iMage: indiatimes

අබ වපුරා තල බලාපොරොත්තු වන සාමාජයක ජීවත් වන මා පමණක්, මුං වපුරා මුං නෙලා ගැනීමට උත්සාහ කලා යැයි කීම උගහටය. එසේ වූවා නම් මා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්මන්තකයෙකි. නමුත් මා එය සාධාරණිකරණය නොකරමි. දශක ගණනක් තිස්සේ අනෙකාගේ ජීවිතය උදුරා ගැනීමෙන් පමණක් යුද්ධයක ජයග‍්‍රහණය සනිටුහන් වන බව මට ඒත්තු ගැන්වූ මගේ සමාජය, අනෙකාගේ දිවිය ගලවා ගැනීමෙන් ද ‘යුද්ධයක්’ ජයග‍්‍රහණය කලහැකි බව තේරුම් ගනිමින් සිටී.

පරම්පරා ගණනාවක් තිස්සේ බොරුව හා වංචාව ප‍්‍රායෝගිකව පුහුණු කල මා ඇතුලු මාගේ සමාජයට තම දෑත් සේදීම හෝ අවංකව සිදු කල හැකි දැයි මා කල්පනා කරමි. අනෙකාගේ මළ සිරුර උඩ හෝ තම සිහින නිවාසය තනා ගන්නා මිනිසුන්ගෙන් පිරුණු සමාජයක අනෙකාගේ ජිවිතය වෙනුවෙන් “නිරෝධායනය පුරුදු නැති වීම” අතිශෝක්තියක් නොවේ.

දශක ගණනාවක් තිස්සේ බසයේ, කෝච්චියේ අනෙකාගේ දහඩිය ගදින් නාසය හකුලුවා ගනිමින් මගේ තැම්බුණු දහඩිය දුගද අනෙකුන්ට බෙදා හරිමින් යෑම විසදීම සුඛෝපභෝගී ජීවිත ගෙවන දේශපාලකයාට තවම නොතේරුණ බව කොරෝනා නැවත නැවතත් අපට මතක් කරමින් සිටී. උදේ සිට රෑ වන තුරු දශක ගණනාවක් තිස්සේ, නිරුවතින් තම හිතෛශී දේශපාලකයා වෙනුවෙන් පම්පෝරි අටුවාටීකා ටිප්පනි තුළින් පැටිකිරිය දිගහරින රටවැසියාගේ මොළ ඔවුන්ට අවශ්‍ය ලෙසින් සේදීමට රූපවාහිනී නාලිකාවන් තම ‘දෙඅත් සෝදා නොගෙන’ රට වැසියාට ඔවුන්ගේ ‘දෙඅත් සෝදා ගැනීමට ඉගැන්වීම’ ද කොරෝනා අපට පෙන්වමින් ඇති තිත්ත යථාර්ථයකි. අහෝ කොරෝනා!! මගේ දේශපාලකයන්ට ඔවුන්ගේ අත් වල ඇති තවමත් වේලී නැති මගේ රටවැසියාගේ ඝණකම් ලේ සෝදා ගැනීමට ද උදව් වන්න.

ඉදින් මා ද මා වැපුරූ මුං, අබ මෙන්ම තල ද තනිවම නෙළා ගනිමින් සිටිමි.

කොරෝනා, වසර ගණනාවකට පසු නිදහසේ පොතක් තෝරා කියවීමට මගේ කාලය සොයා දුන් ඔබට ස්තූතියි. බොහෝ් කාලයක් තිස්සේ මග හැරුණු මගේ ප‍්‍රියතම චිත‍්‍රපටය, නාට්‍යය බැලීමට කාලය සොයා දුන් ඔබට ස්තූතියි. මගේ ආදරණීයයන්ගේ භාෂාවෙන් ඔවුන්ට මා සමග ආදරණීය මොහොතක් ගත කිරීමට කල්ප කාලයක් බලා සිටිය යුතුව ඇත. ඒ කල්ප කාලය නිමා කර දුන්නේද, මාගේ ආදරණීයයන්ගේ අහිංසක ආශාවන්, අහිංසක ප‍්‍රාර්ථනා විටෙක විහිළුවක් වූ මට ඒවායේ ඇති ගැඹූුරු සදාතනික බව පහදා දුන්නේද මේ කාලයයි.

හැල්මේ දුවන ගමනේ මොහොතක හෝ විරාමයක් ලබා දුන්නේද, මහා ඝෝෂාවන් වලින් පිරී ඉතිරී තිබුණු මාගේ සවනට නිහඩ බවේ මිහිර විද ගැනීමට සැලැස් වූවේද, මේ කාලයයි. සමහර වෙලාවට වේගයෙන් දුවපු ලෝකයට මදක් නැවතී බලන්න ආපසු බලන්න, මොකද වෙලා තියෙන් කියලා බලන්න, මොනවද අපි නෙලාගන තියෙන්නෙ කියලා බලන්න, තව කොච්චර දුරක් මේ වේගෙන්ම යන්න පුලුවන්ද කියලා මැන බලන්න, ඒ සදහා මේ කාලයයි. අඩුම තරමින් ඒවා මුකුත් නොකලත් මුකුත් නොකර ගෙදර ඉන්න. ඒ මේ කාලයයි. මේ කාලය අපට කියා දෙමින් ඇති සොබාදහමේ ලොකුම පාඩම එයයි. අප එය දැන්වත් ඉගෙන ගත යුතුම වන්නේ ඒ නිසයි. ඒ මානව සංහතියේම අනාගතය තීරණය කරන බැවිනි.

ඒ විතරක් නෙමෙයි. නොපෙනෙන දෙවියන් හා නොතේරෙන බෙදීම් වලින් වැහුණු සමාජය ‘මනුෂ්‍යත්වය‘ ඉදිරියේ නිරුවත් කළේ ද අපට පියවි ඇසට පවා නොපෙනෙ කොරෝනායි. පියවි ඇසට නොපෙනන දෙයක් විසින් සියවස් ගණනාවක් නොපෙනන දෙවියන් ඉදිරියේ මහා ඉල්ලීම් කන්දරාවක් ඉදිරිපත් කල අපට යතාර්තය කියා දෙමින් ඇත්තේ සරදමක් ලෙස නේද? දෙවොල් අගුලු ලා ඇත. ඒ වෙනුවට විද්‍යාව දෙවොල් භූමිය පිරිසිදු කරන්නේ නොපෙනන කොරෝනාව ඉදිරියේ කිසිදු දෙවියෙක්ට කිසිවක් කරන්නට බැරි බව අප ඉදිරියේම ඔප්පු කරමින් නේද?

අමරණීය මිනිසුන් ලෙසින් ධනය හා බලය මතින් ජීවත් වන අධමයන්ට අමරණීය වන්නේ ‘ආදරණීය හදවත් පමණක්’ බව පෙන්වා දෙමින් ඇත්තේද කොරෝනායි. මිනිසුන් සේම නොමිනිසුන්ද හදුනා ගැනීමට උදව් වෙමින් ඇත්තේ ද ඒ මහා ව්‍යසනය නිර්මානය කල කොරෝනායි. දේශ දේශාන්තරයන්හි තම බලය වෙනුවෙන් සටන් කරන ත‍්‍රස්ථවාදියාට වඩා මිනිසා විසින්ම මිනිසාගේ පැවැත්ම උදෙසාම දිනෙන් දින දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී සිදු කළ පරීක්ෂණ හා නිරීක්ෂණ ද දිනෙක මිනිසාට එරෙහි වන බව පහදා දෙමින් අත්තේද එයයි. එවන් වූ විනාශයන් ඇසි පිය හෙලන මොහොතකින් විද්‍යාවට කළ හැකි වූවද විද්‍යාවේ මහිමයෙන් මැරුණු මගේ සහෘදයාට නැවත ජීවිතය ලබා දිය නොහැකි බව මට මතක් කරමින් ඇත්තේ ද කොරෝනායි. අනෙකාගේ ජීවිතය “තඹයක් තරම්වත් නොවටින” ලෙසින් හැසිරුණු ඒ අධම ත‍්‍රස්තවාදියාට ද මරණ බිය හා ජීවිතයක වටිනාකම පහදා දෙමින් ඇත්තේ ද කොරෝනායි.

සතුරන්ගෙන් හා පිටස්තරයන්ගෙන් පමණක් නොව, මාගෙන් ද මාගේ ආදරණීයයන් ප‍්‍රවේශම් කර ගත යුතු බව මට නැවතත් පහදා දෙමින් ඇත්තේ ද ඒ ක්ෂුද්‍ර කොරෝනායි.

ලොවම ගිනිගෙන දැවෙන, ගින්න නිවිය හැක්කේ සංසුන් වීමෙන් පමණි. සංසුන් බව මට මතක් කර දෙමින් ඇත්තේ ද ඒ ව්‍යසනයයි. මගේ ආදරණීයයන් මාගෙන් බේරා ගත හැක්කේ ස්වයං විනය හා ස්වයං හික්මීමෙන් පමණි. ස්වයං විනය හා ස්වයං හික්මීම මට උගන්වමින් ඇත්තේ ද වර්නධය වන ඒ මා ව්‍යසනය විසින්ය.

ජීවිතයේ විදීම හා වින්දනය පසුපස පමණක් හබා ගිය මට විදවීම අවම කර ගැනීම ද වින්දනයක් බව ඉගැන්වූ ද කොරෝනායි. හිතාමතාම සොබාදහම අතවරයට ලක් කර ඇයගේ විදවීම උත්කර්ෂවත්ව සැමරූ මට මගේ විදීම, වින්දනය සේම විදවීම හා දැරිය නොහැකි වේදනාව දෙස ද ඇය උපේක්ෂාවෙන් බලා සිටින බව පහදා දුනනේ ද කොරෝනා යි. සරල බව අතහැර මුදලේ බලය පෙන්වීම උදෙසාම සංකීර්ණ බව වැළද ගත් මට ස්වයංපෝෂිත සරල දිවියේ වටිනාකම පහදා දෙමින් ඇත්තේද බෙදාගත යුතු දේවල් බදාගෙන සිටීමේ හා බදාගත යුතු දේවල් අතහැර දැමීමේ ආදීනව මට පහදා දෙමිනි ඇත්තේ ද කිසිදා දැක නැති, එහෙත් ලෝකයම විනාශයට ඇදගන යන ඔබ කොරෝනා ඔබයි.

ගෝලාකාර ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිද්ද මම, මගේ ඇතුලාන්තයේ එක් දශමයක් හෝ ඇවිද දැක බලා නැත. මරණය පෙනි පෙනී හෝ මගේ අභ්‍යන්තරයේ මට රිසි සේ එක් දශමයක හෝ ඇවිද දැක බලා ගැනීමට අවස්ථාව සලසා දෙමින් ඇත්තේ ද මේ යතාර්තය නොවේද? ලොව පිළිගත් දේශයන්හි සුඛෝපභෝගී දිවියන්හි ඇලී ගැලී සිටි මට විටෙක මගේ උපන් දේශය ගැන පැවසීම ද විචිකිච්ජා ජනක හැගීමක් ගෙන ආවේය. අවසානයේ දී උපත සේම මරණයද මට ගෞරවනීය සේම ආදරණීය මොහොතක් වන්නේ ඒ පිට දේශයන්හි නොව මාගේම ආදරණීය මව්බිමේදී පමණක් බව මට ඉගැන්වූ වේද කොරෝනා ඔබය. හැබැයි ඔබට ස්තුති කිරීමට මට නොහැකිය. ඒ තරම් ඔබ සාහසිකය. ම්ලේච්ඡය. එම නිසා අපි ඔබව පරාජය කරමු. ලොවින් තුරන් කරමු. එය අප සාමූහික අධිෂ්ඨානයයි.

නමුත් අහෝ! මාරය හැකිනම් මට තව එක් අවස්ථාවක් දෙනු මැනව! මා සැබැවින් ම ජීවිතය විදීමට පටන් ගත්තේ ඔබ මා ඇමතු පසුවයි. නමුත් අපි ඔබව තුරන් කරන්නේමු. විශ්වයෙන් කවදා හෝ තුරන් කරන්නෙමු. නමුත් කියා දුන් පාඩම් මතින්ම අප ඔබව තුරන් කරන්නෙමු. ඒ වෙන්වී මෙන්ම, විශ්ව සාමූහිකත්වය යන උාදරතර සංකල්ප සහ හැගීම් වැලද ගනිමින්ය. සොබාදහටම ආදරය කිරිමට පටන් ගනිමින්, සොබාදහම, මිනිස් පේ‍්‍රමය වැලද ගනිමින්ය. ඔව් අපි එසේ කරමු.

ඉෂන්කා ජයසිංහ | Ishanka Jayasinghe