iMAGE: Movie CHAPAAK 

මෑතකදී ඉන්දියානු රජය විසින් හඳුන්වා දෙන ලද නව පුරවැසි පනතට විරුද්ධව මධ්‍යස්ථ මතධාරීහු, කලාකරුවෝ, අන්තවාදී මතවාද නොඅදහන පුරවැසියෝ වීදි බැස උද්ඝෝෂණ කළහ. දිල්ලි නගරයේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ විද්‍යර්ථීන් කණ්ඩායමක් මෙම ප්‍රතිගාමී නීති සංශෝධනයට එරෙහිව සාමකාමීව උද්ඝෝෂණ කළ අතර මෙම උද්ඝෝෂණයට සහයෝගය දැක්වීමට දීපිකා පදුකෝන් නම් මනුෂ්‍ය දියණිය සිසුන් අතර ප්‍රාදූර්භූත වූවාය. ඇයගේ මෙම විශ්ව විද්‍යාල සම්ප්‍රාප්තිය හුදෙක් සිනමා තාරකාවන්ගේ සුලභ ප්‍රචාරණ ව්‍යාපාරයන්ගේ (PROPAGANDA) කොටසක් නොවන බවට අනුබල දෙන කරුණු කාරණා බොහොමයක් ප්‍රත්‍යක්ෂ කොට ගතිමි.

ඇය අන්තවාදී, බඩගෝස්තරවාදී, ප්‍රතිගාමී දේශපාලන බලවේගයන්ට එරෙහිව තම මතවාදය නිර්භයව ප්‍රකාශ කළාය. පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් “ කලාකරුවෝ ” යන ලේබලය අඩු ලංසුවකට වෙන්දේසි කෙරෙන, මුස්පේන්තු වටපිටාවක ඇය අපගේ ගෞරවාදරයට පාත්‍ර වූවාය.

මේ අතර ජනවාරි මස 10 වන දින CHAPAAK බොලිවුඩ් සිනමා පටය ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹීය. මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරියක් ද වන දීපිකා එහි ප්‍රධාන භූමිකාව නිරූපනය කරන්නීය. 2003 වර්ෂයේදී ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ 18 හැවිරිදි යෞවනියකගේ කතා පුවත මෙම චිත්‍රපටයට මූලාශ්‍ර සපයා ඇත.

මෙම ලිපිය ඉන්දියානු නව පුරවැසි පනත හෝ ඒ හා සම්බන්ධ ජනතා විරෝධතා ගැන විමසීමක් නොව CHAPAAK සිනමා පටය ගැන කෙටි සටහනකි.ඉහත ප්‍රවේශය දීපිකාට ගෞරව පිණිසය.

ආගමික භක්තිවන්ත භාවයේ හිනි පෙත්තට නැග සිටින ආසියානු කලාපය ඇසිඩ් ප්‍රහාරයන්ට චිර ප්‍රසිද්ධය. මෙම ප්‍රහාරයන්ට ලක් වන්නෝ හැම විටම කාන්තාවෝය.ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබූ “ SAVING FACES ” වාර්තා චිත්‍රපටය පකිස්තානය තුළ සිදුවන ඇසිඩ් ප්‍රහාර පිළිබඳ අනුවේදීනය කථා පුවත හකුලා දක්වන්නකි.කරච්චි නගරයේ ඇසිඩ් ප්‍රහාරයන්ට ගොදුරු වූ කාන්තාවන් සඳහා වෙනම රෝහල් වාට්ටු සංකීර්ණයක් ස්ථාපිත කර ඇත.තෝසේ සාම්බාරුවට ලුණු ටිකක් වැඩි වීම ඇසිඩ් ප්‍රහාරයකට හොඳටම ප්‍රමාණවත් වේ. පුරුෂ මූලික දෘෂ්ටිවාදයේ ඛේදනීය කූටප්ප්‍රාප්තීන් අතර කුප්‍රකට වීර වික්‍රමයක් ලෙස ඇසිඩ් ප්‍රහාර අනාගතය කරා ගමන් කරමින් සිටී. ඉන්දියාව තුල 2017 වර්ෂයේ මෙම ඇසිඩ් ප්‍රහාර 251 ක් වාර්තා වූ බව CHAPAAK චිත්‍රපටය අවසානයේ සඳහන් කර ඇත.වාර්තා නොවන ඇසිඩ් ප්‍රහාර විශාල ප්‍රමාණයක් කාලයේ වැලිතලාවට යට වී යන බවට සැක නැත.ඇසිඩ් පතිත වීමෙන් සියුමැලි ස්ත්‍රී මුහුණු සදාකාලීක අන්ධභාවයට හෝ සම්පූර්ණ විකෘති භාවයට පත් වීම බොහෝ විට සිදුවේ. CHAPAAK චිත්‍රපටයට උත්තේජනය සපයන ලද ලක්ෂ්මී අගර්වාල් යුවතිය අන්ධභාවයට පත් නොවුනද ඇයගේ මුහුණේ ඉතිරි කොටස් දරුණු ලෙස හානියට පත් විය. ශෛල්‍යකර්ම හතකින් පසු ඇය හඳුනාගත හැකි තත්ත්වයට පරිවර්තනය කිරීමට වෛද්‍යවරු සමත් වූහ.

මල්කි (ඇසිඩ් ප්‍රහාරයට ගොදුරු වන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය) මෙම ප්‍රහාරයෙන් පසුව මුහුණ දෙන අධිකරණමය ක්‍රියාදාමය පිළිබඳව සිනමාකරුවාගේ විශේෂ අවධානය යොමු වී ඇති බව පෙනී යන කරුණකි. ඉන්දියානු ව්‍යවස්ථාව තුළ මෙවැනි අපරාධ සඳහා දිය හැකි උපරිම දඬුවම වසර හතකට සීමා වෙයි.මෙම වසර හත වුවද විවිධ කරුණු හේතු කොටගෙන වසර තුන හතරකට සීමා වන ආකාරය ප්‍රායෝගික තත්ත්වයන් නිරීක්ෂණයේදී පෙනී යයි. නීතිමය ප්‍රතිපාදනයන්හි පවතින අඩු ලුහුඬුකම් හේතුවෙන් සහ අධිකරණ කටයුතු වෙනුවෙන් වැය කළ යුතු මුදල් හදල් නොමැති වීමෙන් ප්‍රහාරයට ලක්වන්නෝ කබලෙන් ලිපට වැටෙති. මල්කි හට කිසියම් සංවිධානගත ව්‍යුහයක ආධාර උපකාර ලැබේ. ඇය ඇසිඩ් ප්‍රහාරයට ලක් වූවන් වෙනුවෙන් සටන් කරන සමාජ ක්‍රියාකාරිනියක බවට පත් වේ.ඇසිඩ් අලෙවිය තහනම් කිරීමට අවශ්‍ය නීති සම්පාදන කළ යුතු බවට ඇය ඇතුළු කණ්ඩායම අධිකරණයට යෝජනා කරති.අවසානයේ මෙම ඉල්ලීමට සංශෝධන සහිතව ඉඩ ලැබෙන අතර, චිත්‍රපටය අවසානයේ ඉන්දියාවේ ඇසිඩ් අලෙවිය කිසිදු බාධාවකින් තොරව අදත් සිදු කෙරෙන බව සඳහන් වීමෙන් මල්කි ඇතුළු සමාජ ක්‍රියාකාරීන්ගේ උත්සාහය ඵලදරා නොමැති බව පැහැදිළි වෙයි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මල්කිගේ මුවට නංවා ඇති සමහර ප්‍රකාශ ඉහත අධිකරණ ක්‍රියාදාමය පිළිබඳව සිනමාකරුවාගේ ආස්ථානය පෙන්වන කැඩපතක් වැන්න.වරෙක ඇය මෙම නඩු හබ තුළ පැටලී සිටීම අධික චිත්ත පීඩාවක් බව ප්‍රකාශ කරයි.තවත් වරෙක ඇසිඩ් ප්‍රහාරයකින් මිය ගිය යුවතියකගේ මෘත ශරීරය තැන්පත් කර ඇති රෝහල් කාමරයක් අසලදී  ඇය මෙම මිය ගිය යුවතිය කෙරෙහි දැඩි ඊරිසියාවකින් පසුවන බව පවසයි.මිය ගිය තරුණිය නඩු හබ තුළ නොපැටලී නිදහස් වූ බව මල්කි පවසයි.චිත්‍රපටයේ අඩංගු අධිකරණ ශාලාව තුළ සිදුකෙරෙන සංවාද සියල්ල ඉහත පශ්චාත්තාපයන් සම්බන්ධ පැහැදිළි සාක්ෂි අපට සපයයි.

නැවතත් දීපිකා දෙසට ඔබේ අවධානය යොමු කීරීම සුදුසු යැයි සිතමි.

මා ඇය පළමු වරට රිදී තිරය තුළ දුටුවේ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටය නරඹද්දීය.එම චිත්‍රපටය ගැන මා තැබූ සටහනෙහි අනාවැකියක් පළ කළෙමි.එනම් දීපිකා නම් සුරූපිනිය සහ රංගවේදිනිය වෙත භාරතයේ මහා සිනමාකරුවන් සියල්ලන්ගේම උකුසු ඇස් යොමුවනු ඇත යන්නයි.එය එසේම සිදුවිය.බුද්ධි ප්‍රභාවත්, ප්‍රගතිශීලි දේශපාලන දෘෂ්ටියත්, මානව දයාවත්, ආදරය ප්‍රදානය කිරීමේ අද්විතීය කුසලතාවයත් යන සියල්ල මෙම තනි ගැහැණිය තුළ පිහිටීම සැබැවින්ම භාග්‍යකි.

දීපිකා තමා පත් වූ මානසික අවපීඩනය මුළු ලොවටම හෙළි කළාය.ඉන් මිදෙන මං සොයමින් වෙහෙසුනාය.මෙම ව්‍යාකූලත්වයෙන් මිදුනු ඇය,මානසික පීඩනයට පත්වන්නන් වෙනුවෙන් සංවිධානයක් ආරම්භ කළාය.තමා වැනි උදව් උපකාර අවැසි දහස් සංඛ්‍යාත ජනයා වෙනුවෙන් ඇය මෙම සත්කාරයට අදත් දායක වන්නීය.

CHAPAAK චිත්‍රපටයේ ඇගේ දායකත්වය සිනමා ඉතිහාසයේ නොමැකෙන සටහනකි.ඇය තම සුරූපී වත මත වේශ නිරූපන ශිල්පියා විසින් නිම වූ බිහිසුනු පසු පිළිස්සුම් නිරූපන සඳහා නොපැකිලව එකඟතාවය පළ කළාය. දහස් සංඛ්‍යාත ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ දුකට පත්වූවන් අතරට ඈ මනසින් පිවිසුනාය.ඔවුන්ගේ කඳුළු ඇගේ කඳුළු බවට පත්විය.ඇය මුළු හදවතින්ම මෙම චිත්‍රපටය සඳහා ගිවිසුම් අත්සන් කළ බවට සැක නැත.මෙම සිනමා පටය දකින තම සියුමැලි මුහුණු අහිමි වූවන් සිනමා හලෙන් පිටවන මොහොත තෙක් ඉකිබිඳ හඬනු නොඅනුමානය.ඒ කඳුළු සතුටු කඳුළුය.ඒ කඳුළු දීපිකා නම් සුපිරි තරුව මොහොතකට ඔවුන්ගේ කෙනෙකු වීම නිසාය. ඒ කඳුළු ඔවුන්ගේ දුක බෙදා ගැනීමට කැමති, මේ අපරාධ නොඉවසන, එයට එරෙහිව සටන් කරන මානව දයාවෙන් පිරිපුන් මිනිසුන් වෙනුවෙනි.

අඳුරු සිනමා ශාලාවේ දැවැන්ත තිරය මත පතිත වන ශබ්දය මුසු රූප රචනා මිනිස් චිත්ත සන්තානය උඩු යටිකුරු කිරීමට සමත් වේ.විශිෂ්ට සිනමා කරුවෙකු අතින් නිමවෙන ඉහත රූප පෙළ අප බුද්ධි මණ්ඩලය කළඹා භාව මණ්ඩලය හඬවා අප වෙනස් මිනිසුන් පිරිසක් බවට පත් කිරීමට සමත් වෙයි.අනෙකුත් සියළු කලාවන් අභිභවමින් සිනමාව මිනිසුන් ආකර්ශණය කරගනුයේ මෙමමාධ්‍ය සතු අපරිමිත තාක්ෂණික බල මහිමය නිසාය.කිසියම් නිර්මාණකරුවෙකු විසින් ප්‍රේක්ෂක භාවයන්ද අමතමින් ඔහු තුළ ප්‍රඥ ප්‍රදීප දැල්වීමට සමත් වන්නේ නම් ඔහු හෝ ඇය සැබැවින්ම විශිෂ්ට කලාකරුවෙකි.මානව හිතවාදියෙකි, ප්‍රගතිශීලි පෙරගමන්කරුවෙකි. අවසානයේ හොඳ මිනිසෙකි.

අපේ රටේ සිනමා මාධ්‍ය වගකීම් සහගතව, පරෙස්සම් සහිතව, බුද්ධි ගෝචර ලෙස භාවිතා වන බවක් නොපෙනේ. අතිසංවේදී සමාජ ප්‍රපංචයන් සාකච්ඡාවට නොගැනෙන අතර, නිර්මාණකරුවන් තම කෘතීන්ට අවංකව කටයුතු කරන ආකාරය දක්නට නොලැබේ.හෝද හෝද මඩේ දමන්නාක් මෙන් අනුන්ගේ චිත්‍රපට ලෝකල් අච්චුවකට දමා ටෙලි නාටක පරදන විසූක දස්සන මවති.මෑතකදී බරපතල සමාජ දේශපාලන අත්දැකීමක් වස්තු විෂය කරගත් චිත්‍රපටයක් ලෙස අප අතරට පැමිණියේ “ පාංශු ” චිත්‍රපටය පමණි.ප්‍රේක්ෂකයන්ට එම චිත්‍රපටය දැකබලා ගැනීමේ අවස්ථාව ලැබේ දැයි යන්න ගැන දන්නේ දෙවියන් පමණි.දෙවියන්ට චිත්‍රපට බෙදාහැරීමේ මණ්ඩල නැත.

ලෝකල් හෑලි ලිවීමට ගොස් දීපිකාගේ රංගනය ගැන සටහනක් තැබීමට අමතක විය.මනා සංයමයක් හා විනයක් සහිත උසස් රංගනයක් ලෙස මල්කි ලෙස දීපිකා ඉදිරිපත් කරන නිරූපනය සැලකිය හැකිය.ඇය මෙම සමාජ ව්‍යසනය සම්බන්ධයෙන් දක්වන සංවේදීතාවය, මෙම නිරූපනය සාර්ථක වීමට බෙහෙවින් උපකාර වන්නට ඇතැයි සිතිය හැකිය.පාසල් බෑගය පිටේ එල්ලාගත් සුකුමාර 18 වියැති කෙල්ලෙකුගේ චරිතයේ සිට ඇසිඩ් ප්‍රහාරයට ලක් වු පරිපීඩිත යුවතියගේ සංකීර්ණ මනෝභාවයන් නිරූපනය තෙක් විහිදී යන දිගු පරාසය දීපිකා මැනවින් ජයගෙන ඇත.

මම චිත්‍රපටය නරඹා සිනමා ශාලාවෙන් එළියට බැස්සේ ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ තරුණියක මෙන් මුහුණ සඟවාගෙනය.උදව් උපකාර අවැසි අන් අය වෙනුවෙන් සේවයක් නොකරන ජීවිත ඇවිදින මල මිනී වැන්න. මා තුළ මා ගැනම පසුතැවිල්ලක් ජනිත විය.

දීප්ත බණ්ඩාර | Deeptha Bandara