ගෝලිකරණය ට එරෙහිව ලෝකය පුරා මතුව ඇති, මතුව ආ, ප්‍රවණතාවයන්ට විසඳුම ලෙස ජනප්‍රියවාදීන් සහ ජාතිවාදීන්ගේ විසඳුම් ලෙස මතු වූයේ එයට එරෙහිව තනි තනි කොටස් ලෙස වෙන්ව පැවතීම, වෙන්වීම, තනිව පැවතීම, ආපසු තම ජාතික පදනමට යාම, සියල්ල තම සුපරික්ෂාකාරී තත්ත්වය මත පවත්වා ගැනීම ආදි වචන මාලාවකි. එම වචන පද්ධතිය ලොව පුරා ජනප්‍රියවාදීන්ගේ සහ ජාතිවාදීන්ගේ මේ අවධියේ ප්‍රධාන දේශපාලන වචන බවට පත්වි ඇත.

ලෝකය එකට බැඳී ඇති බැමිවලින් එසේ නැත්නම් අද වන විට ලෝකය එකට වෙලී ඇති ක්‍රියාදාමයන්ගෙන් එය මුදවා ජාතික රාජ්‍යයන් ලෙස එකිනෙක පවත්වාගැනීම යන අර්ථය මෙම වචන යන්හි මූලික හරයයි. මෙම ජනප්‍රියවාදී මත ප්‍රචලිත කරන ජාතික තලයේ නායකයින් තම පටු දේශපාලන වාසි වෙනුවෙන් රටෙහි ඇති දේශපාලන ප්‍රශ්න වලට ඇති විසඳුම නැවත තනි ජාතික රාජ්‍ය වෙත ආපසු ගමන් කිරීම බව පුන පුනා පවසති. දැන් කලක සිට මෙම දේශපාලන තලයේ ජනප්‍රියවාදීන් ලෝකය පුරා ප්‍රචලිත කරමින් පවතින වෛරක්කාරී මතයන් තීව්‍ර කරමින්, මෙසේ වෙන් වීමට සහ රටවල් අතර සහයෝගීතාවය ආපසු හැරවීමට අවශ්‍ය බව පවසනු ලබයි. තනි කිරීම ජාතික රාජ්‍යයන් තුල ඇති ප්‍රශ්න වලට විසඳුම බව ඔවුන් පුන පුනා පවසයි. ලෝකය පුරා එකට වෙලී, සියල්ල එකට ඈඳී ඇති ආර්ථික නිශ්පාදන සහ සේවා ක්‍රියාදාමයක් තුල රටවල් තනිකරන පිළිවෙත කල හැකි දෙයක්ද?

අප කැමැති වුවද නැති වුවද ගෝලීය ලෝකය තුළ රටවල් එක යායකට බැඳී අවසානය. ලොව කිසියම් හෝ රටකට තනිව පැවතිය නොහැකි බව පැහැදිලිය. එසේ තනිවූ රටකට තනි විය හැක්කේ ගල් යුගයට යමිනි. නමුත් දියුණු ලෝකයේ කිසිවකු එම ගමනට සූදානම් නැත.

ඉතිහාසයේ සරදමක් ලෙසින් අද වන විට කොරෝනා වෛරසය මෙම වෙන් කිරීම සහ තනි කිරීම වෙනුවෙන් පෙනී සිටී. නමුත් ඒ සමගින් ම එම වෛරසය විසින්ම පෙන්වා දෙන තවත් කාරණයක් වන්නේ ලෝකයේ කිසිවක් තනිය පැවතිය නොහැකි බවත් සියල්ල එකට ඇඳී ඇති බවත්ම නොවන්නේද?

මෙම වෛරසය විසින් ගෝලීය ලෝකය තුළ ආර්ථික සමාජ සබඳතා තනි කිරීම වෙත ඇද දමා ඇත්තේ ලෝක ආර්ථිකයේ නාඩි වැටීම එසේ නැත්නම් එය ක්‍රියාත්මක වන සුපුරුදු ක්‍රියාදාමය තැති ගැන්වීමකට ලක් කරමිනි. මේ වන විට ලෝකය පුරා තිබෙන සංචාරක ව්‍යාපාරය තිගැස්සී ඇති අතර ජාත්‍යන්තර ගුවන් ගමන් සේවාවන් අඩපණ වී තිබේ.

තනිවීම හෝ වෙන් කිරීම පැතිරෙන රෝගයකදී එසේ නැත්නම් වසංගත රෝගයකින් ආරක්ෂාවීමට අවශ්‍ය වේ. නමුත් ඒ සමගම එවැනි වසංගතයකදී එයට ප්‍රතිකාරයන් සහ ප්‍රතිශක්තිකරණ සෙවීමට ලෝකයම එකට සහයෝගයෙන් වැඩ කටයුතු කළයුතු බව ද ඒ තුළින්ම පැහැදිලි කරනු නො ලබන්නේ ද?

පසුගිය අවදියේ දිගු කාලීන ලෝක දේශපාලනයේදී, විශේෂයෙන්ම ගෝලියකරණ අවදියේ දේශපාලනයේදී නොසලකා හැරි කාරණා ගණනාවක් අද අර්බුදයේ මුලික හේතුන් වෙති. ලෝකය එකකට එකක් ඇඳෙන විට එම බැඳීම තුළම හැමතැනකම සමානාත්මතාවය ද එකට වැඩිය යුතුව තිබුණි. ප්‍රාග්ධනයට රටවල්වල දේශ සීමාවන් ඉවත් වන විට, මේ ඉවත් වන ප්‍රදේශවල තිබූ සමාජ වෙනස්කම්ද ඉවත් විය යුතුව තිබුණි. සෑම රටකම සමානව මිනිස් අයිතීන් තහවුරු විය යුතුව තිබුණි. මේවා අවශ්‍ය ආකාරයකට ඒ ප්‍රමාණයකින් සිද්ධ නොවුණි. ප්‍රතිපත්ති, වටිනාකම්, සමාජමය හරයන් ආදිය ද සමාජය තුළ, ජනයා අතර බැඳීමක් ඇති කිරීමට හැකි ආකාරයෙන් සෑම තැනම එක හා සමානව වර්ධනය වීම අත්‍යාවශ්‍ය වුවත් එසේ සිදු නොවීම හේතුවෙන් බෙදීම් තීව්‍ර කිරීමට මෙම අසමාන බව හේතු වී ඇත. එම විවිධ තරාතිරමේ වර්ධනය, බෙදීමට හේතුව වන විට එය ඇති වීමට වැරදිකරුවෙක් සෙවීමේ උවමනාව නිසගයෙන්ම පීඩනයට පත් මිනිසා තුළ ඇති විය. කලක සිටම නව ලිබරල් ප්‍රතිපත්ති නිසා විඩාවට පත්ව සිටී ජනයාට එම නව ලිබරල් ක්‍රියාදාමයන් තුළින් ඉවත්වීමේ උවමනාව තිබිණි.

මේ තත්ත්වය ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නැගීමට ඔහු හේතු කරගන්නේ ගෝලීය වශයෙන් බැඳී ඇති ලෝකය තුළින් අමෙරිකාව වෙන්කරගෙන නැවත ඇමරිකාවේ ආධිපත්‍ය මත ලෝකය පිහිටුවනවා ය යන ජනප්‍රිය කියමන පෙරදැරි කරගෙනය. මේ කාලයේදීම බ්‍රිතාන්‍ය තුළ ද මේ හා සමාන ම නැම්මක් ජනප්‍රියවාදීන් සහ ජාතිවාදීන් ප්‍රචලිත කරනු ලබයි. නව ලිබරල් ප්‍රතිපත්ති තුළින් පීඩාවට පත් එංගලන්ත සමාජයට මෙම පීඩාවට හේතූන් යුරෝපා සංගමය සමඟ එකට වාසය කිරීම බව ජනප්‍රියවාදී, ජාතිවාදී නායකයින් වන නයිජල් ෆරේජ්ලා ප්‍රචලිත කරනු ලබයි. ඇමෙරිකාවටත් එංගලන්තයටත් විශේෂයෙන්ම මේ තත්වය ඇති වන්නේ රොනල්ඩ් රේගන් ගේ අවධියේත්, මාගරට් තැචර්ගේ අවදියේත් මෙම රටවල් දෙකම පූර්ණ වශයෙන්ම නව ලිබරල්වාදයට යටත් කිරීම නිසා ඇති වන දුප්පත්කම සමාජගත කිරීමේ හේතුවෙනි.

නව ලිබරල්වාදයේ ප්‍රතිඵලවලට නැතිනම් එම නව ලිබරල්වාදී දේශපාලන සහ ආර්ථිකය යටපත් කිරීමේ ‍ක්‍රියාදාමයේ හේතුවෙන් උද්ගත වී ඇති ප්‍රශ්න වලට විසඳුම ලෙස ජනප්‍රියවාදීන්, ජාතිවාදීන් ඉදිරිපත් කරන්නේ වෙන්වීම, කොන් කිරීම, සීමා දැමීම සහ සියල්ල මත පාලනය දැමීම වැනි ලාභ විසඳුම්ය. නව ලිබරල්වාදී ආධිපත්‍ය ගෝලීකරණය කිරීමේ ක්‍රියාදාමයට නායකත්වය දුන්නේ රොනල්ඩ් රේගන්ගේ ඇමරිකාව සහ මාග්‍රට් තැචර් යටතේ එංගලන්තයයි. ඔවුන්ගේ නව ලිබරල්වාදී ගෝලිකරණය එදා ලෝකය පුරා ප්‍රචලිත කරනු ලැබුවේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපකාරී කර ගැනීමෙනි. ආර්ථික අභිවෘද්ධිය සඳහා වෙනත් විකල්පයක් නැති ආකාරයෙන් බොහෝ රටවල් එය වැළඳ ගනු ලැබීය. එහි අසාර්ථක භාවය සහ ඒ තුළින් ඇති වූ විශාල ප්‍රශ්න වලට විසඳුම් ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ඇති කරගන්නා සාමූහික විසඳුම් සහ සහනයන් ඇති කරගැනීමේ ක්‍රියාදාමයක් වෙත යොමුවනවා වෙනුවට, තනිව ගමන්කිරීම, වෙන්වීම සහ පරීක්ෂාව අවශ්‍ය බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කරන්නේ නව ලිබරල්වාදයේ ආධිපත්‍ය ඔවුන් තුළම පවත්වාගැනීමට අවශ්‍ය වුවමනාව පෙරදැරි කරගෙනය. නමුත් එදා රේගන්ලා සහ තැචර්ලා අනුගමනය කල අය අද අන්දානුකරනයෙන් ට්‍රම්ප්ලා ජොන්සන්ලා අනුගමනය කිරීම අරඹා ඇත.

ඒ වාගේම අද විවිධ ස්වරූපයන්ගෙන් පෙන්නුම් කරන ලෝක බල අරගලය චීනය සහ ඇමරිකාව අතර ලෝක ආධිපත්‍ය සඳහා පවතින අරගලයකි. එය මහා බලවතුන් අතර අරගලයකි. එළියට පෙන්වීමේදී මිනිස් සංහතියේ දියුණුව, ආරක්ෂාව, භාණ්ඩ බෙදාහැරීම ආදී නොයෙකුත් කාරණා ඉදිරිපත් කළා වුවද මෙහි හැබෑ අර්ථය වන්නේ ‌ලෝක ආධිපත්‍යය පිළිබඳ තරඟයයි.

ලෝකය තුළ මෙතෙක් කරගෙන ගිය දේශපාලන යටපත් කිරීම සහ යුද්ධ හේතු කරගෙන ඇතිවී ඇති අර්බුදයන් වලට විසඳුම් පොදුවේ නොසොයා, තනි තනිව තමන්ගේ වාසිය සඳහා වැඩ කරන තත්ත්වයක් ඇති වූ විට ඉදිරියේ එයම විශාල අර්බුදයක් ලොව තුළ මතු කරනු නොඅනුමානය. උදාහරණයකට ඇෆ්ගනිස්තානය හෝ අරාබිකරයේ පවතින අර්බුදයන් තවත් උත්සන්න වීමට ඉඩ ඇත.

නූතන ජනප්‍රියවාදීන් සහ ජාතිවාදීන්, එසේ නැතිනම් තමන් වෙන්ඩ කැමති පුංචි නැපෝලියන්ලා, තමන්ගේ ජාතිවාදී, වර්ගවාදී, අධිපතිවාදි දේශපාලනය වසා ගැනීමට ඉදිරිපත් කරන ආරක්ෂක වචනය වන්නේ ස්වෛරීභාවයයි. ඇත්තෙන්ම ස්වාධීනත්වය යන අරුත මුල්කරගෙන බිහිව ඇති ස්වෛරිභාවය යන වචනය ඇසෙනවිට එය තුළින් නිදහස්වාදී බවක් පිළිබිඹු කළා වුවද ට්‍රම්ප්ලා ස්වෛරීභාවය ගැන කතා කරන්නේ ඔවුුන්ගේ ආර්ථික සහ දේශපාලන ආධිපත්‍ය සඳහා එය අවශ්‍ය විට පමණකි.

සිරියාවේදී බෂාර් අල් අසාද් ස්වෛරීභාවය ගැන කතා කරන්නේ පුටින්ගේ බෝම්බ යාත්‍රාවන් වලින් ඉඩ්ලීබ් හෝ අලෙප්පෝ වැනි නගර වලට බෝම්බ දමා ගැනීම සාධාරණය කර ගැනීමට අවශ්‍ය වන විටයි. බෝරිස් ජොන්සන් ස්වෛරීභාවය යන වචනය පාවිච්චි කරන්නේ බ්‍රෙක්සිට් සමාජගත කර ගැනීමටයි. ඩුටර්ටේ මත්ද්‍රව්‍ය මර්ධනයේ මුවාවෙන් කරන මිනිස් ඝාතනයන් කරන්නේ ද මෙම ස්වෛරීභාවය යන වචනයට මුවාවෙමිනි. ඒ වාගේම ලංකාවේ රාජපක්ෂ අධිකාරිය ඔවුන් ලංකා රාජ්‍යය තුළ කළ සහ කරන වැරදි පිළිබඳව හෝ, රට තුළ සිදු වූ මිනිස් අයිතීන් උල්ලංඝනය වීම පිළිබඳව හෝ, යුද අපරාධ පිළිබඳව කවුරුන් හෝ කතා කරන විට ඔවුන් ඔවුන්ගේ ස්වෛරීභාවය නැමැති පලිහ පෙරට ගනී. තුර්කියේ ඒර්ඩොගාන් කුර්දිස්තාන් ජනතාවට ඉහලින් බෝම්බ දමන විට, රටේ දස දහස් ගණනින් මිනිසුන් දේශපාලන සිරකරුවන් ලෙස ගන්නා විට ජාත්‍යන්තර වශයෙන් ඒ ගැන කථා කරන සෑම විටකම තමන්ගේ ආරක්ෂක පලිහ ලෙස ගන්නේ ස්වෛරීභාවයයි.

මේ ආකාරයෙන් ලෝකය පුරා තම වාසිය සඳහා සහ තම රටේ ජනයා යටපත් කිරීම සහ අධිකාරී ලෙස පාලනය කිරීම තම වර්ගවාදී වැඩසටහන් වෙත දිනාගැනීම ආදී සෑම කාරණයකදීම කෲර දේශපාලන අධිකාරීන් විසින් ගෙන හැර පාන ආකර්ශණීය ආරක්ෂක පලිහ වන්නේ ස්වෛරීභාවයයි. රාජ්‍ය බලය තම අතට ගත් සියලු අපරාධකරුවන් හා වංචනිකයන් ස්වෛරීභාවය ඔවුන්ගේ ගැලවුම්කරුවා නැතිනම් ආරක්ෂක පලිහ කරගනී.

සවෛරීභාවය යන වචනය අවසානයේ අපරාධකාරී දේශපාලන නායකයින්ට සැඟවීමට ඇති ආරක්ෂක ස්ථානය නරගෙන ඇත.

ලෝකය පුරාම පුංචි නැපෝලියන්ලා ව්‍යවස්ථාවකට අකැමතිය. ඒකාධිපතියන් ට ව්‍යවස්ථාව තමන්මය. තමන්ගේ වචනය ව්‍යවස්ථාව වීම පුංචි නැපෝලියන්ලාගේ සිහිනයයි.

රංජිත් හේනායකආරච්චි | Ranjith Henayaka Arachchi