iMAGE: Vikalpa  ( Horton Plains, Sri Lanka)

” ජෛව විවිධත්වය “ අදට යෙදී ඇති ලෝක පාරිසරික දිනයේ 2020 වර්ෂයේ තේමා පාඨයයි. මේ තේමාව හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජෛව විවිධත්වය ආරක්ෂා සඳහා වූ ඉතාමත් ඉක්මන් පියවර වෙනුවෙන් සමස්ත සමස්ත ලෝකයාටම ආරාධනා කරයි.

ලෝක පාරිසර දිනයේ ඉතිහාසය 1972 වර්ෂය දක්වා විහිදී යයි. එහිදී මානව පරිසරය පිළිබඳව වූ ස්ටොක්හෝම් සමුළුවේදී ලෝක පාරිසරික දිනයක් පිළිබඳව අදහස ස්ථිර කරන ලදී. ඉන්පසු මීට වසර 46 පෙර 1974 දී ප්‍රථම වරට ලෝක පාරිසරික දිනය ඇමරිකාවේ දී සමරන ලදි. එහි තේමා පාඨය වූයේ ‘එකම එක මිහි තලයක් (Only One Earth) ‘ යන්නයි. ලෝක පාරිසරික දිනය යනු එක්සත් ජාතීන්ගේ පාරිසරික ආරක්ෂණය පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය සහ ශක්තිමත් කිරීම උදෙසා  වූ ප්‍රධානතම යාන්ත්‍රණයකි.

1987 වර්ෂයේ සිට ලෝකයේ විවිධ රටවල් තෝරා ගනිමින් මෙම ලෝක පාරිසරික දිනය සැමරීමේ යාන්ත්‍රණය පුළුල් කරන ලදී. මෙවර එහි සත්කාරකත්වය දරනුයේ කොලොම්බියාවයි. කොලොම්බියාව යනු ලෝකයේ ඉහළම ජෛව විවිධත්වයක් ඇති රටවල් අතරින් එකකි. ජීව විශේෂ 51000 ක ට පමණ නිවහන වන කොලොම්බියාව ලෝකයේ වැඩිම ඕකීඩ් සහ පක්ෂි විශේෂ වල නිවහන සේද සැලකේ.

මෙවර තේමාව සලකා බැලීමේ දී එය මෑත කාලීන සිදුවීම් වන බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකානු ලැව්ගිනි, කාන්තාර පළඟැටි උවදුර සිට COVID-19 වසංගතය දක්වා ම කතා කළ හැකි මාතෘකාවන් වෙත විහිදී පැතිරී ඇත.

සරලව ගත් විට ගත්විට ජෛව විවිධත්වය හරහා පෘථිවිය ජීවීන්ගේ විවිධත්වය විස්තර කරයි. එම විවිධත්වය මිලියන අටක් පමණ යැයි සැලකෙන අතර එමඟින් ශාක, සතුන් සිට දිලීර බැක්ටීරියා දක්වාත්, ඒවා පිහිටා ඇති පරිසර පද්ධතීන් සහ ඔවුන් අතර ඇති ජාන විවිධත්වය පිළිබඳව කරුණු ගෙන හැර පායි.

කෙසේ නමුත් මනුෂ්‍ය ක්‍රියාකාරකම් විසින්; එනම්  දැව සඳහා වන විනාශය, වනජීවීන්ගේ වාසස්ථාන ආක්‍රමණය කිරීම, ගොවිබිම් පුළුල් කිරීම සහ දේශගුණික විපර්යාස සඳහා හේතු වන අනෙකුත් දෑ වේගවත් කිරීම හේතුවෙන් පෘථිවියේ ජෛව පද්ධතිය සිය සීමාවන්ගෙන් ඔබ්බට තල්ලු කොට දමා ඇත.

පසුගිය වසර 50 පුරා ලෝක ජනගහනය දෙගුණ වී තිබේ.  ඒ හා සමගාමීව ලෝකයේ ආර්ථිකය සිව්  ගුණයකින් පමණ වර්ධනය වී ඇති අතර ලෝක වෙළදාම දස ගුණයකින් පමණ වර්ධනය වී තිබේ. වර්තමාන මිනිසාගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට ස්වභාවධර්මයට පෘථිවිය මෙන් 1.6 ක ප්‍රමාණයක සම්පත් අවැසි බව සමීක්ෂණ මගින් හෙළිව තිබෙන තත්ත්වයක අපි මේ සාකච්ඡාව සිදු කරන්නෙමු.

ගෙවීගිය 2019 වර්ෂය  වනාන්තර ගහනයට වැඩිම විනාශයක් සිදුකරන ලද වර්ෂය ලෙස  සැලකේ. වර්ග කිලෝමීටර් 120,000 ක  වනාන්තර ප්‍රදේශ පසුගිය වසර තුළ එළිපෙහෙළි කොට තිබෙන බව World Resource Institute  හි සංඛ්‍යාලේඛන හෙළිකරයි. වටහා ගැනීමේ පහසුව පිණිස එය උතුරු කොරියාවේ හෝ අප්‍රිකාවේ මලාවි රාජ්‍යයේ භූමි ප්‍රමාණයට සමාන බව දක්වා සිටිමි. මෙහි වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ දකුණු ඇමරිකානු කලාපයයි.

අප මෙම මාර්ගයේ දිගින් දිගටම ගමන් කළහොත් ජෛව විවිධත්වය හායනය හේතුවෙන් ආහාර සහ සෞඛ්‍යය පද්ධති බිඳ වැටීමේ සිට මානව වර්ගයාට දැඩි බලපෑම් ඇතිවන බව නිසැකය. පෘථිවියේ වර්තමාන සිදුවීම් ධාරාව විසින් අපට අවධාරණය කරනුයේ අප විසින් ජෛව විවිධත්වයට හානි පමුණුවන විට අප විසින්ම අප පැවැත්මට උපකාරී වන ජෛව පද්ධති විනාශ කරගන්නා බවය. ස්වභාවධර්මය අපට පණිවුඩයක් ලබාදෙමින් සිටීයි ; එය ඥානාන්විතව තේරුම් ගෙන කටයුතු කිරීම අප සතුය.

ගිහාන් ද අල්විස් | Gihan De Alwis