iMAGE: Sakuna.M. Gamage

අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ අක්‍රීය විප්ලවය සංකල්පය භාවිතා කරමින් ඉන්දීය දේශපාලනය පිළිබඳව කෙරුණු විශ්ලේෂණ කිහිපයක් ගැන මම පසුගිය සතියේදී සාකච්ජා කළෙමි. එහිදී මගේ තර්කය වූයේ ඉන්දීය කොංග්‍රසයේ ගාන්ධි-නේරු නායකත්වය පොදු ජනයා සමග ඓන්ද්‍රීය බැම්මක් තනා ගන්නට අසමත් වීය යන්න සාධාරණ නිගමනයක් නොවන බවයි. එම නායකත්වය යටත් විජිත ඉන්දියාවේ විසූ විවිධ ජනවර්ග, ආගමික කණ්ඩායම් ඇතුළු ප්‍රජාව එක්සත් ඉන්දීය ජනරජයක් පිළිබඳ දේශපාලන පරිකල්පනය වටා සංවිධානය කරන්නට සමත් විය. කොංග්‍රසයේ ප්‍රධාන ජයග්‍රහණයක් වූයේ ඒ වනවිටත් ඉස්මතු වෙමින් පැවති හින්දූත්වවාදී ව්‍යාපාරයට හෙජමොනික අවකාශය අත්පත් කර ගන්නට ඉඩ නොදී අනාගමිකවාදී සහ බහුත්වවාදී දැක්මක් අනුව නූතන ඉන්දීය රාජ්‍යය ගොඩ නැංවීමට සමත් වීමයි.

ඉන්දියාව ඇතුළු යුරෝපීය යටත් විජිතයන්හි ජාතික විමුක්ති අරගල හමුවේ ප්‍රධාන අභියෝග නොහොත් නිෂ්ටාවන් දෙකක් පැවති බවද මම පෙන්වා දුන්නෙමි. එකී පළමු නිෂ්ටාව නම් යටත් විජිත ආධිපත්‍යයෙන් නිදහස දිනා ගැනීමයි; දෙවැන්න ස්වදේශික සමාජයන් තුළ සංස්ථාපිතව පැවති ගතානුගතික නොහොත් පූර්ව-නූතන සමාජ, දේශපාලනික සහ සංස්කෘතික ව්‍යුහයන් පරිවර්තනයට ලක් කර ගැනීමයි. මෙම නිෂ්ටාවන් දෙක අපට තවත් ආකාරයකට අර්ථකථනය කරගත හැකිය. එනම්, පශ්චාත් යටත් විජිත පාලකයින් සහ පාලිත ජනයා අතර ඓන්ද්‍රීය බැඳීම් ගොඩ නගා ගැනීමේ මාධ්‍යයන් ලෙසයි. මෙය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් මෙසේය. යටත් විජිත විරෝධී අරගලය සඳහා විවිධ සමාජ පංතිවලට සහ ප්‍රජාවන්ට අයත් ජනයා සංවිධානය කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රතිපලයක් ලෙස එම ජන කණ්ඩායම්වල සක්‍රීය කැමැත්ත දිනා ගැනීමට කොංග්‍රස් නායකත්වය සමත් විය. ලෙනින් මෙන්ම ග්‍රාම්ස්චිද හෙජමොනිය යන යෙදුම නායකත්වය යන අරුතින් භාවිත කළහ. ඒ අරුතින් ඉන්දීය ස්වදේශික ධනේශ්වරයේ හෙජමොනිය ස්ථාපිත වීමක් ලෙස මෙම ක්‍රියාවලිය අර්ථ දැක්විය හැකිය.

නමුත්, ස්වකීය ස්වදේශික සමාජයේ මුල් බැසගෙන තිබූ ඇතැම් ගතානුගතික සබඳතා ප්‍රජාතාන්ත්‍රික ලෙස පරිවර්තනයට ලක් කිරීමේ අභියෝගය කොංග්‍රස් නායකත්වය විසින් කොතෙක් දුරට ජය ගත්තේද යන්න විවාදාත්මකය. කොංග්‍රසය කෙරෙහි එල්ල වන බොහෝ විවේචනවල පදනම ඇත්තේ එතැනය. එම විවේචන තුළ ඉදිරිපත් වන මූලික තර්කයක් වන්නේ කොංග්‍රසය ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ කාර්ය භාරයන් ඉටු කිරීම මගින් ඉන්දීය පොදු ජන ශ්‍රේණීන් මත තමන්ගේ නායකත්වය ස්ථාපිත කරගන්නට අසමත් වූ බවයි. කොංග්‍රස් පාලනය හෙජමොනියෙන් (එනම් මූලික වශයෙන් කැමැත්ත මාධ්‍ය කොට ගත් පාලනයෙන්) තොර අධිකාරීත්වයක් වීය යන ප්‍රවාදයෙන් කියැවෙන්නේ මෙයයි. සංක්ෂිප්තව කිව හොත්, කොංග්‍රසය මගින් දේශපාලන නායකත්වය දෙන ලද ඉන්දීය ස්වදේශික ධනේශ්වරයට ස්වකීය හෙජමොනිය ස්ථාපිත කර ගැනීමේ ප්‍රධාන මාධ්‍යයන් දෙකක් පැවතිණ. (මෙය ග්‍රාම්ස්චිගේ ඉතාලිය සහ ගාන්ධිගේ ඉතාලිය අතර පැවති මූලික වෙනසකි). එම මාධ්‍යයන් දෙකින් පළමුවැන්න එනම් යටත් විජිත විරෝධී නිදහස් අරගලය සාර්ථක විණි නම්, දෙවැන්න එනම් ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඇත්තේ විවාදයකි.

ලාංකීය ඛණ්ඩිත ජාතිය ගොඩ නැගීම

දැන් අපි ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. එවිට අක්‍රීය විප්ලවය පිළිබඳ ග්‍රාම්ස්චියානු සංකල්පය වඩාත් ගැලපෙන්නේ ඉන්දියාවට නොව ලංකාවට බව වටහා ගැනීම කිසිසේත් අසීරු නොවේ. ඉන්දීය ධනේශ්වරය අඩු තරමින් යටත් විජිත විරෝධී අරගලය මාධ්‍ය කොටගෙන පොදු ජන සමාජය තුළ තම නායකත්වය ස්ථාපිත කර ගන්නට සමත් විණි නම්, ලාංකීය ස්වදේශික ධනේශ්වරය එහිදීද සාර්ථක වී නොමැත. ඉන්දියාවට අදාළව අප සාකච්ජා කළ නිදහස් අරගලයේ නිෂ්ටාවන් දෙක ලංකාවටද අදාළ කළ හැකිය. ඉන්දීය ධනේශ්වරය එයින් එක් නිෂ්ටාවක් සාක්ෂාත් කර ගත්තේ නම්, ලාංකීය ධනේශ්වරය එකී නිෂ්ටාවන් දෙකම සම්බන්ධයෙන් අසමත් විය. එපමණක් නොවේ. සෙසු සමාජ කණ්ඩායම් මත ස්වකීය හෙජමොනිය ස්ථාපිත කර ගැනීමට පමණක් නොව තමන් අතරම එක්සත්භාවයක් ගොඩ නගා ගන්නට පවා එය අසමත් විය. මේ කාරණය තරමක් විස්තරාත්මකව විමසා බැලීම වටී.

19 වන සියවසේ අග භාගයේදී මෙරට ගොඩ නැගුණු ආගමික සහ සංස්කෘතික පුනර්ජීවන ව්‍යාපාර වනාහි ස්වදේශික ධනේශ්වරයේ අභ්‍යන්තර බෙදීම් අනුව බහුජන දේශපාලනය සංවිධානය කිරීමක් ලෙස සැලකිය හැකිය. මෙරට ආගමික සහ සංස්කෘතික පුනර්ජීවන ව්‍යාපාර කිහිපයක් එකිනෙකට සමාන්තරව හා ඇතැම්විට තරඟකාරීව පැන නැගිණ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර යනාදීන්ගේ නායකත්වයෙන් යුත් කොළඹ-කේන්ද්‍රීය බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය ඒ අතුරින් ප්‍රමුඛත්වය හිමි කර ගත්තේය. ආරුමුග නවලාර්ගේ නායකත්වයෙන් යුත් හින්දු සංස්කෘතික පුනර්ජීවන ව්‍යාපාරය යාපනය කේන්ද්‍ර කොට ගත් දෙමළ බුද්ධිමය සහ සදාචාර නායකත්වයක් (intellectual and moral leadership) ගොඩ නගන්නට දායක විය. සිද්ධි ලෙබ්බේගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් පුනර්ජීවන ව්‍යාපාරයක්ද මීට සමාන්තරව ගොඩ නැගිණ. මෙම ව්‍යාපාර පොදු හෙජමොනික නායකත්වයක් යටතට ගෙන එක්සත් නවීන ලාංකීය ජාතියක් ගොඩ නැගීමේ අරමුණ කරා මෙහෙයවන්නට කිසිවෙකුත් සමත් නොවීය. ඒ සඳහා අවශ්‍ය ඓන්ද්‍රීය බුද්ධිමය ශ්‍රේණියක් වර්ධනය කර ගන්නට මෙරට යටත් විජිත ධනේශ්වරය සමත් නොවීය. අපට ලාංකීය ජැකොබින්වරුන් පමණක් නොව ලාංකීය ගැරිබෝල්ඩි කෙනෙකු හෝ ලාංකීය ගාන්ධි කෙනෙකු පවා සිටියේ නැතැයි මා පවසන්නේ එහෙයිනි. බුද්ධිමය හෝ සංස්කෘතික නායකත්වයට අදාළව කිව හොත්, අපට අපගේ තාගෝර් කෙනෙකු සිටියේද නැත.

මගේ අදහස නම් ලංකාවේ පශ්චාත් යටත් විජිත ජාතිය ගොඩ නොනැගුණාය යන ප්‍රවාදයද ගැටළු සහගත බවයි. කාරණය ඊට වඩා සංකීර්ණය. සිදු වූයේ ඛණ්ඩිත නොහොත් බිඳුණු ජාතියක් (fragmented or fractured nation) ගොඩ නැගීමයි. තරඟකාරී පුනර්ජීවන ව්‍යාපාර විසින් මෙරට පොදු අධ්‍යාපනය සංවිධානය කළ ආකාරය දෙස මදක් පරීක්ෂා කොට බැලීම මෙහිදී ප්‍රයෝජනවත් වනු ඇත. ක්‍රිස්තියානි මිෂනාරී අධ්‍යාපනයේ ආධිපත්‍යයට එරෙහිව මෙරට යටත් විජිත ධනේශ්වර කණ්ඩායම් කළේ ජන සමාජය තුළ එක්සත්භාවයක් ගොඩ නගන්නට ඉවහල් වන ලෞකික අධ්‍යාපන පද්ධතියක් ගොඩ නැගීම නොවේ. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය බෞද්ධ පාසැල් ගොඩ නැගීම විසඳුම ලෙස ගත්තේය; ඊට සමාන්තරව ආරුමුග නවලාර්ගේ ව්‍යාපාරය හින්දු පාසැල්ද, සිද්ධි ලෙබ්බේගේ ව්‍යාපාරය මුස්ලිම් පාසැල්ද ගොඩ නැගීය. මෙය යටත් විජිත ස්වාමියා කොපි කිරීමකි; ඔහුගේ පිළිබිඹුව බවට තමන්ව පරිවර්තනය කර ගැනීමකි. මෙහි ප්‍රතිපලය වූයේ මෙරට “ලෞකික අධ්‍යාපනය” ආරම්භයේදීම ආගමික සහ ජනවාර්ගික බෙදුම් රේඛා ඔස්සේ ජන සමාජය බෙදීමේ යාන්ත්‍රණයක් බවට පත් වීමයි. ලාංකීය ජනවාර්ගික සහ ආගමික ගැටුම්වල මූලයන් ඇත්තේ පූර්ව-යටත් විජිත සබඳතා තුළය යන ලිබරල් නවීකාරකවාදී ප්‍රවේශයට මේ කාරණය මග හැරී යයි. සැබවින්ම අප රටේ සමකාලීන ගැටුම්වල ඓතිහාසික මූලයන් දිවෙන්නේ යටත් විජිත ධනවාදය දක්වා මිස පූර්ව-යටත් විජිත අතීතය දක්වා නොවේ. එසේම මෙරට ජනවාර්ගික ගැටුමේ ඉතිහාසය යනු නූතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසයම මිස අන් කිසිවක් නොවේ. (මේ ප්‍රවාදය ඉදිරි ලිපි වලදී වඩාත් පැහැදිලි වනු ඇත).

අක්‍රීය විප්ලවයේ දේශපාලන ආර්ථිකය 

ලාංකීය ධනේශ්වරයේ ඉහත ඓතිහාසික අසමත්භාවය වටහා ගන්නේ කෙසේද? එය මුළුමනින්ම දේශපාලන ආර්ථිකයට ඌනනය කළ නොහැකි වුවත් දේශපාලන ආර්ථිකය නොතකා හැර තේරුම් කිරීමටද නොහැකිය. යල් පැන ගිය පශ්චාත් නූතන ප්‍රවේශයේ ආභාසය සහිත ඇතැම් විද්වතුන් අතර තවමත් පවතින නැඹුරුතාවක් නම් දේශපාලන ආර්ථිකය සැලකිල්ලට ගත යුතු යැයි යමෙකු ප්‍රකාශ කළ වහාම ඉදිරියට පැන එය ආර්ථික ඌනිතවාදයක් යැයි හඬ නැගීමයි. නමුත්, 1960 දශකයට වෙනස්ව මෙකල පවතින ප්‍රචලිත ඌනිතවාදය වන්නේ දේශපාලන ආර්ථිකය සහමුලින්ම නොතකා හැර දේවල් දෘෂ්ටිවාදීමය සහ සංස්කෘතිකමය තලයට ඌනනය කිරීමයි. එහෙයින්, වත්මනෙහි ඌනිතවාදී නොවන ලෙස දේශපාලන ක්‍රියාවලීන් විග්‍රහ කිරීමට නම් දේශපාලන ආර්ථිකයේ ක්ෂේත්‍රය සැලකිල්ලට ගත යුතුමය.

ලාංකීය යටත් විජිත දේශපාලන ආර්ථිකය පිළිබඳ විශිෂ්ටතම අධ්‍යයනය සිදු කළේ නිසැකවම ආචාර්ය එස්.බී.ඩී ද සිල්වා ය. ඔහුගේ ප්‍රවාදය වූයේ මෙරට යටත් විජිත පාලනය යටතේ ද්විත්ව-ආර්ථිකයක් ගොඩ නැගුණාය යන ප්‍රවාදය සාවද්‍ය බවයි. මන්ද යත්, යටත් විජිතවාදය විසින් මෙරට ස්ථාපිත කෙරුණු ඊනියා නවීන වතු ආර්ථිකයද වාණිජ ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට ලක්ව පැවතීම නිසාය. සරලව, මෙරට ගොඩ නැගුණේ කාර්මික නිෂ්පාදනීය ධනවාදයක් නොව තැරැව්කාර වාණිජ ධනවාදයකි. (කාටත් තේරෙන බසින් කිවහොත් එම ධනවාදී ආර්ථිකයේ කේන්ද්‍රය වන කොළඹ යනු ලංකාව නමැති ගම්මානයේ කඩ මණ්ඩියයි). මෙම සංධර්භය තුළ ලංකාවේ යටත් විජිත ධනේශ්වරයක් පැන නැගුණේ කෙසේද යන පර්යේෂණ ගැටළුව පදනම් කර ගත් විශිෂ්ට අධ්‍යයනයක් සිදු කෙරුණා නම්, ඒ ආචාර්ය කුමාරි ජයවර්ධනගේ “No Bodies to Somebodies: The Rise of the Colonial Bourgeoisie in Sri Lanka) නම් කෘතියයි. එහිදී ඇය පෙන්වා දෙන වැදගත් කාරණයක් නම් මෙරට දුර්වල යටත් විජිත ධනේශ්වරයේ විවිධ කණ්ඩායම් අතර පැන නැගුණු තරඟකාරීත්වයන් ජනවාර්ගික සහ ආගමික ව්‍යාපාරවල වේශයෙන් ප්‍රකාශයට පත් වූ බවයි.

දකුණේ ප්‍රදේශවලින් පැන නැගුණු සිංහල ව්‍යාපාරික කණ්ඩායම් බොහෝ දුරට අරක්කු රේන්ද ඇතුළු තැරැව්කාර කටයුතු මත පදනම්ව ධනය ඉපැයූ අයවලුන් වූහ. සේනානායක සහ විජේවර්ධන පවුල්වලටද අරක්කු කර්මාන්තය සමග සබඳතා තිබිණ. පානදුරේ ප්‍රධාන පෙළේ රේන්ද රාළ කෙනෙකු වූ පොන්නහැන්නදිගේ ජෙරමියෙස් දියෙස් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහ ඩේවිඩ් ද සිල්වා පිය නම අතර කෙරුණු සුප්‍රසිද්ධ පානදුරාවාදයේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු විය. කොළඹ විශාකා විද්‍යාලය ඇතුළු බෞද්ධ පාසැල් බොහොමයක් සඳහා මූල්‍ය අනුග්‍රහය සැපයුණේ දියෙස් පවුලෙනි. අමද්‍යප ව්‍යාපාරයේ ප්‍රමුඛ වීරයෙකු වූ ආතර් වී දියෙස් වනාහී ජෙරමියෙස් දියෙස්ගේ පුතණුවන්ය. අරක්කු රේන්ද මත පදනම්ව අමද්‍යප ව්‍යාපාරයක් ගොඩ නැගුණේ කෙසේදැයි වටහා ගන්නට නම් අප දේශපාලන ආර්ථික ක්ෂේත්‍රයෙන් දේශපාලනික සහ දෘෂ්ටිවාදීමය ක්ෂේත්‍රයට පිවිසිය යුතුය.

නමුත්, ඊට පෙර සෙසු ධනේශ්වර කණ්ඩායම් යටත් විජිත ආර්ථිකය සමග සම්බන්ධ වූයේ කෙසේදැයි කෙටියෙන් හෝ විමසා බැලීම වටී. කුමාරි ජයවර්ධන පෙන්වා දෙන පරිදි 19 වන සියවසේදී පුළුල් වූ යටත් විජිත රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය තුළ විශාල ආධිපත්‍යයක් හිමි කරගෙන සිටියේ බර්ගර් ප්‍රජාව විසිනි. බැංකු ක්ෂේත්‍රය ඉංග්‍රීසි සහ චෙට්ටියාර්වරුන්ගේ ආධිපත්‍ය යටතේ පැවතිණ. විදේශ වෙළඳ ක්ෂේත්‍රය තුළ ඉන්දීය තොග වෙළඳුන්ගේ මැදිහත්වීම සැලකිය යුතු මට්ටමක තිබිණ. මුස්ලිම් වෙළඳ ප්‍රජාවට අභ්‍යන්තර වාණිජ කටයුතු තුළ යම් බලයක් හිමිව තිබිණ. නැගී එන පහතරට සිංහල වෙළඳ කණ්ඩායම්වලට පළමු ගැටුම පැවතියේ නාගරික මුස්ලිම් ව්‍යාපාරික ශ්‍රේණීන් සමග වූයේ එබැවිනි. අනගාරික ධර්මපාලගේ දේශන තුළ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට එරෙහිව ප්‍රබල ප්‍රහාර එල්ල වීමද මේ අනුව අහම්බයක් නොවේ. උතුරේ දෙමළ ප්‍රජාව සම්බන්ධයෙන් පංති ධූරාවලියේ ඉහළට නැගීමට තිබූ ප්‍රධාන මාධ්‍යයන් වූයේ උසස් අධ්‍යාපනය සහ රාජ්‍ය සේවයේ රැකියා සඳහා තිබූ ප්‍රවේශයන්ය. දෙමළ දේශපාලනය තුළ රාජ්‍යය තුළ ඔවුනට හිමි තැන ප්‍රධාන ගැටළුවක් බවට පත් වීමේ දේශපාලන ආර්ථිකමය සංධර්භය වන්නේ මෙයයි.

ධනේශ්වර හෙජමොනියේ අසමත්භාවය 

කෙසේ වුවද, ලාංකීය අක්‍රීය විප්ලවය ඉහත විග්‍රහ කළ දේශපාලන ආර්ථිකමය හේතූන් මගින් පමණක් තේරුම් කළ නොහැකිය. ඒ සඳහා යටත් විජිත (සහ පශ්චාත් යටත් විජිත) ස්වදේශික ධනේශ්වරයේ දේශපාලනමය අසමත්භාවයන්ද විග්‍රහ කළ යුතුව පවතී. ඒ පිළිබඳව දැනට කිව හැක්කේ ඉතාලියේ දකුණේ ප්‍රශ්නයේ මූලයන් පවතින්නේ ඉතාලියානු අක්‍රීය විප්ලවය තුළ වූයේ යම් සේද, එපරිදිම ලාංකීය උතුරේ ප්‍රශ්නයේ ඓතිහාසික මූලයන් පවතින්නේ ලාංකීය යටත් විජිත ධනේශ්වරයේ අක්‍රීය විප්ලවය තුළ බවයි. ඒ අනුව මෙරට ජාතික ප්‍රශ්නය ධනේශ්වර හෙජමොනියේ අසමත්භාවයේ ප්‍රතිපලයක් ලෙස නැවත අර්ථකථනය කළ හැකිය. එසේම, ග්‍රාම්ස්චි අනුයමින්, එය ධනේශ්වර හෙජමොනියේ අසමත්භාවය වෙනුවෙන් ඉදිරිපත් වූ ධනේශ්වර විසඳුමක් ලෙසද තේරුම් කළ හැකිය. මෙය ඉදිරි ලිපියකදී තව දුරටත් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි.

සුමිත් චාමින්ද | Sumith Chaminda