iMAGE: Vikalpa / Social Media Declaration Workshop Jaffna

අප මේ ගෙවමින් සිටින්නේ ඉතා දුෂ්කර කාල පරාසයකි. කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ දෛනික කටයුතු බොහෝ දුරට වෙනස් කම් රාශියකට භාජනය වී තිබේ.මේ අතර සමාජ දුරස්ථකරණය හේතුවෙන් බොහෝ දෙනෙක් නිවෙස් වල රැදී සිටින අතර,  අන්තර්ජාල ප්‍රවේශය ඇති බොහෝ දෙනෙකු නිවෙසේ සිට තම රාජකාරි කටයුතු කරමින් සිටිති.

අනෙක් අතට නිවසේ ගත කරන කාලයෙන් සැලකිය යුතු වශයෙන් වැඩි කාලයක් මේ වන විට සමාජ මාධ්‍ය වේදිකාවන් තුළ සැරිසරමින් ගත කෙරේ.ලොව පුරා තොරතුරු ඉක්මනින් ලබා ගැනීමට, කියවීමට, ලිවීමට, අදහස් හුවමාරු කරගැනීමට, මිතුරු මිතුරියන් හමුවිමට, කාර්යාල සාකච්ජා පැවැත්වීමට, රස වින්දනයට, හාස්‍යට, අත්දැකීම් බෙදා හදා ගැනීමට ආදී වූ මෙකි නොකී බොහෝ දේ සඳහා මේ මොහොතේ අපට ඇති ප්‍රබලම හා පහසුවෙන් ළඟා වියහැකි මාධ්‍ය බවට පත්ව තිබෙන්නේ සමාජ මාධ්‍ය වේදිකාවන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ සියලු ධනාත්මක ශක්‍යතා එසේ තිබියදීම  සමාජ මාධ්‍ය හරහා , විශේෂයෙන්ම ශ්‍රී ලංකාව  තුළ ෆේස් බුක්  භූමිකාව පිලිබඳ විශේෂ අවදානයක් යොමු වී තිබේ.ප් ඊට හේතුව නම් මෑත කාලීනව අප රටේ උද්ගත වූ  විවිධ සමාජ ආතතීන්, වෛරී කථනයන්, ප්‍රකෝපකාරී වීම්, ආගමික හා ජාතින් අතර  වෛරය හා ප්‍රචණ්ඩත්වය කෙරෙහි සමාජ මාධ්‍යයේ දායකත්වය වඩා ප්‍රබලව පෙනීමය.

ඒ අනුව 2018 අප්‍රේල්  10  දින මුල්වරට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ශ්‍රී ලංකාවේ තවත් සිවිල් සංවිධාන සමුහයක අත්සන් සහිතව ප‍්‍රචණ්ඩත්වය සහ වෛරී කථනය ඇතුලු අන්තර්ගතයන් ප‍්‍රවර්ධනය කිරීම වැළැක්වීමට ‘ඔබගේ ප‍්‍රජා ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කරන්න’ යනුවෙන් විවෘත ලිපියක් #Facebook  සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි මාක් සකර්බර්ග් වෙත යොමු කළේ  ඔහු  කොන්ග‍්‍රසය ඉදිරියේ සාක්ෂි දීමට සූදානම් වෙමින් සිටින මොහොතක ය.

එම ලිපිය හරහා ප‍්‍රචණ්ඩ පණිවුඩ ප‍්‍රවර්ධනය කිරීමේ දී facebook වැනි සමාජ මාධ්‍ය වේදිකා විසින් ඉටු කරන ලද කාර්ය භාරය ප‍්‍රමාණවත් අයුරින් විභාග කර නැති බවත්, එළිපිටම ජන සංහාරය උසි ගැන්වූ සහ වෛරය උසි ගන්වමින් කළ අන්තර්ගතයන් ඉවත් කිරීමට වේදිකාව අසමත් වීම ගැනත් කනස්සල්ල පළකොට තිබුණි.Facebook තුළ සිදු වන අවමන් කිරීම් පිළිබඳව වසර ගණනාවක් තිස්සේ ම පැමිණිලි කර ඇති සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්  සමග අර්ථාන්විත සම්බන්ධයක් ඇති කර ගැනීමට ෆේස්බුක් සමාගම ඉන් පසුව වත් තීරණය නොකිරීම ගැනද එහි සඳහන් කොට තිබුණු අතර දීර්ඝ කාලයක් තිස්සේ අසන්නට ලැබී ඇත්තේ පෞද්ගලික කැප වීම්, පොරොන්දු දීම් හෝ සමාව ගැනීම් ගැන පමණක් වන හෙයින් වසර ගණනාවක් තිස්සේ අවධානය යොමු කරවා ඇති ගැටලූ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා සිවිල් සමාජය සමග එක්ව අර්ථාන්විතව  කැප වනු ඇති බවට එම ලිපිය මඟින් පෙන්වා දී තිබුණි.

ඉන් අනතුරුව එයින් තවත් පියවරක් ඉදිරියට යමින්  පසුගිය වසරේ එනම් 2019 වසරේ  මාර්තු 19 වන දින විකල්ප වෙබ් අඩවිය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මුලිකත්වයෙන් සිංහල ,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම  සිවිල් සංවිධාන, වෙබ් මාධ්‍ය අවකාශ, ක්‍රියාකාරී මාධ්‍ය සංවිධාන, ස්වේච්ජා තරුණ ක්‍රියාකාරී සංවිධාන, මානව හිමිකම්,ළමා අයිතිවාසිකම්, කාන්තා හා ආන්තික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන ඇතුලු පාර්ශව 19   දායකත්වයෙන් නිම කරන “සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2019 ”  එළි දක්වන ලදී. අදහස් පළ කිරීමේ නිදහස අනුල්ලංඝනීය බව තහවුරු කරමින් ඩිජිටල් සාක්ෂරතාවය සමඟ තොරතුරු සමාජයකට ප‍්‍රවේශ වීමේ අයිතිය තහවුරු කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීමටත්, සමාජ මාධ්‍යය පරිශිලකයින්ව යහපත් සමාජ මාධ්‍යය භාවිතයකට දිරි ගැන්වීමත් අරමුණු කරන ලදී.

ඒ අනුව  පරිශිලකයින් වෙනුවෙන් වූ මග පෙන්වීම් මාලාවක් ද , ඒ හා සමගාමිව සමාජ මාධ්‍යය සුරක්ෂිත අවකාශයක් බවට පත් කිරීමෙහිලා ආණ්ඩුවසමාජ මාධ්‍යය වේදිකාසිවිල් සමාජය සහ මාධ්‍ය සංවිධාන සතු වගකීම් ද අවධාරණය කොට තිබේ.

බොහෝ විට සමාජ මාධ්‍යයේ සෘණාත්මක හැසිරීම සම්බන්ධයෙන් වන චෝදනා වලට පරිශීලකයාට සියයට සීයක්ම පාහේ වරද පැටවීමේ ස්වභාවයක් දිගින් දිගටම දක්නට ලැබුණත්  ආණ්ඩුවට සහ  සමාජ මාධ්‍යය වේදිකා වෙත එහි විශාල වගකීමක් පැවරේ.

රාජ්‍ය මැදිහත්වීමෙන් තොරව නිදහස් අදහස් ප්‍රකාශනයේ අයිතිය භුක්ති විදිමට හැකියාවක් ඇත්ද යන්න දැන් පැන නැගී ඇති ගැටලුවකි. පසු ගිය කාලය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ තම අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් ලේඛකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුලු කිහිප දෙනෙකුම කිසිදු සාධාරණ හේතුවකින් තොරව සිර ගත කොට තිබේ.එය කිසිසේත්ම නොවිය යුත්තකි.

එබැවින් සියලු පුරවැසියන්ගේ මානව අයිතීන්ට හා ප්‍රකාශනයේ නිදහසට ගරු කළ හැකි, අගතිගාමී හිංසාවෙන් හා වෛරයෙන් තොර ඔන්ලයින් අවකාශයක් නිර්මාණය කර ගැනීමට ආණ්ඩුව විශේෂයන්ම කැප විය යුතුය.

අනෙක් අතට මීට වසර දෙකකට පෙර 2018 වසරේදී ශ්‍රී ලංකාවේ ඇතිවූ මුස්ලිම් විරෝධී හිංසන ව්‍යාප්තිය සඳහා facebook දායකත්වය හා එහි භූමිකාව අගතිදායක බව අනාවරණය වන තෙක් එයින් පසුව කෙරෙන සමාව ඉල්ලීම් වලින් එහාට ගොස් ඔන්ලයින් අවකාශය තුළ ජාතිකත්වය, ආගම, කුලය, ලිංගික දිශාන්නතිය, ස්ත්‍රී, පුර්ෂ භාවය හෝ වෙනත් කරුණක් මත පදනම්ව අනාරක්ෂිතභාවයක් ඇති නොවීම සඳහාත්, ඒ හරහා  මුලික මිනිස් අයිතීන් කඩවීමට ඇති අවකාශය අවම කිරීමට සමාජ මාධ්‍ය වේදිකා වෙත පැවරෙන ප්‍රබල වගකීමකි.

එය පවත්වා ගෙන යාමේදී අවශ්‍ය බුද්ධිමය  සහයෝගය සහ සමාජ දායකත්වය ලබා දීම  සිවිල් සමාජය සහ මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන වගකීමකි.

 

කෙසේ වෙතත් අර්බුධකාරී අවස්ථාවන්හි දී සමාජ මාධ්‍ය වෙත පුරවැසියන්ට හිමි  ප්‍රවේශය අහිමි කිරීම වෙනුවට පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කොට, ප්‍රවේශය තහවුරු කිරීමට  රජයට බලකිරිමත් පවතින නීති රාමුව තුළ ලංකාව අත්සන් තබා දේශීය නීතියට අපරානුගත කොට ඇති ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය පිලිබඳ පනත හරහා සඵල කිරීමට අපේක්ෂිත මුලික මිනිස් අයිතීන් ආරක්ෂා කිරීමට මිස, සමාජ මාධ්‍යය අවකාශයන් හිදී එය  පුද්ගල නිදහස සිමා කිරීමට  යොදා නොගන්නා බවටත් රජය සහතික වීමේ වැදගත් කම අප සමාජ මාධ්‍ය ප්‍රකාශනය හරහා මේ මොහොතේ නැවත නැවතත්  අවධාරණය කරමු.

සමාජ මාධ්‍යය ප්‍රකාශනය : සිංහල  දෙමළ ඉංග්‍රීසි