එවකට ඇමති, දොස්තර රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මංත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බේ පසුගිය නොවැම්බර් 10වනදාය. ඒ ජනාධිපතිවරණයට හරියටම දින 6කට පෙරය. ඒ මාධ්‍ය සාකච්ඡාව සුවිශේෂී මාධ්‍ය සාකච්ඡාවක් යැයි කීවේය. එහි කියැවුනු සුවිශේෂත්වය නම්, කුප්‍රකට සුදුවෑන් වලින් මිනිසුන් පැහැර ගැනීමට එම සුදු වෑන් පැදවූ රියදුරන් යැයි හදුන්වාගත් පුද්ගලයන් දෙදෙනෙක් සිය අත්දැකීම් විස්තර කිරීමය.

ඔවුන් දෙදෙනා සිටියේ රැවුල වවාගෙනය. නමුත් ඒ රැවුල් බොරු රැවුල් බව ඕනම මැට්ටෙක්ට තේරෙනවාය. නමුත්, ඔවුන් දීර්ඝ විස්තරයක් කලේය. ගියපු හැටි. අල්ලගත්ත හැටි. අල්ලගන ගෙනාපු තැන. ඊටපස්සේ ඔවුන්ව ගිහින් දාපු වැව. ආදී බොහෝ දේ කීවේය. ඒවගේම සුදු වෑන්වලින් උස්සපු අයගේ ඥාතීන්ට හිතෙන දේවල්, ඒ වගේ බිහිසුනු වැඩවල විපාක ආදී දේවලුත් කීවේය. ඒ සියල්ල සිදු වූයේ රාජපක්ෂ පාලන කාලයේ බවත් නොකියා කීවේය.

වැඩේ හමාර විය. ජනාධිපතිවරණයෙන් ගෝඨාබය රාජපක්ෂ ජය ගත්තේය. දැන් ඒ සුදුවෑන් රියදුරන් යැයි කියන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇත. මේ ලියන මොහොත වන විට එම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කලේ යැයි කියමින් පාර්ලිමේන්තු මංත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සදහා අධිකරනය විසින් වරෙන්තුවක් නිකුත් කරමින් තිබූ අතර පසුව රෝගාතුර වූ මංත්‍රීවරයා ලංකා හොස්පිටල් වෙත ඇතුලු කලේය. කෙසේ නමුත් පසුව ඔහුට අධිකරනය විසින් ඇප ලබා දුන්නේය.

‘සුදු වෑන්’

සුදු වෑන් මා දැක ඇතත්, මිනිසුන් පැහැර ගෙන යන සුදුවෑන් මා දැක නැත. එහෙත් ප්‍රවීන ජනමාධ්‍යවේදී පෝද්දල ජයන්ත වෑන් රථයකින් පැහැරගෙන ගොස් අතපය කඩා මහමග දමා ගිය සිදුවීම මා අසා ඇත. ඒ බව පෝද්දලත ප්‍රසිද්ධියේ පවසා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිත් දමා ඇත. නමුත් ඒවාට වෙන්නේ කුමක් දැයි කිසිවෙක් දන්නේ ද නැත. එවැනි ආකරයේ පැහැර ගැනීම පිළිබද මා අසා ඇත. නමුත් ඒ පැහැර ගැනීම්වලට සම්බන්ධ කිසිවෙක්වත් මේ දක්වා නීතිය හමුවට පමුණුවා නැත. නමුත් එයින් ජීවිත බේරාගත්, වින්දිතබාවයට පත්වූවන් ඒ පිළිබද සියල්ල පරීක්ෂණ කරන ආයතනවලට පවසා ඇත. නමුත් නීතිය තවමත් ගොළුය.

කෙසේ නමුත්,

දැන්, ඒ මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කලා යැයි කියමින් අත්අඩංගුවට ගත් රාජිත මංත්‍රීවරයා ඇප මත නිදහස්ය. ඒ මාධ්‍ය සාකච්ඡාවේ දී කරුණු හෙළි කල පුද්ගලයින් දෙදෙනා තවමත් බන්ධනාගාරය තුළය.

නමුත්, වර්තමානයේ පාලකයන්ටත්, දොස්තර රාජිතටත් අමතක වන එක් ප්‍රභල කරුණක් ඇත. ප්‍රශ්ණයට කේන්ද්‍රය වූ සුදුවෑන් වලට අදාල පරීක්ෂනයි. ඒ පිළිබද පරීක්ෂණ නම් මේ කපේ සිදුවන්නේ නැත. ඒ බවට මේ සිදුවීමම ඕනෑතකරම් සාක්ෂි සපයනු ඇත. බොහෝ දෙනෙක්ට අවශ්‍ය වන්නේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරනවාට වඩා, ඒ මතින් බලය ලබා ගැනීමට කෙසේ හෝ උත්සහ කිරීමත්, ලබා ගත් බලය පවත්වාගෙන යාමටත්ය. මෙවන් නොමිනිස්කම්වලිනි මේ දූපත දැන් පීරි ඉතිරී ගොස් තිබේ. එසේ තිබියදී අපි සුභ අලුත් අවුරුද්දක් කියමු.

(මේ සිදුවීමේන් කුප්‍රකට සුදුවෑන් ප්‍රශ්ණය හිතලුවක් බවත්, එවැන්නක් මේ දුපතේ සිදු නොවු දෙයක් බවත් කීමට එයට සම්බන්ධ අපරාධකරුවන් උත්සාහ ගනු නියතය. එසේ වුවහොත් එයට වගකියන්නේ කුවුරුන්ද? ප්‍රශ්ණ කළ යුත්තේ එයයි)

වසන්ත බණ්ඩාර | Wasantha Bandara