iMAGE: via Derana Bizz

සෑම මනුෂ්‍යයෙකුටම තම මව්භාෂාව යනු හදවදට දැනෙන හා අවබෝධවන ආත්මීය වශයෙන් බැඳුණු මෙවලමකි. එය භෞතිකව වුවද මනුෂ්‍යයා වෙත ලබා දෙන්නේ ආත්මවිශ්වාසයකි. එසේම, තමන් වහරන තම මව්බස තම අනන්‍යතාව විදහා දක්වන කැඩපතක් ලෙසද හැදින්වීම යෝග්‍ය වේ. එබැවින් තම ආත්මීය, භෞතික හා අනන්‍යතාව නිරූපණය කරන භාෂාව තම විෂය ක්ෂේත‍්‍රයේ පමණක් නොව අන්‍යන්ගේ ක‍්‍රියාකලාපයන් තුළද ගෞරවයට හා පිළිගැනීමට ලක්වනු දැකීම ආත්මාභිමානය ඔප්නංවන්නාවූ මූලික සාධකයකි. මෙතුළින් පැනනැගිය හැකි සාධනීය ප‍්‍රතිඵලද බොහෝ විෂය ක්ෂේත‍්‍රයන් තුළ පුළුල්ව විහිදේ.

භාෂා අයිතිවාසිම පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය පදනම

භාෂාව අයිතියක් ලෙස පිළිගැනීම හා බලාත්මක කිරීම එම භාෂාව වහරන, භාවිත කරන ජනතාවට ලබාදෙන ගෞරවයකි. ඇතැම්විට එය ගෞරවයකින් එහාගිය ආත්මීය වශයෙන් ලබාදෙන සහනයකි. එතුළින් තමන් සමාජය තුළ මෙන්ම රාජ්‍ය යාන්ත‍්‍රණය තුළද සුරක්ෂිත යැයි යන හැඟීම සිය අයිතිවාසිකම් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමටත්, බලාත්මක කිරීමටත්, උල්ලංඝණය වීම්වලදී ප‍්‍රතිපූරණය කරගැනීමටත් අවශ්‍ය සවිබලගැන්වීම ලබා දේ. ඒ අනුව 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වන හා සිව්වන පරිච්ඡේදයන්හි භාෂාව සම්බන්ධ ව්‍යවස්ථාද මූලික අයිතිවාසිකම් ගණයට අයත් වේ. 12(2) ව්‍යවස්ථාව අනුව කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුත්තේය. මෙහිදී වෙනස්කමකට හෝ විශේෂයකයට යනු, අඩුවෙන් හෝ වැඩියෙන් සැලකිල්ලක් දැක්වීමයි. එනම්, නීතිය තුළින් දැක්විය යුතු සර්ව සාධාරණත්වය නොදැක්වීමයි. එම වෙනස්කම විධායක හෝ පරිපාලන ක‍්‍රියාවකින් පුරවැසියෙකුට සිදුවිය යුතුය. එවිට 12(2) ව්‍යවස්ථාවේ පිළිසරණ ලබාගත හැකි වන්නේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සිව්වන පරිච්ඡේදයේ 18 වන ව්‍යවස්ථාව ප‍්‍රකාරව ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන් සිංහල හා දෙමළ භාෂා වන අතර ඉංග‍්‍රීසි භාෂාව සන්ධාන භාෂාව ලෙස සැලකේ. එසේම 19 ව්‍යවස්ථාව ප‍්‍රකාරව සිංහල භාෂාව හා දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේය. 22 ව්‍යවස්ථාව ප‍්‍රකාරව සිංහල හා දෙමළ භාෂා ශ‍්‍රී ලංකාව මුළුල්ලේම පරිපාලන භාෂා විය යුත්තේය. මෙහිදී අවබෝධකරගත යුතු කාරණය නම්, රජයේ ආයතනවල කටයුතු කිරීමට හා වාර්තා තැබීමට නියමිත භාෂාවපරිපාලන භාෂාව වන බවයි. සිංහල හෝ දෙමළ නොවන වෙනත් භාෂාවක් (ඉංග‍්‍රීසි) පරිපාලන භාෂාව විය හැකි වුවත් මෙතෙක් එසේ නියම කොට නොමැති අහර උතුරු හා නැගෙනහිර පලාත්වල පරිපාලන භාෂාව දෙමළ වන තර සෙසු පළාත්වල පරිපාලන භාෂාව සිංහල භාෂාව වේ. එසේම පරිපාලන භාෂා වශයෙන් යම් ප‍්‍රදේශවල රාජ්‍ය භාෂා දෙකම නියම කළ හැකි අතර එවිට සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම පරිපාලන කටයුතු කළ යුතුය.

ඒ අනුව සමස්තයක් ලෙස ගත්කළ රාජ්‍යයේ කටයුතු හා රාජ්‍යය විසින් පුරවැසියා උදෙසා ක‍්‍රියාත්මක කරන යාන්ත‍්‍රණයන් සියල්ල රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියට අනුව සිදුවිය යුතුය. මෙම ස්ථාවරය පදනම් කරගනිමින් 2012 වර්ෂයේ සිට මේ දක්වාම රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීම හා එතුළින් පුරවැසියන්ගේ භාෂා අයිතිවාසිකම උල්ලංඝණයවීම් පදනම් කරගනිමින් වගකිවයුතු බලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය කටයුතු කරන ලදි. ඒ අනුව එලෙස වගකිව යුතු මූලික ආයතන ද්විත්වයක් ලෙස ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා රාජ්‍ය භාෂා කොමිෂන් සභාව හඳුනාගත් අතර රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය උල්ලංඝණයවීම් පිළිබඳව අවස්ථා ගණනාවකදීම මෙම ද්විත්ව ආයතනයන්ට පැමිණිලි රාශියක් ඉදිරිපත් කර තිබේ.

පුරවැසි භාෂා අයිතිය සම්බන්ධයෙන් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ජයග‍්‍රහණ

මේ අතුරින් ඇතැම් උල්ලංඝණයන් සඳහා ප‍්‍රතිකර්ම ලබාගැනීමට එම ද්විත්ව ආයතන්හි මැදිහත්වීම ප‍්‍රමාණවත් වූ නමුත් තවත් අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගොස් එම අයිතීන් බලාත්මක කරගැනීමට සිදුවූ අවස්ථාද තිබේ. ඊට උදාහරණ ලෙස ජාතික හැඳුනුම්පත සිංහල හා දෙමළ භාෂාවෙන් නිකුත් කිරීම, මුදල් නෝට්ටුවල ඇතැම් පාඨ සිංහල හා දෙමළ භාෂාවෙන් මුද්‍රණය කිරීම, නීති අණ පනත් සිංහල හා දෙමළ භාෂාවෙන් නිකුත් කිරීම හා ඖෂධ ඇසුරුම්වල තොරතුරු සිංහල භා දෙමළ භාෂාවෙන් නිකුත් කිරීම වැනි සිදුවීම් ප‍්‍රමුඛ වේ. මෙම ජයග‍්‍රහණයන් සමස්ත පුරවැසියන් උදෙසා විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය දිනාගත් අතර එහි ප‍්‍රතිඵල සමස්ත පුරවැසියන් එකාවන්ව භුක්තිවිදිමින් පවතී.

පාරිභෝගික භාණ්ඩවල තොරතුරුවලට අදාළව අදාළව භාෂා අයිතිවාසිකම ක‍්‍රියාත්මක නොවීම අභියෝග කිරීම
2012 සිට 2018 දක්වා කාලය තුළ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සහ රාජ්‍ය භාෂා කොමිසමට පැමිණිලි 150 කට අධික සංඛ්‍යාවක් ගොනු කරන ලද්දේ රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියට අනුකූලව පාරිභෝගික භාණ්ඩ පිළිබඳ වැදගත් තොරතුරු ලබා නොදෙන බව සඳහන් කරමිණි. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් 2013 වසරේ සිටම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පෙන්වා දුන්නේ පාරිභෝගික භාණ්ඩවල අත්‍යවශ්‍ය තොරතුරු එනම්, භාණ්ඩයේ නම, උපරිම සිල්ලර මිල, කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදිත දිනය, ශූද්ධ බර/පරිමාව, ආනයනික රට/නිෂ්පාදිත රට හා ඇසුරුම් කළ දිනය ආදී තොරතුරු ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් මුද්‍රණය කර ඇති බවයි. එබැවින් පාරිභෝගික භාණ්ඩ පිළිබඳ තොරතුරු ඉංග‍්‍රීසි භාෂාවෙන් හෝ එක් රාජ්‍ය භාෂාවකින් (සිංහල හෝ දෙමළ) පමණක් මුද්‍රණය කිරීම පාරිභෝගිකයාට තොරතුරු ලබා ගැනීමේ අයිතිය උල්ලංඝණය කිරීමකි. 2013 සිට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් කරන ලද පැමිණිලි හරහා මෙම තත්ත්වය විසඳීමට සහ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පිළිගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට බලය සහ වගකීම පැවරී ඇති බව අවධාරණය කරන ලදි.

තොරතුරු අයිතිය හරහා අනාවරණය කරගැනීම

එම පැමිණිලිවලට ප‍්‍රතිචාර වශයෙන් වසර ගණනාවක් තිස්සේ මානව හිමිකම් කොමිසම හා රාජ්‍ය භාෂා කොමිසම පරීක්ෂණ ගණනාවක් පැවැත් වූ නමුත් වර්තමානය වන තුරුම සැළකිය යුතු සාධනීය ප‍්‍රගතියක් ළඟාකර ගත නොහැකි විය. එබැවින්, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කළ පැමිණිවලිවල ප‍්‍රගතිය පිළිබඳ පාරිභෝගික කටුයතු පිළිබඳ අධිකාරියෙන් විමසා සිටි අතර ඊට ප‍්‍රතිචාර ලැබිණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගනුලැබූ ක‍්‍රියාමාර්ග

එහි සඳහන් වූයේ 2013 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා අප විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි නීති අංශයට යොමු වී නොමැති බවත් අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිරීක්ෂණ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට භාර දී ඇති බවත්ය. එසේම, 2135/53 දරණ 2019.08.07 දිනැති ගැසට් පත‍්‍රයේ පළ කරන ලද විධාන අංක 68 අනුව එම විධානයෙහි උපලේඛනයෙහි සඳහන් භාණ්ඩයන්හි උපරිම සිල්ලර මිල, නිෂ්පාදිත කාණ්ඩ අංකය, කල් ඉකුත්වන දිනය, නිෂ්පාදිත ශුද්ධ බර/පරිමාව, ආනයනික රට/නිෂ්පාදිත රට, නැවත ඇසුරුම්කර ඇත්නම් එසේ ඇසුරුම්කළ දිනය ආදී තොරතුරු සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසී භාෂා තුනෙන් පැහැදිලිව මුද්‍රණය කළයුතු බවට විධාන කර ඇති බවයි. කෙසේවෙතත්, එකී විධාන අංක 68 පරිච්චින්න කරමින් 2156/16 දරණ 2019.12.31 දිනැති ගැසට් පත‍්‍රය පළ කරන ලද විධාන අංක 71 නිකුත් කරන ලද අතර එකී විධානය 2020.09.01 වන දින සිට බලපැවැත්වෙනු ඇත. තවද උක්ත ගැසට් පත‍්‍රයේ සඳහන් තොරතුරු භාෂා ත‍්‍රිත්වයෙන් භාණ්ඩ ලේබල්වල මුද්‍රණය කිරීමට සිදුවීම මඟින් ලේබලයේ අවකාශය සීමාවීම්, කුඩා ප‍්‍රමාණයේ භාණ්ඩ සඳහා මෙම ක‍්‍රමය අපහසු වීම තාක්ෂණික බාධක, භාෂා ත‍්‍රිත්වයෙන්ම අන්තර්ගතය හා වෙනත් උපදෙස් පිළිබඳ තොරතුරු මුද්‍රණය කිරීමට සිදුවීම මඟින් මිල ඉහළ යාම වැනි ප‍්‍රායෝගික අපහසුතාවයන් පවතින බවට ලංකා වාණිජ මණ්ඩලය (ආහාර පාන අංශය) විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දන්වා ඇති බවයි. එබැවින් උක්ත ගැසට් පත‍්‍රයේ සඳහන් පරිදි භාණ්ඩ ලේබල්වල තොරතුරු මුද්‍රණයේදී භාෂාත‍්‍රයෙන් මුද්‍රණය කළ යුතුද යන්න සම්බන්ධව රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පිළිබඳව රාජ්‍ය භාෂා කොමිෂන් සභාවෙන් 2019.10.16 දිනැති ලිපියෙන් විමසා සිටින ලදද, එකී ලිපිය සඳහා මෙතෙක් පිළිතුරක් ලැබී නොමැති බව සඳහන් කර සිටී.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නිද්‍රාශීලි පිළිවෙත

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට යොමුකර අති ලිපිය සම්බන්ධයෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් පිළිතුරු සැපයීම සිදුකර නොමැති වීම රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම විෂයෙහි සෘණාත්මකව බලපෑම් එල්ලකරන අතර ඒ සම්බන්ධ අකාර්‍යක්ෂමතාව කණගාටුවට කරුණක් වේ. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සිය කර්තව්‍යන් ක‍්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන නිද්‍රාශීලි පියවර මීට පමණක් නොව අවස්ථා ගණනාවකදීම ප‍්‍රකට වූ කරුණකි. ඊට කදිම නිදසුනක් වන්නේ පසුගිය වසර කීපය පුරාවටම රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය උල්ලංඝණය කිරීම් සම්බන්ධව කොමිෂන් සභාවට ඉදිරිපත් වූ පැමිණිලි කිසිවකට කොමිෂන් සභාවේ නිර්දේශ ක‍්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මහාධිකරණයේ කිසිඳු නඩුවක් නොපැවරීමයි. එසේම කොමිෂන් සභාවේ ධූර සඳහා පත්වන නිලධාරීන්ගේ උද්යෝගයේ හීනතාවක්ද ප‍්‍රකට වන්නේ පවත්නා සම්පත් නිසිපරිදි යොදාගනිමින් රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය සාර්ථකව හා විධිමත්ව ක‍්‍රියාවට නැංවීමට නිසි වැඩපිළිවෙලක් සකස් නොකිරීමයි. අමාත්‍යවරයෙකු යටතේ පවත්නා කොමිෂන් සභාවක් හෙයින් මෙහි පවත්නා ස්වාධීනත්වය හා පාර්ලිමේන්තුවට වගකියන ස්වභාවයක් නොමැති වීම හේතුවෙන් මෙය ස්වාධීන කොමිෂන් සභාවක් බවට පත් කිරීමේ කාලින අවශ්‍යාවය දැඩිව පවතී.

කෙසේ නමුත් රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම සඳහා පියවර ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර ඇති 2019.12.31 දිනැති 2156/16 දරණ ගැසට් පත‍්‍රයෙන් සංශෝධිත 2019.08.07 දිනැති 2135/53 දරණ ගැසට් පත‍්‍රය විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් 2020.06.22 දින දී අගය කරනු ලැබේ. ඉහත සඳහන් ගැසට් පත‍්‍ර ප‍්‍රකාරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සියලූම භාණ්ඩවල නිෂ්පාදිතය පිළිබඳ වැදගත් තොරතුරු සියලූම භාණ්ඩවල ඇසුරුම්, බහාලූම් හෝ එතුම්වල සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි භාෂාවන්ගෙන් මුද්‍රණය කිරීමට සියලූම නිෂ්පාදකයන්ට, ආනයනකරුවන්ට, බෙදාහරින්නන්ට හා වෙළඳුන්ට නියම කර තිබේ. මෙම නියමයන් පාරිභෝගික භාණ්ඩ අයත්වන කාණ්ඩ 76කට අදාළ වනු ඇත.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය උපුටා දක්වන ලද උල්ලංඝණයන් සදහා විශේෂ අවධානය

මෙහිදී සදහන් කළ යුතු සුවිශේෂීම කරුණ වන්නේ, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් කරන ලද පැමිණිලිවල හඳුනාගෙන ඇති භාණ්ඩවලින් වැඩි ප‍්‍රමාණයක් ඉහත සඳහන් ගැසට් පත‍්‍රවල අන්තර්ගත කර තිබීමයි. එහි ප‍්‍රතිපලයක් වශයෙන්, ගැසට් පත‍්‍රය බලපැවැත්වෙන දිනය වන 2020.09.01 දින සිට භාෂා තුනෙන්ම මෙම පාරිභෝගික භාණ්ඩ පිළිබඳ අත්‍යවශ්‍ය තොරතුරු වෙත ප‍්‍රවේශ වීමට සියලූම පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවනු ඇත. ඒ අනුව, පාරිභෝගිකයින්ට අවම වශයෙන් නිෂ්පාදන පිළිබඳ මූලික තොරතුරු ලබා ගැනීමට හැකිවීම අතිශයින් වැදගත් වන්නේ එවැනි භාණ්ඩ ඔවුන්ගේ පරිභෝජනයට හිතකර හා යෝග්‍යවන්නේ දැයි සහතික කර ගැනීම සඳහා ය. පාරිභෝගිකයාට වැටහෙන භාෂාවකින් එවැනි තොරතුරු සැපයීම නිසා, පුද්ගලයන්ට තම මව් බසින් (සිංහල හා දෙමළ) උපදෙස් ලබා ගැනීමේ අයිතිය ආරක්ෂා වනවා පමණක් නොව, පාරිභෝගිකයින්ගේ ශාරීරික සෞඛ්‍යය හා යහපැවැත්ම කෙරෙහිද එය සෘජුවම බලපානු ඇත.

ඖෂධ ඇසුරුම්වල තොරතුරු රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියට අනුගත කිරීමේ සටන

රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පිළිබඳ උල්ලංඝණය වීම් සම්බන්ධව විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ හඬනැගීම හා ඒ පිළිබඳව වගකිවයුතු බලධාරීන් වෙත පැමිණිලි කිරීම පාරිභෝගික අයිතීන් විෂයෙහි පමණක් සීමා නොවූ අතර එය පුළුල් විෂය පරාසයක විහිදී පවතී. මේ හා සම්බන්ධවම තවත් එක් පැමිණිල්ලක් වන්නේ, ඖෂධ ඇසුරුම්වල තොරතුරු රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියට අනුකූලව සඳහන් නොවීම සම්බන්ධව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ට එරෙහිව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට පැමිණිලි කිරීමයි. ඒ මගින් මෙම කාරණයට වගකිව යුතු වග උත්තරකරුවන් හත් දෙනෙකු සදහන් කරන ලද අතර එම වග උත්තරකරුවන් හත්දෙනා වන්නේ

1. සභාපති, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව
2. කළමණාකාර අධ්‍යක්ෂ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව
3. අධ්‍යක්ෂ, ඖෂධ නියාමන අධිකාරිය
4. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යංශය
5. අධ්‍යක්ෂ, වෛද්‍ය සැපයීම් අංශය, සෞඛ්‍ය අමාත්‍යංශය
6. සභාපති, දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය
7. සභාපති, පාරිභෝගික ආරක්ෂක අධිකාරිය

මේ සම්බන්ධයෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් ගත් පියවරයන් ලෙස ආනයනික ඖෂධ ඇසුරුම්වල සදහන් ඖෂධ භාවිතය පිළිබද විස්තර රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියට අනුකූලව සකස් කිරීම පිළිබදව වන පැමිණිල්ලට අදාළ සාකච්ඡාවක් 2012/03/26 වන දින රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේදී පැවැත්වුණු අතර එහිදී නිර්දේශ කරන ලද්දේ ආනයනික ඖෂධවල සදහන් කල් ඉකුත් වීමේ දිනය, ගබඩා කිරීම සම්බන්ධ උපදෙස්, භාවිතයෙන් පසු නොකළ යුතු දේවල්/ අතුරු ආබාධ, මාත‍්‍රාව වැනි රෝගියෙකු විසින් අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු කාරණා රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියට අනුකූලව සකස් කළ යුතු බවයි. මෙම තත්ත්වය දේශීය වශයෙන් නිෂ්පාදිත ඖෂධ සදහාද අදාළ වන බව දක්වන ලදි.

මේ සම්බන්ධව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සිදුකළ පැමිණිල්ලට අදාළ විභාගයේදී පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පැමිණිලිකාර පාර්ශවයේ යෝජනාව සුදුසු යැයි පිළිගනිමින් පහත සදහන් යෝජනාවන් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලදි. එනම්, පාරිභෝගිකයා විසින් විමසනු ලැබූ විට, තමා ලබා ගන්නා ඖෂධ පිළිබදව පාරිභෝගිකයාට අවශ්‍ය සියලූ විස්තර පාරිභෝගිකයා වැඩි ප‍්‍රවීණතාවයක් දක්වන භාෂාවෙන් ඖෂධවේදීයාගෙන් අසා දැන ගැනීමට අයිතිවාසිකමක් ඇති බවට, සෑම ඖෂධ වෙළඳ සැලකම රාජ්‍ය භාෂා දෙකෙන් සහ සම්බන්ධීකරණ භාෂාව වන ඉංග‍්‍රීසි බසින් සදහන් කරන ලද පුවරුවක් පිහිටුවීම මගින් පාරිභෝගිකයින් දැනුවත් කිරීමයි. එසේම, සියලූම ශ‍්‍රී ලාංකේය ඖෂධ නිෂ්පාදකයින් රාජ්‍ය භාෂාවන් දෙකෙන්ම තම ඇසුරුම්වල හෝ බහාලූම තුළ එකී ඖෂධය සම්බන්ධ තොරතුරු සටහන් කිරීම. මෙහිදී එම ඖෂධය පිළිබද සාමාන්‍යයෙන් රෝගියෙකු දැනගත යුතු විස්තර පමණක් සෑහෙන බවට මෙම අධිකාරිය නිර්දේශ කරන අතර එම තොරතුරු ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශයන්ට යටත්ව සටහන් කළ යුතු බවටද මෙම අධිකාරිය නිර්දේශ කරන බවට එකඟතාවක් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ සහතික වන ලදි.

ඖෂධ ඇසුරුම්වල තොරතුරු රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියට අනුගත නොවීම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩුකරය
අනතුරුව එහි නියමන්ට වගඋත්තරකරුවන් අනුගත නොවීම මත විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුකරයක් SCFR/102/16 යටතේ ඉදිරිපත් කර ඇති අතර මෙය තවමත් විභාග වෙමින් පවතී. මෙහි සාධනීය පියවරක් ලෙස, හඳුනාගන්නා ලද ඖෂධවර්ග කීපයක තොරතුරු රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තියට අනුකූලව 2020.01.01 දින සිට නිකුත් කිරීමට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2019.10.14 දිනැතිව ගැසට් අංක 2145/01 යටතේ කටයුතු කර තිබේ. කෙසේ නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත්කර ඇති මෙම ගැසට් පත‍්‍රය ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය විසින් අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර රිට් ආඥාවක් අයදුම්කර ඇති අතර මෙය ඉදිරියට සලකා බැලීමට නියමිතය.

මෙම ගැසට්පත‍්‍ර මගින් රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමේ සහ පාරිභෝගිකයින්ට තීරණාත්මක තොරතුරු සැපයීමේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරන අතරම, මෙම ප‍්‍රගතිශීලි හා සාධනීය තීරණ ක‍්‍රියාත්මක කරනු ඇති බවට කිසිදු සහතිකයක් නොමැති බවද අවධාරණය කළයුත්තකි. එවන් පසුබිමක පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කිරීම සියළුම පාර්ශවකරුවන්ගෙන් නෛතික හා සාමාජීය යුතුකමක් වේ. මෙම අරමුණු සෑම මට්ටමකින්ම ධනාත්මකව හා විධිමත් ලෙස පවත්වා ගෙන යාම සහතික කිරීම සඳහා රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරියටත් අඛණ්ඩව බලපෑම් කරනු ඇත.

නීතිඥ දුම්ඳු මධුෂාන්|Dumindu Madhushan

පර්යේෂක, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය