‘ඔබ මගේ වෙලා – මගේ ළඟට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න – ආදරේ කියා’

අද උදේම මතකෙට ආවේ මේ මනරම් ගීතයයි

අද පෙම්වතුන්ගේ දිනය. පෙම්වතුන්ට තම ආදරය නිදහසේ ප‍්‍රකාශ කිරීමට ඇති දිනයයි. විල්ලුද ඇතිරූ මංගල සයනයක, තම මංගල රාත‍්‍රිය ගත කරන හීනය කුලියට ගත්ත කාමරයක බොද වෙන දිනයයි!

රතු රෝස මලකට, රස චොකලට් එකකට නැතිනම් රන් පවුමකට ආදරේ සිල්ලරට විකිණෙන දිනයයි. ආදරණීය ලෙස ගෙවන්න හීන වල කිමිදුනු නමුත් කදුලින්, පසුතැවීමෙන් හා දෙගිඩියාවෙන් අවසන් කරන දිනයයි.

මා ඉහතින් දැක්වුයේ සාමාන්‍යයෙන් අද වගේ දිනයකදි අපේ රටේ සුලබව සිදු වන සිදුවීම් පෙළකි.

නමුත් අතීතයට ගොස් විමසා බැලූ විට එහි ඉතිහාසය තුන්වෙනි සියවස දක්වා විහිදෙන්නක්ය. පෙම්වතුන් හා ආදරණීයයන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් හඩ නැගූ ශාන්ත වැලන්ටයින් සාමිවරයා සිහි කිරීම වෙනුවෙන් මෙම දිනය කතෝලිකයන් යොදා ගනු ඇති.

වර්තමාන සමාජය සියලු දේ සදහා වෙළදපොලක් නිර්මාණය කර තිබීමෙන් අවාසනාවකට මෙන් ආදරය වෙනුවෙන් ද තිබෙන යථාව, නිරාමිස සුවය දුරස් වෙමින් පවතී. වර්තමානයේ ආදරයට මිලක් නියම වූ වෙළද භාණ්ඩයකි.

“තමන්ගේ කෑල්ල නැත්නම් බඩුව, බඩු පොට් එකකට ගෙන ගොස් ආතල් එකක් ගෙන තෙල් මාරු කර පැමිණීම” ලෙස ආදරය අර්ථ දක්වා සිටින නව පරපුර ආදරය අතපත ගා වත් නොමැති බව මනාවට පෙනේ.

එක් සුවඳ ප්‍රේමයක් තුළ ආදරය, ප්‍රේමය, සෙනෙහස, රාගය, විරාගය, නිරාමිස සුවය ආදී සියලු හැඟීම් ඒකරාශී ව ඇති බව හා විඳිය හැකි බව වර්තමාන පරපුර නොදැනීම රටේ අවාසනාවකි. ඇත්තෙන්ම වැඩිහිටි පරපුර ඔවුන්ට ආදරය දායාදයක් ලෙස උගන්වා නැති බවයි මගේ හැගීම.

තරුණ යුවලක් අතින් අල්ලන් උද්‍යානයක වාඩි වී සිටීම වරදක් ලෙසින් අර්ථ දක්වන රටක, ලිංගික අධ්‍යාපනය අපරාධයක් ලෙසින් හංවඩු ගහන සමාජයක ආදරය තහනම් ගහක් වීම වැලැක්විය නොහැකිය. විවෘත සමාජයේ ලිංගිකත්වයට විරුද්ධ වෙන බොහෝ චරිත අතින් අපේම දියණියන් දූෂණය වන්නේ වැඩිහිටියන් තම වගකීම ඉටු නොකිරීම නිසාවෙනි.

මිත්‍යා විශ්වාස වලින් ඔබ්බට ගියද, ව්‍යවහාරයේ ඇති පරිදි පිරිසිදු වතුරින් සෝදා ගත්තද හෘද සාක්ෂිය ඔබට ඔච්චම් කරාවි.

පෙම්වතියනි, ඔබේ පෙම්වතා විශ්වාසයේ හිනිපෙත්තෙහි තබා ගත්තද ඔබ මුරුංගා දල්ලෙන් පහළ අත්තකට හෝ පැමිණ සිටීමට වග බලා ගන්න.

මේ ගෙවෙන ඔබේ භද්‍ර යෞවනය ජීවිතයේ ඔබ පසු කරන සුන්දරම කාල පරිච්ඡේදයයි. ඒ සුන්දර කාලය නිරපරාදේ විනාශ නොකර ගන්න.

ආදරය, ලිංගිකත්වයෙහි තහනම් මාතෘකාවක් නොවුවත් අප සමාජ රාමුව සෑදී තිබෙන ආකාරය අනුව ඔබ අනෙකාගේ ගෞරවය ආරක්ෂා කල යුතුයි. එසේ නොවුනහොත් ඔබේ අනාගතයම පසුතැවීමකින් ගත කිරීමට මං සෑදෙනු ඇත. නිරුවත යනු එකිනෙකා හදුනා ගත හැකි ඉතා හොද මෙවලමක් වුවද එය අනෙකාට ඔබට පාවිච්චි කිරීමටද අවස්ථාවක් විය හැක.

මෙම දිනය ඔබේ සංසාරික ආදරය උරගා බලන දිනයක් කර ගන්න. ඔබ වෙනුවෙන් ඇයට හෝ ඔහුට කොපමණ කැප කිරීම් කළ හැකි දැයි සොයා බලන්න. අරුමෝසම් කෘතිම ලෝකයේ තම සහකාරිය /සහකරු කොපමණ සරල, නිර්ව්‍යාජ හා අවංක දැයි තම හදවතින් විමසන්න. අනෙකා වෙනුවෙන් වෙන් කරන හෝරාව, දිනය සදාතනික සුන්දර මතක සටහන් පමණක් ඉතිරි කර ගන්න.

ආදරය යනු රාගය හා විරාගය අතර දෝලනය වන නිරාමිස සුවයකි. එහි මිහිර ඔබේ දිවිය පුරාම විදින්න ඉඩ තබාගන්න.

එය තම සහකාරිය හැඟීම් වලින් තලාපෙලා නොව, සුන්දර හැගීම් තැවරුනු අවස්ථාවක් කර ගන්න.

පෙම්වතුනි, ඔබ තුල ජීවත් වන සල්ලාලයාගෙන් ආදරණීය පෙම්වතා තෝරා ගන්න. එසේ තෝරා ගත හැකි වන්නේ ඔබ තුල ඇය වෙනුවෙන් අවංක ආදරයක් ඇත්නම් පමණි.

ඉෂන්කා ජයසිංහ | Ishanka jayasinghe