iMAGE : Vikalpa/ Ishara Danasekara 

“අපි මොකටද සමාජය තියෙන විදියටම පිළිගන්නේ, සමාජය වෙනස් කරන්නත් අපිට පුළුවන්”  

එහෙම  කිව්වේ  ඇත්තටම යුගාන්තයේ මාලින් කබලාන ද නැත්නම් අවුරුදු 31 ක පුංචිම පුංචි කාලයක් විතරක්  තමන්ට ජිවත් වීමේ අයිතිය දීලා තමන්ගේ හුස්ම හිර කරලා මරපු සමාජය ගැන දැනගෙන හිටපු රිචඩ්මද කියලා අදට රිචඩ් මරා දාලා අවුරුදු 30 ක් ගතවෙන මොහොතේ මං ආයේත් මගෙන්ම ඇහුවා. අවුරුදු 100 ක් ජිවත් වෙලා මේ මහා පොළොවට ඔහේ පරල වෙලා ගිය සමහර  ජිවිත වලට වඩා අවුරුදු 31 ක රිචඩ්ගේ ජිවිතේ අපට වඩා ලඟින්  දැනෙන්නේ ඒ නිසා.

1990 පෙබරවාරි 17 වන දා වැලිකඩවත්ත ගෙදරදි මීට අවුරුදු 30 කට කලින් අරන්  ගිය රිචඩ් වෙනුවට ගෙදර ආවේ වෙඩි උණ්ඩ කුහර සහිත මළ සිරුරක්! මළ සිරුර මොරටුව කොරලවැල්ලේ වෙරළට ගොඩ ගහලා තිබුණේ 19 වැනිදා පාන්දර.

17 වැනි සෙනසරාදා රාත්‍රී 10.00 ට පමණ මා නින්දට ගියා. ඉරිදාට එළිවීමට පෙර අලුයම 3.00 ට පමණ නිවසේ සීනුව නාද කරනු ලැබුවා. මා ඒ අවස්‌ථාවේ නැඟිට නිවසේ කවුළුවෙන් බලන විට අවිගත්, පොලිස්‌ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් කෙනෙකුත්, කළු ටී ෂර්ට්‌ එකක්‌ හා දිග කලිසමක්‌ ඇඳගත් කෙනෙකුත් සිටිනු දුටුවා. ඒ සමග තවත් හතර දෙනෙකුත් සිටි අතර ඔවුන් සියලු දෙනාම ආයුධ අතැතිව සිටියා. මා ඒ අවස්‌ථාවේ සිටියේ නිවස තුළයි. පිටස්‌තර කවුරුවත් නිවස තුළ සිටිනවාදැයි අසා නිවස පරික්‍ෂා කරන්න ඕනෑ යෑයි ඔවුන් කීවා. මා එවිට ඔවුන්ගෙන් හැඳුනුම්පත් ඉල්ලා සිටියා. ඒවා දෙන්න වුවමනාවක්‌ නැහැයි ඔවුන් කීවා. හැඳුනුම්පත් නැතිනම් ඔවුන්ට ගෙට ඇතුළුවීමට ඉඩදිය නොහැකි බව මා කියා සිටියා. මා එසේ කී විට ඔවුන් වෙඩි තැබීම සඳහා ගිනි අවියක්‌ සකස්‌ කළා. ඉන් ඇතිවූ බිය නිසා මට දොර අරින්න සිදුවුණා. එයින් කිහිප දෙනෙකු මගේ කාමරයට ගොස්‌ සෝදිසි කළ අතර, අනෙක්‌ අය පුතාගේ කාමරයට ගොස්‌ ඔහු පිටතට රැගෙන ආවා.

පුතාට පහළට එන්නැයි ඔවුන් කීවා. පුතා ඔවුන්ට කිව්වා පහළට යන්න ඕනේ නැහැ. මෙතැනදී ප්‍රශ්න කරන්න කියලා. එවිට ඔවුන් මගේ පුතාව පහළට ඇදගෙන ගියා. එසේ ගෙන ගොස්‌ ජීප් රථයකට නංවා ගත්තා. පැමිණි අයගෙන් දෙදෙනකු මට හඳුනාගන්නට පුළුවන්. පුතා රැගෙන ගිය කොළපාට ජීප් රථයේ අංකය 32 ශ්‍රී 4748 වශයෙන් සඳහන් වුණා. මා වහාම වැලිකඩ පොලීසියට ගොස්‌ සිද්ධිය ගැන පැමිණිලි කළා. සඳුදා රාත්‍රී 8.00 ට පමණ පොලීසියෙන් පැමිණ මගේ පුතාට සමාන මළ සිරුරක්‌ කළුබෝවිල රෝහල් මෘත ශරීරාගාරයේ තිබෙන නිසා එය හඳුනා ගැනීමට ඉදිරිපත් වන ලෙස මට දැන්වූවා. ඒ අනුව මා රෝහලට පැමිණ එම මළ සිරුර මගේ පුතාගේ බව හඳුනාගත්තා. මෙම මරණයට කවර කරුණක්‌ හේතු වුණා ද කියා කියන්න මම දන්නේ නැහැ. පුතා පුවත්පත් කලාවේදියකු හා රූපවාහිනී නිවේදකු හැටියට කටයුතු කළා. එපමණයි…. ( යුක්තිය වෙබ් අඩවියෙනි )

ඒ මනෝරානි සරවනමුත්තු. රිචඩ්ගේ ආදරණිය අම්මා.

මේ සියල්ල සිදු වුණේ කොහොමද  කියන්න  ඔබ මම ඇතුලු සියල්ලෝම  දැන ගෙන තිබුණත්, පත්තර පිටු පුරා ඒවා ලියවිලා තිබුණත්, දණ්ඩ මුක්තිය අවසන් කරන්නට නොහිතන රටක “රාජ්‍ය”  ආණුඩු මාරුවෙන් මාරුවට  හිතා මතාම මේ සිද්ධීය ද ඇතුලුව බොහෝ අපරාධ  ‘ව්‍යාජ අපරාද පරීක්ෂණයකින්’ ලොප් කිරීම අවුරුදු 30 ක් තිස්සේම සිදු කරමින් පවතිනවා.

රිචඩ්  ඝාතනය කරන්න හරියටම සතියකට කලින් “Alternative Society” (විකල්ප සමාජයක්)  නැමැති හෙඩිම යටතේ ‘Sunday Island’ පුවත්පතේ පළ වී තිබු ලිපියේ එක තැනක ඔහු මෙසේ ලියා තිබුණා. පස්සේ කාලෙක  පියල් සෝමරත්න විසින් මේ ලිපිය සිංහලට  පරිවර්තය කරාට පස්සේ  “මාවත” සඟරාවෙත්, හිරු පුවත්පතේත්  ඒ වගේම නැවත බූන්දි වෙබ් අඩවියෙත් එය පළ වී තිබුණා.

“ජාතික චින්තනය” මඟින්  නිෂ්පාදනය කරන දේශපාලනමය යථාර්ථය අසහනකාරී විය හැකි අතර සියලුම සංස්කෘතීන්හි අවම පොදු සාධක ගැට ගසා,විකෘති සමාජ මුහුණුවර ආවරණය කරන සුළු දෘෂ්‍යමාන ස්වරූපයන් බහුත්වයේ නාමයෙන් කෙනෙකුට ගෙනහැර දැක්විය හැකිය. සවිමත් බහුත්වවාදී ජාතික රාජ්‍යයක් ගොඩ නැංවිය හැක්කේ සන්නාසීන්, ජංගම සර්කස් කණ්ඩායම් සහ කවීන් මෙන් වැජඹෙන දේශපාලනඥයන් තුළින් නොවේ. පිලිතුර නිසැකවම ලෝකායත රාජ්‍යයකි. එවැනි රාජ්‍යයක් සඳහා න්‍යායික පදනම සැපයිය යුත්තේ මාක්ස්ලෙනින්වාදයේ මූලික ස්වරූපය විසිනැයි මම සිතමි. එහෙත් පැවැත්ම තුළින් මතුවන අසහනය උරාගැනීමට තරම් නම්‍ය වීම අත්‍යවශ්‍ය වේ. නැගෙනහිර යුරෝපය සහ සෝවියට් දේශය හරහා හමා යමින් පවතින ජාතිකවාදයන් ප්‍රතික්ෂේප කරන්නේ,ජාතික චින්තනයේ විස්තීර්ණ ස්වරූපයක් වන “මහා රුසියානු” මතවාදයන් මිස කොමියුනිස්ට්වාදය නොවේ.

රිචඩ් තුළ  පැල පදියම් ව තිබු දේශපාලන දර්ශනයත් ඔහු විශ්වාස කළ සමාජ වෙනසත්, ඔහු හිටගත් ප්‍රගතිශීලි ආස්ථානයත්  මැනවින් අවබෝධ කරගන්න මේ ටිකම ඇති කියලයි මට හිතෙන්නේ. ඔහු තමන්ගේ ජීවිතය පුරාම වැඩ කළේ ඒ වෙනුවෙන්. ඒක ප්‍රශ්නයක් වෙනවා නම් එය එසේ විය යුතුව තිබුණේ මේ සමාජ වෙනස නොපිළිගන්නා පිරිසකට.

ඒ නිසා යුගාන්තයේ මාලින් කබලානත්, ලාංකේය සමාජය ඇතුළේ ප්‍රකෘතියට විරුද්ධ වීම නිසා මරා දැමුණු රිචඩ් ඩි සොයිසාත් යම් මොහොතක සිනමාව ඇතුළේ එකවර අපිට මුණ ගැහි තිබීම ඇත්තටම අහම්බයක්. මේ මතුකරන සංවාදය රිචඩ්ගේ ජීවිතය විනිවිද දැක්ක එකක් විදියට මන් දකින්නේ ඒ නිසා.

අරවින්ද : “සමාජයට ගැලපෙන පරිදී වෙනස් නොවී ජිවත් වෙන්නේ කොහොමද? ‘පරිසරයට අනුකූල වෙයන්  නැත්නම් මැරියන් යැයි ප්‍රකෘතිය කියනවා.

මාලින් : “පරිසරය සුන්බුන් කරලා අපිට ඕනෑ හැටියට සකස් කර ගන්නවා”

අරවින්ද: “කළු ගලේ ඔළුව හප්පා ගන්නේ මොකටද?”

මාලින් : “කළුගල සුන් බුන් කරන්න”

මේ ඝාතනයට පදනම වැටෙන ඒ විශ්වාසය වෙනුවෙන් වැඩ කරපු ඔහුගේ පැවැත්ම තර්ජනයක් වෙන මේ සමාජය ඇතුළේ රිචඩ් දරා ගෙන සිටිය සමාජ ආකල්ප ඔහුගේ පන්තියෙන් වෙනස් වුණු පොදු පන්තියේ මහජන අවශ්‍යතා වුණා.  සැබෑ ඔහුත් සිනමාවට ආ මාලින් අතරත්  ඇත්තටම පෑහෙන සම්‍යයක් තිබුණා. ඒත් මාලින්ට වඩා  ඇත්ත ජිවිතේ රිචඩ් ඉදිරියෙන් හිට ගන්නවා. ඒ නිසා කළු ගලක් වෙච්ච ප්‍රකෘතිය කඩන්න උත්සාහ කළ ඔහුව ගොදුරක් වුණා.

මුහුද මගේ පුතා ආපහු මා ළඟට ගෙනාවා. සමහරක්‌ විට රෑ ජාමෙට මම හිතවා දෙවියන්ට මගේ පුතාව බේරගන්න බැරි වුණත්, මහ මුහුද මගේ පුතා මා ළඟට ගෙනාවේ මට සටන් කරන්න හැකි වෙන්න කියලයි

මනෝරාණි අම්මා නික්ම ගියෙත්  අතුරුදහන් වූ දරුවන් වෙනුවෙන් තමන් වගේම අම්මාවරුන්ගේ සටනට තමන්ගේ ජීවිතය හා ශක්තිය කැප කරමින්. ඒ නිසා රිචඩ් මරන්න උත්සාහ කළ අධමයින්ට ඔහුව ඇත්තටම මරා දාන්න බැරි වුණා. මම ඔහුව හැබැහින් දැකලා නෑ, අඩුම තරමේ ඔහු මේ ගඳ ගහන සමාජයේ ජිවත් වුණු කාලයේ ජිවත්ව හිටියෙත් නෑ. ඒත් ජීවත්ව හිටිය නම්  අවුරුදු 61 ක් වෙන්න තිබ්බ රිචඩ් මේ සමාජය ඇතුළේ,මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න දඟලන මිනිස්සුන්ගේ පපුව අස්සේ මගේ වගේම තාමත්  හුස්ම ගන්නවා.

ඒක තමයි රිචඩ් මේ පොළොවේ මනෝ රාණි අම්මට වගේම අපි හැම දෙනාටම ඉතුරු කරලා ගිය නික්මයාමේ තෑග්ග !

ඒක තමයි රිචඩ් මේ පොළොවේ මනෝ රාණි අම්මට වගේම අපි හැම දෙනාටම ඉතුරු කරලා ගිය මනුස්ස ආදරය !   

ප්‍රගීත් අතුරුදහන් කරලා අවුරුදු 10 ක් වෙලා. පහුගිය ජනවාරි මාසේ  බොරැල්ලේ තිබුණ මතක සැමරුමේ ප්‍රගීත් ඇඳපු රිචඩ්ගේ චිත්‍රේ ! ඒකේ  ප්‍රදර්ශනය කරලා තිබ්බා.  අද උදේම පින්තූර අස්සේ ඇස් පෙරලපු මට ඒක මුණ ගැහුණේ අහම්බෙන්. ප්‍රගීත්ටත් යම් දවසක  රිචඩ්ව  ජිවිතේ මුණ ගැහිලා තිබ්බ බව මම හිතුවා.මේ ලියවිල්ල; මගේ රෝමාන්තික හෑල්ල පැත්තක තියලා මම ඒ පින්තූරේ  බලාගෙන රිචඩ්ගේ  “සමුගැනීමේ තිළිණය” “Pringing Gift”  කියෙව්වා.

නත්තල් සමයෙහිදී ඔබ

දුන්නෙහිය මට දින පොතක්‌

නව වසර මහලු වී යන්නටත් පෙර…

එද එහි

සුදො සුදු පැහැති

හිස්‌ පිටු විලස

මමද

මළ ගිය අයෙක්‌ වෙමි.

හුස්මක් ගන්නේ නැතුව පෙම්වත්තු මරා දාපු මළවුන්ගේ පෙබරවාරි  මාසයක රිචඩ් අවුරුදු 30 කට පස්සේත්  හුස්ම ගන්න බව දැනුනා. රිචඩ් මං ආදරේ පුරෝගෙන හිතින් තදින් වැළදගත්ත සදාකාලික පෙම්වතෙක්  !