iMage: PMDNews

රටේ වර්තමානයේ උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය මත රාජ්‍ය සේවාවන්ගේ යම් ඇණහිටීමක් ඉදිරියේදි සිදුවේ ද යන්න පිළිබඳව සකච්ඡාවට ලක් කිරීම කාලෝචිතය. ඒ අනුව මේ අවස්ථාවේදී සාකච්ඡා කළ යුත්තේ රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යළි නොකැඳවා සිටිය හොත් සහ මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් 2020 ජූනි 05 වැනිදායින් පසුව ආණ්ඩුවේ සමහර සේවාවන් නතර කර දැමීමට(Government Shut Down) සිදුවේ ද යන්න පිළිබඳවයි.

ආණ්ඩු කටයුතු නතර කර දැමීමට සිදු වන තත්ත්වයන්ට අදාළව ලෝකයේ ඇතැම් රටවල් ලබා ඇති අත්දැකීම් ගැන සාකච්ඡා කිරීමේ දී ඊට අදාළව ඇමරිකා එක්සත් ජනපදය ලබා තිබෙන අත්දැකීම් පැහැදිළි කර ගැනීම මේ අවස්ථාවේදී වැදගත්ය. ඇමරිකා එක්සත් ජනපදයේ නම් “ආණ්ඩුව වසා දැමීම” සිදු වන්නේ කොංග‍්‍රසය විසින් රජයට අවශ්‍ය කරන්නා වූ අරමුදල් ලබාදීමට අපොහොසත් වූ විටදීය. මෙවැනි අවස්ථාවකදී අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින් වැටුප් රහිතව නිවාඩු ලබා දීමකට ලක් කරයි. මෙවැනි තීරණ සදහා හේතු වන්නේ පවත්නා අරමුදල් ප‍්‍රමාණවත් නොවීමයි.

මෙවැනි තත්ත්වයකදී කොංග‍්‍රසය ඇතුළත අයවැයක් සම්මත වීමට යම් කාලයක් ගත වේ. එම කාලය ඇතුළත රජයේ කටයුතු කර ගෙන යාමට සිදු වන්නේ පවතින මුදල් සංචිත හරහාය. පසුගිය කාලපරිඡේදය පිළිබදව අවධානය යොමු කිරීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ අවස්ථා කිහිපයකදීම මෙවැනි වසා දැමීම් සිදු වූ ආකාරය හදුනා ගත හැකිය. ජනපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර ඉදිරි අයවැය සදහා එකගතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් 2018 දෙසැම්බර් 21 මධ්‍යම රාත‍්‍රියේ සිට 2019 ජනවාරි 25 දක්වා, දින 35ක් ආණ්ඩුව වසා දැමීමට සිදු වූ අතර එම වසා දැමීම ඇමරිකාවෙන් දැනට හදුනා ගෙන ඇති දීර්ඝතම “ආණ්ඩු වසා දැමීම” ලෙස සදහන් කළ හැකිය.

අප රටෙහි පවතින තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීමේදී 2020 මාර්තු 02 දරන විශේෂිත ගැසට් පත‍්‍රය (No.2165/8-2020) ප‍්‍රකාශයට පත් කිරීම මගින් ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. 2020 මාර්තු මස නිකුත් කරන ලද පූර්ව මැතිවරණ අය-වැය තත්ත්වය දැක්වීමේ වාර්තාව-2020 සහ (Visit Treasury Web, http://www.treasury.gov.lk /under other publications) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 150/03 වගන්තියට අනුව නිශ්චිතව දක්වා ඇත්තේ ඉදිරි මාස 3ක කාල කාලපරිඡේදය සදහා, එනම් 2020 මාර්තු 06 වන දා සිට 2020 ජූනි 05 වනදා දක්වා වන ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 1229ක් බවය.

එහි රුපියල් බිලියන 715ක් වර්තන වියදම් සහ රුපියල් බිලියන 150ක් ප‍්‍රාග්ධන වියදම් ලෙස දක්වා ඇති අතර ණය නැවත ගෙවීමට වෙන් කරන ලද ප‍්‍රමාණය රුපියල් බිලියන 360කි. එනම් වාර්තාවේ සදහන් කාලපරිඡේදයේ වියදම් සදහා වෙන් කරන ලද සමස්ථ මුදල් ප‍්‍රමාණය රුපියල් බිලියන 420ක් ලෙසට තවදුරටත් දැක්වේ.

පහතින් දැක්වෙන්නේ “Pre-Election Budgetary Position Report” හි 12 වැනි පිටුවෙන් කළ උපුටා ගැනීමකි.

මහ භාණ්ඩාගාර ලේකම් විසින් 2020.03.10 වන දින නිකුත් කරන ලද “BD/CBP/0101/04-2020” චක්‍රලේඛය මගින් (ලිපියේ කොටසක් පහතින් දක්වා ඇත) සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභාවල ප‍්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් වෙත දන්වා ඇත්තේ 2020 මාර්තු සිට 2020 මැයි අවසානය දක්වා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ තුන් වැනි අනු ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන අනුව ඒකාබද්ධ අරමුදලින් මුදල් වියදම් කිරීමේ හැකියාවක් පවතින බවයි.

2020 මාර්තු සිට 2020 ජූනි දක්වා මාස 3ක කාලපරිඡේදයක් සදහා රජයේ සේවාවන් සහ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමට දැරීමට සිදු වන වියදම් සදහා අවශ්‍ය වන්නාවූ ප‍්‍රතිපාදන ඒකාබද්ධ අරමුදලින් දැරීම පිණිස ශී‍්‍ර ලාංකික ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150 වගන්තියේ 03 වන අනු වගන්තියෙහි ප‍්‍රතිපාදන අනුව මුදල් වියදම් කිරීමේ හැකියාවක් පවතින බව මහා භාණ්ඩාගාර ලේකම් විසින් ප‍්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ නිශ්චිතව දක්වා ඇත. මේ සදහා ජනපති විසින් බලය ලබා දී ඇති බව ද එහි වැඩි දුරටත් දක්වා ඇත.

2020 අතුරු සම්මත ගිණුමේ ඉතිරි ප‍්‍රතිපාදන ප‍්‍රමාණය ද අනතර්ග්‍රහණය කරමින් මහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා විසින් ඉදිරි මාස 03ක කාලය වෙනුවෙන් එක් එක් අමාත්‍යාංශ සදහා මුදල් වෙන් කිරීමේ බලය ලබා දී ඇත. මෙම කාලයේ ගෙවීම්, වවුචර් සහ අනිකුත් ලියකියවිලිවල අදාළ අධිකාරිය ලෙස සදහන් කළ යුතු වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150 (03) අනු ව්‍යවස්ථාව බව ඔහු තවදුරටත් දක්වා ඇත.

පහතින් දැක්වෙන්නේ “BD/CBP/01/01/04-2020” යන චක්‍රලේඛණයේ අංක 03 ඡේදයේ උපුටා ගැනීමයි.

නමුත් මහ භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කරන ලද චක‍්‍රලේඛණ සමග දැන් යම් ගැටලුවක් මතු වේ. එනම් 2020 ජූනි 05 සිට ඊළග මහ මැතිවරණය පැවැත්වෙන තෙක් ආණ්ඩුවේ සේවාවන්ට කුමක් සිදුවේ ද යන්න අවබෝධ කර ගත නොහැකි විමයි. මෙවැනි පසුබිමක අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් පවත්වා ගැනීම සහ මුදල් ලබා ගැනීමේ අර්බුදයක් නිර්මාණයවේ ද යන්න රට කරවන්නන් විසින් විසදා ගත යුතුව තිබේ.

මෙහිදි මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටිමට ඉඩ ඇත. එහිදී නීතිපතිවරයා කුමක් කියාවිදැයි අපි නොදනිමු. රජයේ සමහර මැති ඇමතිවරුන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අලුත් පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව ද මාස තුනක් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත කර ගැනීමට ජනාධිපතිවරයාට බලතල ඇති බවයි. එනමුත් පූර්ව මැතිවරණ අය-වැය වාර්තාව සහ මහ භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති උක්ත චක්‍රලේඛය මගින් නම් එවැන්නක් ගම්‍ය නොවේ. එමෙන්ම 2020 ජූනි 05 වැනිදාගෙන් පසුදා සිට පාර්ලිමේන්තුව යළි රැස් වන දිනය දක්වා, එනම් මාස 03 සීමාව ඉක්මා ගිය ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට යමක් කළ හැකි දැයි යන්න පිළිබඳ කාරණය විවාදාත්මකය.

කෙසේ නමුත් රටක් ලෙස ශ්‍රී ලංකාව අප ඉතිහාසයේ පළමු වරට මුහුණ දෙන මෙම අර්බුදය ඇමරිකාවේ හෝ අසල්වැසි ඉන්දියාවේ ක‍්‍රමවේදයට විසදා ගත නොහැකිය. ඊට හේතුව එම රටවල් ෆෙඩරල් රාජ්‍යයන් විම සහ ශ්‍රී ලංකාව ප‍්‍රජාතාන්තී‍්‍රය ඒකීය රාජ්‍යයක් වීමය.

පාර්ලිමේන්තුව කැඳවා දරන වියදම් සහ නොකැඳවා දරන වියදම අතර පවතින තත්ත්වය සාකච්ඡා කිරීමේදී ‘ආණ්ඩුව වසා දැමීමේ‘ පිරිවැය ඉහළ මටට්මක පවතින බව අවබෝධ කර ගත හැකිය. ඇමරිකා එක්සත් ජනපදයේ පසුගිය 2018 දෙසැම්බර් 21 මධ්‍යම රාත‍්‍රියේ සිට 2019 ජනවාරි 25 දක්වා, දින 35ක් ආණ්ඩුව වසා දැමීමේදී ශුද්ධ වශයෙන් එරට ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 03ක පාඩුවක් සිදු වී ඇත.

රටක් ලෙස ශ්‍රී ලංකාවට ද ආණ්ඩුව වසා දැමීමට සිදු වුණොත්, රටේ මේ වන විටත් පවතින අයහපත් ආර්ථික පසුබිම යටතේ ආර්ථික ශ්‍රේණිගත කිරීමේ ආයතන හරහා රට තවදුරටත් අඩු ශ්‍රේණිගත කිරීමකට ලක් වනු ඇත. ජාත්‍යන්තර “Pitch” ආයතනය ශී‍්‍ර ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම දැනටමත් ඍණ මට්ටමක් දක්වා පහළ දමා ඇත. මේ හේතුවෙන් ශී‍්‍ර ලංකාව පිළිබදව ආයෝජකයින්ගේ විශ්වාසය ද පළුදු විය හැකිය. එපමණක් නොව මේ තත්ත්වය අයහපත් පූර්වාදර්ශයක් ද සපයනු ඇත.

ඉහතින් දක්වන ලද කරුණු නිවැරදි ආකාරයෙන් වටහා ගනිමින් එළැඹ සිටින තීරණ මතම නොසිට මෙවැනි අවස්ථාවක සුදුසු සහ නුසුදුසු තීරණ කවරේ ද යන්න අවබෝධ කර ගෙන රාජ්‍ය පාලනයේ යෙදිය යුතුය. එහිදි හදවතින් සේම, බුද්ධියෙන් කටයුතු කිරිම මැනවි. COVID -19 මාරාන්තික වෛරසය හමුවේ සමාජය මුහුණ දී තිබෙන පීඩාකාරී අවස්ථාවන් නිවැරදිව තේරුම් ගනිමින්, රටේ අභිවෘද්ධිය සහ රටේ ජීවත් වන ජනතාවගේ දිවිපැවැත්මට බලපෑම් නොවන ආකාරයෙන් තීරණ ගැනීම කාලීන අවශ්‍යතාවයකි.

මෙවැනි අවස්ථාවකට රට මුහුණ දෙන්නේ පළමු වතාවට වන අතර, මේ තත්ත්වය සුවිශේෂි අවස්ථාවක් ලෙස දැක්විය හැකි වේ. මේ වාතාවරණය අප රටට නව අත්දැකීමක් වන නිසා මේ අවස්ථාවේ අනවශ්‍ය පරීක්ෂාවන් සහ අත්හදා බැලීම් නොකළ යුතුය. නව කොරෝනා වෛරසයෙන් සමස්ථ ප‍්‍රජාවම පීඩාවට පත්ව සිටින මෙවන් මොහොතක රාජ්‍ය තාන්ත‍්‍රිකයින් විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළව පරීක්ෂා කිරීම් සහ අත්හදා බැලීම් මේ අවස්ථාවේ දී සිදු නොකළ යුතුය. එනම් රාජ්‍ය අංශය විසින් ඉදිරි කටයුතු සැලසුම් කිරීමේදී අනාගත රාජ්‍ය සේවාවන් එනම්, 2020 ජූනි 05 වැනිදාගෙන් පසුව රජ්‍ය සේවාවන් ආශි‍්‍රතව මතු වන්නා වූ අර්බුදය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ යුතුය.

මහාචාර්ය ප‍්‍රසන්න පෙරේරා
ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුව
පේරාදෙණිය විශ්ව විද්‍යාලයය