‘එදාට බැරි නම්, ඊටත් පහුවෙලා, මැතිවරණයක් තියලා, පාර්ලිමේන්තුවක් තෝරා ගත්තාට පස්සේ, අපිට පාර්ලිමේන්තුව කැදවන්න පුලුවන්. ඒක එච්චර ලොකු ප්‍රශ්ණයක් නෙමේ. මේක ප්‍රශ්ණයක් කර ගෙන නැවතත් මේ රට, අනවශ්‍ය තැනකට පත් කරන්නට බෙදුම්වාදී, අන්තවාදී, කොටස් සූදානම් වෙන බව පැහැදිලිව අපට පේනවා’ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙසේ පවසන ලද්දේ, භික්ෂූන් වහන්සේලා සමග පැවති සාකච්ඡාවක දී ය.

ඕනෑම අර්බුද තත්ත්වයක් හමුවේ රාජපක්ෂලාගේ ප්‍රධාන මන්තරයක් වන ‘බෙදුම්වාදී, අන්තවාදී කොටස්…..‘ යන්න කරලියට ඒම ඔවුන්ගේ පාලන සමයන් හී දී නිරන්තරයෙන් සිදුවිය. මෙය ඔවුන් විසින් භාවිතා කරන ලද්දේ යම් අර්බුදයකට ‘ජාතිවාදී සහ වර්ගවාදී’ මුහුණුවරක් ලබා දෙමින් අදාළ අර්බුදය වෙනතකට යොමු කිරීමේ උපායමාර්ගයක් ලෙසය.

මෙය විසදුම් සොයන ක්‍රියාවලියක් වෙනුවට, අලුත් අර්බුදයක් මතු කරමින්, පවතින අර්බුදය විසදීමේ දී, තමන් අසමත් කලාප වසා ගෙන, ඉන් ගැලවීමේ කූඨ උපක්‍රමයක් ලෙසය. එය දැන් කොරෝනා වසංගතය මර්දනය කිරීමේ ක්‍රියාවළිය තුළ ද කරලියට පැමිණ තිබේ. ඒ මහමැතිවරණය අරඹයා ඇති වී ඇති සංවාදය හේතුවෙනි.

සැකෙවින් සටහන් කලොත්, ‘ආණ්ඩුවේ නොවන’බොහෝ පාර්ශවයන් ගේ අදහස කෙටි කර ලියන්නේ නම්,

කොරෝනා වංසගත තත්ත්වය හේතුවෙන් මහමැතිවරණයක් පැවැත්වීම ජනතාවගේ ජීවිත අවධානමට ලක් විය හැකි නිසා මැතිවරණය කල්දමා, වසංගතය මැඩලීමට ප්‍රමුඛස්ථානය ලබා දීමත්,

එසේම, ජනාධිපතිවරයා සතු බලය භාවිතා කරමින්(පාර්ලිමේන්තුව විසුරුවීම සදහා ප්‍රකාශ කළ ගැසට් පත්‍රය අවලංගු කර), විසුරුවීමට පෙර තිබූ පාර්ලිමේන්තුව නැවත කැදවා, වසංගතය මැඩලීම සදහා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රීය අවකාශයන් පුලුල් කරමින් ඒ සදහා අවශ්‍යය නෛතික යාන්ත්‍රණයන් සකස් කරන ලෙසත්, වසංගත තත්ත්වය සමනය වූ පසු නැවතත් මහමැතිවරණය කැදවීමත් ය.

සරලව ගතහොත්, ජන ජීවිතයේ ආරක්ෂාව ගැන සිතා, මැතිවරණය පැවැත්වීම කල්තබා, ‘ජීවිත’ ගැන සිතීමත්, පවතින විශේෂ තත්ත්වය සලකා තිබූ පාර්ලිමේන්තුව නැවත කැදවා පවතින තත්ත්වයට සාමූහිකව මුහුණ දීමත්, නීතියේ පාලනයට අවශ්‍ය තත්ත්වයන් සකස් කර ගන්නා ලෙසත්ය ලෙසත් ය.

නමුත් පෙනෙන ලෙස ජනාධිපතිවරයා ඇතුලු පාර්ශවයන් වඩාත් ම තිගැස්සී ඇත්තේ තිබූ පාර්ලිමේන්තුව නැවත කැදවීම පිළිබද වන යෝජනාවටය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අඹමල් රේනුවක හෝ අදහසක් ඇති ඕනෑම බබෙක්ට තේරෙන දෙයක් නම්, යම් අර්බුදයකදී, කවුරුන් හෝ ‘පාර්ලිමේන්තුවක් කැදවන්න’ යැයි කියනු ලබන ප්‍රකාශයන් හි අර්ථය නම්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට තීරණ ගැනීම සදහා වන යොමුවයි. එය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික භාවිතාවකි. මූලික ලක්ෂණයකි. එසේ නම් එම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයන්ට විරුද්ධ වන්නෝ, විරුද්ධ වන්නේ කුමකටද? ඔවුන් පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන්ද? ප්‍රශ්ණය සරලය. ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකලත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ‘පුද්ගලයෙක්’ ඔවුන් විශ්වාස කරයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට සම්පූර්ණයෙන් වන විරුද්ධය. එය ද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අංශු මාත්‍රයක් හෝ දන්නා ඕනෑම බබෙක්ට තේරෙන තත්ත්වයකි. කෙසේ නමුත්, ජූනි 2වනදායින් පසු ව්‍යවස්ථාව පැත්තෙන් මතුවන තත්ත්වය යහපත් හෝ අයහපත් අතට පත් කල හැකි පුද්ගලයා වන්නේ ද ජනාධිපති ගෝඨාබය රාජපක්ෂය.

මේ වන විට මැතිවරණ කොමිසම් සභාවට ඇති බලතල අනුව මහමැතිවරණය පැවැත්වීම ජූනි 20වන දින යැයි ප්‍රකාශයට පත් කර ඇත. දැන් පවතින තත්ත්වය අනුව මැතිවරණයක් පවත්වා, නව පාර්ලිමේන්තුවක් ජූනි 2ක හෝ හෝ එදිනට පෙර කැදවිය නොහැකිය. එසේ නොහැකි වීමෙන් මතුවන තතත්ත්වය සමනය කර ගැනීම සදහා, විවිධ පාර්ශවයන් විසින් යෝජනා කරනු ලබන්නේ ඉහතින් සදහන් කළ පරිදි, තිබූ පාර්ලිමේන්තුව නැවත කැදවීමත් සදහා ජනාධිපතිවරයා ක්‍රියාකල යුතු බවයි.

දැන් ‘බෙදුම්වාදීන්, අන්තවාදීන්…’ යැයි ගෝඨාබය ජනාධිපතිවරයා චෝදනා කරන්නේ, රට අරාජික වීම වලක්වා ගැනීමේ අරමුණින්, එසේ ‘පාර්ලිමේන්තුව කැදවීමක්’ ඉල්ලා සිටින අයට ද?

‘බෙදුම්වාදීන්, අන්තවාදීන්….’ යැයි ගෝඨාබය ජනාධිපතිවරයා චෝදනා කරන්නේ, ‘පළමුව වෛරසය පරදවා, දෙවනුව මැතිවරණය’ තියමු යන්න යෝජනා කරමින් සිටින අයටද?

‘බෙදුම්වාදීන්, අන්තවාදීන්…’ යැයි ගෝඨාබය ජනාධිපතිවරයා චෝදනා කරන්නේ, එක් අයෙක් විසින් තීන්දු ගැනීම වෙනුවට සාමුහිකව තීන්දු ගනිමින් මේ ප්‍රභල ව්‍යසනය පරාජය කරමු යැයි කියන පාර්ශවයන් ට ද?

‘බෙදුම්වාදීන්, අන්තවාදීන්…’ යැයි ගෝඨාබය ජනාධිපතිවරයා චෝදනා කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලු නීතිමය තත්ත්වයන් ආරක්ෂා කරගිනිමින් මේ ප්‍රභල වසංගතය පරාජය කිරීමේ වැදගත්ම පෙන්වා දෙන අයට ද?

‘බෙදුම්වාදීන්, අන්තවාදීන්…’ යැයි ගෝඨාබය ජනාධිපතිවරයා චෝදනා කරන්නේ, ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරිමේ වැදගත් කමත්, නීතියේ පාලනයත් ඇතිකිරීමත් සමගම, මේ දරණු වසංගතය පාලනය කළ යුතු යැයි යෝජනා කරන අයට ද?

එබැවින් ජනාධිපතිවරයා ගේ මනෝබාවය මෙය නම් මෙහි ‘සංඥාව’ වෛරසය තරමටම දේශපාලනිකව බරපතල විය හැකිය. එය එසේ වන්නේ, ඕනෑම රාජ්‍ය නායකයෙක්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් වැනි ශිෂ්ට ජන සමාජයකට අත්‍යවශ්‍ය කරුණු පිළිබද සංවේදී වනවා ද යන්න මැනිය හැකි වන්නේ, සංකීර්ණ අර්බුධ අවස්ථාවන් හී දී ගනු ලබන තීරණ පිළිබද පිරික්සීමෙනි. එබැවින් බරපතල කොරෝනා වසංගත තත්ත්වය වඩා හොදින් මැඩපැවැත්වීම සදහා වන ප්‍රජාතන්ත්‍රවාදී යෝජනාවලට වත්මන් රාජ්‍ය නායකයාගේ ප්‍රතිචාරය එය නම්, එයින් ශ්‍රී ලංකාවේ පශ්චාත් කොරෝනා අවධියේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද තත්ත්වය ඒ තරම් සුභාදයක නොවනු ඇත. එබැවින්, එවැනි තත්ත්වයක් ඉදිරියේදී ඇති වීම වලක්වා ගැනීම, කොරෝනා වසංගතය පරාජය කරනවා සේම වැදගත්ය.