iMAGE: via old Ceylon

1915 මැයි 29 වන දින මහනුවර කාසල් හිල් වීදියේ මුස්ලිම් පල්ලියේ බෞද්ධ පෙරහැරක් හේතුකොට ගෙන ප‍්‍රචණ්ඩකාරී ගැටුමක් හට ගැනුණි. සිදු වූ ගැටුමේදී මුස්ලිම් යෝනකයින් ගණනාවකට පහර එල්ල කරන ලදී. හුදෙකලා සිදුවීමක් ඉතිරි කරනවා වෙනුවට, මෙම ආරම්භක ප‍්‍රහාරයෙන් පසුව දිවයින පුරා කැරලි ඇති වූ අතර එය දැඩි තීව‍්‍රතාවයෙන් වර්ධනය වී දින නවයක් පැවතුණි. ප‍්‍රචණ්ඩත්වය පළාත් නවයෙන් පහකටම ව්‍යාප්ත විය. මුස්ලිම් සාප්පු 4,000 කට වැඩි ප‍්‍රමාණයක් කොල්ල කෑ අතර නිවාස 350 ක් සහ මුස්ලිම් පල්ලි 17 ක් ගිනිබත් කෙරිණි. 1915 සංහාරය වසර සියයකට ආසන්න කාලයක් තිස්සේ සිදු වූ විශාලතම වාර්ගික ප‍්‍රචණ්ඩත්වය වන අතර එය මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එල්ල වූ වඩාත් පුළුල්තම ප‍්‍රහාරයයි.

මෙම කෝලාහල සඳහා දක්වන ලද බි‍්‍රතාන්‍ය යටත් විජිත ප‍්‍රතිචාරය අදටත් විවාදාත්මක විෂයයක් ලෙස පවතී. වඩාත්ම ජනප‍්‍රිය කථාව නම් අධික ප‍්‍රතිචාරයයි. නමුත් එම ආඛ්‍යානය සම්පුර්ණ එකක්ද, නැතහොත් කතාව වඩාත් සංකීර්ණ ද? මෙම ලිපියෙන්, මා ගවේෂණය කරන්නේ 1915 දී ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී සංහාරයට බි‍්‍රතාන්‍ය යටත් විජිත රාජ්‍යය දැක් වූ ප‍්‍රතිචාරයයි. බි‍්‍රතාන්‍ය රාජ්‍යයේ ප‍්‍රතිචාරයේ අදියර දෙකක් විස්තර කරමින් මම එය ආරම්භ කරමි: එනම්, පැහැර හැරීම සහ ඉක්මවා යාමයි. සක්‍රීය සහ ප‍්‍රමාණාත්මක ලෙස නීතිය ක‍්‍රියාත්මක කිරීමේ වැදගත්කම මහා පරිමාණ වාර්ගික ප‍්‍රචණ්ඩත්වය සහ සරල  කරන ලද ෛඑතිහාසික ආඛ්‍යාන බිහි වීමේ අවදානම වැළැක්වීමේදී වැදගත් වන බව මෙනෙහි කරමින් මම එය අවසන් කරමි.

1915 දී ප‍්‍රචණ්ඩත්වය පැතිර යාම වැළැක්වීමට බි‍්‍රතාන්‍ය යටත් විජිත රාජ්‍යය මුලින් අසමත් වූ අතර, එහි ප‍්‍රතිඵලය වූයේ මුස්ලිම්වරුන් සතු නිවාස හා ව්‍යාපාර, පල්ලි විනාශ වීම සහ මරණ ගණනාවක් සිදු වීමයි. කෙසේ වෙතත්, කෝලාහල  කෙරෙහි බි‍්‍රතාන්‍ය යටත් විජිත රාජ්‍යයේ ප‍්‍රතිචාරය පිළිබඳ සම්ප‍්‍රදායික ආඛ්‍යානය වන්නේ බි‍්‍රතාන්‍යයන්ගේ බලය ඉක්මවා යාම පිළිබඳ බොහෝ දුරට ඒකමාන ආඛ්‍යානයකි. කෝලහාල කුරිරු ලෙස මර්දනය කිරීම සහ රාජ්‍යය විසින් දේශද්‍රෝහී ලෙස ක‍්‍රියා කරන්නන් ලෙස වැරදියට වටහා ගත් සිංහලයන්ට අයුතු ලෙස සැළකීම පිළිබඳව මෙම ආඛ්‍යානය අවධානය යොමු කරයි. මෙම ආඛ්‍යානය බොහෝ දුරට නිවැරදි වුවත්, ප‍්‍රචණ්ඩත්වය පුපුරා යාම මැඩපැවැත්වීම සඳහා මුලදී පොලීසිය සහ රජය තීරණාත්මකව ප‍්‍රතිචාර නොදක්වා සිටීම අමතක කරයි. මේ අනුව, බි‍්‍රතාන්‍ය යටත් විජිත රාජ්‍යය ආකාර දෙකකින් අසමත් විය: පළමුව, මුස්ලිම් විරෝධී ප‍්‍රචණ්ඩත්වය එරෙහිව එහි දුර්වල ආරම්භක ප‍්‍රතිචාරයයි. දෙවනුව, අහිංසක සිංහල සිවිල් වැසියන්ට නීති විරෝධී ලෙස වෙඩි තබා සිරගත කිරීමයි.

රාජ්‍යයේ අක‍්‍රියත්වය

1915 මැයි මාසයේදී ඇති වූ ප‍්‍රචණ්ඩත්වය පාලනය කිරීමට පොලීසිය (සහ අනෙකුත් රාජ්‍ය ක‍්‍රියාකාරීන්) අපොහොසත් වීමට විවාදාත්මක හේතු දෙකක් තිබේ: එනම්, ආරක්ෂක උපක‍්‍රමවල දුර්වලතා සහ කැරලි කරුවන්ට අනුග‍්‍රහය පළ කිරීමයි.

ආරක්ෂක උපක‍්‍රමවල දුර්වලතා

1915 දී සිංහල-බෞද්ධයන් සහ මුස්ලිම්වරුන් අතර ආතතීන් ගොඩනැගෙමින් තිබියදීත්, ප‍්‍රචණ්ඩත්වයේ ප‍්‍රමාණය හා තීව‍්‍රතාවය ගැන පොලිසිය සහ රජය පුදුමයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි. ශ‍්‍රී ලංකාවේ අවසානයටම සිදු වූ මහා පරිමාණයේ ප‍්‍රචණ්ඩත්වය (1915 ට පෙර) 1848 මාතලේ කැරැල්ල විය. බි‍්‍රතාන්‍යයන් යුද නීතිය ප‍්‍රකාශයට පත් කළ අතර ප‍්‍රචණ්ඩත්වය නිර්දය ලෙස මර්දනය කළහ. එතැන් පටන් යටත් විජිතය බොහෝ දුරට සාමකාමීව පැවති අතර, හට ගත්තේ කුඩා අන්තර්-වාර්ගික ගැටුම් පමණි. මාතලේ කැරැල්ල සහ ඉන් පසුව ඉඳහිට ඇති වූ ගැටුම් භූගෝලීය වශයෙන් සංකේන්ද්‍රණය වූයේ කිසියම් පළාතක් හෝ දෙකක් තුළ ය. ඊට වෙනස්ව, මැයි 29 වන දින මධ්‍යම පළාතේ මහනුවරින් ආරම්භ වූ 1915 සංහාරය ජුනි 5 වන විට තවත් පළාත් හතරකට ව්‍යාප්ත වූ අතර, ආසන්න වශයෙන් සැතපුම් 64 ක් පමණ දුරින් වූ වයඹ පළාතේ ගල්ගමුව සිට දකුණු පළාතේ ගාල්ල දක්වා ව්‍යාප්ත විය.

පැතිරෙමින් පැවති ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් තිබියදීත් යම් තරමක සූදානමක් නොමැතිකම හේතුවෙන්, එය මැඩපැවැත්වීම සඳහා පොලීසිය අනුගමනය කළ ප‍්‍රවේශය සක්‍රිය එකක් වෙනුවට ප‍්‍රතික‍්‍රියාකාරී එකක් විය. මධ්‍යම පළාතේ පොලිස් අධිකාරීවරයාට වෙසක් පෙරහැර සමයේදී සිංහල-බෞද්ධයන් සහ මුස්ලිම් යෝනකයින් අතර ගැටුම් ඇතිවීමේ සම්භාවිතාව පිළිබඳ පූර්ව තොරතුරු ලැබුණි. කෙසේ වෙතත්, එවැනි පූර්ව අනතුරු ඇඟවීම් තිබියදීත්, අධිකාරීවරයා නියෝග කළේ පල්ලියට යන මාර්ග හතරේ මුර සංචාරයේ යෙදෙන ලෙස එක් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරුන් හතර දෙනෙකු යොදවන ලෙසට ය. දෙදහසකට අධික ජනකායක් පාලනය කිරීමට මෙම නිලධාරීන්ට නොහැකි විය.

සංහාරය ආරම්භ වූ වහාම ප‍්‍රචණ්ඩත්වය පැතිරීම නැවැත්වීමට කාර්යක්ෂම සැලැස්මක් නොතිබුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස පොලිසියේ ඵලදායී ප‍්‍රතිචාරයක් නොමැතිව මුස්ලිම් තැනැත්තන්ට, ඔවුන් සතු නිවාස හා ව්‍යාපාර සහ පල්ලිවලට සතියකට අධික කාලයක් තිස්සේ ප‍්‍රහාර එල්ල කරනු ලැබීය.

පොලිසියේ මන්දගාමී ප‍්‍රතිචාරයට තවත් හේතුවක් වූයේ ඉහළ යන අන්තර්-වාර්ගික ආතතීන් සහ පුළුල් ලෙස මුස්ලිම් විරෝධී අදහස්  වළක්වා ගැනීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සීඅයිඞීය) අපොහොසත් වීමයි. නිදසුනක් වශයෙන්, 1915 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ වෙරළබඩ යෝනකයින් බෞද්ධ හා හින්දු ප‍්‍රජාවන්ගේ ආගමික පෙරහැරවල් නැවත නැවත අවහිර කිරීම මඟින් ඔවුන් සතුරු කර ගත්හ. තවද, මෙම කාලය තුළ සිංහල ජාතිය වැනි ජනප‍්‍රිය ස්වභාෂික ප‍්‍රකාශන වල සැළකිය යුතු තරම් මුස්ලිම් විරෝධී ප‍්‍රචාරයක් පැවතුණි. කෙසේ වෙතත්, 1915 පෙබරවාරි මස මුස්ලිම්වරුන්ට පක්ෂව තීන්දු වූ ජනප‍්‍රිය නොවූ ගම්පොළ පෙරහැර ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පසුව දැඩි වූ ආතතීන් මධ්‍යයේ වුවද, ස්වභාෂා පුවත්පත්වල අදහස් නිරීක්ෂණය කිරීමට රජය අපොහොසත් විය.

කැරළිකරුවන්ට අනුග‍්‍රහය දැක්වීම

කැරලි කෝලාහලවල දී ඇතැම් පොලිස් නිලධාරීන් ඊට අනුග‍්‍රහය දැක්වීම ද ප‍්‍රචණ්ඩත්වය පාලනය කිරීමට පොලිසිය අසමත් වීමට හේතු වීය යන්න ඉතිහාසඥයින් වන චාල්ස් බ්ලැක්ටන් සහ මයිකල් රොබට්ස් විසින් මතු කරන ලද කරුණකි. කොල්ල කෑම සහ කැරළි ගැසීම සිදු වන විට උදාසීනව සිටගෙන සිටි බවට සමහර පොලිස් සහ රාජ්‍ය නිලධාරීන් වරදකරුවන් වූ අතර, තවත් සමහරුන් යෝනකයින් වෙතින් කප්පම් ගැනීම සහ බිය ගැන්වීම සඳහා සෘජුවම සම්බන්ධ බව සොයා ගන්නා ලදී. නිදසුනක් වශයෙන්, කොළඹ උප පොලිස් පරීක්ෂකවරයකු වූ එෆ්. පී. සමරසිංහ ජුනි 1 වන දින මහනුවර සිට පැමිණි මුස්ලිම් සරණාගතයෙකුගෙන් මාලයක් සහ රු. 558.50 ක් වටිනාකමින් යුත් මුද්දක්, මුදල් සහ චෙක්පතක් කප්පම් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු විය. ව්‍යවස්ථාදායක සභාවේ මුස්ලිම් සාමාජිකයකු වූ ඩබ්ලිව්.එම්. අබ්දුල් රහීමන්, සංහාරය අතරතුර යෝනකයින් මුහුණ දුන් හානිය පිළිබඳ තක්සේරුවක් සම්පාදනය කර 1915 ජූලි 1 වන දින ලංකාවේ ආණ්ඩුකාරවරයා සමඟ ලිපි හුවමාරු කර ගත්තේය. 1915 සංහාරය තුළින් සමහර පොලිස් නිලධාරීන් යම් ආකාරවලින් ප‍්‍රතිලාභ ලබා ගත්තේ යයි ඔහු සිය වාර්තාව තුළින් දක්වා තිබුණේය . මෙම අනුග‍්‍රාහකත්වය පිටුපස ඇති හේතු ගැන ඔහු අනුමාන නොකළද, එය තණ්හාව, මුස්ලිම් විරෝධී හැඟීම් සහ පෙරහැරවලට සම්බන්ධ සිංහල-බෞද්ධයන්ගේ දුක්ගැනවිලි කෙරෙහි වන අනුකම්පාව යන සංකලනයක් විය හැකිය.

රාජ්‍යය බලය ඉක්මවා යාම

උදාසීන හා අකාර්යක්ෂම රාජ්‍ය ප‍්‍රතිචාරය නිසා පළාත් නවයෙන් පහක් දක්වා ප‍්‍රචණ්ඩත්වය ව්‍යාප්ත විය. කෙසේ වෙතත්, ජුනි 2 පමණ වන විට, ආණ්ඩුකාරවරයාට, යටත් විජිත ලේකම්ට සහ පොලිස්පතිවරයාට (අයි.ජී.පී) පැහැදිලි වී තිබුණේ කැරලි කෝලාහල පොලිසියේ පාලනයෙන් ඔබ්බට පැතිරී ඇති බවත්, ඒ සඳහා හමුදාව යෙදවීම අවශ්‍ය බවත් ය. කැරලි කෝලාහල වූ කලී රජය ඉලක්ක කර ගත් පුළුල් විරෝධතා ව්‍යාපාරයක කොටසක් යැයි යටත් විජිත පරිපාලනය වැරදි ලෙස සැක කළේය. එබැවින් ජූනි 2 වන දින ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු වූ පළාත්වල යුද නීතිය ප‍්‍රකාශයට පත් කරන ලද අතර එය 1915 අගෝස්තු අවසානය දක්වා පවත්වා ගෙන යනු ලැබීය. මෙම කාල පරිච්ඡේදය තුළ, විශේෂයෙන් ජුනි 8 සිට 15 දක්වා කාලය තුළ බි‍්‍රතාන්‍ය යටත් විජිත රාජ්‍යයේ ක‍්‍රියාකාරකම් සිංහලයින්ට එරෙහි කෲර ක‍්‍රියාමාර්ග ලෙස සිහිපත් කරනු ලැබේ. සංහාරයේ මුල් ඉලක්කවලට වඩා වෙනස්ව, සිංහලයන් කෙරෙහි අනුකම්පාව නැවත යොමු කිරීමට හේතු වන්නේ මෙම ක‍්‍රියාවන් ය.

මෙම දෙවන කාල පරිච්ඡේදය  තුළ මර්දනය ක‍්‍රියාත්මක කළ රාජ්‍ය ක‍්‍රියාකාරීන් අතර, හමුදාව මෙන්ම ප‍්‍රචණ්ඩත්වය ආරම්භයේ දී දිවයිනට පැමිණ සිටි පන්ජාබි සොල්දාදුවන්ගේ රෙජිමේන්තුවක් ද ඇතුළත් ය. නිල ලත් නිලධාරීන්ගේ හිඟයක් හේතුවෙන් ‘විශේෂ කොමසාරිස්වරුන්’ හෝ ස්වේච්ඡා සේවකයන් ද බඳවාගෙන සේවයේ යොදවනු ලැබ තිබුණි. මෙම ස්වේච්ඡා  සේවකයන්ට කොළඹ නගර ආරක්ෂක කාලතුවක්කු හෝ ලංකාවේ ස්වේච්ඡා බලකායේ සාමාජිකයින් ඇතුළත් වූ අතර, එය බොහෝ විට හමුදා මෙහෙයුම් පිළිබඳ පූර්ව අත්දැකීම් නොමැති යුරෝපීය වැවිලිකරුවන්ගෙන් සමන්විත විය. මෙම ක‍්‍රියාකාරිකයින් විසින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග (යුද නීතිය යටතේ තාක්ෂණිකව නීත්‍යානුකූල වූ) කෝලාහල කරුවන්ට සජීවී පතොරම්වලින් වෙඩි තැබීමේ සිට නීති විරෝධී ක‍්‍රියාවන් ගණනාවක් දක්වා පැතිරුණි. නිදසුනක් වශයෙන්, කැරලි කෝලාහලවලට සම්බන්ධ නොවූ සාමාන්‍ය සිවිල් වැසියන්ට හිංසා පීඩා කිරීම සහ ගෙයින් ගෙට ගොස් පරීක්ෂා කිරීමේදී සොරකම් කිරීම සම්බන්ධයෙන් පන්ජාබි සොල්දාදුවන්ට චෝදනා එල්ල විය. අහිංසක සිවිල් වැසියන්ට සමූහ පහරදීම් සිදු කළ බවට ද පන්ජාබි රෙජිමේන්තුවට චෝදනා එල්ල විය.

නරකම බලය ඉක්මවා යාම වූයේ සාමාන්‍ය සිංහල සිවිල් වැසියන්ට නීති විරෝධී ලෙස වෙඩි තැබීම සහ චෝදනා විරහිතව අහිංසක සිවිල් වැසියන් සිය ගණනක් සමූහ වශයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම ය. කැරලි කෝලාහලවලට සම්බන්ධ බවට හෝ ඊට අනුබල දුන් බවට සැක කෙරෙන සිංහල මිනිසුන් දස දෙනෙකුට වෙඩි තැබීම, රජය විසින් සිදුකරන ලද අතිශය දරුණුතම අපරාධයකි. යටත් විජිත රාජ්‍යය සිය බලමුළු බලය ඉක්මවා යාම පිළිබඳව වගවීම ඇති කිරීම සඳහා වෙඩි තැබීමේ විමර්ශන කොමිසමක් පිහිටුවීම ඒ සඳහා පැහැදිලි සාක්ෂියකි. එමෙන්ම, 1915 මැයි 29 වන දින කැරලි කෝලාහල ඇති වූ විට එය පැතිරුණු ප්‍රචණ්ඩත්වයක් බවට පත් වීමට ඉඩ නොදී ඵලදායී ලෙස අවසන් කිරීමට රජය අපොහොසත් වීම පිළිබඳව සොයා බැලීමට යටත් විජිත රාජ්‍යය පොලිස් විමර්ශන කොමිසම් සභාවක් ද පත් කළේය. මෙම විමර්ශනවල ලිඛිත වාර්තාවලින්, යටත් විජිත පරිපාලනය පිළිබඳව සහ තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය මෙන්ම, අක‍්‍රියත්වයේ සිට බලය ඉක්මවා යාම තෙක් කටයුතු කිරීමට හේතු වූ රාජ්‍යයේ ප‍්‍රතිචාරයේ වෙනසක් සිදු වූ අන්දම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගත හැකිය.

නිගමනය

නිසි පරිදි හා කාලෝචිත ආකාරයකින් ප‍්‍රතිචාර දැක්වීමට බි‍්‍රතාන්‍ය යටත් විජිත රාජ්‍ය අසමත් වීම, අද නීතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා වටිනා පාඩම් උගන්වයි. සංහාරය ආරම්භයේදීම රජය තීරණාත්මකව ක‍්‍රියා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් තත්වය පාලනයෙන් බැහැරව සැලකිය යුතු ලෙස වර්ධනය වීම නිසා රජය බලය ඉක්මවා ක‍්‍රියා කිරීමට හේතු විය. ප‍්‍රමාද වූ හානිය පාලනය කිරීමේ ක‍්‍රමවේදයකට රජය මාරු වූ පසු, මිලිටරි හමුදා තුළ ලිහිල් කොටස් පාලනය කළ නොහැකි බව ඔප්පු විය. මේ අතර, 1915 මුස්ලිම් විරෝධී සංහාරයට බි‍්‍රතාන්‍ය ප‍්‍රතිචාරය පිළිබඳ ෛඑතිහාසික ආඛ්‍යානය ඒක මානීය වන අතර එබැවින් අසම්පූර්ණ ය. එවැනි ඌණිත ආඛ්‍යානයක් විසින් මුස්ලිම් ප‍්‍රජාවට එරෙහි ප‍්‍රචණ්ඩත්වයෙන් අමතක කරවන අතර බහුතර ප‍්‍රජාවට පමණක් වින්දිතයින් බවට පත් වූ ආඛ්‍යානයට ප‍්‍රමුඛතාවය දෙයි. ෛඑතිහාසික යථාර්ථය වඩාත් සංකීර්ණ එකක් විය; රජය සිංහලයන්ට එරෙහිව බලය ඉක්මවා යාමක් සිදු කළා පමණක් නොව, මුස්ලිම්වරුන් ප‍්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කිරීමට ද අසමත් විය.

ශමාරා වෙත්තිමුනි |  Shamara Wettimuny

 

වැඩිදුර කියවීමට 

1915 මුස්ලිම් විරෝධී කැරළි : කාන්තාවගේ භූමිකාව

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසයක්