iMage:huffpost

රෙදි ගැලවීම වනාහී අපූරුවකි. තැනින් තැනට කලින් කළට රෙදි ගැලවීම විටෙක සතුටකි. විටෙක අපුලකි. විටෙක නපුරකි.

රෙදි ගැලවෙන්නේ මනුෂ්‍ය පරාණවල පමණක් ම නොවේ. දේශපාලන, සමාජ, ආර්ථික සහ සංස්කෘතික වශයෙන් ද රෙදි ගැලවෙති. ලංකාවෙහි නම් වැඩිපුරම රෙදි ගැලවෙන්නේ බලයට එන දේශපාලනඥයින්ගේ ය. බලයෙන් පහව යන අය යන්නේ රෙදි නැතිව නිසා ඔවුන්ට ප්‍රශ්ණයක් නැත.

ආණ්ඩුවක් බලයට ආ පසු අපගේ නොවන්නේ යැයි කියනු ලැබේ. ආණ්ඩු බලයට එන්නේ සිය පාක්ෂිකයින්ගේ පිහිටෙනි. යහපත් පොරොන්දු මතිනි. බලයේ සිටින දේශපාලනඥයින්ගේ රෙදි ගලවා තමන් කිසි විටෙක රෙදි ගලවා ගන්නේ නැති බව ශපථ කරමිනි.

රනිල් වික්‍රමසිංහ රෙද්ද ගලවා ගත්තේ බැදුම්කර මගඩියෙනි. රංජන් කී පරිදි හොරු අල්ලන බවට ශපථ කර බලයට ආ රනිල්-සිරිසේන ආණ්ඩුව හොරුන් විසින් අල්ලා ගන්නා ලදී. ඒ ගැලවුන රෙද්ද යළි පටලවා ගැනීමට වික්‍රමසිංහට කිසි දිනෙක බැරි විය.

රාජපක්ෂවරු මුලින්ම සිය දේශපාලන රෙදි ගලවා ගැනීම පටන් ගන්නේ ගජ මිතුරු ඥති සංග්‍රහ හරහා ය. පිරිසිදු නිකැළල් පාලනයක් ඇති කරන බවට හිසේ අත් ගසා දිවුරා බලයට ආ රාජපක්ෂවරු දැනට ම ඒ රෙද්ද ගලවා ගෙන ය.

පටන් ගත්තේම සිය පවුලට අලුතින් එක් වූ ඥාතීන්ට තනතුරු බෙදා දීම මගිනි. රාජපක්ෂ දරුවන්ගේ මාමන්ඩිලාටත් නැන්දම්මලාටත් ඉක්මණින්ම කරළ පැහුණි. එපමණක් නොව ජනාධිපති රාජපක්ෂගේ ඇමෙරිකානු ගුවන් ගමන් ඒජන්තයාට සිවිල් ගුවන් සේවා අධිකාරිය ලැබුණි. දැන් සරත් අමුණුගමගේ බෑණාවූත් දෙරණ හිමිකාරී වරුනි අමුණුගම ගේ සැමියාවූත් රොහාන් ප්නාන්දුට ශ්‍රී ලංකා ටෙලිකොම් බාර දී තිබේ.

රුසියාව, ස්විස්ටර්ලන්තය, ජර්මනිය සහ ජිනීවා මානව හිමිකම් කොමිසම හා අනෙක් අන්තර් ජාතික සංවිධාන සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද තානාපතිවරු සියලු දෙනාම ඔහුගේ ‘වියත් මඟ’ දේශපාලන සංවිධානයේ ප්‍රධානින් ය.

ජර්මනියේ සහ ස්විස්ටර්ලන්තයේ තානාපතිනිය ලෙස පත් කර ඇත්තේ මනොරී උනම්බුව යි. ඇය උග්‍ර ගෝඨාවාදිනියකි. එපමණක් නොව ඇය ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිවරයාටත් ස්විස්ටර්ලන්තයටත් එරෙහිව ප්‍රසිද්ධියේම කිසිදු වගකීමක් නැති ප්‍රහාර එල්ල කරන්නියකි. ඇය ස්විස්ටර්ලන්තය ගැන නොකියා කියන්නේ දෙවන ලෝක යුද සමයේ නාසිවාදීන්ගේ මුදල්වලින් පොහොසත්වුණ රටක් කියා ය. ඇය විසින් ප්‍රසිද්ධ කර ඇති තවත් සමාජ ජාල පෝස්ටරයකින් කියන්නේ ‘ලංකාවේ සිට හොර රහසේ ඕස්ට්‍රේලියාවට පැන ගොස් ශ්‍රී ලංකා ආණ්ඩුව තමන්ට තර්ජන ගර්ජන කරන බව කියන්න. එවිට කොළඹ ස්විස් තානාපතිවරයා විසින් ගුවන් ටිකට්පතක් ලබා දී ස්විස්ටර්ලන්තයට ගෙන්වා ගනු ඇති බවයි. (මවිසින් එම ප්‍රචාරක පොස්ටර් ට්වීට් කිරීමෙන් පසු ඒවා ඇයගේ මුහුණු පොතින් ඉවත් කර තිබේ.)

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලය සඳහා ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කර ඇත්තේ ‘ගෝටා ගේ යුද්ධය’ නමින් පොතක් ලියූ කතුවරයකු වන සී.ඒ. චන්ද්‍රප්‍රේම ය. ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාණ්ඩුවේ සමදායකත්වය ඇතිව 2015 ඔක්තෝබරයේ දී සම්මත කරන ලද ‘ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සහජීවනය සහ වගවීම’ යන යෝජනාවට ඔහු සමස්තයක් වශයෙන් විරුද්ධ ය. පසුගිය ආණ්ඩු සමයෙහි ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති ධුරය දරන ලද්දේ පළ පුරුදු සහ වෘත්තීය රජ්‍ය තාන්ත්‍රිකයින් දෙදෙනෙකූ වූ රවිනාථ ආරියවංශ සහ එල්.ඒ.ඒ. අසීස් ය. දැන් ගෝඨා පත්කර එවා ඇත්තේ තමා ගැන පොතක් ලියූ කතුවරයා ය!

ඊට අමතරව බස්නාහිරට සීතා අරඹෙපොල ද, නැගෙනහිරට අනුරාදා යහම්පත් ද වශයෙන් පලාත් ආණ්ඩුකාරවරියන් ලෙස පත් කරන ලද්දේ ද ගෝඨාභය රාජපක්ෂගේ ‘වියත් මඟ’ සංවිධානයේ ප්‍රධානීන් දෙදෙනෙකි. මෙම දෙදෙනා ම ආණ්ඩුකාර ධුරය දරණ අතර වෙනත් ආදායම් උපයා ගැනීම්වල ද යෙදි සිටින්නේ යැයි වෙබ් අඩවි සහ සමාජ ජාලයන්හි සාක්ෂි සහිතව චෝදනා එල්ල වී තිබේ.

පසුගිය ආණ්ඩුව සමයෙහි කරන ලදැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද්දේ එවැනි නීති ආයතනයක තිබිය යුතු ස්වාධීනත්වය ප්‍රශ්ණකාරී වන අන්දමේ කොමිසමකි. මෙම කොමිසමෙහි සභාපති වශයෙන් පත් කර ඇත්තේ හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ උපාලි අබේරත්න ය. දිසා විනිසුරුවරයකු වශයෙන් සිටිය දී සිය මිතුරකු වූ පසුව අගවිනිසුරු බවට පත් සරත් සිල්වා බේරා ගැනීම පිනිස අනිසි ලෙස ක්‍රියා කළ බවට මෙම උපාලි අබේරත්න චෝදනා ලබා සිටියේ ය. ඔහුගේ අනිසි අධිකරණ පිළිවෙත විකටර් අයිවන් විසින් ලියා පළ කරන ලද ‘අධිකරණ නිදහසේ මළගම’ කෘතියෙහි දිර්ඝ වශයෙන් දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ අධිකරණ නිදහස පයට පාගා දැමූ තැනැත්තිය ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ය. වරදකරුවකු වීමට ඉඩ තිබූ අවස්ථාවක සිය අන්තේවාසිෙකයකු වූ සරත් සිල්වා අගවිනිසුරු බවට පත් කොට අධිකරණය අල්ලේ නැටවූ ඇයට පසුව ඒ සරත් සිල්වා ම, ඒ හැන්දෙන්ම බෙදුවේ රාජපක්ෂ සමඟ තිබූ මිතුරුකම නිසා ය. දැන් ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල්-සිරිසේන ආණ්ඩුවෙහි පළිගැනීම් සෙවීමට පත් කර ඇති කොමිසමෙහි සභාපති වන්නේ ඒ සරත් සිල්වාගේ ගජ මිතුරකු වූ උපාලි අබේරත්න ම ය. අධිකරණ සේවා කොමිසම විසින් අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබූ එදා දිසා විනිසුරු උපාලි අබේරත්න එම දඩුවමින් බේරා ගත්තේ අගවිනිසුරු ලෙස කුමාරතුංග විසින් පත් කරන ලද සරත් සිල්වා විසින් බව පසුගිය 17වන දින ඉංග්‍රීසි පුවත්පතකට ලියමින් වික්ටර් අයිවන් යළි සඳහන් කර තිබුණි. අද සරත් සිල්වා ඉන්නේ රාජපක්ෂවරුන්ගේ සාක්කුවේ ය. දැන් උපාලි අබේරත්න පසුගිය ආණ්ඩුවේ වැරදි සොයන කොමිසමක සභාපති ය.

මෙම උපාලි අබේරත්නට විරුද්ධව කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් දෙනෙකෙු වූ මාක් ප්‍රනාන්දු සහ තිස්ස බණ්ඩාරනායක විසින් ගොනු කරන ලද, ‘අධිකරණ නිදහසේ මළගම’ කාතියෙහි පළකර ඇති චෝදනා පත්‍රය කියවන ඕනෑම අයකුට එවැනි අයකුගෙන් යුක්තියක් අපේක්ෂා කළ හැකිදැයි සැකයක් මතුවීම සහමුලින්ම සාධාරණ ය.

යුක්තිය ඉෂ්ඨවූවාට මදි ය. එය ඉෂ්ඨවන බව පෙනේනටද තිබිය යුතුයැයි කියමනක් තිබේ.

මෙම කොමිෂන් සභාවෙහි තවත් සාමාජිකයකු වන හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු වරක් ප්‍රජා අයිතිය පවා අහිමි වූ නිලධාරියෙකි. පසුව තාක්ෂණික හේතූන් මත ඔහු නිදහස් විය.

මෙම හිටපු පොලිස්පතිවරයා විශ්‍රාම යන අවස්ථාවෙහි ලිපියක් ප්‍රසිද්ධියට පත් කළ ආසියානු මානව හිමිකම් කොමිසම එය නම් කලේ ‘පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු විශ්‍රාම යන්නේ අදුරු උරුමයක් ඉතිරි කරමිනි’ කියා ය. ඔහු පොලිස් අත් අඩංගුවෙහි සිටින සැකකරුවන්ට වධහිංසා පැමිණවීම් ප්‍රසිද්ධියේ සාධාරණය කළ බවටත් සැකකරුවන් ඝාතනය කිරීම් නතර නොකළ බවටත් යනාදී වශයෙන් චෝදනා රැසක් එම ලිපියෙන් ඉදිරිපත් කර තිබුණි.

ද සන්ඩේ ලීඩර් කර්තෘ වූ ලසන්ත වික්‍රමතුංග දේශපාලනඥයකු වූ මර්වින් ද සිල්වාගේ පුතා ආරක්ෂා කිරීම පිනිස සාක්ෂි වෙනස් කරන ලදැයි එවකට පොලිස්පති වූ චන්ද්‍රා ප්‍රනාන්දුට සිය පුවත්පතින් 2005 අගෝස්තු 14 වන දින චෝදනා කළේ ය.

මේ සියල්ලට ම වඩා හාස්‍ය ජනක කාරණය වන්නේ දේශපාලන හේතූන් මත අගමැති මහින්ද රාජපක්ෂට විරුද්ධව හෙල්පින් හම්බන්තොට නමින් සුනාමි අරමුදල් වංචා කරන ලදැයි නඩුවක් පැවරීම වෙනුවෙන් වන්ද්‍රා ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාකරණය විසින් වරදකරු කර තිබීමයි. දැන් ඔහු දේශපාලන පළිගැනීම් සෙවීමේ ජනාධිපති කොමිසමක කොමසාරිස්වරයකු වීම කුමන නම් අරුමයක් ද?

එම මූලික අයිතිවාසිකම් නඩුව පවරා තිබුණේ මහිින්ද රාජපක්ෂ විසිනි. නඩුව විභාග කරන ලද්දේ කුප්‍රකට අගවිනිසුරු සරත් සිල්වා ප්‍රමුඛ ත්‍රී පුද්ගල විනිසුරු මඬුල්ලක් විසිනි. මෙම කුප්‍රසිද්ධ නඩු තීන්දුව තමා දුන්නේ රාජපක්ෂ බේරා ගැනීමට බව සරත් සිල්වා පසුව කීවේ ය. කෙසේ වෙතත් නඩු තීන්දුව අනුව එවකට පොලිස්පති වූ චන්ද්‍රා ප්‍රනාන්දුට ද රාජපක්ෂට රුපියල් ලක්ෂයක් ගෙවීමට සිදු විය.

දේශපාලන පළිගැනීමක් ලෙස නඩුවක් පවරණ ලදැයි වරදකරුවකු වූ පොලිස්පතිවරයකු දැන් පසුගිය ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් සොයන කොමිෂමේ සාමාජිකයෙකි.

ඒ පොලිස්පතිවරයාම 2006 වසරෙහි විශ්‍රාම ගැනීමෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදේශකයකු බවට පත් විය. එතැන් සිට වසර ගණනාවක්ම ඔහු රාජපක්ෂට බය පක්ෂපාතීව සේවය කළේ ය.

පළි ගැනීම පිනිස රෙදි ගලවා ගැනීම ගැන මීටත් වඩා කුමන සාක්ෂියක් ද?

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya