විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ ඉරියව්වෙන් කොපමණ වෙලාවක් ඉඳ සිටියාදැයි නොදනිමි. ඒත් කඩදාසිය හිස් ය. මිනිසුන් දහස් ගණනකගේ කතාත්, තව බොහෝ දේත් හනි හනික ලියා පුරුදු මට, ලිවීම මේ තරම් අසීරු දෙයකැයි කිසි දා දැනී නැත.

“විවිධාකාර වේදනාවන්ට මුහුණ දුන් මිනිස්සු, තමන් විඳි වේදනාව මෙලොව මිනිසකුට දැරීමට අසීරුම අත්දැකීම ලෙස දකිති. වධහිංසාවට ලක් වීම නැමති කුරිරු අපරාධයේ වින්දිතයකු වූ මා සම්බන්ධයෙන්ද එය එසේමය. වධහිංසාවලට ලක්ව, සුව කළ නොහැකි ලෙස ආබාධිත වූවෙක් ඉතිරි ජීවිත කාලය පුරාම ගෙවෙන හැම තත්පරයක් පාසාම කායිකවත්, මානසිකවත් වධ හිංසාවට ලක් වෙයි. ඒත් දැන් මට සිතෙන්නේ, හිතේ කොණක නිදා-නොනිදා අඳුරු මතකයක් ලෙස පවතින ඒ බියකරු අත්දැකීම අනුපිළිවෙළින් ආවර්ජනය කිරීම තරම් වේදනාවක් තවත් නොතිබිය හැකි බවය. හිස් කඩදාසියක් අබිමුව, මා මේ මොහොතේ විඳිමින් සිටින්නේ ඒ වේදනාවයි” 

2009 ජුනි මස 1 වන දින, මීට වසර 11 කට පෙර යහපත් ලෝකයක් වෙනුවෙන් සිහින දැකීමට  තම වෘත්තීය ජනමාධ්‍ය ජීවිතය අවංකව මෙහෙය වීම හේතුවෙන් සිය නිවෙස බලා යමින් සිටියදී  ඔහුව පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා  මහ මග  අතහැර දමා ගොස් තිබුණි. ඔහු  පොද්දල ජයන්තය.

ඔහුගේ පැහැර ගැනීම පිටුපස මැර හමුදා කල්ලි සිටි බවට චෝදනා එල්ල වුවත් පොලීසිය විසින් මෙම සාපරාධී අපරාධය පිළිබඳ පරීක්ෂණය නිල වශයෙන්ම නවතා දැමිය. සිය  අවංක භාවය , පාරදෘශ්‍යබාවය සහ යහපාලනය යන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙන්වන ලද කැපවීම උදෙසා 2009 – 2010 වසරේ ගවේෂණාත්නාමක  ජනමාධ්‍යවේදය අරභයා වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් සුපිළිපන්න  සම්මානයෙන්  2010 වසරේ නොවැම්බර් 12 වන දින බැංකොක් නුවරදී  පිදුම් ලැබුවත්  දීගින් දිගටම එල්ල වූ තර්ජන හමූයේ රට  හැර යාමට බල කෙරුණූ පෝද්දල ජයන්ත  ජිවිත ආරක්ෂාව පතා  සිය බිරිඳ සහ දියණිය සමඟ 2010 වසරේ දෙසැම්බර් මස  එක්සත් ජනපදය වෙත ගියේය.  ඉන් වසර 7 කට පසුව නැවත තම වයෝ වෘධ දෙමාපියන් බැලීමට  ශ්‍රී ලංකාව වෙත  පැමිණි අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත තම පැහැර ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඔහු විසින් ඉදිරිපත් කරන ලදී.

කෙසේ වෙතත් පැහැර  ගෙන  ගොස් වධ හිංසා පමුණුවා මිය යාම පිණිස මහ මග අතහැර දමා ගිය ඔහුගේ ජීවිතය වෙනුවෙන්, ඔහුට අහිමි කළ ඔහුගේ ජනමාධ්‍ය ජීවිතය වෙනුවෙන් වන යුක්තිය ඉටු කිරීමට අපට තවමත් හැකි වී නැත. දැන් මෙම  පරීක්ෂණය සම්බන්ධව  ප්‍රගතියක්, අපරාධකරුවන් සොයායමක් හෝ යුක්තිය සම්බන්ධ අපේක්ෂාවක් තව දුරටත් දල්වා තබා ගත හැකි දැයි යන්න අප සැබවින්ම දන්නේ නැත. අවාසනාවකට  අමානුෂික ලෙස ජීවිතය අහිමි කරමින් ජනමාධ්‍යවේදීන්ගේ  හඬ නිහඬ කළ දීර්ඝ ලැයිස්තුවක්  අපට ඉතුරු වී ඇත. එහෙයින්  පොද්දල ජයන්ත මුහුණ දුන් කුරිරු ඉරණමටම හෙට තවත් ජනමාධ්‍යවේදියෙකු  ගොදුරු වේ දැයි යන දෙගිඩියාවක්  අපට නිරන්තරයෙන්ම ඉතුරුව තිබේ.

එහෙයින් ඔහු  තම පැහැර ගැනීමේ  සිදුවීමෙන් වසර 7 ක් ගෙවෙන මොහොතේ  විකල්ප වෙබ් අඩවියට තම බිහිසුණු මතකය අවදි කරමින් ලියා එවූ  අතිශය සංවේදී සටහන  අපි මේ මොහොතේ ඔබට නැවත කියවන්නට භාර කරන්නේ  මේ අමානුෂිකත්වයට තිත තැබීමට පාලකයින්ට බලකිරීමට  ජනතාවක් ලෙස අපට ඇති වගකිම නැවත නැවතත්  මතක් කරනු රිසියෙනි.

මට ඒ සිදුවීම අදටත් ප්‍රකෘති මනසකින් සිහිපත් කළ නොහැකිය. තව කොපමණ වතාවක් යළි යළිත් විස්තර කළද වධහිංසාවකට ලක් වූවකු විඳින මානසික පීඩාව, එවන් අත්දැකීමක් නැති කෙනෙකුට අවබෝධ කර දිය හැකි වෙතැයි නොසිතමි. 

සත් වසරකට පෙර, ඒ බිහිසුනු මොහොත…