iMage:nationalgeographic

මෙම සතිය ශ්‍රී ලංකාවේ ජීවිත සිය ගණනක් බිලිගත්, ආගමික ස්ථාන සහ හෝටල් ඉලක්කකර එල්ල කෙරුණු මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසරක් සනිටුහන් කළේය. මෙම අනපේක්ෂිත ප්‍රහාරය මුළු මහත් දිවයිනෙහිම ජනතාව බියෙන් සළිත කළ අතර, රටට ඉතා අහිතකර බලපෑමක් එල්ල කළේය.

මාධ්‍යයේ පළකරන පිංතූර සහ බැතිමතුන්ගේ ජීවිත සියගණනක් බිලිගත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට හා මීගමුවේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගිය චාරිකා මා නැවතත් යුධ සමය වෙත රැගෙන ගියේය. නැවත වරක් අප වටා ඇත්තේ අවමංගල්‍ය සහ ශෝකයට පත් පවුල්වල ඡායාරූපයි. මේ සියල්ල මතක්කර දුන්නේ යුද්ධය නිම වී දශකයක් ගතවී තිබුණ ද, සාමය ඉතාමත් බිඳෙන සුළු බවය. ප්‍රහාරයන්ට පසුව ඇති වූ හැඟීම් හා ප්‍රතික්‍රියා ඉතා හුරුපුරුදුය. ශෝකය සහ බිය පැහැදිලිව දැකගත හැකි විය. ඍජුවම පීඩාවට පත් ප්‍රජාවන් හා විනාශය ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ කෝපය ද නිරන්තරයෙන් අසන්නට, දකින්නට තිබුණි. ප්‍රහාරයට පසු මාසවල දී මෙම කෝපය තවත් උත්සන්න වූයේ නායකත්වයේ අසමත්කම් සහ ආරක්ෂක විදිවිධාන වල තිබූ අක්‍රමිකතා නිසාවෙනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ප්‍රජාවට වෙනස්කොට සැලකීම, ඔවුනට එරෙහිව වන උසිගැන්වීම් හා ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවිය. ලංකාවේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම්වරුන් සතු නිවාස හා ව්‍යාපාර ඉලක්කකර ප්‍රහාර එල්ලවූ අතර, ඇඳිරි නීතිය පනවා තිබූ අතරතුර එසේ ප්‍රචණ්ඩක්‍රියා පැතිරී ගියේ කෙසේදැයි ප්‍රශ්න මතු කළේය. ඊට ප්‍රතිචාර දැක්වීමේදී තිබූ ප්‍රමාදයන් සහ නොහැකියාවන් යන හේතු දෙකම වසර ගණනාවක් පුරා විටින් විට ප්‍රචණ්ඩත්වය අත්දැක තිබූ ප්‍රජාවක් තුළ භීතිය උග්‍ර කළේය. තම රටවල්වලින් පීඩාවට පත්ව පලා ආ සරණාගත පුද්ගලයන්ට ඔවුන් කිසිසේත්ම සම්බන්ධ නොවූ ක්‍රියාවන් නිසාවෙන් අත්විඳීමට සිදුවූ ප්‍රහාරද මේ කාලය තුළ දුටුවෙමු.

එම අවාසනාවන්ත දිනයේ සිට වසරක් ගතවී ඇති අතරම තවත් බොහෝ දේ සිදුවී ඇත. ප්‍රහාරයෙන් පසු සති කිහිපය තුළ, පශ්චාත් යුධ ශ්‍රී ලංකාව වාර්ගික ආගමික ප්‍රචණ්ඩත්වයේ දරුණුතම අවස්ථා කිහිපයක් දක්නට ලැබිනි. එවකට පැවති රජයේ අසාර්ථකත්වය පිලිබඳ කෝපය හා කලකිරීම නිසාවෙන් ආරක්ෂාව හා ස්ථාවරත්වය සැපයිය හැකි ශක්තිමත් නායකයෙකු පත් කිරීමේ අවශ්‍යතාවය තීව්‍ර වූ අතර, 2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස තේරී පත්විය. අතීතයේ නීතිය අවභාවිතය පිළිබඳ චෝදනා තිබියදීත්, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘විනය, ආරක්ෂාව, ස්ථාවරත්වය හා කාර්යක්ෂමතාව’ පිළිබඳ පොරොන්දුව බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක්විය. බලයට පත්වූ දා සිට රජයේ ඉහළ තනතුරු හිටපු යුධ හමුදා නිලධාරින් ඇතුළු ජනාධිපති රාජපක්ෂ මහතාට පක්ෂපාති අයට ලබා දෙන ලදී. වර්තමානයේදී, පාස්කු ප්‍රහාරවලින් වසරක් සනිටුහන් කරන මොහොතේදී, ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුවක් නොමැති නව ව්‍යවස්ථාමය උභතෝකෝටිකයකට මුහුණ දෙමින් සිටී.

එපමණක් නොව, කොවිඩ් 19 වසංගතය සමඟ ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අන්දමේ සෞඛ්‍ය අර්බුධයකට මුහුණ පා ඇති අතර, එය අපගේ දෛනික ජීවිතයට බලපෑම් කරමින් ආර්ථිකයට හා රාජ්‍ය පාලනයට ද සැලකිය යුතු අන්දමින් බලපා ඇත. කොවිඩ් 19 ට ප්‍රතිචාර වශයෙන් මාර්තු මාසයේ සිට මැතිවරණ ප්‍රමාද කිරීමට, උසාවි සහ කාර්යාල වසා දැමීමට, එහා මෙහා යෑම් සීමා කිරීමට හා නිරෝධායනය කිරීම වැනි දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබේ. මෙම අර්බුධය තුලදී හමුදා හා බුද්ධි අංශ වල සක්‍රීය ක්‍රියාකාරිත්වයක් දක්නට ලැබෙන අතර, සම්බන්ධතා ලුහුබැඳීම සහ නිරෝධායන කටයුතු ඇතුළු ක්‍රියාවන්හි ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බව අපට දැකගත හැකිය.

මේ සතියේ මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම සඳහා ජුනි 20 වන දින නියම කළ නමුත්, සෞඛ්‍ය ගැටළු මධ්‍යයේ මැතිවරණයක් පැවැත්විය හැකි ද යන්න සහ මැතිවරණය පැවැත්වීම මගින් වසංගතය උග්‍ර විය හැකි ද යන්න සලකා බැලිය යුතුය.

පාස්කු ප්‍රහාරයෙන් වසරක සංවත්සරය අප සනිටුහන් කරන්නේ මෙවන් පසුබිමකයි. මෙම සන්දර්භය තුල අප කිසියම් පාඩමක් ඉගෙනගෙන ඇත්දැයි විශ්ලේෂණය කල යුතු වේ.

පරීක්ෂණ වලින් සොයාගැනීම් පිලිබඳ විශ්ලේෂණාත්මකව බැලීම

ප්‍රහාරයෙන් පසු මාස කිහිපය දේශපාලන නායකත්වයේ අසමත් බව සහ ආරක්ෂක යාන්ත්‍රණයේ තිබූ වැරදි නොවන්නට මෙම සංහාරය වලක්වා ගැනීමට තිබූ බව හෙළිදරවු කළේය. එවකට ජනාධිපති වරයා විසින් පත්කරන ලද කමිටුවක් සහ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවත් මෙකී අසාර්ථකත්වයන් විශ්ලේෂණය කළේය. පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ප්‍රසිද්ධියට පත් කර නොමැති නමුත්, එහි වාර්තාව ජනතාව ඉදිරියේ ඇති අතර (මාධ්‍ය සඳහා විවෘතව තැබූ රැස්වීම් කිහිපයක් සහ ඒවා පුළුල් ලෙස මාධ්‍ය මගින් වාර්තා කෙරුණි), එය අවධානයට ලක්විය යුතුයි. එහි සොයාගැනීම් වලට අනුව අප්‍රේල් 4 වන දින පළමු බුද්ධි අංශ තොරතුර ලැබුන ද, කාලෝචිත අන්දමින් කිසිඳු පියවරක් ගෙන නොමැති අතර එහි ප්‍රධාන වගකිවයුත්තා එවකට රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයා බව පෙන්වා දෙයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් රාජ්‍ය හා ආරක්ෂක මෙවලම් වල වැරදි කිහිපයක්ද පෙන්වා දෙන අතර, විවිධ පාර්ශවකරුවන්ගේ අඩුපාඩු පිලිබඳ සාකච්ඡා කරයි. ප්‍රහාරයට පෙර මාසවලදී තාවකාලික රැස්වීම් පැවැත්වූ හා විවිධ ආරක්ෂක අභියෝගයන්ට ඵලදායි ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ ආරක්ෂාව පිලිබඳ ඉහළම ආයතනය වන ජාතික ආරක්ෂක කවුන්සිලය ඇතුළු පැවති ආරක්ෂක රාමුව මෙම වාර්තාව මගින් විමර්ශනය කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාර සහ විමර්ශන වල සොයා ගැනීම් පිලිබඳ මෙනෙහි කරන විට, කිසියම් හෝ පාඩම් ඉගෙනගෙන තිබේද යන්න පිළිබඳව ප්‍රශ්න කල යුතු වේ. ආරක්ෂක හා බුද්ධි අංශ යාන්ත්‍රනයන්හි විවිධ පාර්ශවයන්ගේ භූමිකාව නිරීක්ෂණ මට්ටම් හා ඝට්ටනයන් පිලිබඳ තේරීම් කාරක සභා වාර්තාව අවධාරණය කරයි. ආරක්ෂක යාන්ත්‍රණයේ වගකීම් රහිත බවත්, ඇතැම් දේශපාලනඥයින්ගේ මැදිහත් වීම සහ වැරදිකරුවන් ආරක්ෂා කිරීමට ඇතැමුන් දරණ ප්‍රයත්නයන් ද තේරීම් කාරක සභා වාර්තාවෙන් විමර්ශනය කෙරිණි.

තේරීම් කාරක සභාවේ සමස්ත වාර්තාව කියවීම ඉතාමත් ම වටිනාකමක් දනවන අතර, වාර්තාවේ 80 වැනි පිටුවේ(PSC report) ඉතා වැදගත් කාරණයක් මෙසේ සඳහන් වෙයි:

“එවන් පසුබිමක් තුළ අදාළ ප්‍රශ්න කිහිපයක් ඇසිය යුතුය – අඛණ්ඩ විමර්ශන වළක්වාලීමට, වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම වළක්වාලීමට සහ වැදගත් තොරතුරු බෙදා නොගැනීමට ඇතැම් දේශපාලනඥයින්ගේ සහය ඇතිව බුද්ධි අංශ ප්‍රජාවේ කොටස් උත්සහ කර තිබේද? 2018 සිට ඇතිවූ නොසන්සුන්තාව සහ වාර්ගික ප්‍රචණ්ඩත්වය අවිනිශ්චිතතාව උග්‍ර කිරීමට සහ ප්‍රජාවන් අතර, විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව අතර භීතියක් ඇති කිරීමට හේතු වුයේද? මෙය සිරිසේන-වික්‍රමසිංහ රජයේ පාලනයේ දුර්වලතාවය පෙන්නුම් කිරීමට සහ පාලනතන්ත්‍රය වෙනස් කිරීම සඳහා වූ ඉල්ලීම් ඉහල දැමීමට ද?

මෙය සිදුවන්නේ 2019 අග භාගයේ ජනාධිපතිවරණය දක්වාත්, 2020 පාර්ලිමේන්තු මැතිවරණය දක්වාත්, එදිනෙද ජීවිතයට බාධා පමුණුවමින් ප්‍රජාවන් අතර, විශේෂයෙන් සුළු ජාතීන් අතර භීතිය ඇති කරවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ වාර්ගික ආතතීන් වැඩි වෙන පසුබිමකය. පාස්කු ඉරිදා ප්‍රහාරය හා එයට පසුව ලංකාවේ ඇතැම් ප්‍රදේශ වල ඇති වූ ජාතිවාදී ප්‍රචණ්ඩත්වය මහජනයා අතර නව බියක් සහ දේශපාලන නායකත්වය සහ ආරක්ෂක යාන්ත්‍රණය පිලිබඳ විවේචනයන් පිළිබිඹු කළේය. මෙම කාලය තුලම පාලනතන්ත්‍රයේ වෙනසක් සඳහා ඉල්ලීම් තීව්‍ර විය. මේවා අහම්බයක් ලෙස සැලකිය නොහැකි අතර වැඩි දුර විමර්ශනය කලයුතු වෙයි. බුද්ධි අංශයේ ඇතැම් අංශ වල කාර්යභාරය සහ ආරක්ෂාව හැඩගැස්වීම සඳහා ඔවුන්ගේ උත්සාහයන්, මැතිවරණ ක්‍රියාවලිය, දේශපාලන දර්ශනය හා ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැසීමට ඔවුන් දරන උත්සාහයන් ප්‍රශ්න කිරීම ඉතාමත් වැදගත් ය.”

2019 ඔක්තෝබර් මාසයේදී වාර්තාව නිකුත් කර මාස හයක් ගතවී ඇති නමුත් ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට සහ වැරදිකරුවන් සිය වැරදි පිලිබඳ වගවීම සඳහා පියවර ගෙන තිබේදැයි යන ප්‍රශ්නය තවමත් පවතියි. ප්‍රහාර වලින් වසරකට පසුවත් පද්ධතියේ අසමත්වීම් සහ ඇතැම් පුද්ගලයන් විසින් විමර්ශන නැවත්වීමට සහ කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීම වැලක්වීමට හිතාමතා ගත් පියවර පිලිබඳ ප්‍රශ්න තවමත් අදාළ වේ.

ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19 වසංගතය මධ්‍යයේ සිටින අතර ඒ සමග සටන් වැදීම සඳහා බොහෝ පුද්ගලයන් සම්බන්ධ වී විශාල කාර්යභාරයක් එහි පෙරටුගාමීන් ලෙස සිදු කරයි. ශක්තිමත් හා ඵලදායි ප්‍රතිචාරයක් මෙයට අවශ්‍ය බවට සැකයක් නැතත්, මෙම ප්‍රතිචාරය සමග ඇති වී ඇති ව්‍යවස්ථාමය හා නෛතික තත්වයන් පිළිබඳව අවධානය යොමු වී තිබේ.

මෙම ලිපිය ඉදිරි මාස කිහිපය තුලදී වැඩි අවධානයක් අවශ්‍යවන ප්‍රතිචාරය පිලිබඳ අදහස් දැක්වීමක් නොවේ. සැලකිය යුතු කාරණය නම් ප්‍රතිචාර දැක්වීමේදී සමහරුන් ඉටු කරන කාර්යභාරය සහ රාජ්‍ය පාලනය, සිවිල් නිදහස හා නීතියේ ආධිපත්‍ය කෙරෙහි එහි ඇති ඇඟවුම් ය. මාධ්‍ය වාර්තා වලට අනුව ආසධිතයින් සොයා ගැනීමට, නිරෝධායනය කිරීමට හා වෙනත් අදාළ දෑ සඳහා හමුදාව හා බුද්ධි අංශය වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇත. ප්‍රතිචාරය ඵලදායි විය යුතු අතර, වර්තමාන සන්දර්භය තුල තේරීම් කාරක සභාවේ සොයා ගැනීම් කිරා මැන බැලීමේදී නිසි පරිදි ක්‍රියාත්මක වන ව්‍යුහයන් සහ අදාළ පාත්‍රයින් විසින් ඉටු කරන කාර්යභාරයන් පිළිබඳව වැදගත් ප්‍රශ්න මතු කල යුතු වේ. නිදසුනක් වශයෙන්, බුද්ධි අංශ ප්‍රජාවේ සමහරුන්ගේ කාර්යභාරය සහ අධීක්ෂණය පිළිබඳව තේරීම් කාරක සභාව ප්‍රශ්න මතු කළේය. කොවිඩ් 19 සන්දර්භය තුල නිරීක්ෂණය සඳහා නැවතත් සම්බන්ධවී ඇත්තේ එකී පාත්‍රයන් ම ද? එසේනම් වගවීම සහ අධීක්ෂණය සහතික කිරීම සඳහා කිසියම් ප්‍රතිසංස්කරණයක් සිදුවී තිබේද?

ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධව තේරීම් කාරක සභාව විසින් කරන ලද ප්‍රධාන නිර්දේශ කිහිපයක් පරික්ෂා කිරීම මෙහිදී අනිවාර්ය වේ. එසේ හඳුනාගත් ක්ෂේත්‍රයක් වන්නේ ජාතික ආරක්ෂක කවුන්සිලය ප්‍රතිසංස්කරණය කිරීම සහ ජාතික ආරක්ෂක උපදේශකයෙකු පත්කිරීමයි. මෙම ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට පියවර ගෙන තිබේද? යන්න පිලිබඳ මහජනයාට තොරතුරු ලබාදී නොමැත. නමුත් වර්තමාන අර්බුධය සහ සෞඛ්‍ය හා ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රමුඛතාවය සැලකිල්ලට ගනිමින් ව්‍යුහාත්මක හා ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කල යුතු වේ. එවැනි ප්‍රතිසංස්කරණ මෙම අර්බුදය හමුවේ එල්ලවෙන තර්ජන සාර්ථක ලෙස විසදාගැනීමට සහ අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමට ප්‍රධාන ආයතන වලට අවස්ථාව ලබා දෙනු ඇත. ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ තවත් රාජ්‍ය කිහිපයක ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා එවැනි ව්‍යුහයන් තිබේ. ශ්‍රී ලංකාවේ අතීත සහ නව අභියෝග සලකා බැලීමේදී මෙවන් ප්‍රතිසංස්කරණයන් ඉතා වැදගත් වේ.

පාර්ලිමේන්තුවේ වැඩි අධීක්ෂණයක් ඇතුළුව තවත් යෝජනා ගණනාවක් තේරීම් කමිටු වාර්තාව විසින් නිර්දේශ කරන ලදී. මෙය විධායකය විසින් සිදුකල හැකි සීමා ඉක්මවා කටයුතු කිරීම් පිලිබඳ අවධානයෙන් සිටීමට හා විධායකය තම ක්‍රියාවන්ට වගවීමට ඉතා වැදගත්ය. කාර්යක්ෂම පාර්ලිමේන්තු අධීක්ෂණය, වගකීම හා විනිවිද භාවය ඉක්මවා යා හැකි අතර බලපෑමට ලක්වූ ප්‍රජාවන් තුල ඇති විශ්වාසයේ හිගය පිරවීමට ද හැකිය. කොවිඩ් 19 සමග සටන් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු දෙකක් වන ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ හා රාජ්‍ය මූල්‍ය සඳහා ද පාර්ලිමේන්තුව අවශ්‍ය වේ. අවාසනාවකට මෙන් දැනට පාර්ලිමේන්තුවක් නොමැති බැවින් තීරණ සම්පුර්ණයෙන්ම විධායකය මත රඳා පවතී. විධායකයේ ක්‍රියාවන් පිලිබඳ සොයා බැලීමට හැකි පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමට නොහැකි වීම අත්තනෝමතික ඒකාධිපති පාලනයකට පහසුකම් සපයන අතර අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට එය සැලකියයුතු ලෙස බලපානු ඇත.

අනාගතය සඳහා සිතුවිලි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව කලබලකාරී වසරක් අත්දුටුවේය. මැතිවරණ පොරොන්දු වලට අනුකුලව සහ බලයට පත් වූ දා සිට ගන්නා ලද පියවරවල් වලට අනුව ආරක්ෂාව, ස්ථාවරත්වය, විනය හා කාර්යක්ෂමතාව වර්තමාන රජයේ ප්‍රමුඛතා ලෙස හඳුනා ගත හැකිය. අකාර්යක්ෂම විපක්ෂයක් සමඟ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය වැඩි වී තිබේ. කොවිඩ් 19 නිසා මිනිස් ජීවිතයට හා ආර්ථිකය කෙරෙහි ඇති බලපෑම මැඩලීමට ගන්නා පියවරයන් ද මෙයට බලපානු ඇත.

පාස්කු ප්‍රහාරයෙන් වසරකට පසු තේරීම් කාරක සභා වාර්තාවේ හඳුනාගෙන ඇති ගැටළු විසදීම සඳහා ආරම්භ කරන ලද කිසිඳු ප්‍රතිසංස්කරණයක් පිළිබඳව කිසිඳු තොරතුරක් මහජනයාට ලබා ගැනීමට හැකියාවක් නැත. යථාර්තය නම් අප අද දකින්නේ එදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් පාස්කු ප්‍රහාරයේදී ගැටලුකාරී බවට නිගමනය කරන ලද ඇතැමුන් විසින් අද වඩාත් ශක්තිමත් කාර්යභාරයක් ඉටුකරමින් සිටින ආකාරයි. කොවිඩ් 19 සඳහා දක්වන ප්‍රතිචාරය සමහරුන්ගේ භූමිකාව නීත්‍යානුකුල කරයි ද? අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව කුමක් කිව හැකි ද?

තවදුරටත් වසරක සංවත්සරයට පෙරාතුව හදිසි අත්අඩංගුවට ගැනීම් රාශියක් සිදුවී ඇති බවට වාර්තා වේ. මෙම අත්අඩංගුවට ගැනීම්වල චේතනාව හා වේලාව පිලිබඳ ප්‍රශ්න පැන නගින අතර නියමිත ක්‍රියාදාමයන් නොසලකා හැරීම කණස්සල්ලට කරුණකි. විමර්ශන අවශ්‍ය වන අතර, නිසි ක්‍රියාදාමය සහ නෛතික රාමුව පිළිපැදීම ඒ හා සමානවම වැදගත් වේ. පාර්ලිමේන්තුවක් නොමැති විට නීතියේ ආධිපත්‍යට බලපෑම් එල්ලවන අතර මෙය අතිශයින්ම කණස්සල්ලට පත් කරවන ඒකාධිපතිවාදයක් කරා යන ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි.

කොවිඩ් 19 මධ්‍යයේ වාර්ගික ගැටළු නැවත ඉස්මතුවීම ද කණස්සල්ලට කරුණකි. වින්දිතයන්ගේ සහ සුළු ජාතීන්ගේ ගැටළු විසඳීම සඳහා නිවැරදි ක්‍රියාමාර්ගයක් නොමැති විට, රජය සුළුතර අයිතිවාසිකම්, සහජීවනය සහ සංහිඳියාව පිලිබඳ සැලකිලිමත් වන්නේ ද නැතහොත් මෙය හුදෙක් මැතිවරණ ක්‍රියාවලිය තුල සැමවිටම දකිනා ඡන්ද ලබාගැනීමේ අරමුණෙන් කෙරෙන්නක් ද යන්න ප්‍රශ්න සහගතය.

රටක් වශයෙන් ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරන දිශාව පිලිබඳ අප විසින් දැඩිව ප්‍රශ්න කළ යුතුය. පෙර ප්‍රචණ්ඩත්වය හා විනාශය අත්විඳ ඇති රටක් වුව ද පාස්කු ප්‍රහාරවල පරිමාව හා ස්වභාවය කිසිදා බලාපොරොත්තු නොවූ අන්දමේය. 2019 දී අප දුටු කෝපය, බිය සහ වෛරය අප කොවිඩ් 19 සමග සටන් කරන මේ සමයේද ඊට සමාන ප්‍රවණතා දැකීම කනස්සල්ල ඇති කරවයි.

ශ්‍රී ලංකාව ප්‍රචණ්ඩත්වයේ චක්‍ර ගණනාවකට මුහුණ දී ඇති අතර හා නිරන්තරයෙන් අහිමිවීම් මෙන්ම දුක්වේදනාවන්ද අත්විඳ ඇත. 2019 දී අප නැවත වරක් මේවාට මුහුණ දුන්නෙමු. එයට වසරක පසු අප කල්පනා කල යුතුව ඇත්තේ අප මෙකී අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන තිබේද යන්නයි.

(කතුවරිය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද මෙම ලිපිය පරිවර්තනය කරන ලද්දේ ‘විකල්ප’ වෙබ් අඩවිය විසිනි)

භවානි ෆොන්සේකා | Bhavani Fonseka