iMage:telegraph.co.uk

මෙරට දැන් ක‍්‍රියාත්මක වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප‍්‍රකාර ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට මෙරට කවර හෝ අධිකරණයක දී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවෙකුට සමාව ලබාදීමට හැකිය. සංවිධිත රාජ්‍යක යම් චෝදනාවක් ලක් වූ විධිමත් අධිකරණ පරික්ෂාවකින් පසු වරදකරු කොට සමාජ පිටමංකරණය කිරීමේත් ඔහු හෝ ඇය නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස නැවත් සමාජගත කිරීමේ ව්‍යවස්ථාපිත බලයත් යන දෙකම ලැබෙන්නේ එරට අධිකරණයටය.

එහෙත් ජනාධිපතිවරයා ලෙස පත්වන පුද්ගලයා පුද්ගලයාට සම්මත අධිකරණ ක‍්‍රියාවලියක් මගින් දණ්ඩනයට ලක් කරන ලද පුද්ගලයෙකු එම දණ්ඩනයෙන් මුක්ත කිරීමේ (දණ්ඩමුක්තිය බලය) භුක්ති විදීමේ සමස්ත අධිකරණ ක‍්‍රියාවලියම නොවැදගත් තැනකට වැටේ. එය අධිකරණයේ ස්වාධීත්වයට සිදුකරන බලපෑමකි. අනෙක් අතට, ජනාධිපතිවරයෙකු අන්‍යාකාරයකින් අධිකරණයක් දුන් තීරණයකට මැදිහත් වීම යනු එම රාජ්‍යයේ නීතිය මත පාලනය නීතියේ ආධිපත්‍යට බරපතල ලෙස හානිකිරීමකි. දණ්ඩමුක්තිය රාජ්‍යත්වයට ඈදීම ඇමරිකන් නව පනප‍්‍රියවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ සිදුවූවකි. එහිදී ජනාධිපතිවාදය රාජ්‍යත්වයට දෙසට රූපාන්තරණය වී ඇති රාජ්‍යක් ලෙස මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවාදයටත් නීතියේ ආධිපත්‍යයටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත් දණඩ මුක්තිය බලපෑම් කරමින් සිටී.

මෙම පදනම මත 2020.03.26 දින මෙරට වත්මන් ජනපති ගෝඨාහය රාජපක්ෂ, හිටපු හමුදා නිළධාරි සුනිල් රත්නායක නැමැත්තාට ජනාධිපති සමාව ප‍්‍රදානය කර තිබේ.සු නිල් රත්නායක වරදකරු වූයේ 2000 දෙසැම්බර් 20 වැනි දින මිරුසවිල්හි නිරායුධ සිවිල් වැසියන් 8 දෙනෙකු චේතාන්විතව ඝාතනය කිරීමටය. ඔහු ඉදිරිපත් කළ අභියාචනය සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය 2019 අපේ‍්‍රල් 23 වැනි දින මීට පෙර ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඔහුට එරෙහිව ලබා දී තිබූ තීන්දුව ස්ථිර කළේය.*(1)(2)

මෙම කෙටි ලිපියෙන් නඩු තීන්දුව හෝ ඊටම සුවිශේෂී සිද්ධිමය කරුණු විශ්ලේෂණාත්මකව විග‍්‍රහ නොකෙරෙන අතර ජනාධිපති සමාව වටා ගොඩනැගෙන දණ්ඩමුක්ති සංස්කෘතියේ (Culture of Impunity) ප‍්‍රතිමාන, ඇගවිම් හා ඊට තදානුබද්ධව බලපෑම් කර ඇති සමාජ චින්තනයේ දෘෂ්ටිවාදාත්මක පැතිකඩ නිරාවණය කෙරේ.

ජනාධිපති සමාව යනු යම් පුද්ගලයෙකු වරදකරුවෙකු කළ සමස්ත අධිකරණ ක‍්‍රියාවලියම නැවත ප‍්‍රතික්ෂේප කිරීමකි. මෙහිදී එකී වරදකරුවාගේ වරදකාරී ක‍්‍රියාකාරීත්වය නිසා අගතියට පත් වින්දිතයන්ට අධිකරණ මාර්ගයෙන් ලැබෙන සහනය ද ඉවතට යයි. එමනිසා ජනාධිපති සමාව ලබාදෙන්නේ ඒ වටා බැදුණු සමාන්‍ය පොදුජන චින්තනය හොදින් තේරුම් ගෙන ජනාධිපතිවරයාගේ ක‍්‍රියාව සමාජීය, ආගමික හෝ මිලිටරිමය තර්ක මගින් සාධාරණිකරණය කළ හැකි පසුබිමකය. මේ කතුවරයා තේරුම්ගන්න ආකාරයට නම් ජනාධිපතිවරයා, සුනිල් රත්නායකට ජනාධිපති සමාව ප‍්‍රදානය කර තිබෙන්නේ ඒ සදහා සුදුසුම මොහොතකය. ඒ තමාගේ ක‍්‍රියාව තර්ක මාදිලියෙන් ලෙහෙසියෙන්ම සාධාරණිකරණය කරගත හැකි තරමට සමාජීය තත්වයට එකිනෙක ගැළපුණු සුවිශේෂී දේශපාලනික මොහොතකය. එය සාමාන්‍ය සිංහල-බෞද්ධ බහුතර චින්තනය මේ මොහොතේ ක‍්‍රියාකරන ආකාරය සූක්ෂ්ම ලෙස සොයාබලා ගත් සූක්ෂ්ම තීරණයකි.

මෙරට “ජනාධිපති සමාව පිළිබද ඉතිහාසය” දෙස විමසිල්ලෙන් බැලීමේදී පැහැදිළිව පෙනෙන එක් කරුණක් වන්නේ ජනාධිපතිවරු මෙම නීතිය ක‍්‍රියාත්මක කර තිබෙන්නේ තම ධුරකාලය තුළ යම්තාක් දුරකට ශක්තිමත් වීමෙන් අනතුරුව බවයි. එසේත් නැතිනම් ධුර කාලය අග්ගිස්සේ සිටිය දී බවයි. එයින් ද මරණ දවුවමින් දඩුවම් කර ඇති අපරාධමය ඉතිහාසයක් ඇති අපරාධකරුවකුට ජනාධිපති සමාව ලබාදෙන්නේ නිශ්චිතවම ජනාධිපතිවරයාගේ ධුරකාලයේ අවසන් අවධියේය. උදාහරණ ලෙස මහින්ද රාජපක්ෂ මුල්වරට ජනාධිපති සමාව ලබාදෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරගත වූ ඔහුගේ දේශපාලන සගයෙකු වන එස්.බී. දිසානායක මංත‍්‍රීවරයාටය. මහින්ද රාජපක්ෂ මුල්වරට මෙම නීතියෙන් මරණිය දඩුවම් ලබා තිබූ අපරාධකාරියකට සමාව ලබාදෙන්නේ 2009 වසරේදීය. එනම් ඔහුගේ ධූර කාලයෙන් වසර 4ක් ගෙවී යාමෙන් අනතුරුවය.

2019 මැයි 23 මෛත‍්‍රීපාල සිරිසේන මුල්වරට මෙම නීතිය යටතේ ජනාධිපති සමාව ලබාදෙන්නේ ගලබොඩ අත්තේ ඥානසාර හිමිටය. මෛත‍්‍රීපාල සුප‍්‍රකට රෝයල් පාර්ක් මරණකරුට ජනාධිපති සමාව ලබාදෙන්නෙ ඔහුගේ ධුර කාලයේ අවසන් මාසයේදීය. කතුවරයා මෙම කාල රාමු ගෙනහැර දක්වන්නේ සුවිශේෂී අනන්‍ය කාරණා ගොඩනැගීමකින් තොරව මෙරට බලයට පත් ජනාධිපතිවරු මෙම නීතිය ක‍්‍රියාත්මක කිරීමෙන් ජන අප‍්‍රසාදයට පත්වේ ය යන අවිනිශ්චිත හැගීමකින් ක‍්‍රියාකරන බව දැක්වීමටයි. එය මෙම නීතියට බලපා තිබෙන මනෝමූලික සාධකයයි.

එහෙත් මෙම මනෝමය සාධකය වත්මන් ජනාධිපතිවටයාට බලපාන්නේ අනෙක් ආකාරයට ය. ගෝඨාභය රාජපක්ෂ සිය ධුර කාලයෙන් මාස පහක් ගෙවෙන තැන මෙම නීතිය ක‍්‍රියාත්මක කරන අතර ධුර කාලයක් තුළ ඉතා ඉක්මණින්ම මෙම නීතියෙන් මරණිය දණඩනයෙන් දඩුවම් ලැබූ අපරාධකරුවෙකු නිදහස් කළ ජනපතිවරයා වශයෙන් ඉතිහාසගත වේ. ගෝඨාභය රාජපක්ෂ මහජන ඡන්දයෙන් බලයට පත් වී මේ ගෙවෙන්නෙ 5 වැනි මාසය යි. මේ තරම් කෙටි කලක් තුළ මෙම නීතිය ක‍්‍රියාත්මක කිරීමට ධූර කාලය තුළ තමා ඉතා ශක්තිමත් තැනකට පැමිණ තිබේ යන සෘජු හා අජටිල හැගීමක් ඔහු වටා ක්‍රියාකල යුතුය.

ජනාධිපතිවරයා මෙම නීතිය ක‍්‍රියාත්මක කරන්නේ ඊට හොදම මොහොතක බව කතුවරයා ඉහතින් දක්වයි. එය එක්තරා ආකාරයකින් කුහක තර්කණයකි. අපගේ සමාන්‍ය සමාජ විද්‍යාත්මක දැනුමට ගෝචරවන ආකාරයට අප මේ ගෙවමින් සිටින්නේ මිලිටරි ආධිපත්‍ය පොදු සමාජ අවකාශය පුරා වේගයෙන් සාමාන්‍යකරණය වන අවධානම් සහගත කාල පරාසයක ය. එහෙත් මෙරට බහුතර ජනතාව එම කලාන්තර අවධානම ම සිය සාමූහික සමාජ ජීවිතය පවත්වාගෙන යාමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සළකමින් සිටී. විශේෂයෙන්ම ගෝලීය කොරෝනාකරණ අභියෝගයට ලංකාවේ වැඩි හෝ සක‍්‍රීය දායකත්ව ලබාදෙමින් සිටින්නේ (සෞඛ්‍ය අංශවලට පසුව හෝ ඒ හා සමානවම) මෙරට මිලිටරි සංස්ථාපිතයයි.

මෙරට ඉදිරියට පැන නැගෙන බෝහෝ ප‍්‍රශ්න විසදීමට සිදුවන්නේ මිලිටරි සංස්ථාපිත යෝජනා කරන ආකාරයට ඔවුන්ගේ මාවත ඔස්සේය. ඒ සදහා දිගුකාලීනව භාවිත කළ හැකි ජනප‍්‍රිය තර්කණයක් ඔවුන් සතුව තිබේ. එනම් “යුද්ධය ජයගත් ආකාරයට බෝහෝ ප‍්‍රශ්න විසදීමට හැකිය.” යන නොමග යවනසුලු වාගාලංකාරියය. ඒ තර්කය පණ ගැන්වීමට අවශ්‍ය ජනාධිපතිවරයෙක් ද ආණ්ඩුවක් ද ඔවුන් සොයාගෙන තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේ සමස්ත ජයග‍්‍රහණය සිංහල බෞද්ධ අධිපතිවාදයේ තනි ඒකාධිකාරයට යටත් විය. ජනාධිපතිවරයා තමන් ජනපති වූ විගස රණවිරු දඩයමට ලක් වූවා යැයි කියන, සියලූ රණවිරුවන් නිදහස් කරන බවට සඵත කළේය. එහෙත් එය හුදු ජන ආකර්ෂණ කියමනක් මිස ප‍්‍රායෝගික සත්‍යයක් බවට පත් කරගත නොහැකි බව ජනාධිපතිවරයා දනී. එහෙත් එය ප‍්‍රායෝගික සත්‍යයක් බවට පත්කරගත හැකි නොවූව ද ඒ සදහා ජනාධිපතිවරයාට ඇති වුවමනාව මුලුමනින්ම අවසන් වූ බව ඉන් නොකියවේ.

ඒ සදහා ඔහුට අවශ්‍ය වූයේ පොදු මහජන අවකාශයත් මිලිටරි සංස්ථාපිතයත් එකිනෙකට යා කළ හැකි පාලමකි. ඒ පාලම නිර්මාණය කිරීමට ජනපතිවරයා රජයේ බොහෝ ඉහළ තනතුරු මිලිටරි පදමක් ඇති නිළධාරීන්ට භාර කළේය. එසේම සෑම අර්බූදකාරී අවස්ථාවක්ම සමනය කිරීමේ ආයතනික බලය ද මිලිටරියටම භාර දෙනු ඇත. එමගින් උපයාගන්නා සංකේත සමාජ ගරුත්වය මගින් දඩයමට ලක්වූ රණවිරුවන් (ඔවුන්ගේ වචනවලින්) නිදහස් කරගැනීම ඔහුගේ බලාපොරොත්තුව වේ.

ධ‍්‍රැවීයකරණය වූ සිංහල-බෞද්ධ ජන පදනමක් ඇති ජනාධිපතිවරයාට මිලිටරි සංස්ථාපිතය තවදුරටත් වසග කරගැනීම අතිශය අවශ්‍යය. පාලකයා සැමවිටම මිලිටරි කවචයන් වසඟ කරගන්නෙ තමා බලාපොරොත්තු වන වෙස්වලාගත් පාලනක් (එය බොහෝවිට ඒකාධිතිපතියාධීකාරී පාලනයක් වනු ඇත.) දක්වා සාමාන්‍ය ජන සමාජය දක්කාගෙන යාමට ය. සුනිල් රත්නායකට ලැබෙන නිදහස අප තේරුම්ගත යුත්තේ මෙම ගැඹුරු පදනමේ සිටය.

*(1)(2) https://www.usnews.com/news/the-report/articles/2018-06-08/the-most-prominent-presidential-pardons-in-history
https://www.lawyerservices.in/Rathnayake-Mudiyanselage-Sunil-Ratnayake-Versus-Hon-Attorney-General-Attorney- Generals-Department-Colombo-2019-0425?fbclid=IwAR3laASHxBSRHM3IKiAcPPdXSopzYzV6KA3sd43yT8-pDa_kLWZxmNt8_M4

ධනුෂ්ක සිල්වා | Dhanushka Silva