iMage:srilankacampaign

දිනේශ් ගුණවර්ධන ඇමතිවරයා පසුගිය දා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කල කතාවත් සමගම ලංකාවේ අද පවතින තත්වය හා ඉදිරියේ ඇතිවිය හැකි ආපදාවන් ගැන බොහෝ දෙනා මත පල කලහ. යුධ මානසිකත්වයෙන් මිදීමට නොහැකි වූ ජනතාවක් සිටින රටක, යුධ අපරාධයන්ට චෝදනා ලද පුද්ගලයින් රජයේ ඉහල තනතුරු දරන තැන් හී, සියලු මානව හිමිකම් සම්මුතීන් වලින් ඉවත් වීමට UNHRC හමුවේ රාජ්‍ය පාර්ශවයෙන් කල උත්සාහයන් අනාගතයේ ඇති විය හැකි භයානක තත්වය ගැන කරන ඉගියකි. 2009 යුධ තත්ත්වයේ දී සිදු වූ සිවිල් වැසියන් ඝාතන හා පසුව සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන දේශීය යාන්ත්‍රණයක් ක්‍රියත්මක කිරීමට මැළි වන රජය, තමන් විසින් සිදු කලා යැයි චෝදනා ලැබූ ඝාතනයන් ආවරණය වන සේ වත්මන් නීති රීති ද සකස් කිරීමට උත්සහා ගනිමින් ඇත. එය අපරාධ සැගවීමට හා එයින් බේරීමට ගත් දුර්වල ප්‍රයත්නයක් ලෙස දිනේශ් ගුණවර්ධනගේ ජිනීවා කතාව සදහන් කල හැක. එම නිසා මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ඉතිහාසයක් ඇති රටක, වත්මන් තත්වය හා අනාගතයේ සිදු විය හැකි ව්‍යසනයන් ගැන අවධාරණය යොමු කල යුතුය.

සමූල ඝාතන හා යුධ අපරාධ යනු කුමක්ද කියා නොදන්නා සමහරක් කියා සිටින්නේ, LTTEය පරාජය කල නිසා එවකට ත්‍රිවිධ හමුදාවේ සිටි සාමාජිකයන්ට සිදුකරන චෝදනා බවය. මෙය සමාජ මාධ්‍ය භාවිතා කරන තරුණයාගේ සිට ඔවුන් හසුරුවන දේශපාලන හස්තයන් පවා කියමින් සිටින පදනම් විරහිත කතාවකි.

සමූල ඝාතනයක් යනු හිතාමතාම විශාල පිරිසක් ඝාතනය කිරීම,(විශේෂයෙන් කිසියම් ජාතියක හෝ ජනවාර්ගික කණ්ඩායමකට අයත්) යුධ අපරාධ යනු පිළිගත් ජාත්‍යන්තර යුද නීති උල්ලංඝනය කරන, යුද්ධයක් අතරතුර සිදු කරන ලද ක්‍රියාවකි.

ශ්‍රි ලංකා හමුදාවට සමූල ඝාතන හා යුධ අපරාධ යන චෝදනා දෙකම එල්ල වී ඇත්තේ යුද්ධයක් මෙහෙය වූ නිසා හෝ එම යුද්ධය ජයග්‍රහණය කල නිසා නොවේ. එම චෝදනා වලට මූලික හේතුව වලක්වා ගත හැකිව තිබූ මානව හිමිකම් උල්ලංඝනයන් සහ අපරාධ වලක්වා ගැනීමට උත්සහයක් නොගැනීමයි. එම සිදුවීම් (චෝදනා) වලින් කිහිපයක් පහත දක්වා ඇත.

1) හමුදාව නම් කල Safe Zone හෙවත් ආරක්ෂිත කලාප (නම් කල) වලට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම.

2) රෝහල් වලට ප්‍රහාර එල්ල කිරීම

3) සිවිල් ඝාතන (extra judiciary killing)

4) යුධ සමයේ දරුණු අවස්ථාවල දිවි ගලවා ගැනීමට රජයට අයත් ප්‍රදේශ වලට පැමිණි දෙමල ජනතාවට සිදුකලා යැයි කියන අපරාධ

5) හමුදාවට භාර වු LTTE සමාජිකයන් අතුරුදහන් කිරීම

6) LTTE යැයි සැක කළ තරුණ, තරුණියන් පැහැර ගැනීම හා පසුව මරා දැමීම

7) LTTE නොවන දෙමල ජනතාව පැහැර ගැනීම හා මරා දැමීම (බාලචන්ද්‍රන් ඇතුලු ළමයින්, මහලු පුද්ගලයින් හා කාන්තාවන්)

8) ලිංගික අපයෝජන හා ස්ත්‍රී දුෂණ

(උපුටා ගැනීම
http://edition.cnn.com/2011/WORLD/asiapcf/04/26/united.nations.sri.lanka/index.html
“Report to Congress on Incidents During the Recent Conflict in Sri Lanka” (PDF). Department of State. 22 October 2009
http://www.warwithoutwitness.com/panel-of-experts-finds-credible-reports-of-war-crimes-during-sri-lanka-conflict-un/
https://www.economist.com/node/21541082/comments
BBC, channel 4, UNHRC වාර්තා)

හමුදාව විසින් සිදු කලා යැයි චෝදනා ලබන මෙම අපරාධ හා ත්‍රස්තවාදී යුද්ධය අතර කිසිම සම්බන්ධයක් නොමැත. කෙටියෙන් කියනවා නම් යුද්ධයක් කිරීමට හෝ ජයග්‍රහණය කිරීමට ඉහත සිද්ධින් අවශ්‍ය නොවේ. එම සිදුවීම සිදු නොවිය යුතුයි. එම සිදුවිම් අනුමත නොකල යුතු අතර එම සිද්ධීන් වලට වගකිව යුත්තන්ට දඩුවම් ලැබිය යුතුයි. (LTTE සංවිධානයට ද යුධ අපරාධ චොදනා ඇත)

තවද චෝදනාවක් තිබු පමණින් වැරදිකරුවකු ලෙස හංවඩු ගැසීමට මැළි වන බොහෝ මානව හිමිකම් පිළිබද ආයතන ලාංකීය රජයෙන් කියා සිටින්නේ අපක්ෂපාති ක්‍රියාදාමයක් තුලින්, සාක්ෂි විමර්ශනය කර චූදිතයන් දඩුවම් බලා දෙන ලෙසය. එය ඉතාම සාධාරණ ඉල්ලීමකි. එහෙත් වින්දිතයන්ට කියා සිටින්නේ ලාංකීය රාජ්‍ විසින් යෝජනා කරන ලබන යාන්ත්‍රණයන් ගැන ඔවුන්ට කිසිදු විශ්වාසයක් නැති නිසා, විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත මණ්ඩලයකට මෙම පරීක්ෂණ සිදුකිරීමට භාර දෙන ලෙසය. එම ඉල්ලීම ද ඉතාම සාධාරණය. නමුත් මෙහි ප්‍රශ්නය වන්නේ රජය විසින් මවා ඇති ප්‍රතිරූපයයි. එමනිසා හමුදාවට දේවත්වය ආරූඩ කර, ජාතිවාදී හා ජාතිකවාදී බලවේගයන් මෙහෙය වු රාජපක්ෂවරුන්ට මෙම ක්‍රියාව කිසිම විටක දියත් කල නොහැක. එසේ කිරීම ඔවුන් සුක්ෂ්මව ගොඩ නැගු ප්‍රතිරූපයට හානිකරය. තවද, බරපතල ලෙස මානව හිමිකම් කෙලෙසීම් සිදූකලා යැයි චෝදනා ලෑබූවන් ප්‍රධානීන් ලෙස සිටින වත්මන් ආණ්ඩුව වින්දිතයන්ට යුක්තිය ලබාදෙන්නේ කෙසේද යන්න ද ප්‍රශ්නයක් ලෙස තිබේ. මෙය “බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ” වැනි තත්වයකි. එසේ තිබිය දී, UNHRC ගිවිසුම් වලින් ඒක පාර්ශීයව ලංකාවට ඉවත් විය හැකි යැයි වත්මන් ආණ්ඩුව සිතුවේ නම්, එම සිහින ද හොද වෙන ලකුණු පෙනෙන්නට ඇත. එනම්, ප්‍රංශයේ ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු පැවසුවේ ලංකා රජය එම සම්මුතීන් වලින් ඉවත්වීමට තීරණය කල ද නීත්‍යානුකූලව අප එම සම්මුතීන් වලට බැදී සිටිනවා කියාය.
(http://www.ft.lk/news/SL-s-UNHRC-Resolution-remains-legally-binding-despite-withdrawal-French-diplomat/56-696523)

මේ අතර, ලංකා ඊ-නිවුස් සඟරාව කියා සිටියේ දැනටමත් ලංකාව තුළ මහින්ද රාජපක්ෂ සමයේ සිදු වූ ක්‍රියාවන් සදහා ගොනු කර තිබු සාක්ෂි හා ලිපි ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුවෙන්(CID) ඉවත් කර ඇති බවයි. මෙම වාර්තා තුළ මාධ්‍යවේදී එක්නැලිගොඩ හා රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතන සම්බන්ධ විස්තර ද ඇතුළත් බව එම සඟරාවේ සදහන් වේ. මෙය පෙබරවාරි 26 වන දින සිදුව ඇති බව සදහන් කරන එම සගරාව මේජර් ජෙනරාල් ඡගත් අල්විස් ප්‍රමුඛ 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිදු කර ඇති බව පවසයි. (https://www.lankaenews.com/news/3172/en)

දේශිය යුධ අපරාධ පරීක්ෂණ යන්ත්‍රයක් කිසිවිටක සාර්ථක විය නොහැකි බවට මීට වඩා නිදසුන් අවශ්‍ය වන්නේ නැත. තව ද එතෙක් මෙතෙක් බිහි වු සියලුම ආණ්ඩු සිවිල් ඡනයාගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇත. වරෙක එය දකුණේ සිංහල ඡනයාගේ වූ අතර අනතුරුව එය උතුරේ දෙමළ ඡනතාවගේ විය. උතුරේ යුධ සමයේ තමන්ගේ සහය ආණ්ඩු පාර්ශවයන්ට ලබා දුන් මුස්ලිම් ජනතාව ද අද රාජ්‍ය යාන්ත්‍රණයේ විවිධ හිංසනයන්ට මුහුණ දී සිටියි.

එසේ තිබිය දී දිනේෂ් ගුණවර්ධන පසුගිය සතියේ ජිනිවා නුවර පැවති සම්මේලනයේ කියා සිටි මීට කලින් එකග වු UNHRC සම්මුති වලින් ඉවත් වීම රටක මානව හිමිකම් පිලිබද පොදු ආකල්ප ගැන ජාත්‍යන්තරව ප්‍රශ්න මතු කරයි. පහත ඇති වෙබ් අඩවියෙන් ශ්‍රි ලංකාව එකග වු සම්මුතීන් ගැන කියවිය හැක.
https://www.right-docs.org/doc/a-hrc-res-40-1/

මෙම සම්මුතීන්ගෙන් වඩාත්ම වැදගත් අංගය නම් අපක්ෂපාතී යන්ත්‍රණයක් වෙනුවට දේශිය යන්ත්‍රණයක් සදහා ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇති තීරණයයි. තවද මෙම සම්මුතීන් ඊට වඩා ගැඹුරු මානව හිමිකම් ක්‍රියා පටිපාටියක් සදහා ලංකාව යොමු කර තිබුණාය. එයින් සමහරක් නම් අතුරුදහන් වූ පුද්ගලයින් සොයා බැලීමේ කමිටුවක් පිහිටු වීම හා ඒ තුළින් අපක්ෂපාති පරීක්ෂණ සිදු කිරීම, හමුදාව බලෙන් අත්පත් කරගත්, ජනතාවට අයිති ඉඩම් ඇතුලු දේපල නැවත භාර දීම, මිලිටරීකරණය අවසන් කිරීම, සුලු ජාතීන්ගේ අයිතීන් හා ආරක්ෂාව තර කිරීම යන කාරණා ඉන් කිහිපයකි. මෙම සම්මුති වලින් ඉවත් වීම මගින් දැනට සිදු වූ පරීක්ෂණ මෙන්ම ඒ සාක්ෂි ද විනාශ වී යැමට ඉඩ ප්‍රස්ථා වෙඩි බව UNHRC කමිටුවද පිළි ගනියි. තවද ඉදිරියේ ඇතිවිය හැකි භයානක තත්වය ගැන එය කරන ඉගියකි. ( https://www.lankaenews.com/news/3173/en)

රටේ සෑම ප්‍රධාන තණතුරුක්ම හමුදාපතිවරුන් හා තමන්ගේ හෙන්චයියන්ට ලබා දී ඇති වත්මන් ශ්‍රි ලංකාවේ ජනාධිපති, රටේ වාහන තදබදය නැවැත්වීමේ සිට රට පාලනය කිරීම දක්වා හමුදාව යොදා ගැනීම රට මිලිටරීකරණය කරා රට ගෙන යන බවට ඇති හොදම ලක්‍ෂණයකි. රට මිලිටරීකරණය වීම තුලින් ඒකාධිපතියන් බිහි වෙන බවට පාකිස්තානය, ඊජිප්තුව වැනි රටවල් උදාහරණයට ගත හැක. ගැසට් නිවේදනයක් නිකුත් කර වත්මන් ශ්‍රි ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද යුධ තත්ත්වයක් නොවන අවස්වථාවක රටේ සාමය හා ආරක්ෂාව හමුදාව අතට පත් කළේ සිංහල ඡනතාව බහුතරයක් සිටින ප්‍රදේශ ද ඇතුලත්ව බව සදහන් කල යුතුයි. සාමකාමී උද්ඝෝෂණයන් සදහා මේ ප්‍රදේශ වල ජනතාව රොක් වු තැන, මින් පසු පොලීසියට අමතරව අවි ගත් හමුදාව ද එනු ඇත. එහි ප්‍රතිපලය රතුපස්වල සිදු වු සිදුවීම් බොහෝ සෙයින් සමාන විය හැක. (http://www.dailynews.lk/2020/01/22/local/209165/armed-forces-maintain-public-order)

මෙහිදී ඉතිහාසය ගැන කුඩා ආවර්ඡනයක් කිරිම තුළින් වත්මන් තත්වය ගැන අවබෝධයක් හා අනාගතය ගැන යම් නිර්ණායකයක් ලබා ගත හැක.

1) 1978 දී මුල් වරට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (Prevention of Terrorist Act – PTA) පාර්ලිමෙන්තුවේ සම්මත විය. එදා J.R ජයවර්ධන විසින් එය උතුරේ තිබුණු දෙමළ අරගලය මැඩලීමට මෙම පනත ගෙන එන නිසා එයට සහය දීමට දකුණේ බොහෝ දේශපාලන පක්ෂ ඉදිරිපත් විය. බොහෝ වාමාංශික පක්ෂ පමණක් මීට විරුද්ධ වූයේ ඉදිරියේ මෙයින් සිදු විය හැකි ආපදාවන් දැන සිටි නිසාය. එනමුදු දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ඔවුන්ගේ අරගලය මුලින් උපුටා දැමීමට සිතු බලවේග මෙම පනත වැඩි ඡන්ද ගණනකින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තේ සියලු ඡාතිවාදී බලවේගයන්ගේ ආශිර්වාදයෙනි.

2) 1989 වසරේ දකුණේ ඇති වු අරගලයේ දී සිංහල තරුණ, තරුණියන් මරා දැමීමට පසුව යොදා ගත්තේ ද එදා උතුරේ මිනිසුන්ට විරුද්ධව ගෙන ආ මෙම PTA පනතයි. රට වටේ හමු වු සමූහ මිනීවළවල් කිහිපයක නම්, ගම් නැතිව එකල කුළී මිනීමරුවන් ලෙස නම් කල හමුදාව, මරා දමා ඇති දකුණේ සිංහල තරුණ තරුණියන්ට වින වූයේ ද එදා රට, ඡාතිය රැකීමට යැයි JR විසින් සංස්කරණය කර, සම්මත කල ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතයි. වසර 30කට පසුවත්, මෙම තරුණ තරුණියන්ගේ දෙමාපියන් තමන්ගේ දරුවන් සොයන්නේ, උතුරේ දෙමාපියන් තම දරුවන් සොයනවා ලෙසින්මය.
http://www.jvpsrilanka.com/english/about-us/history-of-1965-1994/
https://www.economist.com/node/21541082/comments

3) ශ්‍රි ලංකාව තවමත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර නැත. ඒ අතරතුර, ශ්‍රි ලංකා රජය සියලු මානව හිමිකම් සම්මුතීන් ද පිටුපා, රටේ ඉහල තණතුරු සදහා චෝදනා ලද හමුදා නිළධාරීන්ට ලබා දෙමින්, රට මිලිටරීකරණය කරමින් පවතියි.

4) අනාගතයේ සිදු විය යුතු හා සිදු වන සමාජ විප්ලවයන් හෝ රාජ්‍ය විරෝධි මත, උද්ඝෝෂණයන් හෝ පෙළපාලි සදහා මහ ජනතාව එක් රැස් වු තැන, අද “දේශයේ මුර දේවතා” ලෙස වැදුම් ලබන, තමන්ට “වෙඩි තබනු” ලෙස අණ දුන් කල, එය පිළි පැදිය යුතු හමුදාවේ තුවක්කුව එල්ල වන්නේ තම බැතිමතුන්ට බව මතක් කළ යුතුයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව මාස 18ක කාලයක් නඩු හෝ ඇප නොමැතිව ආරක්ෂක අංශ වලට පුද්ගලයින් රදවා තබා ගත හැක, හමුදාවට “සාමය හා ආරක්ෂාව” වෙනුවෙන් වෙඩි තැබිය හැක. එසේ කරන මිනීමැරුම් නීතියෙන් ආරක්ෂා කර ගත හැකි නීතී රීති ඇත. (www.refworld.org)

ණය බරින් පීඩිත රටේ ජනතාව ජාතිවාදය හා ආගම්වාදයෙන් මුලා කල හැක්කේ කෙටි කාලයකට පමණි. බඩගින්න උග්‍ර වු විට වෛරය යොමු වන්නේ පාලකයා වෙත මිස බඩගින්නේ සිටින තම සගයන් වෙත නොවෙයි. එය ගොඨාභය රාජපක්ෂ ඇතුලු ඔහුගේ උපදේශකයින් නොදන්නවා නොවෙයි. එම නිසා, අප සියලු දෙනා සිංහල, දෙමල, මුස්ලිම් ලෙස බෙදා වෙන් කර ඒ තැබීමෙන් වාසි ලබන පාලකයන් හා ප්‍රභු පැලැන්තිය විසින් අපව එකම මිනි වලක දැමීමට පෙර, සියලු දෙනාගේ මානව හිමිකම් පිළි ගෙන, චූදිතයන්ට දඩුවම් ලබා දී, වින්දිතයන්ට යුක්තිය සහ සහන ලබා දීම හැර වෙනත් විකල්පයක් අප සතුව ඉතිරිව නැත.

ශිෆානා නියාස් | Shifana Niyas