iMage: Army.lk

මෙම ලිපියේ මූලිකම අරමුණ, ගෝලීය වසංගත Covid-19 අවධියේ දී අපගේ හෘද සාක්ෂිය හැසිරෙන ආකාරය විචාරාත්මක ව විමසීමය. ලිපිය ලිවීමට මා අභිප්‍රේරණය කරන ලද ආසන්නතම සිදුවීම නම්, දීප්ති කුමාර ගුණරත්න විසින් Hegal 01 යනුවෙන් සිදුකරන ප්‍රකාශනයකි (https://www.youtube.com/watch?v=NRwJCiok-8w&fbclid=IwAR2HzWg8Cgo8_4ewLLEg9ziAJqYjgTWUMVosfbFgCOsyeAGzMF_aOPPLYt4)
(මෙහීදි පළමුමෙන්ම කිව යුතු වන්නේ කොරෝනා වංසගතය තුරන් කිරීම සදහා ඉතාමත් දැඩි දුෂ්කරතා මැද, ක්‍රියාකරන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය සහ අනිකුත් රාජ්‍ය නිළධාරින්ගේ සහ අවංකව මේ සදහා මැදිහත් වන ප්‍රතිපත්ති සම්පාදකයන් ගේ සේවය ඉතාමත් අගය කොට සලකනවා සේම, ඒ සදහා අප සමාජයක් ලෙස උපරිම සහය දිය යුතු බවයි.)

මෙහිදී දීප්ති පැහැදිලි කරනුයේ, අපගේ කේන්ද්‍රය තව දුරටත්, අප තුළ නොව, අපගෙන් එපිට පවතින බවය. එසේම තව දුරටත් Bertolt Brecht උපුටා ගනිමින් දීප්ති පවසන්නේ, දේශපාලනය යනු යම් පුද්ගලයකු ගේ මනස තුල ඇතිවන චමත්කාරජනක සිතුවිලි නොව අන් අයගේ හිස් වල තිබෙන දෑ සිතීමේ කලාවය. දීප්තිගේ මතය සමඟ මා එකඟවන අතර මාගේ ගැටලුව වන්නේ අන් අයගේ හිස්තුළ තිබෙන සිතුවිලි නිර්මාණය කරන්නේ කවුද සහ එම සිතුවිලි තමන්ගේ බවට ඒත්තුගන්වන්නේ කවුද යන්නය?

මෙම ගැටලුව මේ මොහොතේ වන Covid 19 වසංගතය තුළ සීමිත සුභ සාධන ශ්‍රී ලාංකික රාජ්‍යයේ ප්‍රතිපත්ති ආශ්‍රිතව පැහැදිලි කරමි. කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීමට, ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරන ලදී. එම පත්කිරීම සමාජීය අවශ්‍යතාවක් බවට පුනරුක්තියෙන් ජනමාධ්‍ය විසින් ප්‍රකාශිත විය.

1964 ජූනි 22 වන දා මාතලේ දී උපන් ශවේන්ද්‍ර සිල්වා මයා, කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා හමුදා සේවයට 1984 දී එක්ව ඇත. වාර්ථා සදහන් කරන ආකාරයට වඩමාරච්චි මෙහෙයුමේ දී, ගෝඨාභය රාජපක්ෂ මයාගේ අණදීම් යටතේ කොමාන්ඩෝ බලකායේ කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ 2010 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ලෙස හෙතෙම පත් වන අතර, එම ධූර කාලය තුළ එක්සත් ජාතින්ගේ සාමසාධක ක්‍රියාන්විත වූ දකුණු සුඩාන යනාදී රාජ්‍ය හි හමුදා රෝහල් ස්ථාපිත කිරීම සිදු කර තිබේ.(https://en.wikipedia.org/wiki/Shavendra_Silva).සිල්වා මයා පිලිබඳ වන කිසිදු අධ්‍යාපන වාර්ථාවක, වෛද්‍ය විද්‍යාව පිලිබඳ වන ගජ මිලිටරි මිතුරුකම ප්‍රමාණිකත්වයක් සදහන් නොවේ. මෙහිදී මගේ ගැටළුව නම්, විනය ගරුක සමාජයක් සහ වැටුණු රටක් ගොඩ නැගීමට පැමිණි ඒ විරුවාද, මවුබිමේ නාමයෙන් අවසාන ලෙස පැමිණ තිබෙනුයේ, ඉතිහාසයේ සිටම වූ අශික්ෂණ පලනයටම නොවේද ? අනෙක් අතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ලෙස පත් වූ වෛද්‍ය අනිල් ජාසිංහ මයා යනු පැවති සෝවියට් සමුහාණ්ඩුවේ Lvov State Medical Institute මගින් තම ප්‍රථම වෛද්‍ය උපාධිය ලබා, ජාතික රෝහල ඇතුළුව විවිධ තලයේ රෝහල් හි වෛද්‍යවරයකු සහ වෛද්‍ය පරිපාලකයකු ලෙස සේවය කළ වෘත්තීයවේදීයකි. (https://biography.omicsonline.org/sri-lanka/the-naional-hospital-of-srilanka/dr-anil-jasinghe-360365). එසේම කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය උපාධියක් හිමි, වෛද්‍ය පබා පලිහවඩන යනු වසංගත අධ්‍යයන දැනුම සහිත වෘත්තියවේදිනියක් වේ. ඇය ද වසංගත රෝග නිවාරණ ක්‍රියාවලිය මෙහෙයවීම වෙනුවෙන් නිසි සුදුසුකම් සපුරා ඇත.(https://www.who.int/influenza/pip/advisory_group/PabaPalihawadana-Biography-24Oct2019.pdf?ua=1)

දැනුම කේන්ද්‍රිය විනය ගරුක සමාජයක් සහ ආණ්ඩුකරණයක් වෙනුවෙන් පත් වූ විධායක ජනාධිපතිවරයාට අනිල් ජාසිංහ සහ පබා පලිහවඩන වැනි වෘත්තීයවේදීන් මඟ හැරී, මෙවැනි වසංගත පාලනයක්, කොමාන්ඩෝ පරිචයක් ඇති ශවේන්ද්‍ර සිල්වා පමණක් මුණ ගැසීම කුමන දුර්වලතාවයක් ද? කවරෙකු හෝ මතුකළ හැකි තර්කය නම්, වසංගත රෝග ක්‍රියාවලිය වෙනුවෙන් ඉහත කී සෞඛ්‍ය අංශ ලබා දෙන දායකත්වය, විරුවන් ලෙස නම් කරමින්, නිරන්තරයෙන් විද්‍යුත් මාධ්‍ය මගින් උත්කර්ෂයට නංවන විට, ප්‍රශ්නය කුමක්ද යන්නය? එයට වන මාගේ ප්‍රති-තර්කය නම්, සෞඛ්‍ය අංශ මෙම නිවාරණ ක්‍රියාවලියේ නායකත්වය ලබා නොගනිමින් හමුදා කේන්ද්‍රිය ක්‍රම වේදයක් පවත්වා ගනු ලබන්නේ විධායක ජනාධිපතිතුමන්ගේ සිහිනය වන ‘විනය ගරුක රටක්’ බිහි කිරීමට ද අහියෝග කරමින් බවය. විනය ගරුක වී නම්, සිදු විය යුත්තේ සෞඛ්‍ය අංශ තීරණ ගැනීමේ කේන්ද්‍රස්ථානය වී, ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමේ දෙවන අදියරේ දී අවශ්‍ය නම් හමුදා ව සම්බන්ධ කර ගැනීමය.

මෙවැනි ගෝලීය වසංගතයක් පාලනය කිරීම වෙනුවෙන් ගජ මිතුරු හමුදා නිලධාරීන් පත්කිරීමේ එක් ප්‍රතිපලයක් නම්, මෙම වසංගත ව්‍යාපෘතිය වෙනුවෙන් සම්පුර්ණ වගකීම් පුරවැසියා වෙත බලහත්කාරයෙන් පැවරීමය. කිසිදු පුරවැසියකු චේතනාන්විතව වසංගතය වෙත ගොදුරු නොවේ. එසේම එම වසංගතය සමාජය තුළ පැතිරවීමට ද උත්සාහා නොගනී. අප සොයා බැලිය යුතු කරුණ නම්, එවැනි ආසාදිතයන්, නිරෝධායනය වෙත හෝ රෝග මර්ධනය වෙනුවෙන් සැබවින්ම සහයෝගය ලබාදීමේ මන්දගාමීත්වයට හේතු වූ කරුණුය. නොඑසේනම්, මෙම වසංගත තත්වය පහව යන විට අප පුරුදු ලෙසම අපගේ වාර්ගික, ආගමික, ලිංගික අනෙකා පීඩනයට ලක් කරනු ඇත.

යුරෝපය ද ඇතුලු විශ්වීය ව, මේ මොහොතේ දී හමුදා ව මෙම වසංගත තත්වය මර්ධනයට එක් වී තිබේ. උදාහරණ ලෙස ජර්මනියේ දී 15000 ක සෙබළුන් ප්‍රමාණයක් එරට වසංගත මර්ධනයට දායක වී ඇත. එසේම පෝලන්තය තුල ද, ආදාල සිවිල් ආයතන සමඟ සහයෝගයෙන් (අනෙක් ආයතන ඉක්මවා ධුරාවලියේ කේන්ද්‍රය නොවී) මිලිටරි අංශ ක්‍රියාත්මක වන ආකාරය දැකිය හැකිය.(https://www.weforum.org/agenda/2020/04/coronavirus-european-armed-forces/). අප වටහා ගත යුතු ක්‍රියාමාර්ගය මෙය වේ.

මෙම මෙහොතේ පවතින තත්වය දීප්තිගේ ප්‍රකාශය සමඟ සම්බන්ද වන ආකාරය පැහැදිලි කර ගනිමු. මේ ගෙවෙන මොහොතේ වන Covid -19 දේශපාලනයෙන් සිදු කරනුයේ, මිලිටරි පාලනයක් ජනතාවට අවශ්‍ය බවට විධායක ජනාධිපතිවරයා කල්පනා කරමින් සිටින බවට පරිකල්පනය කරන සක්‍රීය විද්‍යුත් මාධ්‍ය ඒ අනුව තම මාධ්‍ය න්‍යාය පත්‍රය සකසා ගැනීම දැකිය හැකිය. මෙයට විවිධ ආගමික නියෝජිතයන් ද දායක වන ආකාරයක් දැකිය හැක. එසේනම්, දීප්ති ගේ මතය සනාථ කරමින්, මේ මොහොතේ දේශපාලන හැසිරීම මගින් හදුනා ගත හැකි වන්නේ, විධායක ජනාධිපතිවරයා ගේ ජාතිකවාදී මිලිටරි ආණ්ඩුකරණයක් හැර කිසිදු අනෙක් මහජන පාලනයක් අනවශ්‍ය බවද?

අනෙක් කරුණ නම්, ආණ්ඩුවේ භාණ්ඩ බෙදා හැරීමේ පවතින දුර්වලතාවය දැකිය හැකි වේ. එනම්, තම බත් පැකට්ටුව, හෝ වාර්ෂිකව ලද අතිරික්ත ලාභයෙන් සොච්චමක්, අන්ත දුගී ජනයා වෙත සැපයීමේ මාධ්‍ය දර්ශනයට වඩා තිරසාර ලෙස භාණ්ඩ බෙදා දීමේ යාන්ත්‍රණයක් අතවශ්‍ය වේ. එම යාන්ත්‍රණයේ පවතින දුර්වලතා විවේචනාත්මකව හඳුනා ගැනීම වෙනුවට මේ මොහොතේ සිදුවන්නේ මාධ්‍ය සංදර්ශන වන අතර, එමගින් ජනතාවගේ අවශ්‍යතාවය තව දුරටත්, වියලි සලාකයට වැදුම් ලබන පාලනයක් පත් කරගැනීමේ දේශපාලනික සිහිනයක පාලකයන් ජිවත් වීමය.

තව දුරටත් මේ අවුරුද්ද ඩිජිටල් අවුරුද්දක් ලෙසද, ගෙදර සිට සැමරීමේ අලුත් පටන් ගැනීමක් බවද, පවුල් පඳුරු එකතුවීම වසංගත යුගයක තහංචිබව පවසන මහින්ද කුමාර දළුපොත ද, රන්වලගේ අවරුදු සැමරීම් ද නොමැති ව අප්‍රේල් 13-14 ගෙවීමට අපට අද හැකි වන්නේ නම්, එවැනි අවුරුදු සැමරීම් මෙයට ප්‍රථම වලංගු නොවූ යේ මන්ද ? ලිපිය අවසන් කරමින්, මගේ පැතුම නම් මෙම වසංගත තත්වයෙන් ජීවිතය මෙන්ම අපගේ ශිෂ්ටත්වය බේරා ගැනීමට හැකිවේවායි යන්න. එහෙත් එම කරුණු දෙකම බෝ රුකේ හෝ දෙවියන්ගේ දායාදයක් නොව, අපගේ සිතුවිලි සහ චර්යාවගේ ප්‍රතිපලක් බව වටහා ගත යුතුය.

ගෝවින්ධ්‍යා රාජසිංහ