ImAGE:ceylonwatchdog

”..එක් වරම එක් පුද්ගලයෙක් දුටු මහේශ්වරන් මහ හඩින් විලාප දෙමින් තමන්ට පහර දුන් පුද්ගලයා ඔහු බවට හදුනාගෙන තිබෙනව. ඒ තමයි පළමු විත්තිකරු.”

….ඒ සියලුම මළ සිරුරු ගෙල කපා ඝාතනය කර තිබූ ඒවා. ඔවු ඒ එදා මහේශ්වරන් සමග පැමිණි කුඩා දරුවන් දෙදෙනාද ඇතුලත් නෑදෑ පිරිස.

කොරෝනා වෛරසය නිසා, ලෝකයම තැති ගන්වමින් සිටින මොහොතක ‘ශ්‍රී ලංකාව’ නම් ඉංදියන් සාගරයේ මුතු ඇටය යැයි කියන දූපත තුළ සිදු කරමින් ඇත්තේ හදවතක් ඇති මිනිසුන් විසින් නුහුල්ලන දේවල්ය. ඒ සිදුකරමින් ඇති ඇතැම් දේවල් ‘මේ මොහොතේ’ පෘථිවියේ නම් කිසි කොනක සිදුනොවනවා ඇත. කොරෝනා වෛරසය පැතිරීමත් සමග ඇතැම් රටවල බන්ධනාගාරවල සිටින රැදවියන් ට නිදහස ලබා දෙයි. ඒ නිදහස ලබා දෙන්නේ, බන්ධනාගාරවල තදබදය අඩුකර, වෛරසය පැතිරීමෙන් ඇති විය හැකි අවධානම, මරණ ප්‍රමාණය අවම කර ගැනීම සදහාය. එම නිදහස ලබා දෙන්නේත් සුලු වැරදි සදහා බන්ධනාගාර ගත කර සිටි රැදවියන්ටය. උදාහරණයක් පවසන්නේ නම් ඉරානය යි. ඉරානය විසින් සිය බන්ධනාගාරවල සිටි රැදවියන් 80000කට ආසන්න සංඛ්‍යාවකට ‘තාවකාලික නිදහසක්’ ලබා දුන්නේය. ඒ බන්ධනාගාරවල ඇති තදබදය නිසා, වෛරසය පැතිරුනහොත් එයින් විය හැකි හානිය අවම කර ගැනීම සදහාය. ඒ ඉරානයේ ය.

ලංකාව නම් මුතු ඇටයේ, ජනාධිපතිවරයා විසින්, සිය ජනාධිපති බලතල භාවිතා කරමින්, ජනාධිපති සමාව ලබා දුන්නේ, 5 හැවිරිදි දරුවෙක්, තවත් දෙමළ මිනිසුන් 8 දෙනෙක් පිහිවලින් බෙල්ල කපා ඝාතනය කර, වැසිකිලි වලකට දමා සමූහ ඝාතනය කිරීමේ වරදට මරණ දන්ඩණය හිමි ව, බන්ධනාගාර ගතකර සිටි සාජන් සුනිල් රත්නායක නම් හමුදා සාමාජිකයා ට ය.

යාපනය, මිරිසුවිල් හී දී 5 හැවිරිදි දරුවා ඇතුලු, 8 දෙනෙකු සමූල ඝාතනය කිරීම සම්බන්ධව සාජන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14දෙනෙකුට චෝදනා එල්ල වී තිබිණ. මේ පිළිබදව වෛද්‍ය නිළධාරීන් සී. කදිර්වෙට්ටි පිල්ලෛ ගේ සාක්ෂිය අනුව මේ කරුණුත් අතුලු තවත් විශාල තොරතුරු සංඛ්‍යාවක් අධිකරණයේ දී හෙළි විය. (නඩුවේ තොරතුරු සදහා පිවිසෙන්න)

නඩුවේ ඉතිහාසය කෙටියෙන්

2000 වසරේ 20වන දින, උඩුප්පිඩ්ඩි හී සරණගාත කදවුරක දිවි ගෙවූ යුද්ධයෙන් අනාථ වූ එම දෙමළ මිනිසුන්, මිරුසවිල් ප්‍රදේශයේ පිහිටි තම නිවාස සහ ඉඩම් බැලීම සදහා ගොස් ඇති අතර, මෙ සාහසික ඝාතනය සිදුකර තිබෙන්නේ ඒ අවස්ථාවේදී බව සාක්ෂි සහිතව අධිකරණය හමුවේ ඔප්පු විය. දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරී සී. කාතිර්වේතිපිල්ලේ ගේ පරික්ෂණ සහ නිගමනයන්ට අනුව ඝාතනය කළ අයගේ ගෙල තියුණු ආයුධ වලින් කපා දමා තිබුණු බව නඩු විභාගයේදී හෙළි වූ අතර, ඝාතනය කළ 8දෙනා අතර සිටි, විල්වරාජා ප්‍රසාද් 5 හැවිරිදි දරුවෙක් ය.

මෙම සමූහ ඝාතනය සිදු වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ආණ්ඩුකරන සමයේ ය. කෙසේ නමුත්, ජාතික හා ජාත්‍යන්තර සංවිධාන විසින් දිගින් දිගටම සිදුකරන ලද බලපෑම් හමුවේ, මෙම ඝාතනය පිළිබද පරික්ෂණ සිදුකිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවට සිදු විය. එම බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස, සුනිල් රත්නායක ඇතුලු හමුදා සාමාජිකයන් 14 දෙනෙක්ට එරෙහිව පළමු අවස්ථාවේ දී, යාපනය, චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු විය.

පසුව, ආරක්ෂක හේතූන් මත යැයි පවසින්, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට නඩුව මාරු වූ අතර, ඉන් අනතුරුවත්, නීතිපතිවරයා විසින් අදාල සැකකරුවන්ගේ ජිවිත ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණයක් ඇතැයි සළකා, කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කරනු ලැබූහ. අධිචෝදනා ගොනු කිරීමේන් පසු, අදාල සැකකරුවන් 9 දෙනකුට එරෙහිව, ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම යන කාරණාව සලකා නිදහස් වූ අතර, 5දෙනකුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු විය. ඒ තඅර සුවිශේෂ සිදුවීමක් විය. එය නම්, විනිසුරුවරුන් සිය කැමැත්තෙන්ම අපරාධ ස්ථානය නිරීක්ෂණය කිරීම සදහා මිරුසවිල් ගිය අතර වසර 13ක පමණ දීර්ඝ නඩු විභාගයකින් පසු සාජන් සුනිල් රත්නායක චෝදනා 17කට වරදකරු ලෙස, 2015 ජූනි 23වන දින අධිකරණය විසින් තීන්දු කලේය. ඒත් සමග අනික් චූදිතයන් 4දෙනා සදහා වූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු නොවීම මත නිදහස් කළේය.

පසුව එම මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් වූ අතර, එය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මහාධිකරණය ලබා දුන් නඩු තීන්දුව ඒකමතිකව අනුමත කළේය.

ජනාධිපති සමාව

ගෝඨාබය රාජපක්ෂ දැන් ජනාධිපති සමාව ලබා දී ඇත්තේ එවැනි දිර්ඝ අධිකරණ ක්‍රියාවලියකින් පසුව වැරදි කරුවකු වූ අපරාධකාරයෙක්ටය. දරුවෙක් ඇතුලු තවත් 8දෙනෙක් ගේ ගෙළ කපා, සාහසික ලෙස ඝාතනය කල ඝාතකයෙක්ට, රටක ජනාධිපතිවරයා විසින්, ජනාධිපති සමාව ලබා දීම ශිෂ්ඨ ලෝකය කෙසේ තේරුම් ගනීවිද? ශිෂ්ඨ ලෝකය කුමක් සිතාවිද? යන්න ගෝඨාබය රාජපක්ෂට අවශ්‍ය නොවන සේයකි. එය ඇත්තය. ගෝඨාබය රාජපක්ෂ නම් ජනාධිපතිවරයා හිටපු හමුදා නිළධාරියෙක්ය. ඔහු ජනාධිපති වුවත්, අධිකරණය කුමක් කීවත් පරණ වහල, ඒ වහල යට හිටි කිසිවෙක් අමතක කල යුතු නොවේ. ඔවුන් අපරාධකරුවන්ද? මංකොල්ලකරුවන්ද? කප්පම් සදහා දරුවන් පැහැර ගත්තවූවන්ද අදාල වන්නේ නැත. ඔවුන් ඔහුගේ සාමාජිකයන්ය. ඒ නිසා ඔහු එය දැන් ඔප්පු කර අවසන්ය. මේ පළමු ඔප්පු කිරීම විය හැකිය.

නමුත් අපි තේරුම් ගත යුතු තවත් පැත්තක් තිබේ. එනම් ජාත්‍යන්තර ප්‍රජාවේ පවා වඩා අවදානයට ලක්වූ මේ ඝාතනය සහ ඝාතනයට අදාළ නඩු ක්‍රියාවලිය සම්බන්ධයෙන් වූ ප්‍රධාන අපරාධකරුට මේ අවස්ථාවේ, එනම් වසංගත තත්ත්වයක් පවතීද්දී, ජනාධිපති විසින් සිය බලතල උපයෝගී කරගනිමින් සමාව ලබා දීමයි.
එය කියවා ගැනීමට ඉතා වැදගත් මොහොතකි. ගෝඨාබයට අවශ්‍ය වූයේ නැවතත් යුද හමුදාව, නැත්නම් රණවිරුවන්(අපරාධකරුවන් වුවත්) සමාජය තුළ වඩා උත්කර්ෂයට නැගි මොහොතක්ය. දැන් කොරෝනා වසංගතයට හමුදාව ඉදිරියෙන්ම තබා ඇත. ජනතාව හමුදාව සම්බන්ධයෙන් ගුණ වයති. බණ දෙසති. පිං දෙති. තවත් ආකාරයකට කිවහොත් හමුදාව වන්දනීය ස්ථානයකට ඔසවා තබා ඇති මොහොතකි. ඒ මොහොත එැවැනි අපරාධකරුවෙක් නිදහස් කිරීමට සුදුසුම මොහොත යැයි ගෝඨාබය නම් ජනාධිපතිවරයා සිතන්නට ඇත. එපමණක් නොව සියලු ජනයා ගෙවල් තුළය. කොරෝනා රටම වෙලා ගනිමින් තිබේ. එම නිසා හමුදා සෙබලෙක් විසින් 5හැවිරිදි දරුවෙක් ඇතුලු 8දෙන්ක්ගේ බෙල්ල කපා ඝාතනය කළ රණවිරු අපරාධකාරයෙක් කිසිදු විරෝධතාවයක් නැතිව නිදහස් කරන්නට මේ හොදම වෙලාව යැයි රාජපක්ෂ ඇතුලු පාලකයන් සිතුවේය. සිතුවා පමණක් නොව එය සිදු කළේය. නමුත් අප කල්පනා කල යුතු එක් දෙයක් ඇත. එනම් මිනිසෙක් ගේ හෘද සාක්ෂියයි. නමුත් බොහෝ මිනිසුන්ගේ හෘද සාක්ෂිය යුද්ධය විසින් කුඩුපට්ටම් කර ඇති මොහොතක, තවත් ඉතිරි වී ඇති දෙයක් නැතැයි මේ සිදුවීමෙන්ම ඔප්පු වී හමාරය. හදවත් නැති පාලකයින් කිසි දා මිනිසුන් ගැන සිතන්නේ නැති බව ලෝකයේ ඕනෑ තරම් උදාහරණ ඇත. ඒ උදාහරණ ගොන්නට ලංකාවේ පාලකයින්ද ඕනවටත් වඩා එකතු කිරීම් කර තිබේ. දරුවන්ගේ ගෙල කපා ඝාතනයන් සිදුකල අයට ජනාධිපති සමාව දීමත් අද දවසේ සිට ඒ නරුම අපරාධ ලැයිස්තුවට එකතු වනවා ඇත. ඉතින් දැන් අපි ආයෙත් කොරෝනා ගැන වද වෙමු! අපි ජීවිත් වෙමු. නමුත්, අපි ජීවත් වන විට, සුනිල් රත්නායක විසින් ගෙල කපා ඝාතනය කල, විල්වරාජා ප්‍රසාද් 5 හැවිරිදි දරුවා පිළිබද ඔබට අමතක කළ හැකි වුවත්, හෘද සාක්ෂියක් ඇත්නම් සෑම විටම ඔබට මට එය වද දෙනවා ඇත.

ඉනෝක ජීවන් විසින්, 2015 ජූනි 27, එනම් නඩු තීන්දුවෙන් දින 4කට පසු, මෙම ම්ලේච්ඡ ඝාතනය ගැන ‘විකල්ප’ වෙබ් අඩවියට මෙසේ ලීවේය.

කතානායකයා මහේශ්වරන්. භාෂාව දෙමළ. යාපනයට කිලෝමීටර් 16ක් පමණ දුරකින් පැවති මිරුසවිල් නම් ප්‍රදේශය කාලයකට ඉහත එය කොටි සංවිධානයේ පාලනයට නතු වෙලා තිබ්බ ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ පදිංචිව ඉදපු මිනිස්සු ආරක්ෂාව පතා රජයේ පාලන ප්‍රදේශ වලට ඇවිත් තිබෙනවා.

2000 වසර වන විට මිරුසවිල් ප්‍රදේශය LTTEයෙන් මුදවගෙන රජයේ හමුදා විසින් පාලනය කරන තත්වෙක තමයි තිබුනෙ. කලින් මිරුසවිල් ප්‍රදේශයේ පදිංචි කරුවන් විදිහට ඉදපු මිනිසුන් වරින් වර තමන් ඉදපු ඉඩම් වලට ගොස් තම තමන්ගේ භව භෝග ආදිය රැගෙන නැවතත් තමන් වර්තමානයේ පදිංචි ප්‍රදේශවලට එන එක පුරුද්දක්ව තිබුනා. ඒ ප්‍රදේශය පදිංචිය අත්හැරි පෙදෙසක් නිසා තරමක වන ගහනයකින් යුක්තව තමයි ඒ වනවිට මිරුසවිල් ප්‍රදේශය තියෙන්නෙ.

ඔන්න දැනුයි කතානායකය කතාවට එන්නෙ. 2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා මහේශ්වරනුත් ඔහුගේ නෑදෑ පිරිසකුත්, එක් නෑදෑ සොහොයුරකුගේ දරුවන් දෙදෙනා වන වයස අවුරුදු 5 සහ අවුරුදු 13 වන අයත් සමගින් පුද්ගලයින් 9 දෙනෙකුන් යුත් කණ්ඩායමක් මිරුසවිල් ප්‍රදේශය කරා බයිසිකල් වල නැගී පිටත් වූයේ තමන්ගේ ඉඩමේ ඇති භව භෝග රැගෙන ඒමේ හා ඉඩමට සාත්තු සප්පායම් කිරීමේ අරමුනෙන්. කලින් සදහන් කල කුඩා දරුවන් දෙදෙනාද දෛවෝපගත ලෙසම තම පියා සමගින් එම ගමනට එක්ව තිබුනා. දිවා කාලයේ තම ඉඩමට පැමිණ තම කාර්යන්හි නියතව ගෙදර යෑමට සූදානම් වූ අවස්ථාවේ යුද හමුදා ඇදුම් වලට සමාන ඇදුම් වලින් සැරසුනු පිරිසක් පැමිණ ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් අනතුරුව එම පිරිසේ සිටි 9 දෙනාගේම දෑස් බැද දමමින් ඔවුන් යම් දිශාවකට රැගෙන ගොස් වැටකින් එහා පැත්තට ඔවුන් ඔසවා විසි කර තිබෙනවා. ඒ අවස්ථාවේදී මහේශ්වරන්ගෙ ඇස් බැද තිබුනු රෙදිකඩ එහා මෙහා වෙලා මහේශ්වරන්ට අවට පෙනෙන්න අරගෙන තියෙනව. ටික වෙලාවකින් යුදහමුදා ඇදුමට සමාන ඇදුමකින් සැරසී සිටි පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මහේශ්වරන් අසල තිබුනු වැසිකිලි වලක් ලගට රැගෙන ගිහින්. එතන ආයුද සන්නද්ද තවත් හමුදා ඇදුමට සමාන ඇදුම් ඇදගත් පුද්ගලයෙක් ඉදල. වැසිකිලි වල තුල මිනිසුන් කෑගසන දගලන ශබ්දයෙනුත් අවට තම නෑ පිරිස නැති බව දැනීමෙන් බියපත් වුනු මහේශ්වරන් තම ගමේ තමන්ට ඇති හුරුපුරුදුව කියාපාමින් හමුදා සෙබලුන්ගෙන් මිදිල කැලයට පැන පණ බේරගෙන තියෙනව.
පහුවෙනිද වෙනකම් කැලයේ කල අසීරු ගමනින් පස්සෙ තමන් එවකට පදිංචි නිවසට එන මහේශ්වරන් තම පියා දැනුවත් කරල රෝහල් ගත වෙනව. ඉන් දවස් දෙක තුනකට පස්සෙ ඊපීඩීපී සංවිධානයට දැනුම් දීල ඔවුන්ගෙ මාර්ගෙන් මානව හිමිකම් සංවිධානවලටත්, යුද හමුදාපතිවරයාටත් දැනුම් දෙනව. ඒ අනුව ක්‍රියාත්මක වුනු යුද හමුදාපති වරයා පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න නියෝග දෙමින් යුද හමුදා පොලීසියටත් පරීක්ෂණ කරන්න බාර දෙනව.

යුදහමුදා පොලීසිය මහේශ්වරන්ගෙන් ප්‍රශ්න කරන්න ආවට, ඒ ඇදුමටත් බය වුනු මහේශ්වරන් පසුව කෙමෙන් කෙමෙන් යුද හමුදා පොලීසියට හුරු වෙලා තියෙනව. ඉන් අනතුරුව යුදහමුදා පොලීසිය විසින් මහේශ්වරන් ඔය සිදුවීම සිදු වුනු ස්ථානයට එක්කරගෙන ගිහින් තියෙනව. ඒ සිදුවීමෙන් දින 7කට 8කට විතර පස්සෙ. එම ස්ථානයට යන විට සිදුවිම සිදුවූ වැසිකිලි වල මත රුධිරය දක්නට ලැබිල. ඒත් එක්කම ඒ අවට එලුවෙකුගේ මාංශ කොටස් එලුවෙකුගෙ හම් කැබලි මෙන්ම එලුවෙක් ඇල්ලීමට යොදාගන්නා ලදැයි සැක කල හැකි මංදක් දකින්නත් ලැබිල. නමුත් සැකය අත් නොහල යුද හමුදා පොලීසිය විසින් වැසිකිලි වල තුල යම් කිසි හෝඩුවාවක් තිබෙ දැයි විපරම් කරල. ඒත් වැසිකිලි වල තුල කිසිම මළ සිරුරක් දක්නට ලැබිල නෑ. යුදහමුදා පොලිස් නිලධාරීන් එතනින් ඉවත් වෙන්න යන අවස්ථාවෙදී ඒ ආසන්නයේ ගැවසුනු හමුදා අනුකණ්ඩයක් දැකල ඔවුන්ව ලගට ගෙන්නගෙන. එක් වරම එක් පුද්ගලයෙක් දුටු මහේශ්වරන් මහ හඩින් විලාප දෙමින් තමන්ට පහර දුන් පුද්ගලයා ඔහු බවට හදුනාගෙන තිබෙනව. ඒ තමයි පළමු විත්තිකරු. මේ දිනවල බයියන්ගේ ජාතික වීරයා සාජන්ට් සුනිල් රත්නායක.

ඉන් පසුව ක්‍රියාත්මක වුනු යුද හමුදා පොලීසිය සාජන්ට් සුනිල් රත්නායකගෙන් ඒ සම්බන්ධව ප්‍රශ්න කරල. ඔහු හෙළිකල කරුණු අනුව සහ ඔහුගේ මගපෙන්වීම අනුව කැලයේ යම් තැනක් සොයාගෙන එය පස්වලින් යමක් වසා දැමූ සලකුනු පෙන්වල. එතැන මළ සිරුරු ඇතැයි සැක කල යුද හමුදා පොලීසිය විසින් ශ්‍රී ලංකා පොලීසිය හා මහේශ්ත්‍රාත්වරයා හා අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා පැමිණ එම ස්ථානයෙන් මල සිරුරු 8ක් ගොඩට ගෙන තිබෙනවා. ඒ සියලුම මළ සිරුරු ගෙල කපා ඝාතනය කර තිබූ ඒවා. ඔවු ඒ එදා මහේශ්වරන් සමග පැමිණි කුඩා දරුවන් දෙදෙනාද ඇතුලත් නෑදෑ පිරිස.

තව දුරටත් සුනිල් රත්නායකගෙන් කල ප්‍රශ්න කිරීම් මගින්, කපිතාන් රාජසිංහ, වෙදකාරගෙදර සේනක මුනසිංහ, යුද හමුදා බලයලත් නිළදාරී ගාමිණි මුනසිංහ, සැරයන් වරුන් වන හෙරත් මුදුයන්සේලාගේ ජයරත්න හා සුබසිංහ ආරච්චිලාගෙ පුශ්ප සමන් කුමාර යන අයවත් සැක කරුවන් ලෙස නම් කරමින් අධිකරණය ඉදිරියෙහි චෝදනා ගොනු කරමින් නඩු පවරනව. අර කලින් කියපු වැසිකිලි වල උඩ තිබුනු ලේ එලුවෙක්ගෙ නොවෙයි මිනිස් ලේ කියල රජයේ රස පරීක්ෂක වරයට හෙළිවෙනව. සැකකරුවන්ගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේ වෙනත් වැසිකිලි වලක තිබිල මහෙශ්වරන්ගෙ පිරිස ආපු බයිසිකල් හමුවෙනව. වසර 15ක් පමණ කල් ගතවුනු අධිකරන ක්‍රියාවලිය අවසානයේ දී එනම් පසුගිය ජුනි 25 අධිකරණය විසින් පළමු විත්තිකරුව වැරදිකරු කරමින්ද, අනෙක් විත්තිකරුවන්ට එරෙහි ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා සැකයේ වාසිය ඔවුන්ට දෙමින් ඔවුන් නිවැරදි කරුවන් කරමින් තීන්දුව ලබා දෙනව.

ඔන්න ඔය සිදුවීම තමයි රන විරුවන් පෝරකයට නග්ගනව කියල, සුනිල් බෙරාගනිමු! සමූපූර්ණ ලිපිය කියවන්න https://www.vikalpa.org/?p=24235

පසු සටහන