IMAGE: via NewsFirst

“නාකොටික් රංගජීව” ලෙස ප්‍රචලිත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද (10) දහවල් ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කොට තිබේ.

නියෝමාල් රංගජීව වැලිකඩ ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන අතර දැනට ඇප මත මුදා හැර සිටින අයෙකි. අද උදෑසන ඔහු සේවය නියුතු සමයේ කරන ලද මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධ කාරණයට අධිකරණ භූමියට පැමිණ තිබු බව කියවෙන අතර අද සවස පැවැත්වෙන වැලිකඩ බන්ධනාගාර නඩුවේ විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමට නියමිතව තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන ඔහුගේ කමිසයෙන් අල්ලා ගෙන කොළඹ මහාධිකරණය පරිශ්‍රයේ පොලිස් මුරපොළ වෙත රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබේ. ඒ එම ඡායාරූප ශිල්පියා විසින් ඔහුගේ ඡායාරූපයක් ගැනීමට ගොස් ඇති අවස්ථාවේදියි.

“නියෝමාල් රංගජීව මහතා එනකොට පින්තූර කිහිපයක් ගත්තා. එතකොට එක පාරටම ඇවිල්ලා ඔයා කවුද පින්තූර ගන්න කියලා මාව ඇදගෙන ආවා. මම අහවල් පත්තරෙන් ජායාරූප මාධ්‍යවේදීයෙක් ඒ නිසා පින්තූර Library shots වලට ගත්තේ කියලා”

“මම හැදුනුම්පත පෙන්නුවා.පොලිසිය මෙමරි කාඩි දෙක තියාගත්තා. ඊට පස්සේ එළියට එව්වේ.මෙමරි කාඩ් දෙක දුන්නේ නෑ ”

යනුවෙන් ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා උපුටා දක්වමින් Media.LK පුවත් වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි.

නීතිය හා යුක්තිය ගරු කරන බවට සැළකෙන , එය රැකීම හා ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද ආයතන පරිශ්‍රයක් තුළදී, නීතියට පටහැනි නොවන ලෙස තම වෘත්තිමය තත්වයන් යටතේ කරන ලද රාජකාරි වලට අත පොවන්නට ඝාතන නඩුවක සැකකරුවෙකු වන නියෝමාල් රංග ජිවට පමණක් විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ කොහොමද? පොලිසිය විසින් එම ඡායාරූප සහිත මෙමරි කාඩි තම භාරයට ගන්නේ කුමන පදනමකින්ද ? ඒ නීතිය කුමක්ද? මාධ්‍ය සංවිධාන මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක්ද? නිදහස් මාධ්‍යකරණයට හා මෙරට පුරවැසියන් ලෙස තොරතුරු වලට ප්‍රවිෂ්ට වීමට ඔබට අපට ඇති අයිතියට මෙලෙස බාධා කළ හැකිද?

කාටුන් ශිල්පී ප්‍රදීප් කුමාර විසින් අද මේ සිද්ධිය අළලා සන්ඩේ මෝනින් පුවත්පත වෙත මෙලෙස කාටුනයක් නිර්මාණය කොට තිබුණි.

මෙම් සිදුවීම සම්බන්ධයෙන් ටුවිටර් හරහා යාවත්කාලින වීමට @vikalpavoices පිවිසෙන්න.