iMAGE: AFP PHOTO / ISHARA S.KODIKARA, via Asia Times

සම්පත් බැංකුවට ආ මුස්ලිම් කාන්තාවකගේ ඇදුම සම්බන්ධ ප්‍රශ්නය සමඟ නැවතත් මුස්ලිම් සමාජය පිළිබද සංවාදය ආරම්භ වි ඇත. එසේම චන්දයත් සමඟම දේශපාලකයන් සුපුරුදු ලෙස ජාතින් අතර වයිරය පැතිරවීම ආරම්භ කර ඇත. තව තවත් ජාතින් දෙක අතර දුරස්ථභාවය මිස සමීප විමක සේයාවක් හෝ දක්නට නොමැත.

සිංහල සමාජයෙන් නැගෙන “එක රටක් එක නීතියක් ” යන ඊනියා සටන් පාඨය දෙස බැලිමේදී පෙනී යන්නේ “සිංහලයන්ට නැති වරප්‍රසාදයක් මුස්ලිම් තැනැත්තන්ට ඇති” බවට සිංහලයන් විශ්වාස කරන බවය. ඇත්ත වශයෙන්ම විමර්ශනාත්මකව බැලීමේදී පෙනී යන්නේ මුස්ලිම් සමාජය මත පැටවී ඇති නීතින් ඔවුන්ට වරප්‍රසාදයන් නොව ඔවුන්ව පිඩාවට පත් කරන දේවල් බවය.

ලංකාවේ ඉතිහාසය ගොඩනැගීමට මුස්ලිම් සමාජයෙන් ලැබුණු ආර්ථික සංස්කෘතික සමාජීය දේශපාලනික ආදී සියලුම වටිනාකම් විනාශ කරමින් මහා ජාතියේ ආධිපත්‍ය මත ඔවුන්ට ජීවත්වීමට බලකෙරෙමින් පවතී. විශේෂයෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මුස්ලිම් ජනයා ලංකාවට ලබාදුන් සහ ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ. මුස්ලිම් කඩ වර්ජනය කරමින් සමාජයක් ලෙස අප ගමන්කිරීමට සුදානම් වන්නේ කුමන දිශාවකටදැයි සිහි බුද්ධිය සහිත මනුෂයෙකුට සිතා ගත නොහැකි තත්වයකට ලංකාව පත් වී ඇත. අනෙක් අතට මුස්ලිම්වරුන් ලංකාවට ලබා දී ඇති සංස්කෘතික විවිධත්වය රටක් ලෙස අපව සුන්දර කර ඇත. නමුත් මෑතකාලීනව දේශපාලන අවශ්‍යතාවයන් මත වපුරන ලද (භික්ෂුන් මෙහි ප්‍රධාන භූමිකාවක් රග දක්වන ලදී) වෛරයේ බීජ මඟින් මුස්ලිම් සමාජයෙන් ලංකාව ලද සංස්කෘතික විචිත්‍රත්වය විනාශකරමින් පවතී. එය කොතරම් දුරට වර්ධනය වී ඇත ද යන්න පසුගියදා සම්පත් බැංකු සිද්ධියෙන් පැහැදිලි විය. මෙය එක අතකින් රටක පවතින සංස්කෘතික ලක්ෂණයන් විනාශ කිරීමක් මෙන්ම අනික් අතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මුලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

මුස්ලිම් සමාජයට අදාළව සංශෝධනය විය යුතු කරුණු සම්බන්ධව මුස්ලිම් සමාජය තුළින්ම  යෝජනා විවිධ අවස්ථාවල ඉදිරිපත් වී ඇත. නමුත් හැකියාව තිබියදීත් එම සංශෝධන නීති බවට පරිවර්තනය වන්නේ නැත. ජාතිවාදය පතුරවන බොහෝ දේශපාලකයන් අරක්ගත් පාර්ලිමේන්තුව තුළ අවශ්‍යනම් මෙම නීති සම්මත කල හැක. නමුත් මුස්ලිම් දේශපාලකයන් සමඟ සභාගත වීමේ අවශ්‍යතාවය මත මෙම කරුණු සිද්ධ වන්නේ නැත. ඒ වෙනුවට ජාතින් අතර වෛරය පතුරවන සහ රටක් ලෙස පසුගාමීත්වයට ඇද දමන ක්‍රියාකාරකම් පමණක් සිදු වෙමින් පවතී. මුස්ලිම් නියෝජිතයන්ට ඉල්ලා අස් වීමට බල කිරීම, මුස්ලිම් සංස්කෘතික අංගයන්ට විරෝධය පෑම , මුස්ලිම් ව්‍යාපාර වර්ජනය වැනි ක්‍රියාකාරකම් ඊට නිදසුන්ය.

මුස්ලිම් සමාජය සැබෑ ලෙසම මුණ දෙන ප්‍රශ්න සහ ඒවාට එම සමාජය තුළින්ම  ආ සංශෝධන සැකවින් සලකා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.

ලංකාවේ මුස්ලිම් නොවන නිතිය අනුව විවාහ වීමේ වයස අවුරුදු 18 වේ. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත අනුව අවම නීතියක් පනවා නැත. 1995 දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ආ සංශෝධනය අනුව අවුරුදු 18 විවාහ වයස වුවද අවුරුදු 16කට අඩු අයකු සමඟ කැමැත්තෙන් හෝ ලිංගිකව හැසිරීම නීති විරෝධී කර ඇත,(16-18 අතර අයෙක්ට කැමැත්තෙන් විවාහ නොවී ලිංගික සම්බන්ධතා පැවැත් වීමට හැකිය) නමුත් එය මුස්ලිම් ප්‍රජාවට බලපාන්නේ නැත.

මුස්ලිම් සමාජය තුළ සාමාන්‍යයෙන් විවාහ වීමේ වයස අවුරුදු 12 ලෙස පිළි ගැනීමක් තිබුණද (වයස 12 යන්න පැවතුණේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව එහි 364 අ වගන්තිය ප්‍රකාරව ” වයස අවුරුදු 12ට අඩු අයෙකු සමඟ ලිංගිකව හැසිරීම ස්ත්‍රී දුෂණයක් ” ලෙස සදහන්වන නිසාය) පනතේ 23 වගන්තිය අනුව කාතිවරයකුගේ අවසරය මත විවාහයට අනුමැතිය දිය හැක.මේ අනුව තාක්ෂණිකව ගත් කල මුස්ලිම් විවාහ වයස උප්පත්තිය බවට කෙනෙක්ට තර්ක කල හැක. මෙය බරපතල තත්වයකි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය සදහා 2017 දී අධිකරණ අමාත්‍යංශය විසින් පත්කරන ලද කමිටු වාර්තාව ඉදිරිපත් වූ අතර එය සවිස්තරාත්මකව සංශෝධන සඳහා යෝජනා ඉදිරිපත්කර ඇත. මෙම කමිටුව මුස්ලිම් සමාජයෙන්ම මේ සඳහා ආ සංශෝධනයන් උදෙසා ඉල්ලීමට කදිම නිදසුනකි. සලීම් මර්සුෆ්, ජෙසිම ඉස්මයි, ශිබ්ලිඅසිස්, ෆායිස් මුස්ටාෆා,විනිසුරු සලාම් සහ මෝහමඩ් මැකී ඇතුළු 19 දෙනෙකුගෙන් සමන්විත වූ කමිටුවේ සිංහලයන් දෙදෙනෙක් (ඔවුන්ද නිලමය ලෙස සම්බන්ධ වී ඇත; එනම් අධිකරණ අමාත්‍යංශ අතිරේක ලේකම් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්) පමණක් නියෝජනය විය. මුස්ලිම් සමාජය තුළින් එහි ම වූ පසුගාමී ලක්ෂණ ඉවත්කර ගැනීමට උත්සාහ නොකරන බවට සිංහල සමාජයෙන් නැගෙන පදනම් විරහිත චෝදනාවට මෙම වාර්තාව කදිම නිදසුනකි.

මෙහි දීර්ඝ නිර්දේශයන අතර පහත දැක්වෙන නිර්දේශ ඉදිරිපත් විය. (මේ නිර්දේශ සදහා මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට යෝජනා වී ඇත )

මුස්ලිම ආගමානුකුලව හෝ සාමාන්‍ය නිතිය අනුව විවාහයට ලියාපදිංචියට ඉඩ දීම

කාති උසාවි ප්‍රධාන ධාරාවේ උසාවි තත්වයට ගෙන එම සහ එහි ගුණාත්මකභාවය වැඩි කිරීම. (විශේෂයෙන් කාතිවරුන් පරිපාලන සහ උපදේශක කාර්යන් මිස මැදිහත්කරුවන් ලෙස කටයුතු කිරීම සිමා කිරීම)

කාතිවරුන් ලෙස මුස්ලිම් නීතිය ගැන දනුමක් ඇති නීතිඥයන් පත්කිරීම (විශේෂයෙන් මේ සම්බන්ධයෙන් වාර්තාව දක්වන්නේ මුස්ලිම් නිතිය තුළ පවතින වටිනාකම් කාතිවරුන්ගේ සාම්ප්‍රදායික ගතානුගතික පුරුෂ මුලික අදහස් මඟින් විනාශ වන බවය. කාන්තාවන්ට සමානව සැලකීම වැනි මුස්ලිම් සමාජය තුළ පැවතිය යුතු වටිනාකම් කාතිවරුන් නිසා විනාශවන බව වාර්තාවෙන් පැහැදිලි කර ඇත)

කාතිවරුන්ගේ ධුරය ස්ථිර කර අධිකරණ සේවා කොමිෂන් සභාව යටතට පත් කිරීම.

මුස්ලිම් විවාහ සහ දික්කසාද මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම (කාන්තාවන්ද ඇතුලත්වන පරිදි, මෙහි කාන්තා නියෝජනය නැත)

පළාත්වලට වඩා ප්‍රවේශවිය හැකි පරිදි කාති මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තියට (සමානාත්මතාවය) අනුකුලව කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් එන ලෙස මුස්ලිම් විවාහ පනත සංශෝධනය
(රේගජිස්ට්‍රර්වරුන්, කාතිවරුන් සහ සමස්ත කාති උසාවි පද්ධතියම පුරුෂ මුලිකව සැකසී ඇති බවට සමස්ත වාර්තාව කරුණු තහවුරු කර ඇත. එසේම මෙය සමානාත්මතාවය මත පදනම් වූ ශාරියා නීති මුල ධර්ම වලට පටහැනි බව දක්වා ඇත)

ශිෂ්ට ලෝකයේ සම්පුර්ණයෙන්ම ඉවත්කර ඇති පුරුෂයන්ට පමණක් ප්‍රමුඛස්ථානය දීම මුස්ලිම් නීතියෙන් ඉවත් කිරීම(මුස්ලිම් රේගිස්ට්‍රර්වරුන් [8,9,10 වගන්ති] , කාතිවරුන් [15 වගන්තිය] විය හැක්කේ පුරුෂයන්ට පමණි)

විවාහ ලියාපදිංචි වයස 18 කිරීම (මුස්ලිම් ලියාපදිංචි විවාහයන්ගේ වයසේ නිශ්චිතතාවයක් නොමැති නිසා සිදුවන ළමා විවාහයන්ට නීතියෙන් ආරක්ෂාවක් ලැබී ඇත)

බහු විවාහ නිතිය අවභාවිතාව නැති කිරීම

දික්කසාද කිරීමේ නිතිය සහ ක්‍රියා පටිපාටිය සංශෝධනය කිරීම.

නඩත්තු, දෑවැදී , මහර් ,කයිකුලි, මතා සදහා සමානාත්මතාවය සහ සාධාරණත්වය අනුව කටයුතු කිරීම

මුස්ලිම් සමාජයට එල්ලවන විරෝධය පදනම් වන්නේ මෙම කරුණු වලට ඇති විරෝධයක් ලෙස නොවේ. එවැනි විරෝධයක් අත්තේ නම් කළ යුත්තේ සිංහල බහුතරයක් ඇති පාර්ලිමේන්තුවෙන් මෙම පසුගාමීත්වයන් තුරන් කිරීමට නීති ඇති කිරීමට බල කිරීමයි. මුස්ලිම් සමාජය තුළ පවතින පසුගාමීත්වන නඩත්තු කරන සංවිධාන සහ ආයතන විසින් මෙම සංශෝධන වලට ඉඩ දෙන්නේ නැත. උලමා සභාව මෙන්ම පසුගිය කාලවල මුස්ලිම් විවාහ පනත සංශෝධනයට විරුද්ධ වූ තරුණ මුස්ලිම් සංවිධාන මේ සදහා උදාහරණ සපයයි. මෙම කණ්ඩායම් සමාන වන්නේ සිංහල සමාජය මත වෛරයේ බීජ පතුරවන බොදුබල සේනා වැනි සංවිධාන වලටය. සිංහල දේශපාලකයන් ඔවුන්ව ආරක්ෂා කරන්නේ කෙලෙසද එලෙසම මුස්ලිම් ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් මෙම කණ්ඩායම් නඩත්තු කර පෝෂණය කරනු ලබයි. ඔවුන් මුස්ලිම් දේශපාලකයන්ට බලකරන්නේ මෙම නීති පවත්වාගෙන යාමට සහය දෙන ලෙසය. මෙම සංවිධාන මුස්ලිම් සමාජය මත ඇති බලපෑම දන්නා මුස්ලිම් දේශපාලකයන් එවැනි සංශෝධන වලට ඉඩ දෙන්නේ නැත. එම මුස්ලිම් දේශපාලකයන් තමන් පිහිටුවන ආණ්ඩුවල සහයට ගැනීමට සිදුවන නිසා සිංහල දේශපාලකයන් මෙම යෝජනා පනත් බවට පත් කරන්නට උත්සාහ දරන්නේ නැත (චන්ද කාලයට මුස්ලිම් කඩ වර්ජනයට සහ සංස්කෘතික අංග තහනමට හඬ නගන්නේ ද මෙම දේශපාලකයන්මය).

මුස්ලිම් සමාජයට බලපෑ ඇති මෙවැනි කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය දැනුවත් වුවද නොසලකා හැරීමක් මිස ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹීමක් නැත. උදාහරණයක් ලෙස 2015 කාත්තන්කුඩී විවාහ ලියාපදිංචි වාර්තා අනුව ලියාපදිංචි වූ සියලු විවාහ වලින් 22% ක් අවුරුදු 18 අඩු ය. මෙය කොලඹ වැනි නාගරික ප්‍රදේශ වලද දක්නට ඇති ලක්ෂණයකි. කාති උසාවි ගත්කල පුරුෂයන් විසින් මෙහෙයවීම කාන්තාවන්ට විශාල අසාධාරණයකි. විශේෂයෙන්ම පුරුෂ මුලික සමාජයක පුරුෂයෙක් අතින් පිඩාවට ලක්වූ කාන්තාවකට තවත් එම සමාජයේම සාම්ප්‍රදායික පුරුෂයෙක් අතින් විසඳුමක් ලබාගැනීමට සිදුවීම අතිශය කනගාටුදායක තත්වයකි. නඩත්තු නඩු වැනි කාරණයක් එහි ඇති සමාජීය කරුණු මෙන්ම අපරාධ ස්වරූපය ද සැලකිල්ලට ගැනීමේදී මහේස්ත්‍රාත් උසාවිවල සිදුවිය යුතුය. නමුත් කාති උසාවියකින් නීතිය ගැන ප්‍රාමාණික දැනුමක් නොමැති අයකුට මෙවැනි කරුණක් තීරණයට ඉඩ දීම සමාජීයව අහිතකර කරුණකි.

ඉහත සැබෑ ලෙසම වෙනස් විය යුතු කරුණු සම්බන්ධයෙන් යෝජනා වී ඇත්තේ මුස්ලිම් සමාජය තුළින්මය. බහුතරය සිංහලයන් වන පාර්ලිමේන්තුව තුළ මෙම සංශෝධන නීතීන් බවට පත් නොවීමට මුස්ලිම් සමාජය වගකිවයුතු නැත. අනෙක් අතට යම් මුස්ලිම් පිරිසක් මෙම සංශෝධනයන්ට එරෙහි වන්නේ නම් ඔවුන් එම සමාජයේ ප්‍රගමනයට එරෙහි වන්නන්ය. නමුත් මුස්ලිම්වරුන් වෙනම නීතියක් යටතේ “වරප්‍රසාද” භුක්ති විදින බවට සිංහල සමාජය තුළ ඇතිකර තිබෙන්නේ භයානක මිත්‍යාවකි, වර්ගවාදයකි.

ප්‍රසන්න පතිරාජ | Prasanna Pathiraja