iMage: srilankamirror.com

රංජන් සිර ගෙදරය. ඔහු කොපමණ කළකට සිරගතවනු ඇත්දැයි කියන අනාවැකිකරුවෝ වැහි වැහැලා ය. නීතියේ පාලනයට අනුව සිදුවන අධිකරණ ක්රියාදාමයන්ට හදිසියක් නැත. ඒ නිසා අනාවැකි කියන නෝනා මහත්වරු තව ටිකක් ඉවසා හිටියොත් හොඳ ය.

රංජන්ගේ හඩපට තලුමරමින් අහමින් ඔහුට බැණවදින හැම දෙනෙකුම මතක් කර ගත් යුත්තේ කිසා ගෝතමිය ගේ කතාව ය. ඇයට නොමළ නිවසකින් අඔ ඇටයක් සොයා ගැනීමට බැරි විය. රංජන් යෙදුණු පුද්ගලික පිළිසඳරයන් තලුමරමින් ප්‍රකාශයට පත් කරන සහ අසමින් ස්වයං වින්දනයේ යෙදෙන සියලු දෙනා අසා ගත යුතු එක් ප්‍රශ්ණයක් තිබේ. එනම් ජීවිතයේ කවර අවස්ථාවක හෝ තමන් ඒහා සමාන පිළිසදරයන්හි යෙදී නැත්ද යන්න යි. අඩුම වශයෙන් තමන් සමඟ හෝ එවැනි පිළිසඳරක යෙදී නැත්ද යන්න යි.

කරුණාකර තමන් සම්බන්ධ එම පරීක්ෂනය කර ගැනීමෙන් පසු රංජන්ගේ ‘අශ්ශිල’ කතා සම්බන්ධයෙන් නිගමනයන්ට එළඹෙන්න. අන්තර්ජාලයෙහි ලිංගික චිත්‍රපට බැලීම අතින් ලෝකයේ පළමුවැනි තැන ගන්නා ශ්‍රී ලාංකිකයෝ බොහොමයක් රංජන්ගේ පුද්ගලික පිළිසඳරයන් අසා ලබන්නේ ද එවැනි ම වින්දනයකි. බොරු සුචරිතවාදය වනාහී කපටියාගේ ජීවන දැක්ම ය.

රංජන් යනු මෙරට සමාජයේ කැඩපතකි. මේ රංජන් හැර කොතරම් රංජන්ලා මෙරට සිටිනු ඇත් ද?

පුද්ගලික පිළිසඳරයන් පටිගත කර ගැනීම මහත් වරදකි. නමුත් අද උඩ පනින බොහෝ ජනමාධ්‍යකරුවන් ද එයම කරන බව නොදන්නේ කව්ද? එක් වරදක් තවත් වරදකින් වැසී නොයන්නේ ය. රංජන් වැරදි නම් ඒ් පුද්ගලික හඩපට සම්බන්ධ අධිකරණ තීන්දුවකට ඉඩ නොතබා ඒ්වා ප්‍රකාශයට පත් කළ රාජපක්ෂවාදී ජනමාධ්‍ය වැරදිකරුවන් නොවනු ඇත්ද? එබැවින් රංජන්ට ලැබෙන දඩුවම ගැන අනාවැකි කියනවාට වඩා තමන් දෙස හැරී බැලීම එකී මාධ්‍යන්ට වටින්නේ ය.

කුඩු ජාවාරම්කාරයකු බවට චෝදනා ලබන්නාවූත් මිනීමරුවකු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීරණය කරන ලද්දාවූත් පුද්ගලයකු සිය නායකයා විය යුතු යැයි කියන්නට ජනයා පෙළ ගස්වන සමාජයක කුමන සදාචාරයක් ද? එම මිනීමරුවා ජනාධිපති සමාවක් දී නිදහස් කරන තුරු උපවාස කරන බවට තර්ජනය කරන රාජ්‍ය අනුග්‍රහය ලබන සිංහල බුදු දහමේ නූතන නායකයින් වන භික්ෂූන් සිටින රටක කුමන නීතියේ පාලනයක් ද?

අනෙත් අතට රංජන් රාමනායක අත්අඩංඟුවට ගෙන ඇත්තේ අධිකරණයට බලපෑම් කළේය යන චෝදනාව යටතේ ය. ඔහු අධිකරණය බලපෑම් කරන ලද්දේ නම් නිසි නීතිමය දඩුවමක් ලැබිය යුතු ය. එවැනි නඩුවක් අපූරු දේශපාලන අවස්ථාවක් වනු ඇති බව නිසැක ය.

එවැනි වරදක් කරන ලද පුද්ගලයකු ශ්‍රී ලංකාවේ නීතියට අනුව මහාධිකරණය විසින් ජූරි සභාවක් නොමැතිව පවත්වනු ලබන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට එක් අවුරුද්දක් දක්වා දීර්ඝ විය හැකි කාල සීමාවකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දඩය යන දඬුවම් දෙකට ම හෝ යටත් වන්නේ ය. ඊට අමතරව එසේ වරදකරු කරනු ලැබූ දින සිට ඒ තැනැත්තාගේ ප්‍රජා අයිතිය අවුරුදු හතක් නොඉක්මවන කාලයකට අහෝසි කළ හැකි ය.

මෙවැනි ඉරණමකට සිරිමා බණ්ඩාරනායක, සිරිසේන කුරේ යනාදීහු ද ලක් ව තිබේ. දඩුවමක් වශයෙන් එය එතරම් කජ්ජක් නොවේ.

රටක් වටිනා ප්‍රශ්නය මෙය යි. මේ වනාහී මෙරට අධිකරණයට බලපෑම් කරන ලද ප්‍රථම අවස්ථාව ද යන්න ය. වෙනත් වචනයෙන් කියන්නේ නම් අධිකරණයට බලපෑම් කරන ලද තවමත් කරන රංජන්ලා කොතරම් මෙරට සිටී ද යන්නයි.

අශිෂ්ඨ දේශපාලන ක්‍රයාදාමයක් මගින් නෙරපා හරින ලද මෙරට ප්‍රථම අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායක විසින් ලියා පළ කර ඇති (Hold Me Contempt) ඇයගේ මතක සටහන් මෙරට අධිකරණයට රාජපක්ෂ සමාගම විසින් කරන ලද ඍජු සහ වක්‍ර බලපෑම් පිළිබද වාර්තාවක් වැන්න.

මෙම බලපෑම් ආරම්භ වූයේ ඇය අගවිනිසුරු ලෙස දිව්රුම් දුන් දිනයේ ම ය. එනම් 2011 මැයි 19දා ය. දිව්රුම් දීමෙන් පසු කතාවක් ඇති බැවින් නතර වන ලෙස රාජපක්ෂ ඇයට කීවේ ය. පස් හය දෙනෙකු පිරිවරා ගෙන අගවිනිසුරුවරියට කතා කළ රාජපක්ෂ ඇසුවේ එකම ප්‍රශ්ණයකි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වශයෙන් පත් කරන්නට යන්නේ කවරෙක්ද කියා ය. එය නොඇසිය යුතුව තිබූ ප්‍රශ්ණයකි. මන්ද යත් එම පත්කිරීම අධිකරණ සේවා කොමිෂම විසින් ගත යුතු වූ තීරණයක් නිසා ය. ඒ් වන විට පුරප්පාඩු වී තිබූ එම තනතුරෙහි වැඩ බැලුවේ නියෝජ්‍ය ලේකම් වූ මංජුල තිලකරත්න ය. කොමිෂම විසින් ලේකම්වරයකු පත් කැරෙන තුරු ඔහු වැඩ බලනු ඇතැයි ශිරාණි බණ්ඩාරනායක කීවා ය.

රාජපක්ෂ පුපුරු ගසන තරම් කේන්තියට පත් විය. රාජපක්ෂ පිටුපසට වී කනට කොදුරමින් සිටියේ අධිකරණ නිලධාරීන් සමඟ සබඳතා පවත්වන්නේයැයි පැමිණිළි ලැබී තිබූ නිලධාරියෙකි. ඔහු සෑම විටම අගවිනිසුරිය කතාවට අල්ලා ගැනීමට උත්සාහ ගත් පුද්ගලයෙකි. (ඔහුගේ නම පොතෙහි සඳහන් නොවේ) පිළිගත් සම්ප්‍රදාය වුයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් ජනාධිපති ලේකම්වරයා සමඟ පමණක් ගනුදෙනු කිරීම ය.

ජනාධිපති රාජපක්ෂ කේන්ති ගන්නට ඇත්තේ තමා විසින් ම පත්කල අගවිනිසුරුවරිය තීරණ ගැනීමට පෙර ඔහු නොවිමසීම ගැන බව තමා දැන සිටියේ යැයි ශිරාණි බණ්ඩාරනායක කියයි.

පසු කළක ඉහත කී මංජුල තිලකරත්න අධිකරණ සේවා සභාවේ ලේකම්ව සිටිය දී අපකිර්තිමත් යතුරුපැදි මැර බලකායක ප්‍රහාරයකට ලක් විය. එම මැරයෝ තවමත් යහතින් සිටිති. රාජපක්ෂවරු අහක බලා ගත් නිසා ය. එම පහරදීම් බලපෑම් නොවේ ද?

අමාත්‍ය බැසිල් රාජපක්ෂ යටතට බලතල රාශියක් ලබා ගැනීම පිනිස සකස් කරන ලද දිවි නැඟුම පනත පිළබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 2012 ඔක්තෝම්බර් 31 වන දින ජනාධිපතිවරයාට සහ කතානායකවාරයාට යැවීමට නියමිතව තිබුණි. ඊට පෙර දින අගවිනිසුරුවරිය එම පනත විමසා බැලූ අනෙක් විනිසුරන් දෙදෙනා සමඟ සාකච්ජා කරමින් සිටියේ ය.

මේ අවස්ථාවෙහි දී ඇයට හදිසි දුරකථන ඇමැතුමක් දුන් ඇයගේ ලේකම්වරිය කියා සිටියේ ඇය හමුවීමට අධිකරණ ඇමැතිවරයා පැමිණ සිටින බවයි. මෙම හමුව කලින් සූදානම් කරන ලද එකක් නොවුව ද අධිකරණ ඇමැති ජී.එල්.පීරිස් හමුවීමට අගවිනිසුරුවරිය තීරණය කළා ය. වාඩිවීමට කරන ලද ඇරයුමට ස්තුති කිරීමට හෝ පමා නොවූ පිරිස් කියා සිටියේ නාස්ති කිරීමට වේලාවක් නැති බව යි. ඉතාම හදිසි සහ වැදගත් කරුනක් සඳහා දැන්ම ජනාධිපති හමුවීමට යාමට එන්නැ යි පීරිස් අයැද සිටියේ ය.

තමා වැදගත් නඩු තීන්දුවක් අවසන් කරමින් සිටින බවත් තවද මෙම අවස්ථාවෙහි ජනාධිපතිවරයා හමුවීම යෝග්‍ය යැයි තමා නොසිතන බවත් ඇය අධිකරණ ඇමැති ජී.එල්. පීරිස්ට කියා සිටියා ය. පීරිස්ගේ මුහුණ කලු වී මළානික විය. ඒ මුහුණ පුරා ලියැවී තිබුණේ බිය යැයි ශිරාණි බණ්ඩාරනායක සිය මතක සටහන්හි ලියා තිබේ.

එවකට රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ රිෂාඩ් බදුර්දීන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට කරන ලද බලපෑම් ද දීර්ඝ වශයෙන් එහි සඳහන් වෙයි. ඒ 2012 ජූලි මාසයේ දී ය. දෙමළ ධිවර ගම්මානයක නිවෙස් ගණනාවක් ගිනි තැබීම සම්බන්ධයෙනි. එකී අපරාධයට වගකිව යුතු පුද්ගලයින් අත් අඩංඟුවට ගැනීමට නියෝග කළ මහේස්ත්‍රාත් එල්ටීටීඊ හිතවාදියකු යැයි කියමින් බදුර්දීන් පාක්ෂිකයෝ අධිකරණය වට කළහ. රිෂාඩ් බදුර්දීන් යැයි කියාගත් අයකු විසින් අධිකරණය ගිනි තබන බවට තර්ජනය කළේ ය. ජූලි 18වනදා අධිකරණය වට කළ පිරිස් ගල් ප්‍රහාර එල්ල කරමින් එයට ගිනි තැබූහ. මහාධිකරණ විනිසූරුවරයාට මේසය යට සැඟවීමට සිදු විය. මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවෙහි මහේස්ත්‍රාත් ජෙසුදාසන්ට කතා කළ ඇමැති රිෂාඩ් බදුර්දීන් යැයි හදුන්වාගත් පුද්ගලයා ‘මා මේ තර්ජනය කලේ නැත්ද?’ යැයි විමසා සිටියේ ය.

මේ සම්බන්ධ පරීක්ෂනයේ දී රිෂාඩ් බදුර්දීන් කියා සිටියේ සිය ජංගම දුර කථනය එම අවස්ථාවෙහි දී තිබුණේ සිය සහෝදරයා ළග බවය. එහෙත් මහේස්ත්‍රාත්වරයා තමාට තර්ජන කළේ රිෂාඩ් බදුර්දීන් බව ම කියා සිටියේ ය. කෙසේ වෙතත් මේ කිසිවක් නිසි පරීක්ෂනයකට යොමු කැරුණේ නැත. ඒ වනාහී අද බොහෝ දෙනෙකුට අමතක වී ඇති රාජපක්ෂ සමයේ දේශපාලනය යි.

තම සැමියාට විරුද්ධව අල්ලස් නඩුවක පවරන ලද්දේ ද තමා බිය ගැන්වීමට හෝ යටත් කර ගැනීමට යැයි ද ශිරාණි බණ්ඩාරනායක සඳහන් කරයි. මේ අතර දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා එල්ල වී තිබූ විනිසුරුවරයකුගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව 2012 සැප්තැම්බර් 11 දා පියවර ගත්තේ ය.

ඊට පසුදාම ජනාධිපති රාජපක්ෂගේ ලේකම් වූ ලලිත් වීරතුංග දුර කථන ඇමැතුමක් දෙමින් අධිකරණ සේවා කොමිෂම එනම් අගවිනිසුරුවරිය සහ අනෙක් කොමසාරිස්වරුන් දෙදෙනා හමුවීමට ජනාධිපතිට අවශ්‍ය බව කියා සිටියේ ය. විශ්මයට පත් වූ ඇය එම ඉල්ලීම ලිඛිතව එවන ලෙස දන්වා සිටියේ එවිට එම ඉල්ලීම කොමිෂන් සභාවෙහි සාකච්ජා කළ හැකි බව කියමිනි. ශිරාණි බණ්ඩාරනායක එයට පෙර සිව් වසරක් එහි කොමසාරිස්වරියක ලෙස ද 2011 සිට එහි සභාපතිනිය ලෙස ද කටයුතු කර තිබූ නමුත් කිසිදු විටෙක කොමිෂම ජනාධිපතිවරයා හමුවට කැදවා තිබුණේ නැත. මේ කරුණු සළකා බැලූ කොමිසම ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඒ බව දන්වා යැවුවෙි ය.

රාජ්‍ය ගුවන් විදුලි සේවාව වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උදැසන වැඩ සටහනක් මගින් මෙම කාලයෙහිම අධිකරණයට විනිසුරුවරුන්ට ද දරුණු ප්‍රහාරයන් එල්ල කරන්නට පටන් ගෙන තිබුණි. එහි බස අශිෂ්ඨ විය. කරුණු අසත්‍ය විය. ස්වරය අපහාසාත්මක විය. එමගින් අධිකරණය විහිලුවට සහ හෑල්ලුවට ලක් කෙරැණි.

හිටපු අග විනිසුරිවරිය කියන්නේ මෙි වන විට ‘අධිකරණය ප්‍රහාරයට ලක් කිරීම’ ඇරඹී තිබූ බවයි. මෙම තත්වය යටතේ රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යනු ලබන ප්‍රහාරයන් සම්බන්ධයෙන් 2012 සැප්තැම්බර් 18වන දින පුවත් පත් ප්‍රකාශයක් නිකුත් කළ අධිකරණ සේවා කොමිෂන් සභාව ‘බලපෑම්, තර්ජන සහ විවේචන මගින් බිය ගැන්වීමට ඉඩ නොතබා කොමිෂන් සභාවේ ද අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම සිය වගකීම වේ’ යැයි කියා සිටියේ ය. එදා කටයුතු සිදුවුණේ එහෙම ය.

ඉහත සඳහන් වන්නේ රාජපක්ෂවරුන් විසින් අධිකරණය කරන ලද බලපෑම්හි එක් පැතිකඩක් පමණකි. අවසානයේ දී අගවිනිසුරුවරියට අපහාස කරමින් ඇය පළවා හරින ලද්දේ මෙම ක්‍රයාදාමයේ උච්චතම අවස්ථාව ලෙස ය. ඒ වනාහි අද අධිකරණයට බලපෑම් කලේ යැයි රංජන්ට විරුද්ධව උඩ පනින රාජපක්ෂවරුන්ගේ දේශපාලනය යි.

ඒ අතින් ජයවර්ධනලාගේ සහ වික්‍රමසිංහලාගේ දේශපාලනයත්, කුමාරතුංගලාගේ සහ රාජපක්ෂලාගේ දේශපාලනයත් අතර වෙනසක් නැත.

මේ රංජන් හැර වෙනත් රංජන්ලා නැත් දැයි දැන් කල්පනාකර බලන්න.

සේසස පස්සට.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya