LGBTQ ප්‍රජාව යනු තවමත් ලංකාව ඇතුලු බොහෝ රටවල් වල බියෙන් ජීවත් වන සමාජ කොටස් බව නොරහසකි. දියුණු යැයි සලකන බොහෝ සමාජයන් තුල ද LGBTQ ප්‍රජාවට තවමත් හිරිහැර හා අපයෝජනයට ලක් වෙයි. තවමත් ඔවුන් සමාජය කොන් කරනවා පමණක් නොවෙයි, සමහර අවස්ථාවන් වල දී දුෂණය කර, මරා දැමු අවස්ථා ද ඕනෑ තරම් ඉතිහාසය තුල ඇත. මේම මාතෘකාව ආගමික, සංස්කෘතික හා සාමාජීය පදනම මත ඉතාම සංවේදි වුව ද පොදු සමාජ යහපත සදහා මේ ගැන පුළුල් සංවාදයක් අවශ්‍ය බව මගේ අදහසයි.

LGBTQ යනු කුමක්ද?
Lesbian (සමලිංගික කාන්තාවන්)
Gay (සමලිංගික පිරිමි)
Bisexual (ද්වි ලිංගික)
Transgender (සංක්‍රාන්ති ලිංගික)
Queer (අනෙක්)

මේ සෑම ලිංගිකත්වයක්ම මෑතක් වන තුරු මානසික රෝග ලෙස වෛද්‍ය ප්‍රජාව ද සැලකිය. එය මානසික රෝගයක් යැයි තව දුරටත් පිළි ගන්න වෛද්‍යවරුන් සිටියත් නවීන සංකල්පය නම් එය උපතින් ඇති වන මානසික හා කායික හැඩගැසීම බව වත්මන් අදහසයි. කුමන තර්කය අප පිලි ගන්නේ ද යන්න මෙම සංවාදයට අනවශ්‍ය වන්නේ, ලිංගිකත්වය හා ස්ත්‍රි/ පුරුෂභාවයේ දිශානතිය (sexual / gender orientation) යනු කෙනෙකුගේ පෞද්ගලික කාරණාවක් මිසක එය ඔවුන්ට හිංසා කිරිමට කරන ආරාධනයක් නොවන නිසාය. (Not an invitation to abuse).

2018 දී Daily Mirror පුවත් පතේ සටහන් වූ පරිදි ලංකාවේ සමලිංගික කියා තමන් ප්‍රසිද්ධියේ හදුනා වනු ලබන පුද්ගලයින් 7500 (ජයග්‍රහනයෙන් 0.035%) සිටිති. නමුත් එම පුවත් පතට අනුව එය සමස්ත ජනගහනයෙන් 5% දක්වා සිටිය හැක. සමාජ වාරණය නිසා ඔවුන් දෙබිඩි ජීවිත ගත කරයි. මානසික, සමාජීය හා අනෙක් සාධක නිසා LGBTQ ප්‍රජාව තුල ඉහල සියදිවි හානිකර ගැනීමේ ප්‍රවනතාවක් ඇති අතර එය විෂම ලිංගිකයන් මෙන් තුන් ගුණයක් බව The Guardian පුවත්පත සදහන් කරයි. තවද LGBTQ යනු වැඩිවියට පත් දෙදෙනෙකු හෝ එක් අයෙක් විසින් තෝරා ගත් ජීවන රටාවයි. ඒ ගැන ධනාත්මක හා සෘණාත්මක අදහස් අපට තිබිය හැක, නමුත් කෙනෙකු කෙසේද තම ඡීවිතය ගෙවිය යුත්තේ යන්න තීරණය කිරිමට අයිතියක් නීතියෙන් කාටවත් නැත.

මේ අතර චරිත කාරියවසම් මෙවැනි සටහනක් ඔවුගේ මුහුණු පොතේ සදහන් කර තිබුනා.

“මට තාම තේරුං ගන්න බැරි සමලිංගික සීන් නීතිගත කිරීම වෙනුවෙන් පෙනී ඉන්න, ඇගේ සිරුර ඇගේ අයිතිය කියල ගබ්සාව වෙනුවෙන් පෙනී ඉන්න වාහෙල කොහොමද අර ළමයගෙ සිද්ධිය අපචාරයක් විදියට දකින්නෙ කියලයි. ඔන්න අපිට නන් ලේසියෙන් ඒක අපචාරයක් කියන තැනට අලයින් වෙතෑකි. ඒත් මුං? මුං මේ ඉන්න පරස්පර ලෝකෙ ජීවත් වෙනවට වෙනම නොබෙල් ප්‍රයිස් එකක් දෙන්න ඕන”

ළමා අපචාර සමලිංගිකත්වය යනු කුමක් ද යන්න නොදැන කරන මේ ප්‍රකාශ මානව අයිතිවාසිකම් පිළි ගන්නා හැමෝම තරයේ හෙලා දැකිය යුතුයි.

Paedophilia යනු කුඩා ළමයින් කෙරෙහි වැඩිහිටි කෙනෙකුට ඇති වන ලිංගික ආකර්ශනයයි. ළමයෙක් (minor) යනු වයස අවුරැදු 18ට අඩු උවද paedophiles (ළමයින් අපයෝජනය කරන තැනැත්තන්) වැඩිපුර අපයෝජනය කරන්නේ ඉතාම අඩු වයසේ සිටින දරුවන්ය. සේයා සදෙව්මි දුෂණය කර මරා දැමුවේ ඇයට අවුරුදු 4ක් තිබියදීය. අද සමාජ මාධ්‍ය තුල සැරිසරන පුද්ගලයෙක් අපයෝජනයට ලක් කරන දැරියට වයස 6යි. රන්ජන් රාමනායක හමුවට පැමිණ තමන්ට සිදු වු ලිංගික අතවර ගැන පැමිණිලි කල සාමණේරවරුන් ද ඉතා කුඩා ළමුන්ය.

ළමා අපචාර හා සමලිංගිකත්වය අතර කිසිදු සමානාත්මයක් නැත. සේයා දැරිය දුෂණය කලේ සමලිංගික පුද්ගලයෙක් නොවේ. තවත් එවැනි අපචාර සිදුවන්නේ සමලිංගික පුද්ගලයින් අතින් නොව බොහෝ විට විෂම ලිංගිකයන් අතින්ය. එය සමලිංගිකයන් හෝ විෂම ලිංගිකයන් කොන් කරන ප්‍රකාශනයක් නොව, ළමා අපචාර කරන තිරිසනුන්ට ලිංගිකත්වය ප්‍රශ්නයක් නැති බව පෙන්වා දීමයි.

සුලු ජාතීන්ගේ අයිතිවාසිකම් කතා කල විට NGO කියන, LGBTQ ගැන කතා කලවිට විවිධ නම් බදින, රාජපක්ෂවරුන්ට එරෙහිව කතා කල විට දේශද්‍රෝහී ලෙස හංවඩු ගසන, කාන්තාවන්ගේ අයිතීන් කතා කල විට ඇයට ගණිකාව කියන, ගණිකාවන්ගේ අයිතීන් කතා කල විට තවත් නම් පට බදින සමාජයට ලේබල් වලින් තොරව සිතිමට තවමත් බැරිවීම ඉතාම කණගාටුදායකය. තමන්ගේ පෞද්ගලික මතය මත අනුන් ජීවත් විය යුතුය යන විශ්වාසයෙන් සිටින මේ කුහක සමාජ ස්ථරයන්, එසේ නොවන මිනිසුන්ට කායික, මානසික හා ලිංගිකව හිරිහැර කරයි. මෙය සුලු ජාතීන් ඇතුලු ලිංගික හා ස්ත්‍රි/පුරුෂ දිශානතිය ද ඇති පොදු ප්‍රශ්නයක් ය. එසේම ලමා අපයෝජන ගැන කතා කිරීමට අයිතිය ඇත්තේ කාටද යන්න තර්ක කිරීමට පවා මෙම නීච සමාජ ස්තරයන් අද පෙරට ඒම ගැන කණගාටු විය යුතුයි.

මටත් LGBTQ ප්‍රජාව ගැන තනි මතයක් ඇත. නමුත් ඒය මගේ මතයයි. ඒ මතය මත කිසිවෙකු ජීවත් විය යුතු නොවේ. මගේ ඒ මතය කිසිවෙකු නිසා මම වෙනස් කරන්නේ ද නැත. ඒ මතයක් දැරීමට මට හිමි අයිතියයි. නමුත් කෙනෙකුගේ මතය අනෙකාට හිරිහැරයක් හෝ අපහාසයක් වෙනවා නම්, එම මතය සමාජ ගත කිරීමට අයිතියක් ඇත්ද යන්න චරිත කාරියවසම් වැනි අය සිතා බැලිය යුතුයි. තවද ඔහුගේ බොරු ප්‍රකාශයන් සමාජයක් ලෙස අප හෙළා දැකිය යුතුයි. ඒ තුලින් අප කරන්නේ LGBTQ ප්‍රජාවට සහයෝගය දීම නොව, නිවැරදි දේ සදහා හඩ නැගීමයි. එම නිවැරදි සංකල්පය නම් සමලිංගිකත්වය යනු ළමා අපචාර නොවේ.

ශිෆානා නියාස් | Shifana Niyas