iMage: newsin.asia

“… හෙට වන විට සියල්ල වෙනස් ලෙස පෙනෙනු ඇත; හෙට වන විට සියල්ල වෙනස් ලෙස දැනෙනු ඇත.” – වික්ටර් ක්ලෙම්පරර් (නාසි ජර්මනියේ භාෂාව)

එය 1348 ඔක්තෝබර් ය. පාරම්පරාගතව කළු මරණය ලෙස හැඳින්වෙන බුබොනික් වසංගතය යුරෝපය පුරා පැතිරෙමින් තිබුණි. ජිනීවාහි දී, ඇගිමෙට් නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පාපොච්චාරණයකට අත්සන් ගන්නා ලදී. (නිල ලේඛනවලට අනුව, ඔහුට දෙවරක් ‘මඳක් වධහිංසා පමුණුවනු ලැබීය’). වධහිංසා යටතේ දුන් සිය පාපොච්චාරණයේ දී ඇගිමෙට් පවසන්නේ රබ්බිවරයෙකුගේ(යුදෙව් පූජකවරයකු) බලකිරීම මත අන්‍යජාතිකයන් අතර වසංගතය පැතිරවීම සඳහා තමා ළිංවලට වස දැමූ බවයි. ඒ ඇගිමෙට් නැගී එන වසංගතය සඳහා යුදෙව්වන් බිල්ලට ගැනීමේ මුල් පියවරක් විය.

කලු මරණය යළි වේදිකාවට

එකළ ද වසංගතයේ තර්ජනය අද මෙන්ම පොදු විය. එකට මුහුණ දෙනවා වෙනුවට භීතියට පත් කිතුනු බහුතරයක් නොදැනුවත්කම සහ බිය නිසා ආගමික සුළුතරයක් මත වෛරසය පටවන ලදී. ඉතිහාසඥ ඉයන් නෝමන් කැන්ටර් සිය “වේක් ඔෆ් ද ප්ලේක්” කෘතියෙහි පෙන්වා දෙන පරිදි යුරෝපයේ යුදෙව් ප්‍රජාවන් වසංගත වාහකයන් ලෙස ලේබල් කරන ලද අතර කිතුනුවන් අතර හිතාමතාම වසංගත විෂ බීජ වැපිරූ බවට චෝදනා එල්ල කරන ලදී. ව්‍යාජ ප්‍රවෘත්ති සහ වෛර ඝෝෂාවන් විසින් යුදෙව්වන්ට එරෙහි සංහාරයන්ට මග පෑදීය. කළු මරණය අතීත මතකයක් බවට පත්වී බොහෝ කලකට පසුවත් යුදෙව් විරෝධය යුරෝපයෙහි දිගින් දිගටම වසංගතයක් ලෙස පැවතුණි.

ලොව පුරා නව වසංගතයක් පැතිර යමින් ඇති අද ද එම ඉතිහාසයේ දෝංකාරයන් දැකිය හැක. ඉන්දියාවේ, “ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් කොවිඩ් කතාව 24/7 පුරා පවතින විෂ සහිත මුස්ලිම් විරෝධී ව්‍යාපාරයට ඇතුළත් කර ඇති” බව අරුන්දතී රෝයි සිය රචනාවේ ලියා තිබේ. වසංගතය යනු ද්වාරයකි. “සමස්ත ස්වරයෙන් ඇඟවෙන්නේ මුස්ලිම්වරු වෛරසය සොයාගෙන එය හිතාමතාම ජිහාඩ් ආකාරයකින් ලෙස ව්‍යාප්ත කරන බවත්ය.(ෆිනෑන්ෂල් ටයිම්ස් – 3.4.2020).

ඒ හා සමාන උමතු මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ ද ප්‍රවේගයක් අල්ලා ගනිමින් තිබේ. අන්තර්ජාල විචාරකයින් මුස්ලිම්වරු වෛරසය උපද්දවන ලද බවට චෝදනා කරමින් මුස්ලිම් රෝගීන් ‘මරාගෙන මැරෙන බෝම්බකරුවන්’ ලෙස හඳුන්වද්දී ආණ්ඩුව සිටින්නේ නොදැක්කා ගානට ය.

ජෙනරල්ගේ කතාව

ඉතාලියේ සිට ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු නිරෝධායනයෙන් බේරීමට උත්සාහ කළ විට, රජය සහ මාධ්‍ය ඔවුන්ගේ ජාතිය හෝ ආගම ගැන සඳහන් කිරීමෙන් වැළකී සිටියහ. COVID-19 මැඩළීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් දෙසතියකට පෙර මෙම නිවැරදි පිළිවෙත සීසීකඩ යැවුවේය. නිල ඇදුමෙන්ම හිරු රූපවාහිනියේ පෙනී සිටි ජෙනරාල්වරයා, “ඊයේ අකුරණෙන් රෝගියෙකු සොයා ගත්තා. … පසුව අපි පුත්තලමෙන් තවත් පුද්ගලයෙකු සොයා ගත්තා. ඔහු බොහෝ පුද්ගලයින් සමඟ සම්බන්ධතා පවත්වා තිබෙනවා. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. ස්ථාන දෙකේම දෙනොම මුස්ලිම්.

රෝගීන් දෙදෙනෙකුගේ ආගම ගැන එම අනවශ්‍ය ලෙස සඳහන් කිරීමෙන් දොර හරින ලද්දේ ජාතිවාදය පිළිබඳ විවෘත පිළිවෙතකටය. දැන් කුප්‍රකට දෙරණ වීඩියෝ පටයේ අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා හමුදාපතිවරයාගේ මල් පියවර අනුගමනය කරමින් කියා සිටින්නේ “… අද රෝගීන් 20 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් 19 දෙනෙක් මුස්ලිම් ආගමේ ය.” එහි සිටින ජේවීපී සහ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම නියෝජනය කරමින් එහි සිටින විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා ඇමතිවරයාගේ වෛරී කතාවට විරුද්ධව කිසිවක් නොකියයි.

ඉන් පසු විපක්ෂ දේශපාලනඥයන් කිහිප දෙනෙකු – විශේෂයෙන් මංගල සමරවීර සහ කරූ ජයසූරිය – මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී ව්‍යාපාරය හෙළා දැක තිබේ. වාර්ගික හා ආගමික භේද ඇති කිරීමට දරණ උත්සාහයන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එහෙත් ආණ්ඩුව එය නොසළකා හරිමින් පසුතැවිල්ලක් නොපෙන්වයි. ප්‍රභූ රෝගීන් සඳහා හමුදා රෝහලක විශේෂ වාට්ටුවක් වෙන් කර ඇති බව පවසමින් සිසුවෙකු සහ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් මාරාන්තික වසංගතය මධ්‍යයේ වාර්ගික නොසන්සුන්තාව ඇවිස්සීමට උත්සාහ කරන අය නීතියට ඉහළින් සිටිති.

වෛරසය පාලනය කිරීමට සමත් වූ රටවල් කිහිපය, විශේෂයෙන් තායිවානය, දකුණු කොරියාව සහ අයිස්ලන්තය එසේ කර ඇත්තේ වේගවත් හා පුළුල් පරීක්ෂණ භාවිතා කරමිනි. වෛද්‍ය පරීක්ෂාවන් කර හෝඩුවාවන් සොයා ගැනීම යන්න ඔවුන්ගේ මෙහෙයුම් මූලධර්මය වී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) අනුව, ශ්‍රී ලංකාවට දිනකට පුද්ගලයින් 750 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් පරීක්‍ෂා කිරීමේ හැකියාව තිබුණ ද, පරීක්‍ෂාවට ලක් කෙරෙන්නේ 250 ට අඩු ප්‍රමාණයකි. සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(ACOMA) වෛද්‍ය පෙරමුණෙහි සිටින අයට, වෛද්‍යවරුන්ට සහ අනෙකුත් වෛද්‍ය සේවකයින්ට ලබා දී ඇති ආරක්ෂිත ඇඳුම්වල ගුණාත්මක බව ප්‍රශ්ණ කළේ ය.

ඝාතකයකුට නිදහස

ආණ්ඩුව විවේචකයන් මර්දනය කරයි. නමුත් ජාතිවාදයට නිදහසේ පැතිරයාමට ඉඩ සලසයි. නමුත් COVID-19 වෛද්‍ය පරීක්ෂණ පුළුල් හා පුළුල් ලෙස සිදුකිරීමේ ප්‍රධාන කාර්යයේ දී ආණ්ඩුව අසාර්ථක බව පෙනේ. මේ කාරනා එකිනෙකට සම්බන්ධ කළ විට පෙනෙන්නේ ජාතික හා ගෝලීය ව්‍යසනයක දී පවා සිය පටු දේශපාලන න්‍යාය පත්‍රයට ප්‍රමුඛතාවය දෙන පාලක කල්ලියකි.

ඇඳිරි නීතිය පැනවූ හයවැනි දිනයේදී ජනාධිපතිවරයා වැරදිකරු වූ ඝාතකයකු නිදහස් කළේ ය.

“මියගිය පුද්ගලයින් අට දෙනාටම එක හා සමාන මාරාන්තික තුවාල සිදුවී ඇති අතර, වෛද්‍ය සාක්‍ෂි මගින් හෙළි වූ පරිදි, පිටුපසින් ඔවුන්ගේ ගෙල කපා ඇත” යනුවෙන් විනිසුරු බුවනේක අලුවිහාරේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ලියා තිබේ. පිටුපසින් උගුර කපා දැමූ අය අතර පස් හැවිරිදි දරුවෙක් ද විය. කුඩා දරුවා ඔහුගේ පියා, සහෝදරයන් දෙදෙනෙකු (වයස අවුරුදු 13 සහ 15) සහ අනෙකුත් වැඩිහිටියන් (ඔවුන් සියල්ලන්ම යුද්ධයෙන් අවතැන් වූ සිවිල් වැසියන්ය) සමඟ ඔවුන්ගේ මරණය ආපසු පිටත්ව යාමට ආසන්නව සිටියදී, කුඩා ළමයා ඉදුණු පලතුරු වලින් පිරුණු පේර ගසක් දුටුවේය. ඔහු පේර කඩා දෙන ලෙස ඉල්ලා ඇත. කණ්ඩායම පේර කඩා ගැනීමට නැවැතුනි. ඝාතකයින් පැමිණෙන්නේ එවිටය.

එවැනි ඝාතකයෙකුට සමාව දෙන්නේ කුමන ආකාරයේ නායකයෙක්ද? එවැනි නායකයෙකුගෙන් රට බලාපොරොත්තු විය හැක්කේ කෙබඳු අනාගතයක්ද?

මෙම සමාව දීමේ ලැජ්ජාව සහ කම්පනය උග්‍ර කරන්නේ එය සිදු කාරන ලද අවස්ථාව විසිනි. වසංගතය නිසා සුපුරුදු දේශපාලනය නැවැත්විය යුතුව තිබුණි. ඒ වෙනුවට ජනාධිපතිවරයා තම දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාම සඳහා වසංගතය භාවිතා කරයි.

සමාව දුන් ඝාතකයා බන්ධනාගාරයෙන් පිටතට පැමිණි විට, ඔහු පිළිගැනීමේ සාදයට නායකත්වය දුන්නේ වෙන කිසිවෙකු නොව විශ්‍රාමික මේජර් ජෙනරාල් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ය. එම පැමිණීම සමාවදීම තරම්ම සංකේතාත්මක වූයේ, එය විසින් සමාව සඳහා නියත දෘෂ්ටිවාදාත්මක ආවරණය ලබා දුන් බැවිනි. මෙය හුදෙකලා ක්‍රියාවක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියේ අනිවාර්ය අංගයකි.

සමාව දීම පවසන්නේ සේවයෙහි දී කරන ලද කිසිදු අපරාධයක්, අපරාධයක් නොවන බවයි. එය විසින් දරුණු මිනීමැරුම පවා, වීර ක්‍රියාවක් බවට පත් කරමින් පක්ෂපාතීත්වය අනුව සෑම ක්‍රියාවක්ම විශුද්ධකරණය කරයි.

ඔබ අපේ සැබෑ අනුගාමිකයෙක් නම් දඩුවම් නොලැබීම, ඔබේ නොවැළැක්විය හැකි අයිතියක් බව මෙම සමාව දීම පවසයි. ඔබ මට සත්‍යවාදී නම්, සමාවදීම විසින් පවසන්නේ, ඔබගේ ක්‍රියාවෙහි ප්‍රතිවිපාක වලින් ඒවා නිල හෝ නිල නොවන වුවත් මම ඔබව ගලවා ගන්නෙමි, කියාය. ම්ලේච්ඡත්වය යනු වීරත්වය යැයි ද රුධිර පිපාසය දේශපේ‍්‍රම යයි ද මෙම සමාවදීම පවසයි.

සමූල ඝාතනයෙන් දිවි ගලවා ගත් එකම තැනැත්තා සිය පැමිණිල්ල ඉදිරිපත් කළ විට හමුදාව එය යටපත් කිරීමට උත්සාහ කළේ නැත. ඊට පටහැනිව, සාක්ෂිකරු බැරෑරුම් ලෙස සලකා, ආරක්ෂාව ලබා දී කල් නොයවා විමර්ශනය සිදු කරන ලදී. මුලින් එය කරන ලද්දේ මේජර් සිඩ්නි සොයිසාගේ මඟ පෙන්වීම යටතේ හමුදා පොලීසිය විසිනි. අපරාධය හමුදාවේ අඳුරු පැත්ත සංඛේතවත් කරන්නේ නම්, එය අනාවරණය කර ගැනීමට සහ වැරදිකරුවන්ට ගණන් දීමට දරන ලද උත්සාහයෙන් ඇඟවුණේ ගෞරවය හා විනීතභාවය, යුක්තිය පිළිබඳ මූලික හැඟීමක් සහ අනුකම්පාවක් ඇති තවත් පැත්තක් ඇති බවයි. මෙම සමාවත් සමඟ ජනාධිපතිවරයා සිය මුද්‍රාව තබා ඇත්තේ සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම අපරාධයක් ලෙස දුටු හමුදාව වෙනුවෙන් නොව එම අපරාධය කළ, අනුමත කළ හෝ නිදහසට කරුණු ඉදිරිපත් කළ අය වෙනුවෙනි. මේ සම්බන්ධයෙන් උදාසීනත්වයක් පෙන්වූ හෝ ප්‍රීතියෙන් ඉපිල ගිය හෝ අයට පවා මෙම සමාව ආපසු හැරවෙනවා ඇත. මන්දයත් එය විසින් රතුපස්වල ඝාතකයින් වැන්නන්ට ද සමාව දීමට මග සලසන නිසාය.

මිරුසුවිල් නඩුව පවරන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුව විසිනි. විශේෂ මහාධිකරණ නඩු විභාගයකින් පසු රත්නායක වැරදිකරු විය. එම තීන්දුවෙහි අතිශය තීරණාත්මක කොටස්‍ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස්දෙනෙකු විසින් ඒකමතිකව තහවුරු කරන ලදී.

මෙම සමාවදීම විසින් අධිකරණ පද්ධතියට ලැබෙන පණිවිඩය නම් නීතියේ ආධිපත්‍යය මිය ගොස් ඇති බවත්, පාලකයාගේ නීතිය ප්‍රමුඛ වන බවත් ය. අධිකරණයට හැකි ඉහළින්ම කටයුතු කරනු ඇත. නමුත් විධායකය ඒ සියල්ල නිෂ්පල කරනු ඇත.

මෙම කුරිරු සමාව පිළිබඳව රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ ජේවීපී යන පාර්ශවයන්හි නින්දිත හා නින්දිත නිශ්ශබ්දතාව විසින් පෙන්නුම් කරන්නේ විරුද්ධ පක්ෂ අවකාශය තුළ බියගුලුකම සහ අවස්ථාවාදය පවතින බවයි.

දඩුවම් නොලැබීමේ වෛරසය, වරදකරු සාජන් සුනිල් රත්නායක නම් ඝාතකයාට සමාව දීමත් සමඟ විශාල පිම්මක් ඉදිරියට පැන්නේ ය. කොවිඩ් –19 භීෂණය මතකයක් පමණක් බවට පත්වීමෙන් පසුත් මෙම සමාවදීම විසින් උපත ලද වසංගතය දිගටම වර්ධනය වනවා ඇත.

නීතිය උල්ලංඝනය කිරීම; ව්‍යවස්ථාව අතහැර දැමීම

2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත මගින් ජාතික හදිසි අවස්ථා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පක්ෂග්‍රාහී නොවන ආයතනයක් වන ආපදා කළමනාකරණය සඳහා වූ ජාතික කවුන්සිලයක් පිහිටුවීමට බලය ලබා දී තිබේ. පනතට අනුව, මෙම සභාවේ සාමාජිකයිත් අතරට ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, විෂය අමාත්‍යවරුන් 25 ක් සහ කථානායකවරයා විසින් නම් කරන ලද විපක්ෂයේ සාමාජිකයින් පස් දෙනෙකු ඇතුළත් විය යුතුය.

පාර්ලිමේන්තුව විසුරුවා නොහැරියේ නම්, වසංගත තර්ජනයට මුහුණ දීම සඳහා එවැනි කවුන්සිලයක් පත් කිරීමට ජනාධිපතිවරයා නීතියෙන් බැඳී සිටියි. පාර්ලිමේන්තුවක් නොමැති විට, වසංගතය සමඟ ඒකපාර්ශ්විකව කටයුතු කිරීමට ජනාධිපතිවරයාට හැකි වී තිබේ. තනි පුද්ගල නායකත්වයේ මෙම ඒකපාර්ශ්විකත්වයේ ප්‍රතිපලය සාධනීය වී නොමැත.

පළමුවෙන්ම ජනාධිපතිවරයා වසංගතය විසින් අපේ බෙල්ලෙන් අල්ලා ගැනීමේ හැකියාව නොසලකා හැර අගෝස්තු දක්වා දිගටම පැවතීමට ඉඩ තිබූ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. පසුව ඔහු විශේෂයෙන්, වෛද්‍ය ප්‍රජාවෙහි තර්කානුකූල හඩට ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කළ අතර සුපුරුදු දේශපාලනයම පවත්වා ගත්තේ ය. වෛරසය පරාජය කිරීම සඳහා ඔහු පත් කළ කාර්ය සාධක බලකාය පැවැත් වූ රූපවාහිනී සාකච්ජාවලදී එහි සාමාජික සාමාජිකාවෝ සමාජ දුරස්ථභාවයට ප්‍රතිවිරුද්ධව, උරෙන්–උර වාඩි වී සිටියහ. ජනාධිපතිවරයා සාර්ක් නායකයින්ට කියා සිටියේ තමන් මැතිවරණය එළෙසම පවත්වන‍ බවයි. කොවිඩ්-19 වැළදුණූ රෝගීන් 28 දෙනෙකු රට වසා දැමීමට හේතුවක් නොවන බව ඔහු කියා සිටියේ ය.

නාම යෝජනා අවසන් වූ පසු ඔහු ප්‍රතිවිරුද්ධ දිශාවට විශාල පිම්මක් ගෙන රට පුරා ඇඳිරි නීතිය පැනවීය. ඇඳිරි නීතිය අත්තනෝමතික ලෙස පවත්වා ගෙන යාමෙන් ඔහු මහජන බිය උමතුවක් දක්වා නරක අතට වර්ධනය කළේ ය.

දැන් ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය අවලංගු කර නැවත පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යවස්ථාමය අර්බුදයකට මග පාදමින් සිටී.

මුල් දිනවල, කාර්ය සාධක බලකා රැස්වීම් එය කිසියම් දෛනික සංදර්ශනය පැවැත්වීමක් ලෙස පෙනී යත්දී, එක් සහභාගිවූවකු වසංගතය කාලසීමාව සඳහා රට හමුදාවට භාරදීමට යෝජනා කළේය. ජනාධිපතිවරයා ‘මම කැමතියි’ යන්න අඟවන ඔහුගේ ඔහුගේ නිසඟ සිනාහව පෑවේ ය.

දින කිහිපයකට පසු ඔහු තවත් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කළේය. දැන් ඔහුගේ සමහර ආධාරකරුවන් කියා සිටින්නේ අර්බුදය අවසන් වන තුරු අධිකරණයෙන් කිසිදු ජනවරමක් නොමැතිව ඔහුට කැමැත්තෙන් මැතිවරණය කල් දැමිය හැකි බවයි. ජනාධිපතිවරයා මෙම උපදෙස් පිළිපදින්නේ නම්, වසංගතයේ වඩාත්ම ඛේදජනක ගොදුරු බවට පත්වන්නේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදයයි.

වසංගතය බොහෝ ආකාරයන්ගෙන් ආර්ථික අර්බුදයක් නිර්මාණය කර ඇති බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදළෙහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා අනතුරු අඟවා තිබේ. ශ්‍රී ලංකාවෙහි වසංගතයේ මාරාන්තික ප්‍රතිපලවලින් එකක් වනුයේ ජීවනෝපාය හා ආදායම අහිමිවීම නිසා පහළ මධ්‍යම පංතියේ කොටසක් දරිද්‍රතාවයට ඇද වැටී නව දුප්පතුන් පිරිසක් බිහිවීමයි. බලාපොරොත්තු සුන්වීම සහ කෝපය, මෙම පංතියේ මානසිකත්වයේ ප්‍රමුඛ ලක්ෂණ විය හැකිය. ආණ්ඩුවේ මෑත කාලීන ක්‍රියාමාර්ග විසින් මෙම ‘නව දුප්පතුන්ගේ’ සිංහල පිරිස් මංමුලා කොට සන්සුන් කිරීම සදහා පාලකයන් විසින් සුළු ජාතීන් බිළි ලෙස යොදා ගනු ඇත. බිය ජනිත වීම වැළැක්විය නොහැකිය.

සිංහල අපරාධ හෝ දෙමළ අපරාධ?

බ්‍රසීලියානු ප්‍රකෝටිපතියෙක් ඔහු කොවිඩ්-19ට වැළදී ඇති බව තහවුරු වීමෙන් පසුත් සිය පුද්ගලික ජෙට් යානයෙන් පියාසර කරමින් ජනයා හමුවී ඔවුන් සමඟ සමාජගත විය. ඔහුගේ එම අපරාධය ඔහුගේ ප්‍රජාවට අයත් එකක් නොවේ. එයට වරදකරු ඔහුම පමණි. සිංහලයෙකුගේ අපරාධය සිංහල අපරාධයක් නොවේ. දමිළයකුගේ අපරාධය දෙමළ අපරාධයක් නොවේ. මුසල්මානුවකුගේ අපරාධය මුස්ලිම් අපරාධයක් නොවේ.

කවර හෝ සුළුතරයක් වසංගතය තවදුරටත් වර්ධනය කරන්නේ යැයි යන ආඛ්‍යානය ආණ්ඩුවේ බල ව්‍යාපෘතියට උපකාරී වනු ඇත, නමුත් එය විසින් ශ්‍රී ලංකාව නිමක් නැති සමාජ ප්‍රචණ්ඩත්වයේ අනාගතයකට ඇද දමනවා ඇත.

පශ්චාත් වසංගත ලෝකය පූර්ව වසංගත ලෝකය නොවේ. ආණ්ඩුවෙන් මතුවන සංඥාවන් කෙරෙන් බැසගත හැකි නිගමනයක් නම් අපගේ පශ්චාත් වසංගත අනාගතය වාර්ගික ප්‍රචණ්ඩත්වය හා ඒකාධිපතිත්වය විය හැකි බවයි. එම අන්තරාය වටහා ගැනීම සහ එයට මුහුණ දීම වසංගතය පරාජය කිරීමට හැකි සෑම දෙයක්ම කිරීම තරම්ම වැදගත් ය.

තිසරණි ගුණසේකර | TISARANEE GUNASEKARA

THE PRESIDENT IN THE PANDEMIC නමින් තිසරණී ගුණසේකර විසින් පසුගිය 05 දින පළ කරන ලද ලිපියේ සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි.