනයේ ආධිපත්‍යය ඉවක්බවක් නැතිව ව්‍යාප්ත වන විට, පොදු මිනිස් ආධ්‍යාත්මිකත්වය සක‍්‍රීය වන්නේය. ඒ ප‍්‍රජා පීඩනය විසින් මිනිස් ගර්වය පැහැර ගන්නා විට, මිනිස් ආධ්‍යාත්මිකත්වය මගින් මිනිස් හෘදය සාක්ෂිය අවුලූවාලනු ලබන්නේය. ඒවා වනාහී එකට යන ප‍්‍රවණතාවන් ය.

ඥානයෙන් සහ ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් සකසා පෝෂණය කෙරෙන මානව ආධ්‍යාත්මිකත්වය, ප‍්‍රජා පීඩක පාලනයක් යටතේ, විරෝධතාවක් බවට පත්වෙයි. එය රැකගතහොත්, අවසාන වෙනසට එයම තුඩුදෙන්නේය. තණ්හාව, රැවටිල්ල සහ හිංසනය ඒ මගින් නිරුවත් කෙරෙන අතර, ප‍්‍රජා පීඩකයාව අභිභවනය කොට යමින් වඩා යහපත් ලොවක් නිර්මාණය කිරීම කෙරෙහි එය යොමු වෙයි. ඒවා වනාහී, එකට යන දේවල් ය.

නත්තල් ප‍්‍රාර්ථනාව

ප‍්‍රජා පීඩනය වැඩි කල් නොපවතීවා යන්න නත්තල් ප‍්‍රාර්ථනයයි. ඒ වෙනුවට, දිව්‍යමය පාලනය ප‍්‍රතිස්ථාපනය කෙරෙනු ඇත. ‘‘මිහිතලේ සාමය සහ සකල වාසීන්ට යශෝ නාමය’’. එය ඉක්මණින් සිදුවන බවට වගබලා ගැනීම නත්තල් අභියෝගයයි. නත්තල් ප‍්‍රාර්ථනය සහ නත්තල් අභියෝගය: ඒවා වනාහී එකට යන දේවල් ය. එකකින් තොරව අනික අත්පත් කර ගත නොහැක්කේය.

යෙසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ යහපත් ආරංචිය එය යි.

සියල්ලන්ට, සාමය සහ ශාන්තිය.

දුලිප් ඞී. චිකේරා | Bishop Duleep de Chickera

(මෙම ලිපිය 2013 වසරේ පළවූවක් වුවත් කාලින වැදගත්කම සලකා නැවත පළ කරමු)

*2013 දෙසැම්බර් 24 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Rule of Tyranny and The Reign of God නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන් | Image Credit: freevector