iMage:FT/ Shehan Gunasek

“කොවිඩ් මොන එකක්ද? තවම විසි අටයිනේ,” කියා කිව්වේ අප නොවේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ය. එසේ සිහි මොළයක් ඇති ඕනෑම අයකුට ශ්‍රී ලංකාව තරමක හෝ වසංගත තත්වයකට මුහුණ දෙනු ඇති බවත් රට ඊට සූදානම් කළ යුතු බවත් තේරුම් යා යුතුව තිබුණි. රාජපක්ෂ එය නොදැන සිටීමට තරම් අයකු නොවේ. නමුත් ඉක්මනින් මහා මැතිවරණයකට ගොස් තමාට තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමේ නපුරු සිහිනය ඔහුගේ මතවාදී දැක්ම බවට පත්ව තිබුණි.

එළඹෙමින් තිබු වසංගතය මර්දනය කරනු වෙනුවට රාජපක්ෂවරුන්ගේ හදිසි අභිලාෂය වූයේ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය සහ විපාක්ෂික බලවේග මර්දනය කිරිම යි. වසංගතයක් මර්දනය කළ හැක්කේ දණ්ඩනයෙන් නොවේ. මහජනයා තුළ විශ්වාසය සහ අවබෝධය ඇති කිරීම මගිනි. ඒ සඳහා අවශ්‍ය කරන්නේ පාරදෘශ්‍ය වගකීමෙන් යුතු රාජ්‍යකරණයකි.

එසේ වුවත් බිය ගැන්වීම, හඹායෑම, වාර්ගික ලේබල් ඇලවීම, නින්දා අපහාස කිරීම, නම් කිරීම, මාධ්‍යකරුවන් ලවා තඩි බෑවීම ආණ්ඩුවේ සහ එහි සහායක බලවේගයන්ගේ මූලෝපාය බවට පත් විය. ජනාධිපති රාජපක්ෂගේ නීතිවේදියා ලෙස කළක් නම්දරා සිටි, පොදුජන පෙරමුණූ ජාතික ලැයිස්තුවෙහි සිටින ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් ඔහුගේ මුහුණු පොතෙහි උපුටා පළ කර ඇති පහත දැක්වෙන මෙම සටහන කියවා බලන්න.

“මේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුව වෙන්න පුළුවන්, ජාතියක් ලෙස අපට ජාතිවාදී වෛරසයෙන් නම් සුවවෙන්න නම් කාලාන්තරයක් යයි. මන්ද ඒ බීජය හදවත් තුළ පතුලටම ගොස් හමාරයි. මට මා ගැන නොවෙයි කණගාටුවට අප ඉතිරි කරල යන පරම්පරාව එකිනෙකාට වෛර කරන පරම්පරාවක්. අසංවේදී මිනිසුන් බිහිකරන මාධ්‍ය ඉදිරියේ නිහඬව සිටිමින් අපත් කොටස් කරුවන් වී හමාරයි. හදවත තුල නොතේරෙන වෙදනාවක් පවති. අප මේ වෙදනාව හිතේ තබා මේ අභියෝගයට මුහුණ දෙමු!”

මෙම වරද කරනු ලබන්නේ අන් කවරකුට වඩා රාජපක්ෂ හොරණෑකරුවන් විසින් බව නොදන්නේ කව්ද? මුස්ලිම් ජනයාට එරෙහිව දැවැන්ත ප්‍රචාරයක් ගෙන යන එක් පුද්ගලයකු වන්නේ ජනාධිපතිවරණයට පෙරදා නීති කෙළෙසමින් ගෝඨාභය රාජපක්ෂ සමඟ කළ සම්මුඛ සාකච්ජාවක් අන්තර් ජාලයට මුදා හළ පුද්ගලයා ය. ඔහු සංචාරක මණ්ඩලයේ අධ්‍යෂකවරයකු ලෙස පත් කරන ලද්දේ ද ජනාධිපතිවරයාම විසිනි. මෙවැනි වර්ගවාදී ප්‍රචාර ගෙන යන එක් වෙබ් අඩවියක් අයත් වන්නේ ආණ්ඩුවේ ඇමැතිවරයකුට ය. රාජපක්ෂවාදී අධිපති ජනමාධ්‍ය විසින් ද මෙවැනිම අවරගනයේ ප්‍රචාරයන් නොනැවත කරගෙන යයි.

කොරොන වසංගතය හමුවෙහි වර්ගවාදී කසකරුවන් විසින් පාර කපන්නේ පරම්පරා ගණනාවක් පවතින වාර්ගික වෛරයකට නම් ඊට වගකිව යුත්තේ කව්දයි යන්න තේරුම් ගැනීමට අයකු රොකට් විද්‍යාඥයකු විය යුතු නැත. මතුපිට පෙනන දේ සත්‍යයෙන් අඩක් පමණි. සත්‍යයේ අනෙක් අඩ නම් මෙකී වර්ගවාදී ප්‍රචාරයන් කැරෙන්නේ ස්වකීය බලය තහවුරු කර ගැනීමේ රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියෙහි කොටසක් ලෙස බවයි. අලී සබ්රි වැනි අය නොදකින ඇත්ත එයයි. කොරෝනා වසංගත තත්වය උපයෝගී කරගනිමින් වර්ගවාදය උසිගැන්වීම පැහැදිළිවම රාජපක්ෂවාදී දේශපාලන බලවේගයන්ගේ මූලෝපායකි.

මා මේ ලියන අදහස් විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ට කැරෙන විවේචන මගින් වසංගතය පාලනය කිරීමට කැරෙන කටයුතුවලට අවහිරයක් වන්නේ යැයි කවර හෝ පොලිස් නිලධාරියකුට කල්පිතයක් පහළ වුවහොත් මා අත් අඩංඟුවට ගැනීමට නියෝගයක් නිකුත් කිරීමට දැන් පුලුවන. ඒ පසුගිය 01 මෝඩයාගේ දිනයෙහි දී වැඩ බලන පොලිස්පති විසින් කරන ලද විහිළුවක් ලෙස පෙනී යන නමුත් භයානක නියෝගය උඩ ය. එම නියෝගයෙන් කියැවෙන්නේ මෙයයි.

කොවිඩ් වසංගතය වැළැක්වීම සඳහා කටයුතු කරන නිලධාරීන්ගේ “රාජකාරි විවේචනය කරමින් සහ එම නිලධරයන්ගේ සුලු අඩුපාඩු මතු කර පෙන්වමින් ඉතා බරපතල ලෙස එම රජයේ සෙවකයින්ගේ සේවයට බදා කරමින් සහ ඔවුන්ට බැණ තර්ජනය කරමින් අසත්‍ය හෝ ද්වේශ සහගත ප්‍රකාශ ඇතුළත් වීඩියෝ දර්ශන සහ වෙනත් පළ කිරීම් අන්තර් ජාලය තුළ ප්‍රසිද්ධ කරන බව වාර්තා වී ඇත. එම තැනැත්තන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටත් එම තැනැත්තන් අත්අඩංඟුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගන්නා ලෙසත් වැඩ බලන පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇත.”

නමුත් පුදුමයට කරුණක් වන්නේ මෙම නියෝගය බලපාන්නේ සමාජ මාධ්‍යයන්ට පමණක් වීමයි. පුවත් පත් හෝ රූපවාහිනී නාලිකාවන්ට එවැනි තහනමක් නැත. තවද මෙම නියෝගය නිකුත් කරන ලද්දේ සිංහල බසින් පමණි. ඉන් පෙන්වන්නේ ආණ්ඩුවේ උවමනාව වන්නේ සිංහල සමාජ මාධ්‍ය පමණක් පාලනය කිරීම බවයි. එය සිංහල ඡන්ද පිළිබඳ ප්‍රශ්ණයක් විය හැකි ය.

මෙම නිවේදනයට අනුව එකී පුද්ගලයින් අත්අඩංඟුවට ගනු ලබන්නේ කුමන නීතියක් යටතේ ද යන්න දක්වා ද නැත. ව්‍යවස්ථා විශාරදයින් පෙන්වා දී ඇත්තේ රටපුරා පැනවෙන පොලිස් ඇදිරි නීතිය පවා නියමානුකූල නීතිමය ප්‍රතිපාදන යටතේ සිදු කර නැති බවයි. හදිසි නීතිය ප්‍රකාශ කර නැති තත්වයක් තුළ මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ කුමන නීතියක් යටතේදැයි සහ කුමණ නිර්ණායක යටතේදැයි පැහැදිලි නොකිරීම මගින් ඉඩ හැරෙන්නේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වලට ය.

කොරා්නා වසංගත තත්වය දඩමීමා කර ගනිමින් ආණ්ඩුව විසින් ගෙන ඇති මෙම අනීතික පියවර යටතේ දැනටමත් පස් දෙනෙකු අත්අඩංඟුවට ගෙන ඇතැයි වාර්තාවේ. ඉන් කාන්තාවක වන අයකු අත්අඩංඟුවට ගන්නා ලද්දේ “ගෝඨාභයට කොවිඩ් බව පරීක්ෂනයෙන් තහවුරු වෙලා. දුකයි” යනුවෙන් ලියන ලද අසත්‍ය කෙටි සමාජ මාධ්‍ය පණිවිඩයක් නිසා ය.

පෙනෙන විදිහට මෙම අත්අඩංගුවට ගැනීම් කැරෙන්නේ පරිඝණක අපරාධ පනත(2007) යටතේ ය. එහි 6වන වගන්තියෙන් කියැවෙන්නේ රාජ්‍ය යම් පරිගණකයකට හිතාමතා ම යම් කර්තව්‍යයක් ඉටු කිරීමට සැලැස්වීමෙන් සහ එයින් යම් හානියක් වන බව දනිමින් හෝ එසේ විශ්වාස කිරීමට කරුණු ඇති ව එයින් (අ) ජාතික ආරක්ෂාවට (ආ) ජාතික ආර්ථිකයට (ඇ) මහජන ආරක්ෂාවට හානි සිදු කිරීම හෝ ආසන්න ම හානියක් සිදු කිරීමට සලස්වන්නා වූ යම් තැනැත්තකුට අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු බව ය.

ජනාධිපති රාජපක්ෂට කොවිඩ් අසාදනය වී ඇතැයි යන වචන කිහිපය මගින් (අ) ජාතික ආරක්ෂාවට (ආ) ජාතික ආර්ථිකයට (ඇ) මහජන ආරක්ෂාවට සිදුවිය හැකි හානිය කුමක් ද? එම කාන්තාව එකී වචන කිහිපය නිසා අත්අඩංගුවට ගත හැකි නම් අද සමාජ ජාල පරිශිලකයින් කොපමණ අත්අඩංඟුවට ගැනීමට රාජපක්ෂවරුන්ට බලයක් ලැබෙනු ඇත්ද?

මෙම ප්‍රශ්ණයට තවත් පැත්තක් තිබේ. එනම් මෙරට මානව හිමිකම් කොමිසම මගින් ද ඉල්ලා ඇති පරිදි වසංගත තත්වය යටතෙහි වෛර ප්‍රකාශ කරන කිසිවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නැත, යන්නයි. එවැනි කිසිවකු අත්අඩංඟුවට නොගන්නවා ද ඇත. මන්ද යත් රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියේම කොටසක් වන නිසා ය. ඊට හොදම උදාහරණය නම් සියල්ලටම කලින් මැතිවරණ කොමසාරිස්වරයාට බෙහෙත (ගේමක් ලෙස කියවන්න) දිය යුතු යැයි ප්‍රසිද්ධියේ කී ආණ්ඩුවේ විසකරු ඇමැතිවරයාට විරුද්ධව කිසිදු පියවරක් නොගැනීම ය. අර කාන්තාව අත්අඩංගුවට ගැනීම සහ ඇමැතිවරයා අත්අඩංගුවට නොගැනීම අතර ඇති වෙනස යනු අත්තනෝමතික රාජ්‍යකරණයයි.

මෙය එකම අවස්ථාව නොවේ. මෙරට සුලුතර ප්‍රජාවන්ට එරෙහිව අසත්‍ය සහ වෛර ප්‍රචාරයන්හි යෙදෙන රාජපක්ෂවාදීන් කිසිවකු අත්අඩංගුවට ගෙන ද නැත.

ජනාධිපති සිරිසේනට පිස්සු යැයි ප්‍රසිද්ධියේ කී පුද්ගලයකු පසුව එම අදහස උඩ අධිකරණයට ද ගියේ ය. ඒ පුද්ගලයා අත්අඩංඟුවට ගැනුණේ හෝ මරා අතුරුදහන් කැරුණේ හෝ නැත. අද ජනාධිපතිට පිස්සු යැයි නිකමට හෝ කීවොත් කුමක් සිදුවනු ඇතිද? මේ වනාහී ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය අතර ඇති වෙනස ය.

ඒකාධිපතියා මුලින්ම පහර දෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට යි. මන්ද යත් ප්‍රකාශණයේ නිදහස අන් සියලු නිදහස්හි පදනම වන නිසා ය. වැඩබලන පොලිස්පතිගේ නියෝගය අපට පෙන්වන්නේ පශ්චාත් – කොවිඩ් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දෙන අභියෝගයන්හි එක් පැතිකඩකි. තවත් පැතිකඩක් වනු ඇත්තේ සුලුතර ප්‍රජාවන්ට “බෙහෙත” දීමය. සමහර විට විසකුරු වීරවංස කියා ඇති පරිදි එලඹෙන මහා මැතිවරණයේ දී සාධාරණ සහ නිදහස් මැතිවරණයන්ටත් එම “බෙහෙත” ම ලැබෙන්නට ඉඩ තිබේ.

කණගාටුවට කාරණය වන්නේ කීර්තිමත් සටන්කාමී අතීතයක් සහිත සංවිධාන පවා මෙවැනි භයානක අනතුරක් අභියස දැන් ඇල්වතුර පවා නිවා බොන තත්වයට පත්ව තිබීමයි. කණගාටුදායක ලෙස ඊට ආසන්තම උදාහරණය වන්නේ වැඩ බලන පොලිස්පතිගේ අනීතික නියෝගය ගැන මාධ්‍ය සංවිධාන ගණනාවක් එක්ව නිකුත් කළ නිවේදනයයි. එහි අනෙක් පැත්ත නම් එම නියෝගයට නොබියව අභියෝග කළ සිවිල් සංවිධාන ගණනාවක් ඉංග්‍රීසියෙන් පමණක් නිවේදනයක් නිකුත් කිරීමයි. (පසුව එහි සංහල පරිවර්ථනයක් බෙදා හැරුණි. නමුත් පොදු තත්වය එළෙසම ය)

ශ්‍රී ලංකාවෙහි පශ්චාත්-කොවිඩ් ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගයන්ට මුහුණ දීම පිනිස අප සියලු දෙනා අප කරාම හැරී බලා සවිමත්, දැනුවත්, හුදකලාවාදය වෙනුවට සහයෝගිතා දැක්මකින් යුතු ජාලගතවීමක් අරමුණු කරගත් පුලුල් සංවාදයකට මුල පිරිය යුතුව තිබේ.

මෙම කාලය ලක්ෂිත වනු ඇත්තේ ආර්ථික කඩා වැටීම්, ඉහළ යන හමුදාකරණය, ගැති මාධ්‍ය ආධිපත්‍යය, ප්‍රකාශනයේ අයිතිය කෙළෙසීම, සුළුතර ප්‍රජා විරෝධය, සිවිල් සමාජ සංවිධාන විරෝධය, බෙදී ගිය දුර්වල විපක්ෂය සහ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ නැගීම යනාදී සාධක මගිනි. පශ්චාත් කොවිඩ් ශ්‍රී ලංකාවෙහි අපේ භූමිකාව කුමක් ද කෙසේ ද කෙයිබට ද යන්න ද තීරණාත්මක සාධකයක් බවට පෙරළිය හැකි වනු ඇත්තේ සාමූහික ප්‍රයත්නයක් මගින්ම පමණි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya